සියලු සත්වයෝ දඬුවමට බිය වෙති. තැති ගනිති. ජීවිතයට පි‍්‍රයවෙති. තමා උපමාකොට කිසිදු සත්වයකුගේ ප්‍රාණය නිරුද්ධ නොකරන්න යන උතුම් සම්බුදු වදන ජන සමාජයෙහි එදා සිට මුල් බැස ගත්තේ ය. රජුගේ සිට ගම් දනව් වැසි ජනයා පරපණ නැසීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය ආරක්ෂා කිරීමට පටන් ගත්හ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 230 ක් පමණ ඉක්ම වූ කල්හි දඹදිව ධර්මාශෝක අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට කටයුතු කළේ ය. භාරත දේශයේ සිට රටවල් 09 ක් පුරා සම්බුදු දහම ප්‍රචාරය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඒ උතුම් භාග්‍ය උදාකර ගැනීමේ අවස්ථාව ලංකාද්වීපයට ද හිමි වුණි.
මෙකල සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීවීම පිළිබඳ මෙරට ජනතාවට අවබෝධයක් තිබූ බව නොපෙනේ. රජු සතළිස් දහසක් පිරිවරා විනෝදය පිණිස දඩ කෙළියේ යෙදුණු බව ඉතිහාසය පෙන්වා දෙයි. බොහෝ ආගම් මානව හිතවාදී බව ඉගැන්වුවද, සියලු සතුන්ට හිතානුකම්පී වීම ඉගැන්වූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ය.
න්‍යායාත්මක බුදුදහමේ සූත්‍ර විනය දේශනාවන්හි තථාගතයන් වහන්සේ කුරා කුහුඹුවකුට හෝ හිංසා කිරීම, පරපණ නැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. ගහට කොළට, පරිසරයට හානි සිදුකිරීම වරදක් බව පෙන්වා දුන්හ. උපසම්පදා විනයෙහි භික්ෂූන් වහන්සේට තණ කොළ ගසක් ගැළවීම තබා ගසක පත්‍රයක් හෝ කඩා දැමීම ඇවතක් වන බව දේශනා කළහ.
එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක් ජන සමාජයට හඳුන්වා දුන්නේ එතරම් අවිහිංසාවාදී දහමකි.
දෙවන පෑතිස් රජු මිහිඳු මාහිමියන් සම්මුඛ වූ මොහොතේ ම දුනුදිය බිම දැමුවේ ය. ඒ අවිහිංසා වාදය පිළිබඳ පළමු සංකේතාත්මක නිරූපණයයි. අවිහිංසාවාදය ගරු කරන බවට පරපණ නැසීම වරදක් ලෙස දකින සියලු සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන බවට පොරොන්දු වීමයි.
සියලු සත්වයෝ දඬුවමට බිය වෙති. තැති ගනිති. ජීවිතයට පි‍්‍රයවෙති. තමා උපමාකොට කිසිදු සත්වයකුගේ ප්‍රාණය නිරුද්ධ නොකරන්න යන උතුම් සම්බුදු වදන ජන සමාජයෙහි එදා සිට මුල් බැස ගත්තේ ය. රජුගේ සිට ගම් දනව් වැසි ජනයා පරපණ නැසීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය ආරක්ෂා කිරීමට පටන් ගත්හ.
මිහිඳු මා හිමියන් ජන සමාජයට හඳුන්වා දුන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, විමාන වත්ථු, පේත වත්ථු, දේවතා සංයුක්තය, අතමතග්ග සංයුක්ත, බාල පණ්ඩිත සූත්‍රය ශ්‍රවණය කොට ජන ජීවිතය දැහැමි මාවතකට අවතීර්ණ විය.
උත්ථිය රජ දවස පිරිනිවන් පානාතුරුම උන්වහන්සේ මේ රටේ වැසියන්ට ධර්ම ප්‍රතිපදා මාර්ගය පෙන්වා දුන්හ. දාන, ශීලමය පින්කම් පිළිබඳව දේශනා කොට වදාළහ. භාවනාවෙන් ලැබෙන මහඟු ප්‍රතිඵල පෙන්වා දුන්හ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ වඩමින් විශේෂයෙන් මෛත්‍රී භාවනාව වැඩීමෙ විශේෂත්වය පෙන්වා දුන්හ.
සියලු ලෝ සත වෙත මෛත්‍රී චිත්තය වැඩීමෙන් ලද හැකි අපමණ සැනසුම පෙන්වා වදාළහ. ද්වේෂයෙන්, තරහවෙන් වෛරී සිතිවිල්ලෙන් චිත්ත සන්තානය ගිනි ගොඩක් කරගත්, අපිරිසුදු කරගත් මිනිසුන්ට ඒ දැවෙන සිතිවිලි දුරලා මෙත් සිසිලසින් නිවී සැනසීමේ මඟ කියා දුන්හ. මෛත්‍රී භාවනාව හඳුන්වා දෙමින් ද්වේශ සහගත හැඟීම් පාලනය කරගන්නා අයුරුත්, සියලු සත වෙත මෙත් සිත වඩන අයුරුත් උගන්වා වදාළහ. මෛත්‍රිය භාවනාවක් ලෙස වැඩීමේදී සමස්ත පරිසරයට එම සිතිවිලි ධාරවන් විහිදී පැතිරී සොබාදහම තැන්පත් විය. එහෙත් මිහිඳු හිමියන් පෙන්වා දුන් මෛත්‍රී චින්තනය අද බොහෝ දෙනාගෙන් ගිලිහී යන බවක් පෙනේ. මානව සමාජය ඔවුනොවුන්ට වෛර කරන ආකාරයක් අපි දකිමු. සොබා දහමට මුදා හරින ද්වේෂ සහගත සිතිවිලි නිසා සමස්ත ස්වභාව ධර්මයම කැළඹී ඇති ආකාරය විද්‍යාමානය. ජල ගැලීම්, නාය යාම්, වසංගත රෝග පීඩාදිය, අකල් මරණවලට මිනිසාට වැඩි වශයෙන් මුහුණ දෙන්නට සිදුව තිබේ.
මිහිඳු මහරහතන් වහන්සේ කල් ඇතිවම මෛත්‍රී සහගත උදාර සංකල්පයන් දේශනා කොට වදාළේ මෙවැනි අයහපත් තත්ත්වයන්ගෙන් මෙරට ජනතාව මුදා ගැනීමටය. එහෙත් පසුකාලීනව ඇති වූ විදේශ ආක්‍රමණ නිසා වූ බලපෑම් සමඟ අපේ සමාජයෙන් එම ගුණධර්ම ටිකෙන් ටික දුරස්වීම ඇරඹුණි. ජන සමාජය ඇතැමෙක් තරගයට, නිලයට, ධනයට, බලයට මුල් තැන ලබා දෙති. මේ පොසොන් සමයේ මිහිඳු මාහිමියන් වෙනුවෙන් කරන උතුම් පූජාවක් ලෙස අපට කළ යුතු හැකි පහසුම කාර්යය වන්නේ සියලු සතුන්ට හිතානුකම්පි වීමය.
කාලයක් තිස්සේ අප මෛත්‍රී භාවනාව ලෙස පුරුදු පුහුණු කර තිබෙන්නේ කරුණා භාවනාවයි. මම නිදුක් වෙම්වා, නිරෝගි වේම්වා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්වා, නිවන් ලබම්වා, යනුවෙන් අරඹා සියලු සත්ත්වයන් වෙත කරුණා පැතිරවීමය. එහෙත් සූත්‍රාගත දේශනාවන්ට අනුව මෛත්‍රී භාවනාව වැඩිය යුතු යම් පිළිවෙළක් තිබේ. මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා, මම සුවසේ ජීවත් වෙම්වා, මම ශාන්ත සුවයට පත්වෙම්වා ආදී ලෙස පළමුව තමන් ගැන ද, අනතුරුව නිවසේ සියල්ලෝ ද, ගමෙහි වෙසෙන සියල්ලෝ ද නගරයෙහි වෙසෙන්නෝ ද, මුළු රටෙහි වෙසෙන්නෝ ද ලෝකවාසී සත්වයෝ ද, උතුරු දිශාවේ සිටින සත්වයෝද, උතුරු අනුදිශාවේ සිටින සත්වයෝ ද, නැගෙනහිර දිශාවේ සිටින සත්වයෝද, නැගෙනහිර අනු දිශාවේ සිටින සත්වයෝ ද දකුණු දිශාවේ සිටින සත්වයෝ ද, දකුණු අනු දිශාවේ සිටින සත්වයෝද, බටහිර දිශාවේ සිටින සත්වයෝද, බටහිර අනු දිශාවේ සිටින සත්වයෝද, යට දිශාවේ සිටින සත්වයෝද උඩ දිශාවේ සිටින සත්වයෝද, දස දිශාවේම සිටින සියලු සත්වයෝ ද වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා යනුවෙන් දීර්ඝ ලෙස මෙත් සිත වැඩිය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙත්තානිශංස සූත්‍රයේ දී දේශනාකොට වදාළේ මෛත්‍රී සිතිවිලි වඩන්නා සුවසේ නින්දට යන බවය. සුවසේ අවදිවන බවය. නරක සිහින නොදකින බවය. මනුෂ්‍යයන්ට ද. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වන බවය. දෙවියන් ආරක්ෂා කරන බවය. වස, විස, ගිනි අව් ආයුධවලින් හානියක් නොවන බවය, මුහුණ පැහැපත් වන බවය. වහා සිත එකඟ වන බවය. මරණයේ දී විකල් වූ සිහියක් ඇති නොවන බවය. මරණින් මතු සුගතියෙහි උපත ලබන බවය.
මේ පොසොන් සමයේ පමණක් නොව ජීවත්වනතුරු මිහිඳු මා හිමියන් අපට හඳුන්වා දුන් උතුම් දහම් මඟ ගමන් කරමින් සියලු සතුන්ට හිතානුකම්පී වෙමින්, පුණ්‍ය ධර්මයන් රැස් කරමින් මෙලොව ජීවිතය ද, පරලොව ජීවිතයද යහපත් කර ගනිමු.
පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 08 වන බ‍්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment