Labels

Monday, June 26, 2017

සියලු බුදුවරුන්ගේ අනුශාසනය

සියලු පව් නොකිරීමට කුසල් වැඩිදියුණු කිරීමට තමන්ගෙ සිත පිරිසුදු කිරීමද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත් වන්නේ සියලු බුදුවරුන්ගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයටයි.
ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ මාර්ගය වශයෙන් දෙසා වදාරති. දිර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු නොවේ. ඒ නිසා උන්වහන්සේලා ඛුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක් වශයෙන් දෙන්නේ, අනුශාසනාවක් වශයෙන් පණවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැනි අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවල විනය පැනවීම සිදුවෙයි. එහෙත් උන්වහන්සේලාත් විනය පණවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැණවීමක් සිදු නොවීය.
එම කාලය තුළ උන්වහන්සේ අඩමසකට වරක් පොහෝ දිනවල සංඝයා රැස්කොට මේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව පමණක් සිදු කළහ. එය බුදුවරුන් සංඝයා සමඟ පොහොය කිරීමද වේ. උදාන පාලියේ මෙන්ම අංගුත්තර අට්ඨක නිපාතයේ උපෝසථ සූත්‍රයේ සඳහන් වන පරිදි එක් පොහොය කරන දිනක ප්‍රාතිමෝක්ෂ දේශනාවට රැස් වූ භික්ෂූන් අතර දුස්සීල භික්ෂුවක් සිටීම නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම සඳහටම අත්හිටුවා වදාළහ. එහිදී උන්වහන්සේ වදාළේ .
“මහණෙනි, අද පටන් කොට මම පොහොය නොකරමි. පාමොක් නොදෙසමි. තථාගතයන් වහන්සේලා අපිරිසුදු පිරිස් මැද පොහොය නොකරන්නාහ. පාමොක් නොදෙසන්නාහ. යන මේ කාරණය සිදුවිය නොහැක්කකි යනුවෙනි. එතෙකින් බුදුරජාණන් වහන්සේගේ ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාවක පොහොය කිරීම නැවතිනි. එතැන් පටන් සංඝයාට පොහොය කරන්නට ප්‍රාතිමෝක්ෂ දෙසන්නටත් අනුදැන වදාළහ. එහිදී දෙසන්නට නියම කළේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂ නොව ආණාප්‍රාතිමෝක්ෂයයි. එනම් බුදුරදුන් විසින් සංඝයාට පණවා වදාළ විනය ශික්ෂාපද සමූහයයි. ඒ අනුව එම ශික්ෂාපද සමූහයද ප්‍රාතිමෝක්ෂ නමින් හැඳින්වෙයි.
එතැන් පටන් භික්ෂූන්ට අවවාද කරන අවස්ථාවලද මහණෙනි, ඉතා කුඩා වරදෙහි පවා බිය දකිමින් ප්‍රාතිමෝක්ෂ සංවරයන්හි සංවරව වෙසෙන්නැයි වදාළේ මේ විනය ප්‍රාතිමෝක්ෂය ගැනයි. එතැන් පටන් සංඝයා සෑම අටමසකට වරක්ම පොහොය සීමාවට රැස්ව මේ විනය ප්‍රාතිමෝක්ෂය දේශනා කරති. පොහොය කිරීම යනු එයයි. එයට බුදුවරු සහභාගී වන්නේ නැත.
මෙතෙක් කී කරුණු අනුව ‘සබ්බ පාපස්ස අකරණං’ ආදී ගාථාව බුද්ධ ශාසනයක සමස්ත පණිවුඩය සමස්ත අනුශාසනාව ගැබ් කොට ඉතා සංක්ෂිප්තව දේශනා කරනු ලබන සුවිශේෂී දේශනාවක් බව පැහැදිලි වේ. මෙය දේශනා කරන බොහෝ දෙනා මෙහි අන්තිම පදය ‘ඒතං බුද්ධානු සාසනං’ යනුවෙන් වරදවා කියති. එහි නිවැරදි පදය වන්නේ ‘ඒතං බුද්ධාන සාසනං’ යනුවෙනි. එනම් මෙය බුදුවරුන්ගේ ශාසනය යන්නයි. ශාසනය යනු ශික්ෂා මාර්ගයයි. ප්‍රතිපදාවයි. ධර්ම විනය යනුද එයයි. ‘ශාසන’ යන්නෙහි පණිවුඩය යන අර්ථයක්ද ඇත. ඒ අනුව ශික්ෂණය සඳහා දෙන අවවාදය, අනුශාසනය ඒ තං බුද්ධාන සාසනං’ කීම එයයි.
‘සබ්බ පාපස්ස අකරණං’ යන්න නෙතකීපවරණ පාලියේ සඳහන්වන පරිදි සබ්බ පාපයන් එනම් කාය දුශ්චරිත, වාග් දුශ්චරිත සහ මනෝ දුශ්චරිතයයි. ඒවා නම් ප්‍රාණඝාත අදත්තාදාන කාමමිථ්‍යාචාර, මුසාවාද, පිසුණාවාච, පරුෂාවාච, සම්පප්ලාප, අභිජ්ඣා ව්‍යාපාද මිථ්‍යා දෘෂ්ටි යන දස අකුසල කර්ම පාපයෝය. මෙම දස අකුසල කර්ම වශයෙන් දෙකට බෙදේ. එනම් චේතනා කර්ම හා චේතසික කර්ම යනුවෙනි.
අකුසල මුල් ක්‍රියාත්මකවීමේදී පුද්ගලයා සතර අගතියට යයි. එනම් පත්නොවියයුතු තැනට පත්වේ.
ඒ අගතීන් අතුරින් ඡන්දයෙන් අගතියට යාම ලෝභය නිසා සිදුවේ. දෝසාගතියට යාම ද්වේශය නිසා සිදු වේ. මෝහයන්ගෙන් අගතියට යාම මෝහය නිසා සිදුවේ. මේ මේ අකුසල මූලයන්ගෙන් අගතියට පත්ව පව් සිදු කර ගැනීමේ ගමන වළකාලන ප්‍රතික්‍රියාවන් ද බුදු දහමෙහි දක්වා තිබේ. ඒ අනුව ලෝභය අසුභානුස්සතියෙන් හෙවත් රූපාදී ධර්මයන්ගේ අසුභය මෙනෙහි කිරීමෙන් ප්‍රහාණය වෙයි. ද්වේශය මෛත්‍රියෙන් ප්‍රහාණය වෙයි. මෝහය විදර්ශනා ප්‍රඥාවෙන් ප්‍රහාණය වෙයි. එසේම ලෝභය උපේක්ෂාවෙන් ද ප්‍රහාණය වේ. එනම් අරමුණ පිළිබඳව සුබ වශයෙන් මෙනෙහි නොකොට මධ්‍යස්ථවීමෙන් ලෝභය සංසිඳේ. කාමච්ඡන්ද යනු ද ලෝභයයි. ද්වේෂය මෛත්‍රී කරුණා දෙකෙන්ද මෝහය මුදිතාවෙන් ද දුරුවෙන බව දැක්වේ. මුදිතාව යනු ලෝකයාගේ දියුණුව සතුට දැක තමනුත් සතුටුවීමේ ගුණයයි. එය කළ හැක්කේ නුවණින් කල්පනාකරන අයකුට පමණි. ඒ නුවණ නැතිකල, ඒවා තමන්ට නැතිවීම ගැන හීන මානයට හෝ අනුන්ට තිබීම ගැන ඊර්ෂ්‍යාවට හෝ පත් වෙයි. මුදිතාවෙන් මෝහය දුරුවේ යැයි කීවේ එයයි. මෙසේ ලෝභ, ද්වේෂ හා මෝහයන් මැඩ පැවැත්වූ තැනැත්තා පාපයට නැඹුරුවීම වළකයි. ‘සබ්බ පාපස්ස අකරණං’ යනුවෙන් සියලු පව් නොකිරීම හෝ සියලු පවින් වැළකීම සිදු වන්නේ මේ ආකාරයෙනි.
තවද සමස්ත වශයෙන් සියලු පව් යන්නෙන් මිථ්‍යා අංග අට එනම් මිච්ඡාදිට්ඨී, මිච්ඡාසංකප්ප මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යන අටයි. මේ මිථ්‍යා අංග අට නොකිරීම එහි නොයෙදීම ‘සබ්බ පාපස්ස අකරණං’ යන්නෙන් ප්‍රධාන වශයෙන් සැලකේ. වෙනත් විදියකින් කියතොත් අර්හත්වයෙන් අවසන් වන ආර්ය මාර්ගයේ දී ‘සබ්බ පාපස්ස අකරණං’ යනු ඒ මිථ්‍යා අංග අටෙන් වැළකීමයි.
‘කුසලස්ස උපසම්පදා’ ඒ මිථ්‍යා අට දුරුවන විට සම්‍යක් අංග අට සම්පූර්ණ වේ. ඒ අනුව සම්මා දිටිඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මාසති, සම්මා සමාධි යන සම්‍යක් අංග අට හෙවත් යහපත් මාර්ග අංග අට සම්පූර්ණ කිරීම සම්පාදනය කිරීම, අර්හත්වය සඳහා යන බෞද්ධ මාර්ගයේදී ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් ගැනේ.

‘සචිත්ත පරියොදපනං’ යනු පෙර බුදුවරුන්ගේ පටන් පැවත එන මාර්ගය වැඩීමයි. ‘පරියොදපන’ යනු පිරිසුදු කිරීමයි. ඒ අනුව තමාගේ සිත පිරිසුදු කිරීමේ ක්‍රම දෙකකි. පළමුවෙන්ම සමථ විදර්ශනා මාර්ගයෙන් නීවරණ ප්‍රහාණය කොට සිත පිරිසුදු කිරීමයි. දෙවැන්න ආර්ය මාර්ගය වැඩීමෙන් අනුගමනය ධර්ම සහමුලින්ම උදුරා දැමීමයි. සිත පිරිසුදු කරන ආර්ය මාර්ගයෙන් පින්වත් ඔබත් ගමන්කොට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධකරගෙන උතුම් නිවනින් සැනසෙත්වා.



අමරපුර මහා සංඝසභාවේ 
සභාපති 
දොඩම්පහල චන්දසිරි මහා නා හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍පොසොන් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 08 වන බ‍්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment