තීර්ථකයෝ වනාහී බුද්ධකාලීනව විසූ අසද්පුරුෂ සමාජයක සාමාජිකයෝ ය. ආත්මාර්ථයම සැලකූ ඔවුහු තමනට අලාභ අත්වන කිසිදු කාර්යයක් නොඉවසූහ.
විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ පතල වූ ගුණ සුවඳ මිනිසුන් අතරෙහි පමණක් නොව දෙවි බඹුන් කරාද විහිදුණි එනිසාම මහත් වූ ලාභ සත්කාර බුදු හිමියන් වෙත ගලා එන්නට විය. බුදුරදුන්ගේ කීර්තිය හමුවේ තීර්ථකයෝ කලා මැදිරියන් සේ සමාජයෙන් කොන් වූහ. එයින් ඔවුනට ලද ලාභ සත්කාර සියල්ල නැති විය. වෙහෙරට බුදුරදුන් පුදන්නට යන ජනයා වෙතට ගොස් තමන්ද බුදුරදුන් සේ බව පවසමින් තමනට පුදන දෙයින්ද පින් ලැබෙන බව ප්‍රකාශ කරන්නට විය. එහෙත් කිසිවකු ඔවුනගේ වහසිබස් නොපිළිගත් අතර එනිසාම ලාභයෙන් පිරිහිණු තීර්ථකයෝ බුදුරදුනට අපහාස කොට අපකීර්තියක් ඇති කරන්නට කතිකා කළහ.
ඒ අනුව එයට කවරාකාර උපායක් සුදුසු වන්නේදැයි කල්පනා කොට කතිකා කළ අතර විවිධ තීර්ථකයෝ විවිධ අදහස් ඉදිරිපත් කළහ. අවසානයේ ඔවුන් තීරණය කළේ සැවැත් නුවර විසූ දෙවඟනකට සමාන රුවක් ඇති චිඤ්චා නම් තරුණිය මේ සඳහා යොදා ගැනීමටය. තීර්ථකයන් පළ කළේ තමන්ගේ සැප අපේක්ෂා කරන්නේ නම් ශ්‍රමණයන් වහන්සේට අවමන් කරවන ලෙස හැසිරෙන ලෙසයි. එම වගකීම චිඤ්චා බාර ගත්තා ය.
අනතුරු දිනයෙහි පටන් ඇය විවිධ මායමින් සැරසී සැවැත් නුවර සැදැහැවත් ජනයා බුදුරදුන්ගෙන් දහම් අසා දෙව්රමින් නික්මයන සැන්ඳෑවේ ඔවුනට පෙනෙන ලෙස මල් රැගෙන දෙව්රම දෙසට එන්නීය. කොහි යන්නේදැයි විමසූ විට ඔවුන්ට ද අපහාස කරන්නීය. අඳුරු වැටුණු පසු තීර්ථක අරමකට වී සිට පාන්දරින්ම දෙව්රම දිසාවේ සිට එන්නියක ලෙසින් නගරයට ඇතුළු වන්නීය. කොහි සිට එන්නේදැයි විමසූ විට බුදුරදුන් හා සමඟ රාත්‍රිය ගඳකිළියේ වාසය කොට එන බව කියන්නීය. සැදැහැවතුන් මෙය විශ්වාස නොකළ ද අශ්‍රද්ධාවන්තයෝ එය විශ්වාස කළහ.
තුන්මස හාරමස පමණ වන විට තමන් ගැබිනියක වී ඇති බව පෙන්වන ලෙසින් රෙදිවලින් තමන්ගේඋදරය ඔතා ජනයා ඉදිරියේ පෙනී සිටියාය. මසින් මස මෝරන ගර්භයක් ඇත්තියක සේ පෙනී සිටින්නට විය. අටමාසයක්, නම මාසයක් වන විට ඇගේ කුස දාරුමය ගර්භයකින් බැඳ රෙදි කඩකින් වසා ක්ලාන්ත ස්වභාවයක් පෙන්වමින් විසුවාය. ඒ අතර එක් දිනෙක දහසක් ජනයාට දහම් දෙසමින් තථාගතයන් වහන්සේ ධර්මාසනයෙහි සිටි කල්හි චිඤ්චා ඉදිරියට පැමිණ ගැබිනි බව ඔබ නිසා බැවින් ඉක්මනින් තිඹිරි ගෙයක් සකස් කර දෙන්නැයි ද ගැබ් පෙළහර සූදානම් කරන්නැයි ද දහම් දෙසා සිටීම නතර කරන්නැයි ද කෑ ගසා කියන්නට වූවා ය. බුදු හිමියෝ සසරෙහි අනන්ත කාලයක් සපුරා ලු ශාන්ති පාරමී බලය සිහි කොට නිහඬව දරා සිටි අතර බුදු පිරිස තුෂ්ණිම් භූත භාවයෙන් සිදු වන්නට යන දෙය පිළිබඳව විපිළිසරව බලා සිටියහ. සක් දෙවිඳුගේ පවා කම්පාවට හේතු වූ මෙකරුණින් දෙවි දේවතාවෝ ද පැමිණ පුදුමව බලා සිටියහ. බුදුහිමියන්ගේ අනන්ත බුදුගුණ මහිමය ඉදිරියේ චිඤ්චා වෙව්ලන්නට වූවා ය. තමා කරන්නා වූ අද්භූත අපරාධයේ තරමින් ඈ සිටි පොළොව පවා කම්පිතව සෙලවෙන්නාසේ ඇයට දැනෙන්නට විය. හමා ගිය සුළඟින් ගැබ වසා සිටි වස්ත්‍රය එසැවී බිම වැටුණාය. ඒ හා සමගම ඇගේ කුස බැඳ තිබූ දාරුමය ගර්භය ද බිමට වැටුණාය.
බුදුනට කළ අපහාසය ඉවසා ගත නොහෙණු මිනිසුන් ඇගේ මුහුණටම කෙල ගසා ගල් දඬු මුගුරු ආදියෙන්ද තළා පෙළන්නට විය. දෙව්රම් වෙහෙරෙන් ඈතට යන තෙක්ම එළවා එළවා පහර දෙන්නට විය. එයින් ඇය මියගොස් අවීචි මහා නරකයෙහි උපත ලැබුවා ය.
එයින් තීර්ථකයෝ වඩාත් පිරිහුණහ. බුදුරදුන්ගේ කීර්තිය තව තවත් පැතිරෙන්නට විය. දම්සභාවෙහිදී සාකච්ඡාවට බඳුන් වූ මේ කාරණය මුල් කොට බුදුරදහු චිඤ්චා මේ භවයෙහි පමණක් නොව පෙර භවයෙක පවා මෙසේ අපහාස කොට කරදර විඳි අයුරු පෙන්වන්නට මහා පදුම ජාතකය දේශනා කොට වදාළහ. පෙර තමන් මහාපදුම කුමාරයාව ඉපිද සිටි කල්හි චිඤ්චා තමාගේ සුළු මව වී ඉපිද තමන් අසද්ධර්මයට යොදවා ගන්නට උත්සාහ කොට නොහැකි වූ කල්හි පිය රජු කරා තමන්ට දඬුවම් කරවූ අයුරුත්, පසුව ඇය බොරු කියා හසු වී එම දඬුවමට ලක් වූ අයුරුත් පෙන්වා, ලෝකයේ ඇති එකම ධර්මය වන සත්‍යය යටපත් කොට බොරු කියන්නාට නොකළ හැකි පාපයක් නොමැති බව දේශනා කොට වදාළහ.
සිංහල අංශයේ මහාචාර්ය
අගලකඩ සිරිසුමන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 08 වන බ‍්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment