Labels

Monday, June 12, 2017

ශීලය සැබැවින්ම කුමක්‌ උදෙසාද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 'සතර අපායෙන් මිදෙමු' - 27 කොටස

ශීලය කියන්නේ බොහෝම ආකර්ෂණීය දෙයක්‌. සිතූ සිතූ සම්පත් ලැබෙන දෙයක්‌. එය ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකය.

නමුත් ශීලය තුළින් ඇති වන හික්‌මීමක්‌ තිබෙනවා. ඒ හික්‌මීම පෝෂණය වෙලා තිබෙන්නේ නෙක්‌ඛම්මය තුළින්. මේ නෙක්‌ඛම්ම සිත විසින්, ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසා දායක පිරිස්‌වලින් ලැබෙන සිව්පසය විනයානුකූලව පාලනයට යටත්කර ගන්නවා. එම හික්‌මීම නිසාම භික්‍ෂුන් දක්‍ෂවෙනවා ශීලය, සමාධිය උදෙසාම තමා තුළින් පෙළගස්‌වා ගැනීමට. එම දක්‍ෂභාවය නැතිකෙනා ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකයන් ලැබෙනවිට ශීලය නිසාම ශීලයෙන් පිරිහෙනවා.
ශීලයේ උතුම් හරයන් ආරක්‍ෂාකරගෙන ජීවත්වෙන ගෞරවණීය ස්‌වාමීන්වහන්සේලා පන්සල ආරණ්‍යය භේදයකින් තොරව අප්‍රමාණ සංඛ්‍යාවක්‌ මේ පින්බිමේ වැඩසිටිනවා. එය අපි කාටත් සැනසීමක්‌. ශීලයෙන් පරිපූර්ණ භික්‍ෂුව දක්‍ෂවෙන්න ඕනේ. මුළු ලෝකයම තමාට ලැබුණත් තමාගේ ප්‍රමාණය මොකක්‌ද කියලා දැනගන්න. අපගේ ප්‍රමාණය තමයි සතර රියන ප්‍රමාණය. මේ මොහොතේ භික්‍ෂුව වැඩසිටින පැදුරේ ප්‍රමාණය මගේ ප්‍රමාණය කියලයි භික්‍ෂුව සිතන්නේ. සුඛෝපභෝගී භාවයන් අපට ලැබෙන්නේ පින නිසා. ජීවිතය තුළින් රකින ශීලයේ ආනිසංස නිසා. කොටින්ම මේවා සංස්‌කාර. සංස්‌කාරවල ස්‌වභාවය අනිත්‍යයි. අනිත්‍යවන දේවල් අපිට ලැබෙනවිට අපි ඒවාට බැඳුණොත් දුකටයි අපි බැඳෙන්නේ.

පින්වත් ඔබ මෙහෙම සිතන්න පුළුවන්. ලෝකයාගෙන් ලැබෙන සුඛෝපභෝගී බව අපි පරිහරණය කළාට අපි මේවාට ඇලෙන්නේ නැහැනේ කියලා. අවංකවම ඔබ නොඇලෙන කෙනෙක්‌ වෙන්න පුළුවන්. ඔබ එවැනි සුවිශේෂී පුද්ගලයෙක්‌ නම් ඔබ ධර්මයට පරමාදර්ශී පුද්ගලයෙක්‌ වෙන්න ඕනේ. එවැනි පරමාදර්ශී පුද්ගලයෙක්‌ කවදාකවත් තමා ප්‍රමාදයට පත්නොවුණොත්, තමා අනුගමනය කිරීමෙන් අනුන්ද ප්‍රමාදයට පත්වේය යන්න සිතමින් ඉන් බැහැර වෙනවා. මෙතැනදී තමන්ගේ පහසු විවහරණයත් අන්‍යයන් කෙරෙහි ආදර්ශවත් භාවයත් දෙකම සිදුවෙනවා. මහාකශ්‍යප මහරහතන් වහන්සේ ගතකළ උතුම් චර්යාවන් තුළින් ඉහත ආදර්ශයන් අපේ ජීවිතවලට හොඳින් ගළපාගන්න පුළුවන්. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා මහාකාශ්‍යප මහරහතන් වහන්සේවම ආදර්ශයට ගන්න කියලා. 

ශාසනික පිරිහීම් මැද ධර්ම විනය දෙක දරාගෙන සිටින්නාටමයි මහා සංඝරත්නය කියන්නේ. මන්ද උන්වහන්සේලා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඉක්‌මවා යන්නේ නැහැ. ලෝකයා කෙරෙහි හුදු කරුණාව, අනුකම්පාව, මෛත්‍රිය හේතුවෙන් බුදුරජාණන් වහන්සේ දේශණාකර වදාළ ධර්ම විනය මාර්ගයෙන් බැහැරට යනවානම් ඒ මොහොතේදීම අපි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අභියෝගයට ලක්‌ කරනවා. 

අපි අනුකම්පාව වශයෙන් දකින්නේ මෝහය මුසු අනුකම්පාව. ඉන් කෙරෙන්නේ පුද්ගලයා දුකට ඇද දැමීමක්‌මයි. බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාව සත්වයා දුකෙන් බැහැරට ගැනීමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ මහාකරුණාව නිසාම වැරදි කරන්නා එක වරම ප්‍රතික්‌ෂේප කරන්නේ නැහැ. විනය කාරණා තුළින් නැවත නැවත පිරිසිදු භාවයට පත්වෙන්න අවස්‌ථාව ලබාදෙනවා. වැරදි කරන ස්‌වභාවයෙන් යුත් සිතකුයි අපි වැරදි නොකරන ස්‌වභාවයකට පත්කරගන්න උත්සාහ ගන්නේ. එතැනදී වැරදි ස්‌වභාවිකයි. නමුත් වැරැද්ද වැරැද්ද වශයෙන් දකිමින් නිවැරදිවීමට අවශ්‍ය උවමනාව අප තුළ තිබිය යුතුයි. 

ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව වන විශාඛා උපාසිකාවගේ හෙළිකිරීම් නිසා භික්‍ෂු, භික්‍ෂුණීන්ට විනය කාරණා කීපයක්‌aම බුදුරජාණන් වහන්සේ පනවා තිබෙනවා. මේ හෙළිකිරීම් ඇය සිදුකළේ ශාසනය කෙරෙහි සැබෑම ගරුත්වය නිසා. මේ සියල්ල තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව සකස්‌වුන සන්තානවල ලක්‍ෂණයක්‌මයි. 

මේ ලෝකයෙන් ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්පූර්ණයෙන්ම අතුරුදහන්ව යන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගත් අවසාන උපසම්පදා ස්‌වාමීන්වහන්සේ අපවත්වන මොහොතේයි. ඉන් පසු ලෝකයේ ඇත්තේ ශීලය ප්‍රතික්‌ෂේප කළ අර්ථයෙන් ගිලිහුණු බුදුදහමකි. සැබෑ ධර්මය අතුරුදන්ව ගොස්‌ය. චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන දුක වෙනුවට 'ලෝකය සැපය, එම සැප සුවසේ විඳින්න. තරගකාරී ලෝකයේ ඔබත් හොඳ තරගකරුවකු වන්න. අවසානයේ මැරිලා නිවන් දකින්න' කියන ධර්මයක්‌ එවිට ඔබට ඇසෙනු ඇත. අපි මේ ගාට ගාට යන්නේ ඔය තැනටය. අතීත සම්මා සම්බුද්ධ ශාසන දහස්‌ ගණනක්‌ අතුරුදහන් කරවීමට අපිත් හවුල් වෙලා ඇති. ඒත් මේ ගෞතම සම්මා සමුබුද්ධ ශාසනයට එක දිනයක්‌ හෝ වැඩිපුර ආයුෂ ලබාදීමට මම සිල්වත් වෙනවාය කියන අධිෂ්ඨානය අපි එකිනෙකා ඇතිකරගතහොත් ඒ කුසලයෙන්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවට ඔබ සමීපවෙනු ඇත. තුන් ලෝකයටම අමිහිරි පණිවිඩයක්‌ වන 'ශාසන අතුරුදන්වීම' තව තවත් ඈතට තල්ලූකරදමමින් උතුම් සිල්වත් ජීවිත ගතකරන උපසම්පදා ස්‌වාමීන් වහන්සේලා දහස්‌ ගණනක්‌ මේ මොහොතේ මේ උතුම් දේශයේත් ලෝකය තුළත් වැඩසිටිනවා. මෙතැනින්මයි ශාසනයේ අර්ථය සුරැකිව පවතින්නේ. 

ගිහි පින්වත් මහත්මයෙක්‌ භික්‍ෂුවකගෙන් විමසුවා හාමුදුරුවනේ ශීලයෙන් තොරව ධර්මය දැකීමේ හෝ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තිබෙනවා ද කියල. යම් පින්වතෙක්‌ ප්‍රකාශ කරනවානම් ශීලයෙන් තොරව ධර්මය දැකීමේ හැකියාවක්‌ තිබෙනවාය කියල එය මිත්‍යාදෘෂ්ටියක්‌. ඔහු හෝ ඇය නිවන් මාර්ගය වන ආර්යඅශ්ඨාංගික මාර්ගයයි ඒ ප්‍රතික්‌ෂේප කරන්නේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රතික්‌ෂේප කළ සැනින් ඔහු හෝ ඇය බුදුරජාණන් වහන්සේත්, උන්වහන්සේ දේශනා කර වදාළ ධර්මයත් යන දෙකම ප්‍රතික්‍ෂේප කරනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේදී කාරණා 3 ක්‌ම උතුම් ශීලය උදෙසා බුදුරජාණන් වහන්නසේ දේශනා කරනවා. ඒ කාරණා නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග තුනයි. මේ තුනෙන් තොරව ආර්ය අෂ්ඨාංගික මාර්ගයක්‌ නැහැ. ශීලය තුළින්මයි සමාධිමත් සිතක්‌ සකස්‌කර දෙන්නේ. සමාධිමත් සිතමයි ඔබව ප්‍රඥාව දෙසට යොමුකරන්නේ. 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින කාලයේදී එක්‌ ගාථාවක්‌ ඇසූ පමණින් ධර්මය අවබෝධකරගත් උතුමන් සිටියා. ඒ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයම ඉලක්‌කකර පැමිණි උතුමන්. ඒ අය තම අතීත භවයන්හිදී ශීලය සම්පූර්ණ කරගෙනයි පැමිණ තිබුණේ. වර්තමානයේදී අපි එහෙම නොවෙයි. අතීත භවයන්හිදී වීර්යය මදභාවය නිසාම, ලෞකික සැපයන් උදෙසාමයි ශීලය ආරක්‍ෂාකරගෙන තිබෙන්නේ. ඒ නිසා ඒවා කුසල් සංස්‌කාර හැටියට විපාක දීලා අවසන් වෙලා. එම නිසා වෙනත් අර්ථයන් තුළින් නෙමෙයි, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ශීලයත් තුළින්මයි ඔබ නිවීමේ මාර්ගය අර්ථවත් කරගත යුත්තේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥාව වැඩීම උදෙසාම ගැනෙන සම්මා සංකප්ප අංගය පෝෂණය වන්නේද, වැඩෙන්නේද, ශීලය තුළින්මය. ශීලයෙන් තොරව අව්‍යාපාද, අවිහිංසා, නෙක්‌ඛම්ම සංකප්පයක්‌ ගැන සිතීම විහිළුවකි. මේ නෙක්‌ඛම්ම සිතමයි, පිංවත් ඔබට අතීත ශීලයන්ගේ ශක්‌තිය, අනිත්‍ය බව අවබෝධකර දෙන්නේ. 

ශීලය නැමැති සංස්‌කාර ධර්මයේ අනිත්‍යභාවය අවබෝධ කරගැනීමට පිංවත් ඔබට මේ මොහොතේ උපකාර වන්නේද ශීලයයි. මේ උතුම් ශීලය තුළින්මයි ශීලයේද අනිත්‍යභාවය ඔබට පසක්‌ කරදෙන නෙක්‌ඛම්ම සිත සකස්‌වෙන්නේ. ඒ නිසාම ශීලය කියන කාරණය, දස කුසල් කියන කාරණය දක්‌වාම ඉදිරියට ගෙනයැමට පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඕනේ. ශීලයෙන් තොරව ලබන සමාධිය මිච්ජා සමාධියක්‌මයි. එය ඔබව ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර කරනවා. ශීලය තුළින් විකසිතවූ සම්මා සමාධියමයි නිවීමේ මාර්ගයේ අර්ථය වෙන්නේ. 


2013 මාර්තු 31  වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment