කෙනෙකු සන්තකයේ මහා ඉහළින් උපභෝග පරිභෝග සම්පත් පිටාර ගලමින් තිබුණ ද සමහරක් අය විශේෂයෙන් තමන් දන්නා හඳුනන අනෙකා ළඟ පවතින කුඩා දෙයට ආශා කරති. කෙසේ හෝ තමන් සතු කර ගැනීමට රෑ දවල් කල්පනා කරති. පංචකාම සම්පත්තීන් නිරතුරුවම ලැබූවද අනෙකාගේ කුඩා දෙය පතමින් සිත ව්‍යාකූල කර ගනිති.
මහින්දාගමනය තුළින් ලාංකේය ජනතාවට ලැබුණු එක් උත්තුංග ජීවන ඵලයකි, අල්පේච්ඡතා දර්ශනය. තරගකාරී පාරිභෝගික රටාවෙන් ඉවත්ව ස්වභාවික, ප්‍රතිසංස්කරණය කළ නොහැකි සම්පත් සුරකිමින් අත්‍යවශ්‍ය මූලික සම්පත් පරිහරණය බුද්ධිමත්ව සිදුකරන ආකාරය අවබෝධයට අල්පේච්ඡතා ධර්මයෙන් ලැබෙන පිටිවහල අමිලය. අවුරුදු දෙදහස් තුන්සියයකටත් වඩා ඈත කාලයේ දී අපට ලැබුණු ඒ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පිළිබඳ නැවත අප අවධානය යොමු කිරීම පෙර දිනට වඩා අද දවස ඉතා වැදගත් බව පැහැදිලි වෙයි.
බුදුදහමෙහි සාකච්ඡා වන ආකාරයට ‘ඉච්ඡාව‘ හෙවත් ආශාව සතරාකාරයකි.උදාහරණයක් වශයෙන් ‘පරමත්ථජොතිකා නාම බුද්දකපාඨට්ඨකථා’ හි
අත්‍රිච්ඡතා
පාපිච්ඡතා
මහිච්ඡතා සහ
අප්පිච්ඡතා යනුවෙන් මෙත්තසුත්ත වණ්නාවෙහි සඳහන් කර ඇත.
පාපිච්ඡතා
මහිච්ඡතා සහ
අප්පිච්ඡතා යනුවෙන් මෙත්තසුත්ත වණ්නාවෙහි සඳහන් කර ඇත.
මෙහි මුලින් දක්වා ඇති ඉච්ඡතා තුනම අප්පිච්ඡතාවට ප්‍රතිවිරුද්ධ වෙයි. තමන්ට කොතරම් දේ ලැබුණත් අනෙකාට ලැබෙන කුඩා දේ පිළිබඳත් කෙනෙකු ආශා ඇති කර ගැනීම අත්‍රිච්ඡතාවයි. කෙනෙකු සන්තකයේ මහා ඉහළින් උපභෝග පරිභෝග සම්පත් පිටාර ගලමින් තිබුණ ද සමහරක් අය විශේෂයෙන් තමන් දන්නා හඳුනන අනෙකා ළඟ පවතින කුඩා දෙයට ආශා කරයි. කෙසේ හෝ තමන් සතු කර ගැනීමට රෑ දවල් කල්පනා කරයි. ඔහු පංචකාම සම්පත්තීන් නිරතුරුවම ලැබූවද අනෙකාගේ කුඩා දෙය පතමින් සිත ව්‍යාකූල කර ගනියි. ඔහුගේ අතෘප්තිය දින දින වැඩීමෙන් අසහනයට පත් වෙයි. පාපිච්ඡතා ගතිගුණ ඇති තැනැත්තා අල්පේච්ඡතා ඇති තැනැත්තාට ඉඳුරාම වෙනස් චරිතයකි. කෙනෙකු තුළ නැති ගුණ ධර්ම ප්‍රදර්ශනය කරමින් නැති හැකියාවන් තුළින් යම් ලාභයක් හෝ කීර්තියක් ප්‍රශංසාවක් අත් කර ගැනීමට උත්සාහ කරන්නකි.
මහිච්ඡතාව යනු බහුල ආශාවයි. ඕනෑම පරිභෝජනයක දී එයට ඉමහත් ගිජු බවකින් ඇලෙයි. අන්‍යයන් පරයා කැපී පෙනීමේ ආශාවකින් පෙළේ. වාහනයක් ගත්තද, ගෙදර පරිභෝජනය සඳහා යමක් ගත්තද වෙනත් කෙනෙකුගේ එකකට වඩා උසස් යයි පිළිගැනීමක් ඔහුට අවශ්‍ය වෙයි. එම තරඟකාරී ආශාවට මැදිහත් වූ ඔහුට විවේකයක් නැත. තෘප්තිය ද නැත. ඉච්ඡාභංගත්වයට අසහනකාරී මානසිකත්වයකට මුහුණ පෑමට සිදුවෙයි.
අත්‍රිච්ඡතා පාපිච්ඡතා සහ මහිච්ඡතා වෙන් පෙළෙන මනුෂ්‍යයා කිසිවිටෙක තම ආශාවන් යම් පමණකට හෝ තෘප්තිමත් කර නොගනියි. ඔහු ආශාවන් තෘප්තිකරණයේ දී සාධාරණය අසාධාරණය, යුක්තිය අයුක්තිය, ධර්මය අධර්මය නොසළකා හරියි. ඔහු එම තෘෂ්ණාවෙහි ම වහළෙක් බවට පත් වේ.
අප්පිච්ඡතා හෙවත් අල්පේච්ඡතා යනු අල්ප ඉච්ඡතාව හෙවත් මද ආශාවයි. සිංහල භාෂාවෙන් අපිස්බව යැයි දැක්වෙන්නේ ද මෙයමැයි. අප්පිච්ඡතා සංකල්පය තුළ සරල හා චාම් ජීවන ප්‍රතිපදාව ගොඩනඟා ගත හැකිය. ඒ තුළින් අප්පිච්ඡතා සන්තුට්ඨිය ඇති කර ගත හැකිය. අල්පේච්ඡතා ධර්මයෙහි පැහැදිලිව දැකිය හැකි ලක්ෂණ වශයෙන් මඳක් ආශා ඇති බව, පහසුවෙන් තෘප්තිමත්වීම, ලද දෙයින් සතුටුවීම, නිහතමානීබව ආදිය දැක්විය හැකියි. සංයුක්ත නිකායේ අරඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට අපිස්බවින් යුතු පුද්ගලයා ඉකුත් වූ අතීතය පිළිබඳ ශෝක නොකරයි. නොපැමිණි අනාගතය පිළිබඳ අනවශ්‍ය අපේක්ෂා නොමැත. වර්තමානයේ සතුටින් දිවි ගෙවයි.
ආර්ය මාර්ගයේ ගමන් කරන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා කවරෙකුට වුව මෙම අපිස්බව අනුගමනය කළ යුතුම සුචරිත ධර්මයකි. අපිස්බවින් තොර ජීවිතය ජීවන ගැටලු රැසකට මඟ පාදයි. එබැවින් බුදුරජාණන් වහන්සේ සංඝ සංස්ථාව ගොඩනැගීමේ දී පළමුවෙන්ම මූලික අවශ්‍යතා සපයා ගැනීමේදී එහි අරමුණු අපිස්බව සමඟ මුසු කොට හඳුන්වා දෙන ලදහ. භික්ෂූන් වහන්සේලා සිවුරු පරිහරණය කරන්නේ විලිවසා ගැනීම, අව්වැසි සුළං ආදියෙන් සහ ශීතෝෂ්ණාදියෙන් සිදුවන අවහිරතාවලින් ආරක්ෂාවීම ආදිය පිණිසයි. ශරීරයට හෝ පුද්ගලයාට අමුතු වටිනාකමක් දීමට නොවේ. පුද්ගලයාගේ වත්කම් කියාපෑමට නොවේ. සමාජ තත්ත්වයක් ඇති කරලීමට නොවේ. භික්ෂුව ආහාර පරිභෝජනය කරනුයේ බඩගිනි පීඩාදියෙන් වැළකී ශරීරයේ පැවැත්ම සහතික කර ගැනීම පිණිසයි. ශරීරය පැහැපත් වීමට නොවේ. ශරීරය අලංකාර කර ගැනීමට නොවේ. ශරීරය පිනවීමට ශක්තිමත් කර ගැනීමට නොවේ. භික්ෂුව වඩා හොඳ ආහාර සොයා නොයයි. ගෙපිළිවෙළින් සිඟා යන ඔහුගේ පාත්‍රයට ලුණු ඇතිව හෝ නැතිව හෝ වැටෙනුයේ කවරක් ද එය වැළඳීම සිරිතයි. එය අපිස්බවේ සළකුණයි. භික්ෂුව අව්වැසි සුළං ආදී දේශගුණික තත්ත්වයන්ගෙන් ආරක්ෂා වී සත්‍යෙක්ෂණය සඳහා බවුන් වැඩීමට සුදුසු ආරාමීය පරිසරයක් ගොඩනඟා ගැනීම සෙනසුන් ඇති කරගැනීමෙන් බලාපොරොත්තු වෙයි. ඉන් එහා ගිය වෙහෙස කර නඩත්තු කටයුතු ඇති සුඛෝපභෝගී නිවහන් ආරාම වශයෙන් ගොඩනඟා ගැනීම කිසිදු විටෙක අදහස් නොකළහ.
සංඝ සමාජයට අදාළ කරගත් මෙම අපිස්බව ගිහි සමාජයට ද අදාළ කර ගැනීමට බාධාවක් නොමැත. දේපළ පරිහරණ යේ හෝ වේවා ආහාර පරිභෝජනයේ හෝ වේවා තරඟකාරී බවකින් තොරව අවශ්‍යතාව පදනම් කරගෙන පරිභෝජනයට හුරුවන්නේ නම් අපිස්බව ඇති කර ගත හැකියි. අපිස්බව තහවුරු කර ගැනීමට තවදුරටත් කරණීයමෙත්ත සූත්‍රයේ දැක්වෙන ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළ හැකි බව, කාර්ය බහුල නොවීම, සැහැල්ලු දිවිපැවැත්ම සහ දමනය වූ ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත වීම යන ගුණාංග ජීවිතයට ළංකර ගත හැකිය.
නමුත් අද සමාජය තුළ ලිය ලා වැඩෙමින් පවතිනුයේ මහිච්ඡතාවයෙහි මල්ඵලයි. නිෂ්පාදන ක්‍රමය තුළ බැඳී ඇති සමාජය මිල ක්‍රමය තුළින් සංතුෂ්ඨිය වැළඳ ගැනීමට තණ්හාධික මිනිසා උත්සාහ කරයි. එහෙත් පොරොත්තු ඉලක්ක කරා ළංවීමට නොහැකිව කාංසාව විෂාදය වැනි විවිධ මනෝව්‍යාධීන්හි ගොදුරු බවට මිනිසා පත්ව ඇත. අධාර්මිකත්වයෙන් යුතුව ඊර්ෂ්‍යාකාරීව ඔවුහු විවිධ පීඩා විඳිති. අපිස්බවේ සහනශීලීතාව භුක්තිවිඳීමට ඔවුහු හිමිකම් නොකියති. තණ්හාව සුවකළ නොහැකි ව්‍යාධියක් බව තේරුම් ගත යුතුය. සුප්‍රසිද්ධ සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයෙකු වන සොරෙන් කියකේගාඩ් පවසනුයේ මිනිසා යනු කැරට් අලය පසු පස හඹා යන අශ්වයෙකු බඳුය. කිසි දිනෙක ඌට කැරට් අලය අල්වා ගත නොහැකි වෙයි. ඉතිරි වනුයේ වෙහෙසවීම පමණකි. එසේම ආශා පසු පස හඹා යන මහිච්ඡතා මිනිසාට ද ඉතිරි වනුයේ අතෘප්තිමත් වූ ආශා සමග වෙහෙස පමණි. එබැවින් අල්පේච්ඡතාව සමඟ ඇති සහනශීලීතාව සැනසීම භුක්තිවිඳීමට මෙම පොසොන් සමයේ සිට අදිටන් කර ගැනීම මිහිඳු හිමියන් දෙසූ දහමට නැවත අනුගතවීමකි.
කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
ආචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 08 වන බ‍්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment