" බුදුදහම ජීවිත පරිණාමය ගැන කරුණු සඳහන් කරන අවස්ථා බහුල වේ. මහලු වියේ දී ස්වභාවිකව උද්ගත වන්නා වූ කායික සහ මානසික ගැටලු නිරාකරණයෙහි ලා යොමු විය යුතු අංශ පුළුල්ව, සංවේදීව පැහැදිලි කරන අවස්ථාවක් ‘සච්ච විභංග‘ සූත්‍ර දේශනාවේ ඇතුළත් වේ.''
ඒ ඒ සත්වයින්ගේ ශරීර තුළ ඇති වන්නා වූ පරිණාමය, දත් දිරායාම, හිසකෙස් (කලු) සුදු පැහැ ගැනීම, හම දුර්වර්ණය වීම, ජීවිතයේ අවසානය කරා ළඟාවීම සහ මානසික ශක්තිය මුහුකුරායාම ඇතුලු සියලුම දේ ජීවිත පරිණාමය හෙවත් වැහැරීම ලෙස හැඳින්වේ.
බුදු දහමේ මිනිස් ජීවිතය හා බැඳි සිද්ධීන් ‘දුක්ඛ’ යන වචනය තුළින් විවරණය කරන්නේ එය යථාවබෝධයෙන් දැන ගැනීමට හා ඒ තුළින් ජනිතවන අවස්ථාවන් නිවැරැදිව කළමනාකරණය කොටගෙන මුහුණ දීමට පුද්ගලයන් පුරුදු පුහුණු කරලීමටය. ‘ජාති’ යන්නේ දිවියේ ආරම්භය ද, ‘මරණය’ යන්නේ භෞතික කයෙහි නිමාව ද, උපත සහ විපත අතර පවතින ක්‍රියා සන්තතිය ‘ජරා’ යන්නේ ද හැඳින්වේ. ‘ජරා’ යන වචනය තුළ විපරිණාමය තේරුමද අන්තර්ගත වේ. විටින් විට ඇතිවන වෙනස්වීම, බලාපොරොත්තු සුන්වීම, පි‍්‍රය වස්තුන්ගෙන් සමුගැනීම, අපි‍්‍රය අවස්ථාවන්ට මුහුණදීම හා කායික මෙන්ම මානසික රෝගාබාධයන්ට ලක්වීම ආදී අනේකවිධ වූ කැමැති මෙන්ම අකැමැති දේ මෙම විපරිණාමය යන්නේ හඳුනාගත හැකි වේ.
බටහිර වෘද්ධතාව පිළිබඳ මනෝ විද්‍යාඥයන් විවිධ ක්‍රමෝපායන් පෙන්නා දෙමින් ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගත කරන්නට ජනතාව දැනුවත් කරන අයුරු දැකගත හැකි වන අතර ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් දිනෙන් දින හඳුන්වා දේ. බුදුදහම තම අනුගාමිකයින්ට පෙන්වා දෙන්නේ ස්වශක්තිය මත පදනම් වූ අවබෝධය ළඟා කර ගැනීමේ අවශ්‍යතාවයි. එසේ ළඟා කරගන්නා අවබෝධය පදනම් කරගෙන ජීවිතයේ ස්වර්ණමය යුගය කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළකට ප්‍රවේශවීමේ අත්‍යවශ්‍යතාවය බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු කරයි.
බුදුදහම ජීවිත පරිණාමය ගැන කරුණු සඳහන් කරන අවස්ථා බහුල වේ. මහලු වියේ දී ස්වභාවිකව උද්ගත වන්නා වූ කායික සහ මානසික ගැටලු නිරාකරණයෙහි ලා යොමු විය යුතු අංශ පුළුල්ව, සංවේදීව පැහැදිලි කරන අවස්ථාවක් ‘සච්ච විභංග‘ සූත්‍ර දේශනාවේ ඇතුළත් වේ. මීට පරිබාහිරව විශුද්ධි මග්ගයෙහි සඳහන් කෙරෙන අවස්ථාවන් පහ (05) ද එක්කරගෙන සැසඳීමකින් මනා චිත්‍රයක් ගොඩනගා ගත හැකි ය. මහලු වියට අදාළව කායික වෙනස්වීම් පහත පරිදි විග්‍රහ කරගත හැකිවේ.
පළමු අවධිය, ‘හායන’ නමින් හඳුන්වන අතර ඒ අවධියේ දී වයස අවුරුදු පනහ (50) ඉක්මවන විට ඇතිවන මූලික ලක්ෂණ පෙන්වා දේ. මෙය මධ්‍යම වියේ ඇති විය හැකි අර්බුදය ලෙස මනෝ විද්‍යාඥයෝ අදහස් කරත්.
දෙවන අවධිය
‘පබ්බහාරය’ වයස අවුරුදු 60- 70 අතර වේ.
තෙවන අවධිය
පංචක’ය වයස 70-80 අතර වේ.
සිව්වන අවධිය
‘මූමෝහ’ ලෙස හැඳින්වේ. එය සිහි නුවණ අවුල් වන අවස්ථාවයි.
පස්වන අවධිය
‘සයන’ අවධියයි. ජීවිතයේ නිමාව ලෙස ද විග්‍රහ කෙරේ.
‘හායන’ අවධිය ගැන සඳහන් වන ලක්ෂණ කිහිපයක් විශුද්ධි මග්ගයෙහි පෙන්නා දී ඇත්තේ මෙසේ ය.
දත් දිරායාම කලු කෙස් සුදු පැහැ ගැනීම, සම රැලි වැටීම, කේස කලාපය සුදු පැහැ ගැන්වී හණ නූල් බවට පත්වීම, යොවුන් වියේ පැවැති ප්‍රසාද ජනක කෙස් කළඹ දැන් පවතින්නෙන් තැනින් තැන පැටලුණු කෙස් නීල වර්ණය වූ දෙ ඇස් දිරායාම, විඩා බවින් යුතුවීම, නාසය හැකිලීම, පෙර දා පැහැබර වූ මුව දත් කැඩුණු හා කහ පැහැ ගැන්වුණු දත්වලින් යුතුවීම, දත් බිඳීම නිසා කථන අපහසුව, පැටලෙන කථන වචනවලින් යුතු වීම මස් දියවී යාම නිසාම නහරවල් හැකිලුණු ස්වරූපයක් ගැනීම, ශරීරයේ සියුම් රැලි හටගෙන ඇති නිසා සම රැලි සහිත දැලක් සේ වීම යනුවෙන් භෞතික කයෙහි ඇති වන විපරිණාමය විචිත්‍රාකාරයෙන් පාලි ථේරිගාථා සවිස්තරාත්මකව පෙන්නා දෙන රූප කයෙහි ස්වභාවයන් සර්වකාලීන ය.
වියපත් සමයේ තවත් පිටුවක් 60 – 70 යුගයට සම්බන්ධ වන අවධිය ‘පබ්බරෙවච’ යනුවෙන් හැඳින්වේ. මෙහි දී මෙතෙක් කල් සෘජුව පවත්වාගෙන ගිය භෞතික කය ඉදිරියට නැමීමට පටන් ගනී. එසේම සමෙහි වර්ණවත් භාවය ද ක්‍රමයෙන් ගිලිහේ මෙසේ ශරීර ස්වභාවය වඩාත් පහසුවෙන් වෙනසක් දැකිය හැකි අවධිය ‘පච්චක’ අවුරුදු 70 – 80 අවස්ථාවේ මෙම වයස් ඛණ්ඩයේ දී සැරයටියක ආධාරය අවශ්‍ය වේ. ඉතා වේදනාබර මෙන්ම විවිධ රෝගාබාධයන්ට ගොදුරුව ගිලන්වීම මෙන්ම ශරීරය රෝග වාසස්ථානයක් වීම නොවැලැක්විය හැකි තත්ත්වයකි. සමස්ත කයෙහි අඩපණ වීම ක්‍රමයෙන් ආරම්භ වන, මානසික ශක්තිය අභියෝගයට ලක් කරන සිහිය ප්‍රමාණවත්ව රඳවා ගත නොහැකිව කවරෙකුගේ හෝ ආධාරයෙන් ජීවත් වීමට සිදුවන අවධිය මෝමූහ නමින් හැඳින්වේ. ඇතැමුන්ට මෙම වයස්වලදී තමාගේ මල මූලයෙහි ඇලී ගැලී අබල දුබල වී තවකෙනකුගේ ආධාරයෙන් නැඟී සිටීමට සිදුවේ. මෙසේ පවත්වාගෙන යන මිනිස් කය එහි අවසාන අදියරට ළඟා වීම ‘සයන’ අවධිය වේ.
පාලි සාහිත්‍යයෙහි මෙසේ විස්තර වන පස් වැදෑරුම් අවධීන් පෙන්නා දීමෙන් අපේක්ෂා කළේ ජීවිතය සහ ඒ සම්බන්ධ පවත්නා වූ විපරිනාමය ගැන යථාවබෝධයක් ජනතාව තුළ ඇති කොට කායික වැහැරීමට මුහුණදීමට වියපත් වන සමාජය සූදානම් කිරීම පිණිස පමණක් වන අතර ස්වාභාවිකව ඇති වන්නා වූ යථා ස්වරූපයට මුහුණ දීමට නොහැකිව සෝකවීම ක්ලාන්ත වීම, දැඩි වේදනාවට පත්වීම, ළයෙහි අත් ගසා ගනිමින් හැඬිම, සිහිමුලාවට පත්වීම, වැනි යථාරූපී නොවන දේ සඳහා අපව පත්වීම වළකා, අවධිබවකින් වැඩිහිටිභාවයට ළංවීමට කායික මෙන්ම මානසිකවද සූදානම් කරලීම සඳහා ය. එසේම එම වයස්වලට අනුරූපවන පරිදි තම තමන්ගේ චර්යා රටාවන් ද පවත්වාගත යුතු බව පරාභව සූත්‍රය වැනි සමාජගත දේශනාවලින් යුතු සූත්‍රවලින් අවධාරණය කරයි. සද්චර්යාවලින් යුතුව තම දිවියේ සැඳෑ සමය කළමනාකරණය කරගෙන අසද් චර්යාවන්ගෙන් විනිර්මුක්තව ‘සයන’ සමයේදී දිවි මඟින් සැනසුම් සුසුමක් හෙලා සමුගෙන යන්නට සවිමත් වයස්ගත ජන සමාජයක් ප්‍රතිනිර්මාණය කරලීම බුදුදහමේ අභිලාසය වන අතර මහලු වියේ දී භෞතික කයෙහි පරිණාමයට සාපේක්ෂව ඇතිවන සිරුරේ දිරාපත්වීම වළකා, ජීවිතයේ සෑම වයස් කාණ්ඩයකදීම එක සමානව ජීවත් විය හැකිය යන වැරැදි දර්ශනයක් මිනිසුන් අතර ඇති කරලීම නොවේ. බුදු දහම හෙළි කරන කායික හා මානසික විග්‍රහයෙන් අදහස් කරන්නේ යම් කෙනෙකු මිය යනතුරු ආතුර වූ මිනිස් කය තුළ අනාතුර වූත්, ශක්තිමත් වූත් මානසික තත්ත්ව සහිතව ජීවත් කර දීමටය.
විද්‍යාව ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ සිය විග්‍රහයන් ඉදිරිපත් කරයි. විශේෂයෙන් නූතන මනෝ විද්‍යාවට අයත් එක් ශාඛාවක් හඳුන්වා දී ඇත්තේ ‘වෘද්ධ මනෝ විද්‍යාව’ ලෙසටයි.
දියුණු රටවල රෝහල් තුළ ද වෘද්ධ ශල්‍යාගාර පවත්වාගෙන යන අතර රෝගී පිරිස් සඳහා විශේෂ අවධානයක් යොදා සුවපත් කරලීමට උත්සාහ ගනියි. භෞතික ජීවිතය කෙසේ සුවපත් කරන්නට හැකි වුවත්, එහි ලෞකික සහ පාර ලෞකික උභයාර්ථ සාධනයට සම්බන්ධ වැඩපිළිවෙලක් හෝ ඒ හා සම්බන්ධ අවධානයක් නූතන විද්‍යාවෙන් ලබාගත හැකි නොවේ. මෙම හිඩැස මනාව ආවරණය සඳහා බුදු දහම පෙන්වා දෙන ගමන් මග යථාවබෝධයෙන් කළමනාකරණය කර ගැනීම වැදගත් වන්නේ විද්‍යාවෙන් ඒ සඳහා ආලෝකයක් නොලැබෙන නිසාවෙනි. වෘද්ධ කළමනාකරණයෙන් ලැබෙන ප්‍රයෝජන වියපත් වන අවධියට මුහුණ දෙන ගැහැනු පිරිමි දෙපිරිසම මානසිකව උදාසීන බවක්, උකටලී බවක් මෙන් ම ජීවිතය පිළිබඳව යම් ආකාරයක අප්‍රසන්නතාවක් දැක්වීම පැහැදිලිව දක්නට ලැබේ. විශේෂයෙන් මානසිකව ඇද වැටීම ගැන එතරම් උනන්දුවක් නොදැක් වීම නිසා ඉතා භයානක තත්ත්වයන්ට පත්වීම බෙහෙවින් වැඩිහිටි ජන සමූහය තුළ සුලබ වේ. සක්‍රීය ජීවිතයක් ගත කිරීමට උත්සාහ ගන්නේ නම් වයසට ගියත් කායික සහ මානසිකව වඩා සාර්ථකව ජීවත්විය හැකි බව වෘද්ධ මානසික විද්‍යාඥයන් සහේතුකව කරුණු අවධාරණය කර ඇත.
මානසික හැකියාව
ගිලිහී යන කායික ශක්තිය යම් ප්‍රමාණයකට හෝ සමබරව පවත්වාගෙන යාම පිණිස අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග අතර අලස බවින් මිදීම ඉතා වැදගත් වේ. විශ්‍රාමික ජීවිතයට ළගා වන හෝ විශ්‍රාම ගැනීමෙන් පසුව තමා ඉතා නොවටිනා කෙනෙකු ලෙස තමාම පිළිගනිමින්, ක්‍රියාශීලි ජීවිතයට ආයුබෝවන් කියමින් කාලය ගෙවීමට වඩා සැලසුම් කර කායික ව්‍යායාමයන්හි යෙදීම තුළින් වයස 55 – 75 අතර වයස් කාණ්ඩවල අයගේ මානසික හැකියාව සාපේක්ෂකව ව්‍යායාමයන්හි නොයෙදෙන අයට වඩා 15% ඉහළ අගයක් ගන්නා බව මනෝ විද්‍යාඥයන්ගේ සොයා ගැනීමයි. ආගමික ජීවිතයක් ගැන විශ්වාසය ඇති අය තමන්ගේ භාවනාමය ක්‍රියාකාරකම්වලට අදාළ ඇවිදීම්, පිරිසුදු කිරීම්වල යෙදීමෙන් කායික මෙන් ම මානසික නිරෝගිතාව ළගා කරගැනීම අපහසු නොවේ. බටහිර රටවල විශ්‍රාමික පිරිස් ස්වෙච්ඡා කටයුතුවල යෙදීම සාමාන්‍ය දෙයකි. ඒ සඳහා තම ආගමික ස්ථාන ආශ්‍රිතව සිදු කරන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හෝ පොදු ස්ථානයන්හි කටයුතුවලට තම ශ්‍රමය ලබා දේ, මානසික සහ කායික ශක්තිය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන ඒ සඳහා ක්‍රියා කරමින්, තම අවසන් හුස්ම පොද ගිලිහී යනතුරු කුමන හෝ ඵලදායී ක්‍රියාවක නිරත වීම වැදගත් ය. විශේෂයෙන් මානසික උත්තේජනය ලබා ගැනීමට සහ මානසික ආතතීන්ගෙන් තොර ජීවිතයකට පුරුදු පුහුණු විය යුතුය. මානසික උත්තේජන ක්‍රමෝපායයන් රාශියක් ගැන මනෝ විද්‍යාඥයින් සහ මනෝ චිකිත්සකයින් ගෙන හැර දක්වා ඇත. එම ක්‍රමෝපායන් යොදා ගැනීමේ දී පුද්ගල විවිධත්වය සහ අධ්‍යාපනික පසුබිම ද අවධානයට ගැනීම වැදගත් ය. කියවීමට උනන්දුව සහ ආශාව ඇති පිරිස්වල පොත්පත්, සඟරා, පුවත්පත් ප්‍රයෝජනවත් විය හැකිය.
තනිකම මඟ හැරීම
වියපත් වන විට අප සමඟ සිටි බොහෝ දෙනෙක් අපගෙන් ඈත් වීම ස්වභාවික සංසිද්ධියක් ලෙස සිතන්නට සුදුසු මානසික තත්ත්වයක් ළඟා කර ගෙන තිබීම නිසා මානසික පීඩාව, බලාපොරොත්තු රහිත වීම, තනිකම මග හැරලීමට සුදුසු සමාජ වටපිටාවක් ගොඩනගා ගැනීම කෙරෙහි අවධානය යෙදිය යුතුය. ඒ සඳහා පරිසරය නිර්මාණය කර ගැනීමට තම ප්‍රදේශයේ ආරාම පදනම් කර ගෙන සතිපතා, මාස්පතා සහ විශේෂිත දිනවල දී හමුවීම, ඵලදායී සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ධර්ම කවයන් සංවිධානය කරගෙන ජීවිතයේ සැදෑ සමය කළමනාකරණය කර ගැනීම අර්ථවත් වේ. නේවාසික භාවනා, වැඩමුළු සහ වාර්ෂික සංචාරයන්ට වැඩිහිටි පිරිස් උනන්දු කරලීමේ සංවිධාන ජාලයක් නිර්මාණය කළ යුතුවේ.
වැඩිහිටි පිරිස් සම්බන්ධ කර ගත හැකි නිර්මාණාත්මක ප්‍රාසාංගික කලාවක් ගැන අතහිත යෙදිය යුතුය. විශේෂයෙන් ම ඈත් වෙමින් යන වැඩිහිටි සහ තරුණ සම්බන්ධතාව අවම කොට යෞවනයේ සුන්දරත්වයත් වියපත් දිවියේ ආශ්වාදනීයත්වයත් එක්තැන් කොටගෙන සමබර ජීවිතයක් ගැන තරුණ සහ වැඩිහිටි පිරිස්වලට කිසියම් වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය.
අද වැඩිහිටියා හෝ යෞවනයා කවදාහරි වියපත් අයකු වන බව තේරුම් ගන්නට යොමු කළ යුතුය. අතරමඟ අතහැර දමන වියපත් පිරිස්වලට අත්වන අඳුරු තත්ත්වය අවම කරලීම ක්‍රියාශීලි ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ වගකීමකි. වැඩිහිටි පිරිස් ඒ ඒ අයගේ හැකියාවන්ට අදාළ වන පරිදි ප්‍රමුඛත්වය දී බාල මහලු දෙපාර්ශ්වය අතර ආදරය, විශ්වාසය, ගෞරවය සහ අනෝන්‍ය බැඳියාව වර්ධනයට බෞද්ධ ‘මෛත්‍රී’ සංකල්පය ප්‍රායෝගිකව යොදා ගැනීම වැඩි පිරිසකට මානසික සහනයකි. ජීවිතයේ සැදෑ සමය හැකි පමණ සතුටින් සහ පිවිතුරු මනසකින් යුතු වීම ඉතා වැදගත් වෙයි. වේදනාව, බලාපොරොත්තු සුන් වූ ස්වභාවයකින් යුතු වීම, සම්පූර්ණ කළ නොහැකි දේ ගැන වේදනාවෙන් යුතු වීම වැනි ඍණාත්මක ස්වභාවයෙන් මිදීමට සුදුසු ක්‍රියාමාර්ග තම ජීවිතයට ළඟා කර ගැනීම වියපත් සමයේ වගකීම වේ. අතීතය ගෙවී අවසන් හෙයින් ද අනාගතය තවමත් ළඟා වී නොමැති හෙයින් ද මේ කාල පරාස දෙක ගැන කුමන හෝ පසුතැවිල්ලක් නො විය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි.
භාවනා කිරීම
අද වැඩිහිටි සමාජය බෙහෙවින් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය වන්නේ හුදකලා බවයි. මේ නිසා ම එම පිරිස් හෘදයබාධයන්ට අකාලයේ ගොදුරුව ජීවිතයෙන් සමුගනී. මෙවන් අවස්ථාවන් ජය ගැනීමට හෝ අවම කර ගැනීමට බුදු දහම අවධාරණය කරන භාවනා ක්‍රම යොදා ගත හැකි අතරම ඒ තුළින් ‘කල්‍යාණ මිත්‍රයන්’ කිහිප දෙනෙක් තම ජීවිතයට එකතු කර ගැනීම අධ්‍යාත්මික දියුණුවට මෙන් ම එදිනෙදා දිවි පැවැත්මට ද ඵලදායී වේ.
මනසේ ප්‍රධානත්වය ප්‍රමුඛත්වයෙහි ලා කරුණු දක්වන බුදු දහම හැම විට දීම මානසික සෞඛ්‍ය ඇති කර ගැනීමට තම අනුගාමික පිරිස් උනන්දු කළ අතර වයස්ගත හැම කෙනෙකුම තමන්ට හැකි පමණින් මානසික ව්‍යායාමවල යෙදීමෙන් ‘චිත්තං අනාතුරං භවිස්සති’ යනුවෙන් කියවෙන පරිදි නිරෝගී වූ වයස්ගත මානසික ශක්තියක් පවත්වා ගැනීමට වෘද්ධ කලමනාකරණයෙන් කටයුතු කර ගැනීමට වගබලා ගත යුතුවේ.
කැකනදුරේ ධම්මසිරි හිමි
අමෙරිකාවේ වියට්නාම බෞද්ධ විහාරය
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා හා
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 19 වන බදාදා දින බුදු සරණ පුවත්පත‍් දෙකෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment