දහම වරදවා තේරුම් ගත් සමහර අය මරණාසන්න මොහොත ගැන විවිධ අදහස් දරති. මේ අතරින් සමහර අදහස් සමාජ ජීවිතයේ පොදු විශ්වාස තුළින් ගොඩනඟාගත් ඒවාය. ඇතැම් මතිමතාන්තර පසුකාලීන ලේඛකයන් මෙන්ම අටුවාචාරීන් සඳහන් කළ කරුණු අනුසාරයෙන් ගොඩනගා ගත් විශ්වාසයන්ය. සූත්‍රධර්මවල ඇතැම් කොටස් තේරුම් බේරුම් කරගැනීමට අටුවාව මහෝපකාරී වේ. ඒ අතින් උන්වහන්සේලා සිදුකළ සේවාවන් විවේචනයට හෝ විමර්ශනයට අපට කිසිදු අයිතියක් නොමැත. එහෙත් සූත්‍ර ධර්මවල සඳහන් නොවන කරුණු ඇත්නම් අප ඒවා පසුකාලීන අදහස් ලෙස පිළිගතයුතු ය. බෞද්ධ කතා සාහිත්‍යය දෙස බලන විට වර්තමානයේ වුවද එකම කතාව දේශකයින් වහන්සේ තුන් හතර ආකාරයකට සඳහන් කිරීමෙන්ම අපට සූත්‍ර ධර්ම අනුව ධර්මය පැහැදිලි කර ගැනීමේ වැදගත්කම තේරුම් ගත හැකිය. ඒ හැරුණු විට සමාජගත සාම්ප්‍රදායික විශ්වාස නම් බැහැර කළ යුතුමය.
යහපත් ගුණවත් අයෙකු මරණාසන්න මොහොතේ හැසිරෙන අන්දමත් පාපි අසත් පුරුෂයෙකු අවසාන අවස්ථාවේ හැසිරෙන අන්දමත් අතර වෙනසක් දැකිය හැකිද? පිළිතුර නැත යන්නයි. එහි සත්‍යය අසත්‍යය බව සමාජයේ ඔබ දැක ඇති සිද්ධීන් තුළින් ඔබට ම තීරණය කළ හැක.
සීල ගුණෝපිත ජීවිත ගතකළ ඇතැම් උතුමන් අතිශය දුක්ඛ වේදනාවන්ට මුහුණ දෙමින් හුස්ම හෙළන අන්දම ඔබ කොතෙකුත් දැක ඇත. එමෙන්ම පාපි ජීවිත ගෙවූ ඇතැම් අයෙක් කිසිදු රෝග පීඩාවක් වියවුලක් නොමැතිව සන්සුන්ව මරණයට පත් වූ අන්දමද ඔබට අමුතු අත්දැකීමක් නොවේ. මේ දෙ කොටසටම අයත් වූවන් වෙනසක් නොමැතිව මරණයට මුහුණ දුන් බව අපි දනිමු. එහෙත් සමාජයේ බොහෝ දෙනා මේ කරුණ දකින්නේ වෙනස් ස්වරූපයකිනි. ඔවුන්ගේ අදහස්වලට අනුව පවසන්නේ කෙනෙකු හඬමින්, කෑගසමින් විලාප නගන්නේ මෙලොව කළ පාප කර්මවල විපාක වශයෙන් ගති නිමිති පහළ වී අපාය දකින නිසාය. දිනක් මාධ්‍යය දෙසුමකින් මෙසේ පැවසිණි.
‘පින්වතුනි, ඒ අම්මා හතර පොහොය සිල්ගත් කෙනෙක්. අවසාන මොහොතේ මං ඇයට බණ ටිකක් කියන්න ගියා. පිරිත් දේශනාව කරන වේලෙ ඇය ඉල්ලුවෙම මල්. එහෙම මල් ඉල්ලමින් සිටි ඇය දෙනෙත් පියා ගත්තා. මං දරුවන්ට කිව්වෙ දැක්කද අම්ම මෙ ලොව දී කරගත්තු පින්වල ආනිසංස, අපට පෙන්නුම් කරපු හැටි. අම්මා ඒකාන්තයෙන්ම සුගතියකටමයි ගියේ........’
මේ අදහස් ස්වාමීන් වහන්සේ සතුයි. උන්වහන්සේ දෙසූ අදහස් බොරු හෝ ඇත්ත යයි මම නොකියමි. ඒත් මේ හා සමාන සද් ගුණවත් අයෙකු හඬමින් දොඩමින් මිය ගියහොත් අප ඔහු දුගතියට ගිය බවක් කෙසේ කියමුද? තමන් දන්න මහජනයාගේ බහුමානයට ලක් වූ සීලවන්ත ගුණවන්ත උතුමෙකු දුක් වේදනාවෙන් පීඩිතව ඇතැම් විට සිහි විකල්ව මියගියහොත් සැදැහැතියෝ කුමක් කියත්ද?
‘අපරාධෙ කියන්න බැහැ. අනේ මේ උත්තමයා අප දන්නා කියන කාලයක නම් වරදක් ඇවැතක් සිද්ධ කරල නැහැ. ඒත් මොනව කරන්නද? කරුමෙ පඩිසන් දෙන්නෙ ඔහොමතමයි. පෙර ආත්මයෙ කරපු කර්මයක් තමයි මේ විපාක දීල තියෙන්නෙ.....’
මෙවැනි අදහස් පවසනවා මිස බුදු සමිඳුන් වදාළ දහමට අනුව යමක් සිතීමට තරම් හැකියාවක් ඔවුනට නොමැත. අසාධ්‍යය රෝග අතර පිළිකා, අංශභාගය වැනි රෝග පීඩා කාලයක් තිස්සේ දුක් වේදනා විඳීමට හේතුවන සුළුය. තායිලන්තයේ වැඩහුන් අජාන් චා හිමි වසර කිහිපයක්ම එක් තැන්ව රෝග පීඩාවෙන් දුක් විඳ අපවත් වූහ. ඕලන්ද ජාතික අය්‍යා ඛේමා සිල් මව්තුමිය අපවත් වූයේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටින අතරතුරය. බුන්දල වැඩ සිටි ඤාණවීර හිමියන්ගේ අපවත්වීමට මුල් වූයේ සර්පයෙකු දෂ්ට කිරීමයි. මේ උතුමන් වහන්සේලා සම්මා සම්බුද්ධ ශාසනයට සිදුකළ අමිල මෙහෙවර ගැන සිතන විට අවසාන කාලයේ කායික දුක් පීඩාවලට බඳුන් වුවත් උන්වහන්සේලා දුගතියක උපදිතැයි කෙසේ නම් කියමුද?
මෙවැනි සිදු විය හැකි සිදුවීමක් අරබයා සිල්වත් ගුණවත් උතුමෙකුගේ අවසාන කාලයේ හැසිරීම මුල් කරගෙන නිරයගාමි වෙතැයි කිවහොත් එය කෙසේ නම් බුදු දහමට එකඟවේද? මේ ගැටලුව මුල් කරගෙන සමාජයේ ඇතැම් අය විවිධ අදහස් පළ කළත් ධර්මානුකූල ස්වරූපය නොදත් එක් උගත් වැදගත් මහත්මයෙකු පළ කළ අදහසක් මෙහිද සඳහන් කරන්නේ එවැනි දුර්මත නිසා නොමග යන අය මුදවා ගැනීමටයි.
‘අපේ නෝනා මහත්මිය මොනතරම් සිල්වත් ගුණවත් කෙනෙක් ද?, සතර පොහොයට සිල් ගත්තා බණ දහම හොඳින් ඉගෙන ගෙන පිළිපැද්ද, පන්සලට දානය පූජා කළා විතරක් නොවෙයි හැම ඕනෑ එපාකමක්ම ගැන සොයා බැලුවා. ඒ තරම් සිල්වත් කමක් තිබ්බා. ඒ තරම් ගුණවත් මනුස්සයාගෙ අවසාන කාලය ගතවුන හැටි සිහිවෙන කොට මටනම් ඔය ආගම් ඇදහිල්ල වැඩක් නැති දෙයක් කියලයි හිතෙන්නෙ.....’
බුදු දහමට අනුව කරුණු කාරණා දැන සිටියා නම් ඔහු එවැනි කළකිරීමකට පත් නොවනු ඇත. සූත්‍ර පිටකයේ සඳහන් දේශනා අනුසාරයෙන් අපට මේ ගැන අවබෝධයක් ලැබීමට පිළිවන. අංගුත්තර නිකායේ ලෝණ ඵල වර්ගයේ සඳහන්වන අන්දමට එකම පාප කර්මය දෙදෙනෙකුට දෙවිදිහකට විපාකගෙන දෙයි. හික්මවන ලද කය, හික්මවන ලද සිත, පුරුදු කරන ලද සීලය, දියුණු කරන ලද ප්‍රඥාව ඇත්තේ වෙයි. ගුණයෙන් අනල්පවූයේ ගුණ මහත්වයෙන් යුක්ත වෙයි. රාගාදියෙන් බැහැර වූයේ සිහි නුවණින් යෙදී වාසය කරයි. එවන් පුද්ගලයා කළ අකුසල සුළු වුවත් ඒ සියල්ලට මෙලොවදීම විපාක වින්ද යුතුයි. මතු භවයට සුළු ප්‍රමාණයකුදු විපාක දීමට ඉතිරි නොවෙයි. මෙයින් අදහස් කරන්නේ මහ රහතන් වහන්සේයි. උන්වහන්සේ සියලු කෙලෙස් නැසූ හෙයින් යළි උපතකට නොපැමිණෙති.
බහුල වශයෙන් පව් කරන කිසිදු ගුණ අල්පමාත්‍රයක්වත් නැති, කයෙහි සිතෙහි කිසිදු හික්මීමක් නැති සීල සමාධි ගුණ මාත්‍රයකුදු නැති පුද්ගලයා කරන සුළු පාපයටත් ඔහු නිරයට නියම වෙයි. ඔහුගේ මීළඟ භවය නිරයයි. ඔහු සිදු කරන සුළු පාප හේතුවෙන් ඇතැම් විට දුකින් ජීවත් වෙයි.
දෙවනුව කී පුද්ගලයා පව් කරමින් ජීවත් වී මරණාසන්න මොහොතේ කෙබඳු ස්වභාවයකින් මිය ගියත් ඔහු ඒකාන්ත නිරය ගාමි වෙයි. මේ පුද්ගලයින් දෙදෙනාගේ කර්ම ශක්තිය පෙන්වීමට උපමා දෙකක් දැක්වෙයි.
එක් උපමාවක් ලුණු ස්වල්පයක් උපයෝගි කරගෙන දෙසූවකි. මහණෙනි, මා අත ඇති මේ ලුණු ස්වල්පය කුඩා බඳුනක දැමුවහොත් ලුණු රස ඇතිවේද, එසේය සමිඳුනි, හේතුව කුමක්ද? ස්වාමිනි, ජලය ස්වල්පයක් ඇති නිසයි. මේ ලුණු ප්‍රමාණයම ගංගානම් ගඟට දැමුවහොත්. ස්වාමිනි, ලවණ රසයක් ඇති නොවෙයි. හේතුව ගංගා නම් ගඟේ මහා ජලකඳට මේ ලුණු ස්වල්පය කිසිසේත්ම ප්‍රමාණවත් නැති නිසයි.
එසේම මහණෙනි ගුණයෙන් හීන පාපියා කළ සුළු වරදටත් ඔහු නිරය ගාමීවෙයි. කුඩා බඳුනෙහි පැනිත්තට ලවණ මුසු කළ විට ලවණ රසය නොහැර පවතින්නාක් පරිද්දෙනි. ගුණ මහත්මයෙන් පිරි උතුම් ශ්‍රේෂ්ඨත්වයාට එසේ නොවේ. ලවණ ස්වල්පයකින් ගංගානම් ගඟෙහි දිය කෙසේ නම් ලවණ රසයට පෙරළන්නද? එය නොවන්නක්මය.
මේ අනුව ගුණ පිරි උතුමන් කළ යම් සුළු හෝ වරදක් පාපයක් වෙතොත් එයට දුක් විපාක මෙලොවදීම වින්ද යුතුයි. මක් නිසාද පරලොව යෑමට ඉඩක් නැති හෙයිනි. මෙය මහරහතන් උතුමන් පිළිබඳ සඳහන් කිරීමකි. අප ඉහත සඳහන් උතුම් ජීවිත ගත කළ උදාර සුසිල්වතුන් මහා රහතුන් යැයි කොතැනකවත් පවසා නැත. එය කිසිසේත්ම බුදු දහමට විනයට එකඟ නොවන හෙයිනි. උන්වහන්සේලා මුවින් නොදෙසූ ඒ ගුණ මහිමය බාගදා උන්වහන්සේ සතුව පැවතුනාද විය හැක.
උන් වහන්සේලා දැඩි සේ ගිලන්වීමට සමහරවිට තමන් වහන්සේලා ඒ භවයෙදි සිදුකළ සුළු හෝ පාප කර්මයක් හේතු වුණා දැයි කිව නොහැක. පාපි දුස්සීලයා මෙලොව කළ පාප කර්මවලට කෙසේ වෙතත් සුළු පාපකර්මයටත් බරපතල වන්දි ගෙවිය යුතුයි. එහෙයින් ඔහු නිරයට සූදානම් විය යුතුයි. සිරමැදිරිවල සිටින සියලු වැරදිකරුවන් දඬුවම් විඳින්නන් වුවද මරණීය දණ්ඩනය නියමවූ සිරකරුවා විශේෂිත වෙයි. අසා ඇති පරිදි ඔහුගෙ මරණය ළං වත්ම ඔහු කැමැති කෑම බීම ආහාරපාන ලැබෙයි. රස මසවුලු භුක්ති විඳිමින් ඔහු යන්නේ ඔහුගේ ජීවිතය අවසානය කරා වන හෙයිනි. සමාජයෙන් ගත් මේ උපමාව පාපි දුසිල්වතාගෙ අවසාන මරණ මොහොත පිළිබඳ තීරණයකට එළඹීමට උචිතදැයි විමසා බැලීම ඔබට බාර කරමි.
මහා කම්ම විභංග සූත්‍රය අනුව කර්මය විපාක ලබන සතර දෙනෙකි. පළමු හා දෙවන අය කළ පාපයට අනුව දුගතියටත් කළ පිහිට අනුව සුගතියටත් යති. එහි ගැටලුවක් නොමැත. එය මූලික දේ සභාවටද එකඟය. එහෙත් තුන්වන හා හතරවන පුද්ගලයන් හැටියට සඳහන් කරන දෙදෙනා කර්ම විපාකයන්ට මුහුණ දෙන අන්දම ඇතැම් කෙනෙකුට ප්‍රශ්නාර්ථයක් ඇති කරවයි. මෙයින් එක් අයෙක් කුසල් කළත් දුගතියේ උපදිති. අනෙක් තැනැත්තා අකුසල් කළත් සුගතියේ උපදියි. මෙයට හේතුව මහා කම්ම විභංග සූත්‍රයේම සඳහන් පරිදි මේ ආත්මයෙදී පින් දහම් සිදු කළත් ඒ පින් දහම් අභිබවා සිටීමට සමත් අකුසල කර්ම පෙර භවයන්හිදී සිදුකර ඇත්නම් එ පෙර කළ පාප කර්මය අකුසල කර්මය විපාක දීමට සුදුසු අවස්ථාවට පැමිණ ඇත්නම් මේ භවයේ කළ කුසල කර්මය යටපත්වී අකුසල කර්ම ශක්තිය ඉස්මතු වෙයි. එසේඉදිරියට පැමිණි අකුසල කර්ම බලවේගය පින්කළ සත්පුරුෂයා දුගතියට පමුණුවයි. මේ අන්දමට බරපතල අකුසල කර්ම වේගය කුසල ශක්තිය යටපත් කරයි.
අනෙක් අතට පාප කර්මකළ පාපතර පුද්ගලයා මේ භවයේ පවක් කළත් පෙර භවයකදී කළ බලගතු කුසල කර්ම ශක්තියක් විපාකදීමට සුදුසු තත්ත්වයට පැමිණ ඇත්නම් මේ භවයේ සිදුකළ කර්ම විපාකය පසුවට තබා පෙර භවයේ සිදු කළ විපාක දීමට සුදුසු තත්ත්වයේ ඇති කුසල කර්ම ශක්තිය විපාක දීමෙන් සුගතියට යයි. මෙහිදී පාපි කර්ම ශක්තිය යට වී කුසල් ශක්තිය ඉස්මතු විය. මේ ධර්ම ස්වරූපය ධර්මයේ ඉගැන්වෙන අපරාපරියවේදනීය කර්මයට ස්ථානය. අපරාපරියවේදනීය කර්මය විපාක දෙනුයේ පෙර සසර සැරිසරන අතරවාරයේ සිදු කළ කර්මයක් විපාකදීමක් ලෙසිනි.
කඩවත සමාධි මැදුරේ,
පයාගල නන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment