බොරු කීමෙන් වැළකීමට හොඳම පිළිවෙල වන්නේ සියලු අභූත දේ වර්ජනය කිරීමයි. අභූත දේ නම් සිදු නොවූ දෙයයි. තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ නොසිදු වූ දේ ගැන කථා කිරීමෙන් වැළකීම මෙහි අදහසයි. සිදු නො වූ දේ ගැන අප කථා කරන්නේ ඒ ගැන උපකල්පනය කිරීම හරහායි. ඒ උපකල්පන තුළ කියන දේ බොරුවක් වීමට අවස්ථාවක් ඇත. කථා කළ යුත්තේ තමන්ට ප්‍රත්‍යක්ෂ වූ දේ ගැන පමණි. පරම සත්‍යය ලෙස ගත හැක්කේ එයයි.
තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ, නොදන්නා දේ ගැන කතා කිරීමෙන් වැරැදි අදහස් ප්‍රකාශ විය හැකියි. නමුත් පරම සත්‍යය එසේ වෙනස් නෙවේ. එහි අඩුපාඩු විය නොහැක. එමනිසා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ ගැන පමණක් කථා කිරීමෙන් හා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ පමණක් පිළිගැනීමෙන් බොහෝ දුරට අසත්‍ය ප්‍රකාශ කිරීම අවම කරගත හැක.
යම් මුසාවාදයක් සම්පූර්ණ වීමට කරුණු සතරක් සම්පූර්ණ විය යුතු වෙයි.
1. අසත්‍යයක් වීම (කීමට බොරුවක් තිබීම),
2. අන්‍යයන් රවටන සිත (ඒ බොරුවෙන් අන් අය රවටන සිතක් තිබීම),
3. කයින් හෝ වදනින් බොරුව හැඟවීමේ උත්සාහය (අන් අය රැවටෙන ආකාරයට ඉරියව් පැවැත්වීම),
4. බොරුව කියන්නාගේ හෝ බොරුව කරන්නාගේ අදහස, අසන්නා තේරුම් ගැනීම (කියන පුද්ගලයාගේ බොරුව අනෙක් පුද්ගලයා විශ්වාසයට ගැනීම)
මේ කරුණු සතර සම්පූර්ණ වූ සැණින් පාපය සම්පූර්ණ වෙයි. මෙහිදී පළමු කාරණා තුන සම්පූර්ණ වුවත් හතරවෙනි පියවර අසන්නාට තේරුම් නොයන හෝ අසන්නා එය පිළි නො ගන්න ඒ බොරුවෙන් නොරැවටෙන අවස්ථාවන්ද ඇත. බොරු කියන්නාට බොරු කීමේ චේතනාවක් ඇති නමුත්, අසන්නා එය පිළි නො ගැනීම නිසාවෙන් එම අකුසලය පරිපූර්ණත්වයට පත්වූ කර්ම පථයක් බවට පත් නොවේ.
බොරුව සම්පූර්ණ පාප කර්මයක් බවට පත්වන්නේ ඉහත කී කාරණා හතර සම්පූර්ණ වූවාට පසුවය. සමහරු බොරු කියන්නේ අන් අය රැවටීමේ චේතනාවෙන් නොව පුරුද්දට හෝ විහිළුවට ය. එවන් බොරුවල කෙනෙකු රැවටීමට ඇති දැඩි වූ කැමැත්ත නැති හෙයින්, ඒවා අල්ප සාවද්‍ය වේ. මෙවැනි මුසාවාද පැවසීමෙහි මූලික ම හේතුව වන්නේ පවට ලජ්ජාව සහ භය නැතිවීමයි. මේ විහිළු ආකාරයෙන් යුක්තව කියන බොරු බොහෝ අය අසත්‍ය ලෙස පිළි නො ගත්තාද බොරු කී තැනැත්තාට පව් සිදු නොවේ යැයි කිව නොහැක.
මුසාවාදය අල්ප සාවද්‍ය සහ මහා සාවද්‍ය වන්නේ මෙසේයි.
1. යමෙක් තමන් සතු දෙයක් නොදෙනු කැමැත්තෙන් එය තමා ළඟ තිබියදීත් නැත යැයි පවසයිද එය අල්ප සාවද්‍ය අකුසලයකි. එය මේ ආකාරයි. දරුවෙක් මවකගෙන් රුපියල් දාහක් ඉල්ලා සිටි විට මව තමා ළඟ එවන් මුදලක් නැති බව පවසයි. දරුවා මෙම මුදල ඉල්ලන්නේ එය නිකරුණේ නාස්ති කිරීමට බව මව හොඳින් දනියි. දැන් මෙතැන ප්‍රධාන චේතනා දෙකකි. දරුවා වරදින් මුදවා ගැනීමෙහි වේතනාව ඉන් එකකි. එය යහපත් චේතනාවකි. අනෙක දරුවා වරදින් මුදවාලීමට බොරු කීමේ චේතනාවයි. මෙහිදී හොඳ චේතනාවෙන් නරක චේතනාවෙහි බලය අඩුකර ඇත. මව බොරුවක් කිව්වේ දරුවා අයහපතින් මුදවා ගැනීමට වුවත්, එයින් පව් සිදුවීමක් නොවේ යැයි කෙනෙකුට කිව නොහැක. එහිදී පවක් සිදුවන නමුත් එය අල්ප සාවද්‍ය වේ.
2. සාක්ෂි විමසන විට යමෙක් අනුන්ගේ යහපත නසනු රිසියෙන් බොරු කියයිද, එය මහා සාවද්‍ය අකුසලයකි. එය මේ වගේයි. යම් කාරණාවක් පිළිබඳව විමසද්දී කෙනෙක් තව කෙනෙක්වවිනාශ කිරීමේ අදහසින් ඔහුගේ අභිවෘද්ධිය නසනු රිසියෙන් ම බොරු කියයිද, නොවූ දේ වූවා යැයි පවසයිද, එය මහා සාවද්‍ය අකුසලයකි.
3. ගුණ හීනයෙකු රවටන අදහසින් කියන ලද බොරුව අල්ප සාවද්‍ය අකුසලයකි. බොහෝ විට සිඟන්නෙකු හෝ එවැනි අයෙක් නිවසට පැමිණි කල නිවසේ කිසි කෙනෙක් නැති බව ඇඟවීම සුලභ සිදුවීමකි. එවැන්නන්ට කියන බොරු අල්පසාවද්‍ය වේ.
4. ගුණවතෙකු රැවටීමට කියන බොරු මහා සාවද්‍ය අකුසලයක් වෙයි. තම මාපියන්ට හෝ ගුණවත් සිල්වත් අය, ස්වාමින් වහන්සේ ආදීන් හෝ රවටන අදහසින් කියන බොරු මහා සාවද්‍ය වේ.
5. විහිළුවට කියනු ලබන බොරු මෙසේය. කෙනෙකු අගාධයට හෙළනු රිසියෙන් හෝ බරපතල ද්වේෂයෙන් යුක්තව හෝ තමාට කිසිදු වාසියක් නොමැතිව විහිළුවට බොරු කියයි. නමුත් එහි අනුන් රවටන චේතනාවක් ඇති බැවින්, විහිළුවට හෝ බොරු කීමෙහි විපාක අනිවාර්යෙන් තිබේ. නමුත් එය අල්ප සාවද්‍ය පාප කර්මයක් ලෙස ගැනේ.
6. දුටු දේ නොදුටු දේ ලෙසින්ද, නොදුටු දේ දුටු දේ ලෙසින්ද කියනු ලබන බොරුව මහා සාවද්‍ය අකුසලයකි.
මෙය බෙහෝ විට සිදුවන්නේ නඩුහබ ආදියෙහි සාක්ෂි විමසන වැනි අවස්ථාවලය. මෙවැනි බොරුකීම් නිසා අහිංසක කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ විය හැකිය. ඒ අනුව එය මහා සාවද්‍ය පාප කර්මයක් බවට පත්වෙයි.
මේ අයුරින් කියන ලද බොරුව මඟින් සිදුවන හානිය අනුව එය අල්ප සාවද්‍ය හෝ මහා සාවද්‍ය වේ. ඒ අතර සත්‍යය ප්‍රකාශ කිරීමෙන් බොරු කීමට වඩා විනාශයක් සිදුවිය හැකි අවස්ථාවන් තිබේ. එවන් අවස්ථාවක බොරු නොකියා එය මඟ හැර යාම වඩාත්ම හොඳ විසඳුම වෙයි. සත්‍යයෙහි පිහිටා, සත්‍යම කථා කරන පුද්ගලයාට මුසාවාදා වේරමණී යන සිල්පදය හොඳින්ම රකින පුද්ගලයාට එවන් අවස්ථාවලට මුහුණ දිීමට ඇති ඉඩ ඉතා අවම වෙයි. එවන් අයෙක් රකිනා ශීලයේ ශක්තියෙන් ඒ පුද්ගලයා රකිනු ලබයි. ඒ එකී ශීලයෙහි බලයයි. එවන් ස්ථානවල හැසිරිය යුතු අන්දම ඒ සඳහා අවශ්‍ය කරන සම්‍යක් ප්‍රයෝග, ඊට අදාළ ස්ථානෝචිත ප්‍රඥාව ආදිය ඒ තැනැත්තාට ඉබේ පහළ වෙයි.
බුදුරජාණන් වහන්සේ වදාළේ ඇත්ත වුවත් අනවශ්‍ය නම් එයින් තිබෙන්නා වූ අර්බුද තවත් වැඩිවේනම්, ඒ සත්‍ය වචනය නොකිය යුතු බවයි. සත්‍යයම පවසන්න. පි‍්‍රිය දෙයම පවසන්න. නමුත් එය සත්‍යය වූ පමණින්ම අසන්නට අපි‍්‍රයනම් එය නො කියන්න. අර්බුද වැඩි වේ නම් ඒ සත්‍ය පැවසීමෙන් වළකින්න. එවන් තැන්වලදී ආර්ය තුෂ්ණීම්භාවය රකින්න. නමුත් ඒ නිහඬතාවය අනෙකාට කිසියම් වැරැදි ඉඟියක් පවසයිනම් ඒ නිහඬතාවයෙන්ද වළකින්න ලෙසය.
මුසාවාදයේ ආදීනව මෙසේය. බොරු කියන්නා මෙලොවදීම ලෝකයාගේ නින්දා අපහාස අවලාදයට පත්වෙයි. කවුරුන් වුවද කියන බොරු කවදා හෝ හෙළිවීම වැළැක්විය නොහැක. එවන් දිනක ඒ පුද්ගලයා නින්දා අපහාස ලබයි. සමාජයේ වැදගත් යැයි සැළකෙන අයෙක් කියන බොරු හෙළි වූ දාට එය සාමාන්‍ය අයෙකුගේ බොරුවකට වඩා ගැඹුරින් කථා බහට ලක් වේ. එලෙසම අවිශ්වාසයට ලක්වේ. බොරු කියන්නා කිසිම කෙනකුගේ විශ්වාසයට ලක් නොවේ. වරදට හසුව දඬුවම්වලට ලක්වෙයි. මේ බොරුව කියන පුද්ගලයා මෙලොවදී විඳින දුක් වේ. මරණින් මතු නරකයෙහි ඉපිද වර්ෂ කෝටි ගණන් අප්‍රමාණ දුක් විඳියි. තිරිසන් ආදි අපායන්හි ඉපද දුක්විඳී. ඒ වගේම අශෝභන ශරීර ඇතිව අමිහිරි කටහඬින් යුක්තව දුප්පත්ව උපදී. මිහිරියාවකින් තොර හඬකින් යුක්තව ඉපදීමද බොරුවෙහි ආදීනවයන් වෙයි. එමෙන්ම දුප්පත්ව මෙන්ම අඥානව ගොළුවද උපදී.
සත්‍ය වචනයේ ආනිශංස මෙසේයි. අතිශයින්ම ප්‍රසන්න ඉඳුරන් ඇත්තෙකු වීම, මනා මිහිරි හඬක් ලැබීම, සමානව පිහිටි සුදෝ සුදු දත් දෙපළක් ඇත්තෙකු වීම, අශෝභන වූ මහත ශරීර නො ලබන්නෙකු වීම, අශෝභන කෙට්ටු ශරීර නො ලබන්නෙකු වීම, අශෝභන වූ මිටි ශරීර නො ලබන්නෙකු වීම, සැප ස්පර්ශ ඇත්තෙකු වීම, කටින් දුුගඳ හමන පුද්ගලයෙකු නොවීම, සුවච කීකරු පරිවාර ජනයා ලැබීම, විශ්වාස කළ යුතු වචන ඇත්තෙකු වීම, උඩඟු පුද්ගලයෙකු නො වීම ආදීය බොරු කීමෙන් වැළකීමේ ආනිශංස වෙයි.
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 19 වන බදාදා වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment