Labels

Sunday, June 18, 2017

තෘෂ්ණාවෙන් පිරි ලෝකය කිසිදා තෘප්තිමත් නොවෙයි



අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හුදෙක් අදහා ගැනීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ධර්මය වනාහී නුවණින් කල්පනා කිරීමෙන් අවබෝධ වන එකක්. එනිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ "මාගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි. දුෂ්ප්‍රාඥායන්ට නොවේ" කියා. අද අප මාතෘකා කර ගන්නේ එසේ නුවණින් සලකා බලා තේරුම් කරගත යුතු කරුණු සතරක් පිළිබඳවයි.
මේ වටිනා කරුණු සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ. එහි ඇත්තේ රට්ඨපාල මහ රහතන් වහන්සේ සහ කෝරව්‍ය රජතුමා අතර ඇතිවන සංවාදයක් තුළයි.

ජරා මරණ කුමක්ද?


ස්වාමිනි රට්ඨපාලයන් වහන්ස, උපනීයති ලෝකෝ අද්ධුවෝ - ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි, එනිසා අස්ථිර යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ පැවසූ කරුණෙහි අර්ථය දැනගත යුත්තේ කෙසේද?
පින්වත් මහරජ, මේ ගැන කුමක්ද සිතන්නේ? ඔබට විසි හැවිරිදි වයසක් තිබුණා නේද? විසිපස් හැවිරිදි වයසකුත් තිබුණා නේද? එකල හස්ති ශිල්පයෙහි කෙළ පැමිණියා නේද? දුනු ශිල්පයෙහිත් කෙළ පැමිණියා නේද? කඩු ශිල්පයෙහිත් කෙළ පැමිණිය නේද? පා සහ අත්වල බලවත් ශක්තියකින් යුතුව ඕනෑම යුද්ධයකට පිවිසෙන්නට සමර්ථව සිටියා නේද?”
රට්ඨපාලයන් වහන්ස, මා විසි හැවිරිදිවත්, විසිපස් හැවිරිදිවත් සිටියා තමයි. හස්ති ශිල්පය මෙන්ම අශ්ව ශිල්පයෙහිත්, රථ ශිල්පයෙහිත් කෙළ පැමිණියා. පා සහ අත්වල බලවත් ශක්තියකින් යුතුව ඕනෑම යුද්ධයකට පිවිසෙන්නට සමර්ථව සිටියා. භවත් රට්ඨපාලයෙනි, ඇතැම් අවස්ථාවන්හිදී මට සිතුනේ සෘර්දියක් තිබෙනවා කියායි. එතරම් ම මා තුළ තිබූ බලය හා සමාන වූ කිසිවෙක් දුටුවේ නැහැ.
පින්වත් මහරජ, මේ ගැන කුමක්ද සිතන්නේ? දැනුත් ඔබට ඒ ආකාරයට පා සහ අත්වල බලය ඇතිව යුධ භූමියකට පිවිසෙන්නට සමර්ථව සිටිනවාද?
අනේ රට්ඨපාලයන් වහන්ස, දැන් එසේ නැහැ. දැන් මම දිරලයි ඉන්නේ. වැඩිලයි ඉන්නේ. මහළු යි. පිළිවෙලින් වයසට ගොස් සිටින්නේ. මට දැන් වයස අසූවක් වෙනවා. භවත් රට්ඨපාලයෙනි, ඇතැම් අවස්ථාවන්හිදී මා පාදය තබන්නේ වෙන තැනක. නමුත් පාදය තියවෙන්නෙ තව තැනක.
පින්වත් මහරජ, සියල්ල දන්නා වූත්, දක්නා වූත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයා ජරා මරණය වෙත ඇදගෙන යයි. එනිසා අස්ථිරය යන මේ කරුණ පැවසුවේ ඔය අර්ථයෙනි.

ලෝකයා අනාරක්ෂිතයි


රට්ඨපාල ස්වාමින් වහන්ස, අත්තාණෝ ලෝකෝ අනභිස්සරෝ - ලෝකයා අනාරක්ෂිතයි. තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතැයි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ පැවසූ කරුණු අර්ථ වශයෙන් දැනගත යුත්තේ කෙසේද?
පින්වත් මහරජ, මේ ගැන කුමක් ද සිතන්නේ? ඔබට කිසියම් නිධන්ගත රෝගාබාධයක් තිබෙනවාද?
ස්වාමිනි, මට නිධන්ගත වාත රෝගයක් තිබේ. ඇතැම් දවසට යහළු මිතුරන් ලේ ඤාතීන් මාව පිරිවරාගෙන කෝරව්‍ය රජතුමා දැන් කළුරිය කරාවි, කෝරව්‍ය රජතුමා දැන් කළුරිය කරාවි කියා කියනවා.
පින්වත් මහරජ, මේ ගැන කුමක්ද සිතන්නේ? යහළු මිතුරන්, ඤාතීන් මෙහි පැමිණෙත්වා. මම යම් බඳු වේදනාවක් විඳින්නේ වෙයි. මේ වේදනාව සියල්ලෝම එකතුව බෙදාගනු මැනව, කියා කීමෙන් ඒ යහළු මිතුරන්ට ඤාතීන්ට එය ලබන්නට පුළුවන්ද? නැත්නම් ඒ වේදනාව ඔබ විසින්ම විඳගත යුතුද?
ස්වාමිනි, වේදනාව හැමෝම එකතුව බෙදාගනු මැනව. කියා කීවාට ඒ යහළු මිතුරන්ට ඤාතීන්ට ලබන්නට පුළුවන්කමක් නැහැ. ඒ වේදනාව මා විසින් ම විඳවිය යුතුවෙයි. පින්වත් මහරජ, දන්නා වූත්, දක්නා වූත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයා අනාරක්ෂිත යි. තමාගේ වසඟයෙහි පැවැත්විය හැකි කෙනෙක් නැතැයි යන මේ දහම් පදය වදාළේ එනිසාය.

සියල්ල අත්හැර දැමීම


පින්වත් රට්ඨපාලයන් වහන්ස, අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවාද ඒ සියල්ල අත්හැර දමා යා යුතු බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද? පින්වත් මහරජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඔබ දැන් යම් පංචකාම ගුණයන්ගෙන් යුක්තව ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් ඉන්නවාද? ඉතින් ඔබ පරලොවදීත් මේ ආකාරයෙන් ම මම මේ පංචකාම ගුණයන් පිරිවරාගෙන පිනවමින් සතුටු වෙවී සිටිනවා කියන කරුණ ලබන්නට පුළුවන්ද? නැත්නම් අනෙක් උදවිය මේ භෝග සම්පත් ලබා සතුටුවේවි ද? ඒ වගේම ඔබ කර්මානුරූපව මිය පරලොව යාවිද?
ස්වාමිනි, මම දැන් යම් පංචකාම ගුණයන්ගෙන් යුක්තව ඉඳුරන් පිනවමින් සතුටු වෙමින් සිටිනවා. ඉතින් මම පරලොවදීත්, මේ ආකාරයෙන්ම මේ පංචකාම ගුණයන් පිරිවරා ගෙන පිනවමින් සතුටු වෙමින් සිටියි කියන කරුණ ලබන්න පුළුවන්කමක් නැහැ. අනෙක් උදවිය මේ භෝග සම්පත් ලබා සතුටුවේවි. ඒ වගේම මම කර්මානුරූපව මිය පරලොව යයි.
මහරජ, ලෝකයා තමන් ගේ කියා යමක් ගන්නවාද ඒ සියල්ල අත්හැර දමා යා යුතුයි යන මේ දහම් පදයේ අර්ථය එයයි.

ලෝකය අසම්පූර්ණයි


පින්වත් ස්වාමින් වහන්ස, ඌණෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ, ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලයි ඉන්නේ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මේ පැවසූ කරුණේ අර්ථය දැනගත යුත්තේ කෙසේද?
පින්වත් මහරජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? ඔබ මේ සමෘද්ධිමත් වූ කුරු ජනපදයේ අධිපතිව වසනවා නේද? එසේය ස්වාමිනි.
මහරජ, ඒ ගැන කුමක්ද සිතන්නේ? මෙහිලා ඇදහිය හැකි වචන ඇති කරුණු දැනුම දෙන එක්තරා පුරුෂයෙක් පෙර දිගින් ඔබ වෙත පැමිණ මෙසේ කියයි. මහරජතුමනි, මා එන්නේ පෙරදිග දිශාවෙනුයි. එහි මම සමෘද්ධිමත් වූ ඉතා දියුණු වූ ඉතා ජනාකීර්ණ වූ මහා ජනපදයක් දුටුවෙමි. එහි බොහෝ ඇත්, අශ්ව, රථ, පාබල සේනා සිටියි. එහි බොහෝ ධන ධාන්‍ය තිබෙයි. එහි බොහෝ පරිභෝග කළ නො කළ හිරණ්‍ය ස්වර්ණ තිබෙයි. එහි බොහෝ සොඳුරු ස්ත්‍රින් සිටී. ඒ ජනපදය අල්ලා ගැනීමට යම් බල මාත්‍රයකින් කරන්නට පුළුවනි. මහරජතුමනි, එනිසා සේනාව යවා යුද්ධ කොට දිනාගත මැනව, කියා කිව්වොත් ඔබ කුමක්ද කරන්නේ?
ස්වාමිනි, එසේනම් අප එරටත් දිනා ගෙන එහිත් අධිපති වෙනවා.
මහරජ, ඒ ආකාරයට උතුරු දිශාවෙන්, දකුණු දිශාවෙන්, බටහිර දිශාවෙන්, රාජ්‍යයන් පිළිබඳව ඔබට අසන්නට ලැබුණොතින් ඔබ මොකද කරන්නේ?
පින්වත් රට්ඨපාල ස්වාමින් වහන්ස, අප ඒ රාජ්‍යයන්ද දිනාගෙන එහිත් අධිපති වෙනවා.
පින්වත් මහරජ ලෝකය අසම්පූර්ණයි. තෘප්තිමත් කරන්නට බැහැ. තෘෂ්ණාවට යටත් වෙලා සිටින්නේ යැයි යන මේ දහම් පදය වදාළේ මේ අර්ථය උදෙසායි.

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ අශ්චර්යවූත්, අද්භූතවූත් කරුණු සතර සුබාශිතයක්මැයි. නුවණැති අය ලෙස අපත් මේ කරුණු නුවණින් සළකා ජීවිතයෙහි ඇති අසාරවත් බව අවබෝධ කරගෙන සාරවත් වූ ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලබන්නට අදිටන් කර ගනිමු.

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 19 වන බදාදා වන බදාදා දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment