Labels

Monday, June 26, 2017

බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැත

තීර්ථකයෝ වනාහී බුද්ධකාලීනව විසූ අසද්පුරුෂ සමාජයක සාමාජිකයෝ ය. ආත්මාර්ථයම සැලකූ ඔවුහු තමනට අලාභ අත්වන කිසිදු කාර්යයක් නොඉවසූහ.
විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ පතල වූ ගුණ සුවඳ මිනිසුන් අතරෙහි පමණක් නොව දෙවි බඹුන් කරාද විහිදුණි එනිසාම මහත් වූ ලාභ සත්කාර බුදු හිමියන් වෙත ගලා එන්නට විය. බුදුරදුන්ගේ කීර්තිය හමුවේ තීර්ථකයෝ කලා මැදිරියන් සේ සමාජයෙන් කොන් වූහ. එයින් ඔවුනට ලද ලාභ සත්කාර සියල්ල නැති විය. වෙහෙරට බුදුරදුන් පුදන්නට යන ජනයා වෙතට ගොස් තමන්ද බුදුරදුන් සේ බව පවසමින් තමනට පුදන දෙයින්ද පින් ලැබෙන බව ප්‍රකාශ කරන්නට විය. එහෙත් කිසිවකු ඔවුනගේ වහසිබස් නොපිළිගත් අතර එනිසාම ලාභයෙන් පිරිහිණු තීර්ථකයෝ බුදුරදුනට අපහාස කොට අපකීර්තියක් ඇති කරන්නට කතිකා කළහ.
ඒ අනුව එයට කවරාකාර උපායක් සුදුසු වන්නේදැයි කල්පනා කොට කතිකා කළ අතර විවිධ තීර්ථකයෝ විවිධ අදහස් ඉදිරිපත් කළහ. අවසානයේ ඔවුන් තීරණය කළේ සැවැත් නුවර විසූ දෙවඟනකට සමාන රුවක් ඇති චිඤ්චා නම් තරුණිය මේ සඳහා යොදා ගැනීමටය. තීර්ථකයන් පළ කළේ තමන්ගේ සැප අපේක්ෂා කරන්නේ නම් ශ්‍රමණයන් වහන්සේට අවමන් කරවන ලෙස හැසිරෙන ලෙසයි. එම වගකීම චිඤ්චා බාර ගත්තා ය.

සැහැල්ලු බවේ සුවය

කෙනෙකු සන්තකයේ මහා ඉහළින් උපභෝග පරිභෝග සම්පත් පිටාර ගලමින් තිබුණ ද සමහරක් අය විශේෂයෙන් තමන් දන්නා හඳුනන අනෙකා ළඟ පවතින කුඩා දෙයට ආශා කරති. කෙසේ හෝ තමන් සතු කර ගැනීමට රෑ දවල් කල්පනා කරති. පංචකාම සම්පත්තීන් නිරතුරුවම ලැබූවද අනෙකාගේ කුඩා දෙය පතමින් සිත ව්‍යාකූල කර ගනිති.
මහින්දාගමනය තුළින් ලාංකේය ජනතාවට ලැබුණු එක් උත්තුංග ජීවන ඵලයකි, අල්පේච්ඡතා දර්ශනය. තරගකාරී පාරිභෝගික රටාවෙන් ඉවත්ව ස්වභාවික, ප්‍රතිසංස්කරණය කළ නොහැකි සම්පත් සුරකිමින් අත්‍යවශ්‍ය මූලික සම්පත් පරිහරණය බුද්ධිමත්ව සිදුකරන ආකාරය අවබෝධයට අල්පේච්ඡතා ධර්මයෙන් ලැබෙන පිටිවහල අමිලය. අවුරුදු දෙදහස් තුන්සියයකටත් වඩා ඈත කාලයේ දී අපට ලැබුණු ඒ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පිළිබඳ නැවත අප අවධානය යොමු කිරීම පෙර දිනට වඩා අද දවස ඉතා වැදගත් බව පැහැදිලි වෙයි.
බුදුදහමෙහි සාකච්ඡා වන ආකාරයට ‘ඉච්ඡාව‘ හෙවත් ආශාව සතරාකාරයකි.උදාහරණයක් වශයෙන් ‘පරමත්ථජොතිකා නාම බුද්දකපාඨට්ඨකථා’ හි

මෛත්‍රියේ සිසිලස

සියලු සත්වයෝ දඬුවමට බිය වෙති. තැති ගනිති. ජීවිතයට පි‍්‍රයවෙති. තමා උපමාකොට කිසිදු සත්වයකුගේ ප්‍රාණය නිරුද්ධ නොකරන්න යන උතුම් සම්බුදු වදන ජන සමාජයෙහි එදා සිට මුල් බැස ගත්තේ ය. රජුගේ සිට ගම් දනව් වැසි ජනයා පරපණ නැසීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය ආරක්ෂා කිරීමට පටන් ගත්හ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 230 ක් පමණ ඉක්ම වූ කල්හි දඹදිව ධර්මාශෝක අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට කටයුතු කළේ ය. භාරත දේශයේ සිට රටවල් 09 ක් පුරා සම්බුදු දහම ප්‍රචාරය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඒ උතුම් භාග්‍ය උදාකර ගැනීමේ අවස්ථාව ලංකාද්වීපයට ද හිමි වුණි.
මෙකල සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීවීම පිළිබඳ මෙරට ජනතාවට අවබෝධයක් තිබූ බව නොපෙනේ. රජු සතළිස් දහසක් පිරිවරා විනෝදය පිණිස දඩ කෙළියේ යෙදුණු බව ඉතිහාසය පෙන්වා දෙයි. බොහෝ ආගම් මානව හිතවාදී බව ඉගැන්වුවද, සියලු සතුන්ට හිතානුකම්පී වීම ඉගැන්වූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ය.
න්‍යායාත්මක බුදුදහමේ සූත්‍ර විනය දේශනාවන්හි තථාගතයන් වහන්සේ කුරා කුහුඹුවකුට හෝ හිංසා කිරීම, පරපණ නැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. ගහට කොළට, පරිසරයට හානි සිදුකිරීම වරදක් බව පෙන්වා දුන්හ. උපසම්පදා විනයෙහි භික්ෂූන් වහන්සේට තණ කොළ ගසක් ගැළවීම තබා ගසක පත්‍රයක් හෝ කඩා දැමීම ඇවතක් වන බව දේශනා කළහ.
එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක් ජන සමාජයට හඳුන්වා දුන්නේ එතරම් අවිහිංසාවාදී දහමකි.

මිනිස් චර්යාවන් පිළිබඳ බෞද්ධ විග්‍රහය


සහනය පිණිසම පවත්නා බවත්, පෙන්වූ අපූරු ,පෙර නොඇසූ විරූ දහමක් දේශනා කළ ශාස්තෘන් වහන්සේ හැටියට කීර්තිමත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. එහෙයින්, උන්වහන්සේ අච්ඡරියමනුස්ස නම් වෙති. ධර්ම ‘පටසොතගාමී ධම්ම’ නම් වෙයි. බුදුරදුන්ගේ අසිරිමත් බවසහ ධර්මයේ මහිමය සංකේතවත් කරන මේ දෙපදය විමර්ශනයට ලක් කිරීමෙන් ශාස්තෘවරුන් අතර ගෞතම බුදුරදුන්ටත්, ධර්මයන් අතර තථාගත ධර්මයටත් ඇති අනන්‍යතාව කදිමට වටහා ගත හැකිය.
මිනිස් හසර පිළිබඳව ලත් යථාභූත ඥානයෙන් යුතුව ඔවුන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ හතරක් අංගුත්තර නිකාය චතුස්ක නිපාතයෙහි එන දුතියතථාගතච්ඡරිය සූත්‍රයෙන් පෙන්වා දී දිබේ.
ආලයරාම පජා ,මානාරාම පජා ,අනුපසමා පජා ,අචිජිජාගතා පජා ,යනු ඒ හතරයි.
සමාජය ගමන් කරන පැත්ත, එසේත් නැත්නම් පොදුවේ මිනිසාගේ ජීවන ගමන සිදු වන්නේ කවරාකාර බැඳීම්, කෙබඳු අදහස්, කෙබඳු පැවතුම්, කුමන දැකීමක් ඇතිව ද යන බව මේ සිවුවැදෑරුම් ලක්ෂණ තුළින් පිළිබිඹු වෙයි. ප්‍රජාව එනම් මුළු මහත් සමාජ ජාලයෙහි ඇලී බැඳී සිටින බව ආලයරාමා පජා යන ප්‍රථම ලක්ෂණයෙන් කියැවෙයි.

සියලු බුදුවරුන්ගේ අනුශාසනය

සියලු පව් නොකිරීමට කුසල් වැඩිදියුණු කිරීමට තමන්ගෙ සිත පිරිසුදු කිරීමද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. ධම්ම පදයේ බුද්ධ වග්ගයේ සඳහන් මෙම ගාථාව ඇතුළත් වන්නේ සියලු බුදුවරුන්ගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයටයි.
ඕවාද ප්‍රාතිමෝක්ෂය සියලු බුදුරජාණන් වහන්සේලා ශ්‍රාවක සංඝයාට හික්මීමේ මාර්ගය වශයෙන් දෙසා වදාරති. දිර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල විනය පැනවීමක් සිදු නොවේ. ඒ නිසා උන්වහන්සේලා ඛුද්ධ ජීවිතය පුරාම සංඝයාගේ හික්මීම පිණිස විනය දේශනාවක් වශයෙන් දෙන්නේ, අනුශාසනාවක් වශයෙන් පණවන්නේ මේ ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණි. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැනි අල්පායුෂ්ක බුදුවරුන්ගේ ශාසනවල විනය පැනවීම සිදුවෙයි. එහෙත් උන්වහන්සේලාත් විනය පණවනතුරු අවවාද වශයෙන් දෙසන්නේ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේද බුද්ධත්වයෙන් මුල් විසිවස තුළ විනය පැණවීමක් සිදු නොවීය.

වෙනසට හේතුව...

මුහුණ, ඇඟපත සෝදන්නේ නැතිව, කිළිටි ඇඳුම් ඇඳගෙන අපිරිසුදුව ඉන්න අයට කිසිවෙක් කැමැති නෑ. අපිරිසුදුබව අප රෝගී කරනවා. යහළුවෝ, නෑදෑයෝ වගේම සමාජයේ අනෙක් අය පිළිකුල් කරනවා. අපගේ ශරීරය වගේම වචනයත් පිරිසුදු වෙන්නට ඕනෑ. නරක වචන කතා කරන ළමයි සමාජයට ලස්සන නෑ. අන් අය පි‍්‍රය කරන්නේ නෑ. යහපත් වචන කතා කරනවා නම් ‘හොඳ දරුවෙක්’ කියලා වැඩිහිටියන්, ගුරුවරුන් පවා ප්‍රශංසා කරනවා.
දුවේ, පුතේ! බොහොම ඉස්සර බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් සිටියා. ඒ රජතුමාගේ මංගල හස්ථියා ‘මහිලා මුඛ’ කියන ඇතා. මහිලාමුඛ බොහොම ශක්තිමත්. ලස්සනයි. දකින අයට පි‍්‍රයයි. කරුණාවන්තයි. කීකරුයි. ආචාර සම්පන්නයි.
දවසක් රාත්‍රියේ සොරකමේ යන පිරිසක් මහිලාමුඛ ඇතා සිටින මඩුව සමීපයේ ගැවසුණා. සොරකම් කරන සැටි ගැන කතා කළා. නරක වචනයෙන් එකිනෙකා ඇමතුවා.
“අප රාත්‍රියේ සිටු මැඳුරට යනවා. හොර රහසේම ඊට ඇතුල් වෙනවා.

Sunday, June 25, 2017

සුදුසු තැන ලැබෙන නුසුදුසු තැන නොලැබෙන පින

අකුසලයට බරව ජීවත්වන මිනිසුන්ට සතර අපාය කියන්නේ හරියට මහගෙදර වගේ. වැඩබිමට, කාර්යාලයට, නගරයට හෝ තමන්ගේ සේවාව සිදු කරන සේවා ස්ථානයට ගිය පසු අප සවස් වෙනකොට කෙලෙස ද ඉක්මනට ගෙදර යන්නේ කියලා කල්පනා කරනවා. ඒ වගේ කෙලෙස් සහිතව අකුසලයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයින්ට නිරතුරුවම සතර අපායේ දොරවල් ඇරී තිබෙනවා.
ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව බලපාන කෙනෙක් මිය පරලොව ගිය පසු ඒ අය සඳහා කළ යුත්තේ කුමක්ද? අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙනවාද නැද්ද යන සිතුවිලි ඔබ සිත තුළ නිරන්තරයෙන්ම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහෝමයක් අඩංගු නිකාය ග්‍රන්ථයක් ලෙස සංයුත්ත නිකාය හදුන්වන්න පුළුවන්.
මෙම සංයුත්ත නිකයේ චුති සංයුත්තයේ අන්තර්ගත වෙනවා මනුෂ්‍ය චුති සූත්‍රය, ප්‍රේත චුති සූත්‍රය, නිරය චුති සූත්‍රය, දිව්‍ය චුති සූත්‍රය ආදි වශයෙන් සූත්‍ර බොහෝමයක්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මුලු මහත් විශ්වය දෙස බලා කෙනෙක් මිය පරලොව ගිය පසු කිනම් ස්ථානයක කුමන ආකාරයකට උපත සිදුවනවාද කියන කාරණාව උක්ත සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කරනවා. දවසක් බුදුහාමුදුරුවෝ පොළොවේ තිබෙන පස් ස්වල්පයක් තමන්ගේ දකුණු ශ්‍රී හස්තයේ නිය සිලට ගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා “මහණෙනි, මාගේ නිය සිලුවේ තිබෙන පස් ද, මේ මහ පොළොවේ තිබෙන පස් ද, ප්‍රමාණයෙන් වැඩි” කියලා. භික්ෂූන් වහන්සේලා පිළිවදන් දෙනවා

යහපතම සිතට පහදා දිය යුතුයි

සිතෙහි ස්වභාවය හඳුනාගැනීම ජීවත්වීෙමිදී වැදගත් වෙයි. අත් දෙකක් තිබුණත් ඇඟිලි දහයක් තිබුණත් එක සිතක් තිබෙන ආකාරයට ශරීරය නිර්මාණය වෙයි. අඩුවෙන් තිබෙන දේ වැඩිපුර පරිස්සමින් හා අඩුවෙන් පරිහරණය කිරීම ක්‍රමය වෙයි. වැඩිපුර තිබෙන අංගයන් ගෙන් එකක් නැතිව ගියත් ,අනෙකුත් අංගයක් පරිහරණය කළ හැකියි.
ප්‍රමාණය අඩුවෙන් තිබෙන විට ප්‍රවේසම් කරන ප්‍රමාණය වැඩියි. උදාහරණයක් වශයෙන් මසකට ලැබෙන වැටුප අඩු නම්, එම මුදලෙහි අරපරිස්සම වැඩිවෙයි. එක සිතක් තිබෙන නිසාම අරපරිස්සමෙන් වැඩ කළ යුතු බව බුදු දහමෙහි සඳහන් වෙයි. තමන්ගේ සිත අරපරිස්සමින්, හරිම අවබෝධයෙන් හරිම කල්පනාවෙන් පාවිච්චි කළ යුතු බව බණ පොතෙහි උගන්වයි. සිත රෝගී වූ විට නිරෝගී කර ගැනීමට සිදුවන්නේත් සිතෙන් සිතීමෙන්මයි. ඒ සඳහා වෙනත් උදවුකරුවන් නැහැ. ශරීරයේ සෙසු කොටස් තුවාලවූ විට බෙහෙත් දැමීමට පිරිස් සිටියත්, සිත තුවාල වූ අවස්ථාවල අරමුණුවලින්ම සිත සිතා සිත හදාගත යුතුයි. සෑම මනුෂ්‍යයෙකුගේම යුතුකම වියයුත්තේ සාරධර්මතා, මනුෂ්‍යයෙකු තුළ තිබිය යුතු හොඳ පෞරුෂ ලක්ෂණ තමන්ගේ මනසින් හසුරුවාගෙන සමාජයෙහි වැඩ කටයුතු කිරීමයි.නතං මාතා පිතා කයිරා අඤ්ඤෝ වා පිච ඤාතකා සම්මා පණිහිතං ච්ත්තං සෙයි්‍ය සෝනං තතෝ කරේ. පණිහිතං යන පාලි වචනයෙහි සිංහල තේරුම ආශාව සහ තෘෂ්ණාව යන අර්ථයයි. ආශාව , තෘෂ්ණාව, ඇල්ම යන තේරුම් ලබාදෙයි. සම්මා පණිහිතං යනු ඉතා හොඳින් මැනවින් උදාර බවින් යුක්තව සකස්කරගත් සිතයි.
ආශාවන්, තෘෂ්ණාවන් අවශ්‍ය ප්‍රමාණයටද , නොහැදුණු කම් අවශ්‍ය ප්‍රමාණයටද ලබාදී තමන් සිත සකස්කර ගත යුතුයි. සම්මා පණීහිතං ච්ත්තං සිත හරිම අමුතුයි. අරුම පුදුමයි. සිතට විවිධ අරමුණු පැමිණෙවා වගේම සිතට විිවිධ දේ සිතෙයි. සිතට සිතෙන සිතෙන දේ තමන් සත්‍ය ලෙස පිළිගැනීමට යයි.

සොහොනක් නොවී උයනක් වීම

සොහොනක් දැක ඇති වන්නේ සංවේගාත්මක සිතිවිලිය. උයනක් කෙරේ ඇතිවන්නේ ප්‍රසාදාත්මක සිතිවිලිය. ඒ පිළිබඳව ඔබට මනා වූ අත්දැකීම් ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ‘සීවට්ඨිකා’ සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන සොහොනක් නොවී උයනක් වීමේ ධර්ම පරියාය විමසමු.
භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළහ. ‘මහණෙනි, සීවට්ඨිකයෙහි හෙවත් සොහොනේ ආදීනව පහකි. අපවිත්‍රය, දුගඳය, බිය සහිතය, දරුණු අමනුෂ්‍යයන්ට වාසස්ථානයක්ය, බොහෝ දෙනාගේ වැලපීම් සහිතය. සොහොනකට උපමා කොට ඇති පුද්ගලයාගේ ද (සීවථිකූපම) එවැනිම ආදීනව හෙවත් ගති ලක්ෂණ වේ.
මහණෙනි, මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක් අපිරිසුදු කාය කර්මයෙන් යුක්ත වූයේ වෙයි. අපිරිසුදු වාග් කර්මයෙන් වූයේ වෙයි.

පහසුවෙන් පෝෂණය වීම

අහසේ සිටින කුරුල්ලෙකුට ඇත්තේ පියාපත් බර පමණි. සැහැල්ලුය. භික්ෂූන් වහන්සේ ද කුරුල්ලෙකු මෙන් සැහැල්ලු විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. උන්වහන්සේ පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතු ය. ‘සුභරෝ ගුණය නම් එයයි. දායකයන් පිරිනමන ප්‍රණීත හෝ නීරස හෝ යම් ආහාරයකින් සෑහීමට පත් විය හැකි නම්, පහසුවෙන් පෝෂණය කළ හැකිනම් උන්වහන්සේ සුභර ගුණයෙන් යුතු ය. භික්ෂූන් වහන්සේ බහු භාණ්ඩික නම්, එනම් බොහෝ දේ පරිහරණය කරන කෙනෙක් නම් සුභර ගුණයෙන් තොරය. එය නිර්වාණ ගාමී මාර්ගයට බාධාවකි.
භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහි ජීවිතයටද සුභර ගුණය ඉතා වැදගත් ය. චාම් දිවියක් ගෙවන පුද්ගලයාට ජීවිතයේ නැති බැරි අවස්ථාවන්හි මුහුණ දෙන්නට සිදුවන අඩුපාඩුකම්වලට පහසුවෙන් ඔරොත්තු දීමට හැකියාව ලැබේ. පොල් සම්බලයක් සමඟ බත් ටිකක් ආහාරයට ගැනීමෙන් වුව සෑහීමට පත් වීමට හැකිවේ.

අසන දකින දේ නුවණින් හඳුනා ගන්න



තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුම්භ රට දේසක නම් නියම් ගමෙහි වැඩ වාසය කරන කාලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා මෙම තේලපත්ත (තෙල් පාත්‍රය) ජාතකය දේශනා කොට වදාළහ. භාවනාව කෙරෙහි උනන්දු වූ භික්ෂූන් වහන්සේලා පිරිසකට කර්මස්ථාන දේශනා කොට අප්‍රමාදීව මහණ දම් පුරන්නැයි අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දමනය ඇති කරගන්නේ කෙසේද? යන්න උපමාවකින් පැහැදිලි කළහ.
එක්තරා රූමත් ජනපද කල්‍යාණියක් නෘත්‍ය හා ගීත ගායනයෙන් ජන පද වාසීන් පිනවන්නී ය. එම රූමත් ජනපද කල්‍යාණිය නැටුම් හා ගායනය පටන්ගත් කල්හී බොහෝ ජනපද වාසීහු ඈ වටා එක්රොක් වී විනෝද වූහ. එක් දිනක්

අවසන් හුස්ම පොද දක්වා...

පුරාණ ආචාර්යන් වහන්සේ ආනාපාන සති භාවනාව සඳහා ගණන් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙයි. හුස්ම වාර එකේ සිට පහක් ගණන් කර නැවත එකේ සිට හය දක්වාත්, එකේ සිට හත දක්වාත්, එකේ සිට අට දක්වාත්, එකේ සිට නවය දක්වාත්, එකේ සිට දහය දක්වාත් වාර හයක් එක හුස්මක්වත් අමතක නොවන සේ ගණනකට භාවිතා කරන්න. ආශ්වාස ප්‍රශ්වාස මොහොතේ ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිනම් ආනාපාන සතිය ප්‍රගුණ කිරීම පහසුය. ගණන වැරදුණොත් නැවත මුලටම පැමිණ කීප වරක් හෝ ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිව ආනාපාන සතිය වැඩිය යුතුයි.

සද්ධර්ම අවබෝධයට බාහිර උපකාරක අංග

පසුගිය වෙසක් පුන් පොහොය එළඹීමත් සමඟ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 උදා වූ බව අප කවුරුත් දන්නවා. තවත් ආකාරයකින් කියනවා නම් ශාඛ්‍යමුණි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2561 ක් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් බොහෝ කාලයක් ගත වුවද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අදටත් අපට අසන්නට ලැබෙනවා. එය අපේ වාසනාව නොවේද? සසර දුකික් එතෙර වීමට උන්වහන්සේ අපට මුල, මැද, අග සුන්දර ධර්මයක් දේශනා කොට වදාළා. ඒ මගෙහි ගමන් කරන කවුරු වුවද දුක් විඳින සසර ගමන නවතා දමනවා.

මෛත්‍රී භාවනාව

මෛත්‍රී භාවනාව

අහං අවේරෝ හෝමී – මම වෛර නැත්තෙක් වෙම්වා
අභ්‍යාපජ්ජෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා
අනීඝෝ හෝමි - ඉරිසියා නැත්තෙක් වෙම්වා
සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා
අහං විය මය්හං - මා මෙන් ම මාගේ
ආචරි උපජ්ඣායා - ආචාර්ය උපාධ්‍යායෝ ද
මාතා පිතරෝ - මව් පියවරුද
හිත සත්තා - හිතවත් සත්වයෝ ද
මජ්ඣත්තික සත්තා - මධ්‍යස්ථ සත්වයෝද
වේරී සත්තා - වෛරී සත්වයෝද
අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා
අභ්‍යාපජ්ජා හොන්තු -තරහ නැත්තෝ වෙත්වා
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා

කළ යුතු දේ සුදුසු කල්හිම කරන්න

තරුණ වියේ ප්‍රඥාව මෙහෙයවා මොනතරම් දේ කළ හැකිද? එහෙත් සමහර තරුණ පිරිස් බලා සිටින්නේ සියල්ල ඉබේ ලැබෙනතුරු ය. තමන්ගේ දියුණුවට කටයුතු කළ යුතු වන්නේ තමන්මය. කිසිවක් ඉබේ ලැබෙන්නේ නැත. උත්සාහවන්ත විය යුතු ය. තරුණ විය කුසීතව ගෙව්වේ නම් මහලු වියේ දුක් විඳින්නට සිදුවේ. "

උට්ඨාන කාලම්හි අනුට්ඨහානො
යුවා බලි ආලසියං උපෙතො
සංසන්ත සංකප්ප මනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසොන වින්දති

පින්වත්නි,
ශක්ති සම්පන්න තරුණ වියේ සිටියද, උත්සාහයෙන් ක්‍රියා කළ යුතු කල්හි උත්සාහවත් නොවන්නා වූ කුසීත පුද්ගලයා ප්‍රඥාවෙන් ලැබිය යුතු ආර්ය මාර්ගය නොලබන්නේ ය.
මෙම ගාථාව දේශනා කිරීමට හේතුවක් වූයේ දෙව්රම් වෙහෙරේ ජීවත් වූ එක්තරා භික්ෂුවකි. උන්වහන්සේ නමින් පධානකම්මිකතිස්ස නම් වේ. සම්බුද්ධ දේශනාව ඇසූ උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පන්සිය නමක් සමඟ පැවිදි උපසම්පදාව ලැබූ සේක. අනෙක් සියලු දෙනා තමාට අභිමත යම් කමටහනක් ලබාගෙන බවුන් වැඩීම සඳහා වනගත වුව ද මෙම භික්ෂුව බුදුන් වහන්සේ වැඩ වාසය කරන දෙව්රම් වෙහෙරෙහිම උන්වහන්සේට උපස්ථාන කරමින් වැඩ සිටියහ.
අනෙක් භික්ෂූන් වහන්සේ පන්සිය නම වස් කාලය අවසන් වූ වහාම බුදුන් වහන්සේ බැහැ දැක්කාහ. උන්වහන්සේ අර්හත් භාවයට පත්ව සිටියහ. බුදුන් වහන්සේද උන්වහන්සේ සමග ඉතා කුළුපගව සාකච්ඡාවේ යෙදී සිටින අයුරු දැක උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘මෙපමණ කලක් මා මෙහි වාසය කළද මා සමඟ මෙවැනි ආකාරයට කුළුපග වීමක් ඇති වූයේ නැත. මුන් වහන්සේලා සමග කුළුපගව කථිකා කරන්නේ මොවුන් උන්වහන්සේ වදාළ මාර්ගයේ ගමන් කර ඇති නිසා වන්නට ඇත. යනුවෙන් සිතා උන්වහන්සේද වහා එතැනින් පිටත්ව ගොස් භාවනා කොට අර්හත් භාවයට පත් වූ සේක. මෙම සිදුවීම හේතු පාදක කරගෙන ඉහතින් වූ ගාථාව දේශිතය.

විහිළුවට හෝ බොරු කීමෙන් පවට ඇති භය නැතිවෙයි

පන්සිල් රකින බොහෝ පිරිස් අතින් නිරතුරුව ම බිඳෙන සිල් පදයකි. මුසාවාදය. පාලියෙන් බොරුව යන වචනය මුසා යනුවෙන් හැඳින්වෙයි. මුසාවාදය නම් බොරු කීමයි.
යම් ප්‍රශ්නයක් විසඳීමට කෙනෙක් සාක්ෂි දීම පිණිස කැඳවා ඔබ ඒ සිදුවීම දුටුවා දැයි විමසූ විට තමන් එය හොඳින් දුටු නමුත් නොදුටුවා යැයි පවසයි නම් නොදුටුවා දැයි විමසන කල්හි එය නොදුටු නමුත් දුටුවා යැයි පවසයි නම් එය මුසාවක යැයි සාලෙය්‍යක සූත්‍රයෙහි සඳහන් වෙයි.




බොරුකීමට මුල්වෙන කරුණු
1 අත්ත හේතු (තමන් වෙනුවෙන් බොරු කීම), 

2. පර හේතු (අනුන් වෙනුවෙන් බොරු කීම), 

3. ආමිස කිඤ්චික්ක හේතු (ලාභ සත්කාර පෙරදැරි කරගෙන බොරු කීම.

අත්ත හේතු නම් තම වාසිය පිණිස බොරු කීමයි. තමාගේ සුව පහසුව පිණිස කියන ඕනෑම බොරුවක් මේ ගණයට අයත් වෙයි. එමෙන්ම මා මේ බොරුව කිව්වේ කෙනෙක් මට තර්ජනය කළ නිසා හෝ මරණවා කියු නිසා ආදි වශයෙන් බොරුකීමට පෙළඹීම ද අත්ත හේතුවට අයත්ය. පර හේතු නම් යමෙක් තම දරුවන් වෙනුවෙන්, පවුලේ යහපත වෙනුවෙන්, රට ජාතියේ දියුණුව වෙනුවෙන් , තම ආගම වෙනුවෙන් බොරු කීමයි.ලාභ සත්කාර , කීර්ති ප්‍රශංසා ආදිය පෙරදැරි කරගෙන කියන බොරු ආමිස කිඤ්චික්ක නම් වේ. සෑම විටම බොරුවක් පවසන්නේ මේ කාරණා තුන මුල් කරගෙන බව සැළකිය හැකිය. කිනම් අයුරකින් හෝ බොරු කීම හොඳ දෙයක් නොවේ. එය සමාජයේ පිළිකුලයට ලක්වෙයි. භාග්‍යවතුන් වහන්සේ බොරුව සෑම සමාජ ස්ථරයකම වාසය කරන අයට නුසුදුසු දෙයක් සේ සළකා එය සිල් පදවලින් වළක්වා ඇත. ගිහියන්ට පන්සිල්, අටසිල් සහ දසසිල් මඟින්ද, සාමණේර හිමියන්ට සාමණේර දස සිල්වලින්ද, උපසපන් භික්ෂුන්ට පාරාජික පාචිත්තිය යන ශික්ෂාපද වලින්ද බොරුව වළක්වා ඇත.


භික්ෂුවගේ පාරාජිකාව

පාරාජි යනු සම්පූර්ණ මහණ භාවය අහෝසි වී යාමයි. භික්ෂූන් වහන්සේ නමක් එසේ පාරාජිකා බවට පත්වන්නේ තමා තුළ නැති ධ්‍යාන මාර්ග ආදී උත්තරිතර මනුෂ්‍ය ධර්ම මවාපෑමාදි කටයුතු වලිනි. අසන්නා මුලා කරන අදහසින් තමන්ට ප්‍රයෝජන වාසි, ලාබ ප්‍රශංසා ආදිය ලබා ගැනීමේ අරමුණෙන් යුක්තව යම් ස්වාමින් වහන්සේ නමක් සෝවාන් නොවී තමා තුළ නැති මාර්ගඵල ගැන පවසයි නම් එවන් භික්ෂුව පාරාජික භාවයට පත්වෙයි. එවන් බොරු කීමෙන් පමණක් නොව තමන් තුළ නැති යම් යම් උසස් ගුණ ධර්ම තිබෙනවා යැයි අන්‍යයන්ට දැනෙන සේ හැසිරීමද එවැනි ම බොරුවකි. මෙවැනි බොරු, ස්වාමින් වහන්සේලාට පමණක් නොව මා තුළ නැති උසස් ගුණ ධර්ම තිබේ යැයි අන් අයට පෙනෙන අයුරින් හැසිරෙන ගිහියන්ටද අදාළ වේ.
සාමාන්‍යයෙන් මුසාවාද වචනයෙන් සිදුවන වැරැද්දක් ලෙස ගැනේ. නමුත් බොරු කීම පමණක් නොව බොරු කිරීම්, බොරු රඟපෑම්, බොරු ලිවීම්, බොරු මවාපෑම් ආදියද මුසාවාදයෙහිම අංගයන් වේ. බොරු කීමෙන් කරන්නේ කෙනෙකු රැවටීමයි. වංචා කිරීමයි. අනෙකාව මුළා කොට නොමඟ යැවීමේ චේතනාවෙන් ක්‍රියාකිරීම ද බොරුව හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි. කිසියම් ආත්මාර්ථයක් සඳහා සාක්ෂි කැඳවූ විට යමෙක් බොරු කිව්වේද හේ වසලයෙකු බව ධර්මයේ සඳහන් වෙයි.

බොරුවෙහි අභිප්‍රාය රැවටීමයි

බොරුවෙහි මූලික අභිප්‍රාය නම් රැවටීම හෙවත් වංචාවයි. යම් ක්‍රියාකාරකමක් නිසා රැවටීමක් වේ නම් එය බොරුව ලෙසද දැක්වේ. බොරුවට මුල් වන අකුසල මූලය ලෝභයයි. ලෝභ, ද්වේශ මෝහය යන අකුසල මූල සිතෙහි තිබුණාට එයින් පවක් සිදු නොවේ. පව් සිදු වන්නේ එය සිතෙන්, කයෙන් හෝ වචනයෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවේදී පමණයි. විෂම ලෝභය යනු අන් සතු දේ තමන් සතු කර ගැනීමට ඇති ආශාවයි. ඒ විෂම ලෝභය සිතේ තිබී වැඩි දියුණු වී තවදුරටත් සිතේ තබා ගනු නොහැකිව අන් සතු දේ අයිති කර ගැනීමට ඇති ආශාව කෙනෙකු බොරු කීමට පොළඹවයි. බොරු කිරීමද බොරු ලිවීමද ඒ අයුරින්ම සිදුවෙයි.
සැබවින්ම බොරුව අනෙක් පව්කම්වලට පවා ප්‍රබල ව පවතී. මිලින්ද ප්‍රශ්නය නම් ග්‍රන්ථයෙහි මිළිඳු නාගසේන සංවාදයේදී නාගසේන ස්වාමින් වහන්සේ විසින් දැන දැන බොරුකීම පාරාජිකාවක් ලෙස සඳහන් කර ඇත. බොරුව එතරම්ම බරපතල වරදක් බව ඒ වකවානුවේදී සළකා ඇත. ඒ අනුව කිසිවක් නිසා නොව බොරු කියන්නාට කළ නොහැකි වරදක් නැති නිසාය. බිත්තියක එක් ගඩොලක් ගැළවුවහොත් ඒ බිත්තියේ ශක්තිය දුර්වල වෙයි. ඒ මොහොත්දී ම බිත්තිය කඩා නො වැටුණත් එමඟින් බිත්තියට හානියක්, එහි ශක්තියට අඩාලවීමක් සිදුවේ. ඒ දුර්වලවීම පසුකාලීනව බිත්තිය කඩා වැටීමට ප්‍රබල හේතුවක් විය හැක.

විහිළුවට බොරුකීම

විහිළුවට හෝ බොරු කීමෙන් වන්නේ පවට ඇති ලජ්ජාව සහ බය නැතිවී යාමයි. එවන් බොරු කීම මඟින් බොරුවෙහි ඇති භයානක භාවය නැති වී එය සරල දෙයක් ලෙස පෙනී යයි. ඒ සරල භාවය බොරුව කෙරෙහි ඇති ලජ්ජාව සහ බිය තුරන් කරයි. මේ ධර්ම දෙක නැතිවී යාම අනෙකුත් පව් කිරීමට ශක්තිය දෙයි. බොහෝ අය වැරැදි නො කරන්නේ එයට ඇති ලජ්ජා සහ බිය නිසයි. ඒ කරුණු දෙක හේතු කොට ගෙන පව්කම් නොකරන්නේ, බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගමිකයන්ද එවන් පාපයන්ගෙන් වැළකෙයි. ඒ අයුරින් ගත් කළ ඒ අයගේ ශීලය සහ අපගේ ශීලය අතර වෙනසක් නැති බව පෙනේ. අපගේ ශීලය ඊට වෙනස් විය යුතු වෙයි. අප සිල් රැකිය යුත්තේ ලජ්ජා භය නිසා ම නොව නරක දේ අත හැරීම විමුක්තියට හේතු වන බව වටහා ගෙනය.

මුසාවාදය පිටුදැකිය හැකි ක්‍රම

1 තමා බොරු නොකියා සිටීම, 

2. අන්‍යයන් ලවා බොරු නො කියවීම, 

3. අනුන් කියන බොරු සතුටින් ඉවසා නොසිටීම.

කිසිම අයුරකින් තමා බොරු කියන්නේ නැතියි යන දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව මුසාවාදය පිටු දැකිය හැකි පළමු ආකාරයයි. සමහරු තමා බොරු නොකියන නමුත් අන්‍යයන් ලවා බොරු කියවති. මෙය අද සමාජයේ ඉතාම සුලභව දකින්නට ඇති කරුණකි. දෙමාපියන් දරුවන් ලවා බොරු කියවීම, දරුවන් දෙමාපියන් ලවා බොරු කියවීම, රටේ ප්‍රභූන් මාධ්‍ය ප්‍රකාශකයන් ලවා බොරු කියවීම මෙයට අයත්ය. කරන විටදී එතරම් බරපතල ක්‍රියාවක් ලෙස නො පෙනුණත් එහි මුසාවාද පාප කර්මය එලෙසම පවතී. තමා බොරුවෙන් වළකින්නා සේම අන් අය ලවා බොරු කියවීමද දැඩි සේ හෙළා දැකිය යුතුය. ඒ මුසාවාදය පිටු දැකීමේ දෙවන පියවර වෙයි. අනුන් කියන බොරු සතුටින් ඉවසා එයින් තෘප්තිමත් වීමත්, බොරුවට අනුබල දීමකි. සමහරු අන් අය කියනා විකාර කථා ඉතාම සතුටින් වින්දය කරයි. ඒවා අසා පී‍්‍රතියට පත්වෙයි. මේවා ද මුසාවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් වෙයි.
ඒ වගේම තම සිතෙහි ඇති කාරණය අන් අය ලවා කියවීමට විවිධාකාරයෙන් රුකුල් සපයයි. මෙවැනි විවිධ ක්‍රම වලින් බොරු කියන අයට සහයෝගය දෙනවානම්, එයට අනුකූලත්වයක් දක්වනවානම් අඩුතරමින් ඒ අය කියන බොරු අසා සිනාවක් හෝ පහළ කරනවා නම් එයින් හානි සිදුවන්නේ අපගේ ශීලයටයි. එයින් මුසාවාද ශික්ෂාපදය කැඩේ. එය දුර්වල වෙයි. ඒ නිසා එවන් දෙයින් වැළකී බොරුව තෘප්තිමත්ව අනුමත කිරීමෙන් වැළකීම අපගේ වගකීමයි.


ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 10 වන සඳුදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

සම්මා දිට්ඨිය අරුණෝදය වැනිය

සසරේ ඉපදෙමින් මැරෙමින් යන සත්ත්වයන් හට ඒ දුක්ඛිත වූ සසරින් එතෙර වන්නට අවස්ථාවක් උදාවන්නේ ඉතාමත් කලාතුරකින්. වාසනාවකට අපට දැන් ඒ අවස්ථාව උදාවී තිබෙනවා. එයට හේතුව අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම පමණක් පිහිටුවන්නා වූ බුද්ධ ශාසනයක් මුණ ගැසීමයි.
අංගුත්තර නිකායේ පළමු පොත් වහන්සේගේ අන්තර්ගත සූත්‍රදේශනා ඇසුරෙන් ඇති පහත කරුණු වලින් එය මනාව වැටහේ. තථාගතයන් වහන්සේ විසින් උන්වහන්සේගේ පහළවීම කෙතරම් ලෝකයාට හිතසුව පිණිස පවතීද කියා මෙසේ වදාළ සේක. පින්වත් මහණෙනි, බොහෝ දෙනාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, මේ ලෝකයේ උපදින එකම පුද්ගලයෙක් සිටියි. ඒ තමයි නිවැරැදි ආකල්ප ඇති සම්මා දිට්ඨියෙන් යුතු පුද්ගලයා. බොහෝ පිරිස අධර්මයෙන් ඈත් කොට ධර්මයේ පිහිටුවනවා. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ ජනයාගේ යහපත පිණිස සැපය පිණිස, නිවැරැදි ආකල්පයෙන් යුතුවූත්, සම්මා දිට්ඨියෙන් යුතුවූත්, ආශ්චර්යවත් මනුෂ්‍යයා වශයෙන් මේ ලෝකයෙහි උපදින එකම පුද්ගලයා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.

මරණාසන්න සිත

දහම වරදවා තේරුම් ගත් සමහර අය මරණාසන්න මොහොත ගැන විවිධ අදහස් දරති. මේ අතරින් සමහර අදහස් සමාජ ජීවිතයේ පොදු විශ්වාස තුළින් ගොඩනඟාගත් ඒවාය. ඇතැම් මතිමතාන්තර පසුකාලීන ලේඛකයන් මෙන්ම අටුවාචාරීන් සඳහන් කළ කරුණු අනුසාරයෙන් ගොඩනගා ගත් විශ්වාසයන්ය. සූත්‍රධර්මවල ඇතැම් කොටස් තේරුම් බේරුම් කරගැනීමට අටුවාව මහෝපකාරී වේ. ඒ අතින් උන්වහන්සේලා සිදුකළ සේවාවන් විවේචනයට හෝ විමර්ශනයට අපට කිසිදු අයිතියක් නොමැත. එහෙත් සූත්‍ර ධර්මවල සඳහන් නොවන කරුණු ඇත්නම් අප ඒවා පසුකාලීන අදහස් ලෙස පිළිගතයුතු ය. බෞද්ධ කතා සාහිත්‍යය දෙස බලන විට වර්තමානයේ වුවද එකම කතාව දේශකයින් වහන්සේ තුන් හතර ආකාරයකට සඳහන් කිරීමෙන්ම අපට සූත්‍ර ධර්ම අනුව ධර්මය පැහැදිලි කර ගැනීමේ වැදගත්කම තේරුම් ගත හැකිය. ඒ හැරුණු විට සමාජගත සාම්ප්‍රදායික විශ්වාස නම් බැහැර කළ යුතුමය.

බුදුරදුන් සමඟ වාද කරන්නන් නිරුත්තර වූ වගය

භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලබා නැඟූ පළමු සිංහ නාදයට අපමණ සැප ඇති දෙවිවරුත් සසරට බිය වූ බව පසුගිය ලිපියෙන් සඳහන් කළෙමු . අද පළවෙන්නේ මෙම ලිපි පෙළෙහි පස්වන කොටසයි
කවදාවත් කුසගිනි දැනෙන්නේ නැති කවදාවත් දහදිය බිඳුවක්වත් නොදමන , ලෙඩක් ගැන දන්නේවත් නැති අප්‍රමාණ සැප ඇති, අපමණ ආයුෂ ඇති දෙවියන් සංසාරයට බියවී සංසාරෙන් එතෙර වෙන්න මේ නාම රූප ධර්මයන්ගේ අනිත්‍යය ස්වභාවය අවබෝධ කරගන්න වෑයම් කරනවා.
දෙවියන් එසේ බිය වී වෑයම් කරනවානම් අඩුම ආයුෂ ඇති දෙවියන්ගේ ආයු ප්‍රමාණය මනුලොව වර්ෂ වලින් අනූලක්ෂයක් නම් අවුරුදු හැටක්, හැටපහක් ජීවත් වන අප කොහොම කල්පනාවෙන් ජීවත් විය යුතුද? අපට තියෙන්නේ යුද්ධයක්. මේ සියල්ල කරන්නේ කුසගින්න නිවා ගැනීමටයි. මිනිසුන්ට දැනෙන කුසගින්න, වේදනාව සීමාවක් නැහැ. එසේම ලෙඩ දුක් සීමාවක් නැහැ. අට අනූවක් ව්‍යාධි, නව අනූවක් රෝග යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළා.

Sunday, June 18, 2017

සිතක ස්වභාවය කෙසේ හඳුනමු ද?

ගෘහස්ථ ජීවිතයක කම් සැප විඳින සිතක පවතින්නේ ඇලීම් සහ ගැටීම්ය. ඇසට හමුවෙන රුවක, කනෙහි මතුවන හඬක, නාසයට සමීපවන ආඝ්‍රහණයක, දිවට දැනෙන රසයක, ශරීරයට මුසුවෙන ස්පර්ශයක සිතට දැනෙන සිතිවිල්ලක සුවදායි ලෙස කාමයට යොමු වූ සිතකින් ඇළෙන සිතකින් නික්ලේෂී සිතක් පිළිබඳව කෙසේ නම් දැනගන්නේ ද?"
අප මෙම ධර්ම ලිපිය සඳහා ඇසුරු කරගනු ලබන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් සත්තජටිල සූත්‍ර දේශනාවයි. තථාගත බුදුරජාණන් වහන්සේ එක් කාලයක සැවැත් නුවර මිගාරමාතාවන් විසින් කරන ලද පූර්වාරාමයෙහි වැඩ වාසය කරනවා. භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ ඵල සමාපත්තියෙන් නැගී සිට,උන්වහන්සේ වෙහෙරෙහි දොරටුව සමීපයෙහි වැඩ සිටියා. පසේ නදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට එකත් පසෙක වාඩි වී සිටියා.

අටසිල් අනුශාසනා

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
පින්වතුනි,
බෞද්ධයාගේ ප්‍රධාන පරමාර්ථය නිවන් පසක් කර ගැනීමයි. බුදුදහමෙහි ඇතුළත් කුදුමහත් සියලු පිළිවෙත් තුඩු දී ඇත්තේ ඒ සඳහා ය. ඒ පිළිවෙත් සීල සමාධි ප්‍රඥා වශයෙන් තුන් ආකාරයයි. එයිනුත් මුලින්ම පිරිය යුත්තේ සීලයයි. සීලය කියන්නේ හික්මීමයි. කය වචන දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැහැ. සමාධියක් නැතුව ප්‍රඥාව වඩන්නට බැහැ. සීල සමාධි ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙලින් වඩන්නට ඕනෑ. එහෙම නැතිව රහත් වෙන්නට බැහැ. රහත් වීමට චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නට ඕනෑ. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි.
ප්‍රඥාව දියුණු කළ හැක්කේ දියුණු කළ සිතකයි. සිත දියුණු වන්නේ සමාධියෙන්. ඒ සමාධිය ඇති කර ගැනීමට පිරිසුදු සීලයක පිහිටන්නට ඕනෑ. ඒ නිසා අද ඔබ සිල් සමාදන් වීමෙන් කළේ ඉතාමත් ඤාණවන්ත ක්‍රියාවක්. ගිහි ජීවිතය වටා ගෙතී තිබෙන දහසක් ප්‍රශ්න අද ඔබ අමතක කළා. පෙහෙවස් සමාදන් වුණා. ප්‍රතිපත්ති පූජාවෙන් තෙරුවන් පිදීමට ඉටා ගත්තා. බුදු දහමේ විස්තර වෙන කුදුමහත් පිළිවෙත් සියල්ලම විස්තර කොට තිබෙන්නේ පණවා තිබෙන්නේ නිවන් පසක් කර ගැනීමට තුඩුදෙන විදියටයි.

මනුලොව උතුම් දායාදය...

මනුෂ්‍ය ලෝකයක උපත ලැබූ අපට ලැබුණු ශ්‍රේෂ්ඨම දායාදය උතුම් තිසරණය බව ඔබ අප සෑම කෙනෙක් ම දන්නවා. ඒ වුනත් ඒ තුළ පිහිටා කටයුතු කිරීම තමයි බොහෝ දෙනෙක් තුළින් සිද්ධ නොවෙන්නෙ. සමහරු දැනගෙන ම එය නොසලකා හරිනවා. සමහරු ධර්මය අහන්නෙ නැති නිසා තිසරණයේ වටිනාකම දන්නේ නැහැ. මිය ගොස් සතර අපායේ උපදිනවා. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා ගණනාවකදී ම දේශනාකොට වදාළේ අප උතුම් තිසරණය තුළ ස්ථාපිත විය යුතු බවයි.
සංයුක්ත නිකායේ සළායතන සංයුක්තයේ මොග්ගල්ලාන සංයුක්තයේ සක් දෙවිඳුන් ප්‍රධාන දෙවිවරුන්ට කරන ලද දේශනාවල දී තිසරණ ලාභය ලබාගත් කෙනාට සුගතිය හෙවත් දෙව්ලොව උපත ලබන්නට භාග්‍ය තිබෙන බව දේශනා වෙනවා. මේ දේශනාවන් සිදු කරන්නේ මහා සෘද්ධි බල සම්පන්න වූ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ. සක්ක සූත්‍රයේ පටන් අට්ඨම සක්ක සූත්‍රය දක්වා සූත්‍ර අටකදී මේ පිළිබඳව ඉතා මැනවින් විස්තර වෙනවා.
සක්ක සූත්‍රයේ දී මොග්ගල්ලානයන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රන්යන් හට දේශනා කරන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ සරණ යෑම ඉතාම යහපත් බවයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ සරණ යාම නිසා සමහර සත්ත්වයන් කය බිඳී මරණින් පසු සුගතිය නම් දෙව්ලොව උපත ලබන බවයි.
මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ සක් දෙවිඳුන් හට දේශනා කරන්නේ ශ්‍රී සද්ධර්මය සරණ යෑම ඉතාම යහපත් දෙයක් යනුවෙන්. ශ්‍රී සද්ධර්මය සරණ යෑම නිසා මෙහි ඇතැම් සත්ත්වයන් කය බිඳී මරණින් පසු සුගතිය නම් වූ දෙව්ලොව උපත ලබන බවයි.

මහත්ඵල මහානිසංස සහිත දන් දීම

දානය යන වචනය බෞද්ධයාට හුඟක්ම හුරුපුරුදු වචනයක්. දන්දීම වෙනත් ආගමිකයන් අතරද ක්‍රියාත්මක වෙන සද්චාරිත්‍ර ධර්මයක්. ඒක එහෙම වුණත් බෞද්ධයන්ට මෙය අන් කවර ආගමිකයන්ටත් වඩා හුරු වී තිබෙන්නේ උපතේ සිට මරණය දක්වා වන සෑම සුබ මෙන්ම අසුබ ක්‍රියාකාරකමක දී වුවත් දානය මුලට එනවා. නිදසුනක් වශයෙන් කෙනෙක් මිය ගිය විටත් ඒ වෙනුවෙන් හත් දවසෙන් තුන් මාසෙනුත්, අවුරුද්දෙනුත් සමහර විට අවුරුදු පතාත් දන්දීමෙහි යෙදෙනවා. ඒ වගේම තම දුවගේ, පුතාගේ විවාහ මංගල්‍යයට පෙරත් පන්සලේ හාමුදුරුවරුන්ට දානයක් දීලා ආශිර්වාද ලබා ගන්නා ක්‍රමයකුත් තියෙනවා. තමන් මරණයට කිට්ටු වෙනවා කියලා හිතලා ‘ජීවදානය’ කියා දානත් දෙනවා.
දැන් දැන් දෙන දාන පෙරට වඩා බොහොම විසිතුරුයි, හාමුදුරුවරුනුත් විශාල වශයෙන් වැඩමවලා මහ දන් දෙනවා. හාමුදුරුවරුන්ට දෙනු ලබන දේවලුත් පිරිකර වශයෙන් වුණත් විශාලයි. මිල මුදල් පවා දානයට වැඩම වූ හාමුදුරුවරුන්ට පිරිකර වශයෙනුත් පූජා කරනවා.

දිගු ඇසුරකින් හඳුනාගත හැකි පුද්ගල චරිතය

භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් සත්ත ජටිල සූත්‍ර දේශනාවේ දී පසේ නදී කොසොල් රජතුමාට යම් පුද්ගලයෙක් කෙසේ නම් හඳුනාගත යුතු වන්නේ ද යන්න මෙසේ තව දුරටත් පැහැදිලි කර දේශනා කරන ලදී.
දුටු පමණින්, දුටු මාත්‍රයෙන්, කතාවෙන්, සිනහවෙන්, පෙනුමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන්, ආකාරයෙන්, ලීලාවෙන් හැසිරීමෙන් නියමාකාරයෙන් හඳුනාගත නොහැකියි යන මේ අදහස අපි මෙසේ සලකා බලමු.
මෙය කියවන ඔබත් ඔබේ ජීවිතයේ අත්දැකීම් සමඟ ගළපා බලමින් ධර්මයටම මුසු කරගෙන එනම් ඇලීමෙන්, ගැටීමෙන්, බැඳීමෙන්, අමනාපයෙන් තොරව උපේක්ෂාසහගත සිතකින් විමසා බලන්න. භාග්‍යවතුන් වහන්සේ මුලින් සඳහන් කළේ මහ රජ එක්ව විසීමෙන් සීලය දත යුතුය. එයත් දිගු කාලයකිනි. කෙටි කාලයකින් නොවේ. මෙනෙහි කරන්නාහු විසිනුයි. මෙනෙහි නො කරන්නෝ විසින් නොවේ. නුවණැත්තා විසිනුයි. නුවණ නැති අයකු විසින් නොවේ යන අදහසයි.

ජීවත්වීම යනු.

නොකළ යුතු දේ නොකර සිටීමත්, කළ යුතු දේ් කිරීමත් සන්තුෂ්ෂක ජීවිතයක ප්‍රමුඛ කාර්යය වෙයි. නොකළ යුතු දේ් කළ හොත් සන්තුෂ්ෂකභාවය නැතිව යයි. කළ යුතු දේ නොකළ හොත් සන්තුෂ්ෂකභාවය නැතිව යයි. අප ජීවත් වීෙමිදී ජීවත් වීම සඳහා බොහෝ දේ කළ යුතු බවට නිරතුරුවම කතා වෙයි. මේ සියල්ලම කරන්නේ කෑම සඳහා බවට යමි යම් අවස්ථාවල යමිකිසි පුද්ගලයන් ප්‍රකාශ කරන අවස්ථා අපට අසන්නට ලැබෙයි.එය ජීවිතය ජීවත් කරවීමේ නියාමයට පටහැනි වෙයි. අපට ශරීරයක් තිබෙනවා සේම එම ශරීරය ඇතුළත තිබෙන පණ ශරීරය ඇතුළෙහිම ගැට ගසා තබාගැනීමට වෑයම් කිරීම සඳහා වැඩපිළිවෙළක් අපට තිබෙයි. ඊට අමතරව ජීවත්වෙනවා යන කාරණාව පවතී.
මෙම ශරීරය අතුළත තිබෙන පණ ගැටගසාගෙන සිටීම ජීවත් වෙනවා යනුවෙන් ඔබට සිතිය හැකියි. ඊට අමතරව ජීවිතයක් තිබෙනවා යනුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේද? යනුවෙන් සිතිය හැකියි. එම ජීවිතයට සන්තුෂ්ෂකභාවය එකතු කරගැනීමට තිබෙන ප්‍රධාන පෙළේ ප්‍රමුඛ කාරණාව රැඳී පවතී. ජීවිතය වෙනත් කාරණාවක් වන අතර පණ ගැටගසා ගන්නවා යනු වෙනම කාරණාවක් වෙයි. ශරීරය ඇතුළත ශරීරය නොමැරී පවත්වාගෙන යාමට ශරීරය ඇතුළත තබාගනු ලබන ජවය පණ වෙයි.එම පණ ශරීරයෙන් ඉවත් වීමට නම්, ආහාර නොගෙන සිටිය යුතුයි. පණ ශරීරය ඇතුළත ගැටගැසී තිබීමට නම්, කාල බීල සිටිය යුතුයි. ජීවත්වෙනවා කියමින් ජීවිතය නමින් හඳුන්වන තවත් කාරණාවක් වෙනම පවතී. එම ජීවිතය සන්තුෂ්ෂකභාවය සහිත පැවැත්ම වෙයි.

මහලුවියේ උදාසීනබව දුරලමු

" බුදුදහම ජීවිත පරිණාමය ගැන කරුණු සඳහන් කරන අවස්ථා බහුල වේ. මහලු වියේ දී ස්වභාවිකව උද්ගත වන්නා වූ කායික සහ මානසික ගැටලු නිරාකරණයෙහි ලා යොමු විය යුතු අංශ පුළුල්ව, සංවේදීව පැහැදිලි කරන අවස්ථාවක් ‘සච්ච විභංග‘ සූත්‍ර දේශනාවේ ඇතුළත් වේ.''
ඒ ඒ සත්වයින්ගේ ශරීර තුළ ඇති වන්නා වූ පරිණාමය, දත් දිරායාම, හිසකෙස් (කලු) සුදු පැහැ ගැනීම, හම දුර්වර්ණය වීම, ජීවිතයේ අවසානය කරා ළඟාවීම සහ මානසික ශක්තිය මුහුකුරායාම ඇතුලු සියලුම දේ ජීවිත පරිණාමය හෙවත් වැහැරීම ලෙස හැඳින්වේ.

තෘෂ්ණාවෙන් පිරි ලෝකය කිසිදා තෘප්තිමත් නොවෙයි



අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය හුදෙක් අදහා ගැනීමෙන් සම්පූර්ණ වන්නක් නොවේ. ධර්මය වනාහී නුවණින් කල්පනා කිරීමෙන් අවබෝධ වන එකක්. එනිසාමයි බුදුරජාණන් වහන්සේ වදාළේ "මාගේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි. දුෂ්ප්‍රාඥායන්ට නොවේ" කියා. අද අප මාතෘකා කර ගන්නේ එසේ නුවණින් සලකා බලා තේරුම් කරගත යුතු කරුණු සතරක් පිළිබඳවයි.
මේ වටිනා කරුණු සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ රට්ඨපාල සූත්‍රයේ. එහි ඇත්තේ රට්ඨපාල මහ රහතන් වහන්සේ සහ කෝරව්‍ය රජතුමා අතර ඇතිවන සංවාදයක් තුළයි.

Monday, June 12, 2017

බුද්ධිමත්ව සිතමු

වෙහෙස මහන්සියක් නැතිව අනුන්ගෙන් ලැබෙන දෙය බලාගෙන ඕපා දූප කියමින් කම්මැලිකමට ජීවත් වෙන්න ඇතැම් අය උත්සාහ කරති. තමන්ගේ අඩුපාඩු කතා කිරීමට කැමැති නැති , අය කෙතරම් සිටිනවාද? ඒ සියල්ලම නතර කර ජීවිතයට හොඳ ආරම්භයක් ගන්නට උත්සාහ කරමු.
නැකතට වැඩ නොකළ හොත් පවක් හෝ පිනක් සිදුවන්නේ නැහැ. පව පින සමඟ සම්බන්ධයක් නැහැ. නැකතට ආහාර අනුභව නොකළහොත් අකුසලයක් සිදුවන්නේ නැහැ.නමුත් ඒවා චාරිත්‍ර වෙයි. අනුගමනය කළ යුතු ගුණ ධර්ම වෙයි. කිසියම් නිවසක නැකතට සහල් ලිප තබන්නේ නැත්නම්,වැඩ අරඹා ගනුදෙනු කරන්නේ නැත්නම්,එම නිවසින් ඇති ඵලක් නැහැ. අධ්‍යයාපනය ලබන දරුවෙකු නම්, වැඩ අල්ලන නැකතට අනුව පොත පත කියවිය යුතුයි.
ගෙදර ගෘහණියක් නම්, ගෙදර පිළිවෙළ කළ යුතුයි.ගෘහණියගේ වැඩ ඇල්ලීම ගෘහයට සම්බන්ධ දෙයක්. වැඩ අරඹනවා යනු කිසියම් වැඩක් ආරම්භ කිරිමයි. තමන් යෙදී සිටින ක්ෂ්‍රේත්‍රයට අනුව වැඩ ඇරඹීම සිදු වෙයි. එම ආරම්භය ආරම්භයක් ලෙස සළකනු ලබනුයේ ඉදිරි දින තුන්සිය හැටපහ තුළ පවත්වා ගෙන යාමයි.

වගකීම් දැරීමට සුදුසු කවුරුද?

" ඇතැම් දරුවන් වියපත්ව දුර්වරණව ගිය දෙමාපියන් දෙස බලන්නේද කාලකන්නි නමැත්තා දෙස අන්‍යයන් බැලූ ආකාරයටමය. ඔවුහූ තම වියපත් දෙමාපියන් හා එක්ව වාසයකිරිමටත් ඔවුන් අන්‍යයන්ට හඳුන්වාදීමටත් මහත් මැලිකමක් දක්වති. ඇතැම් ස්වාමිවරු තම සේවකයන්ට අකාරුණිකව සළකන අවස්ථා කොතෙකුත් වාර්තා වේ."
අනේපිඬු සිටුවරයාට වැලි කෙළියේ පටන් එක්ව වාසය කළ යහළුවෙකු සිටියේය. නමින් කාලකන්නි නම් වූ ඔහු මැනවින් ශිල්ප හදාළ අතර පසුකලෙක දුප්පත් වීමෙන් ජීවත් වීමට නොහැකිව අනේපිඬු සිටුවරයා වෙත ගියේය. සිටුවරයා අවශ්‍ය බත් වැටුප් ලබාදී තමා සන්තක ඇතැම් වගකීම් ඔහුට පැවරීය. ඔහු ද සිටුවරයාගේ සියලු කුදු මහත් කටයුතු මැනවින් සොයා බලා ඉටු කළේය.

මෙත් සිසිලෙන් සිත් සැනසේ ( කරණීය මෙත්ත සූත්‍රයෙන්)

ඔබ කැමැති දේ සේ ම අකැමැති දේ ද වටපිටාවේ සිදුවේ. ඇතැම් අයගේ වචන සේම ක්‍රියාවන්ද ඔබගේ සිත දවන්නට තරම් බලවත් වන අවස්ථා තිබෙන්නට පුළුවන. එමෙන්ම ඔබේ සිතිවිලි, වචන හැසිරීම් නිසා අනුන්ද එසේ දැවෙන්නට පුළුවන. තැවෙන්නට පුළුවන. එහෙත් ඔබ නිසා අනුන් නොදැවිය යුතු සේම අනුන් නිසා ඔබද නොතැවිය යුතු ය.
තරහවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරුණු සිතක් මෙත් සිසිලසෙන් නිවා සනසන්නට මෛත්‍රී භාවනාව මා හැඟි ඔසුවකි. මෙත් වඩන්නෙකු කෙරෙහි පුරුදු පුහුණු කළ යුතු ගුණ සමුදායකි. කරණීය මෙත්ත සූත්‍රයෙහි ඉගැන්වෙන ‘උජු ච සූජු ච’ ආදී ගුණ ඉන් ප්‍රධානය. එනම් අවංක වීමය. මැනවින් අවංක වීමය.

සිත ගැන අවධියෙන් සිටින්න

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් දෙවියන් සහිත ලෝකය වෙත ක්‍රම දෙකක් උගන්වන්නට යෙදුණා. එනම්, සමථ භාවනා ක්‍රමය සහ විපස්සනා භාවනා ක්‍රමයයි. ඒ ක්‍රම දෙකෙන්ම නීවරණයන්ගේ සන්සිඳවීම උගන්වනවා. තණ්හාව, තරහව, කම්මැළිකම, සිතේ විසිරීම , සැක සාංකාව, නීවරණ පහ සංසිඳුවාගන්නට භාවනාව තරම් ප්‍රයෝජනවත් දෙයක් තවත් නැහැ.
දානමය පින්කම්, සීල සමාදානයෙන් පමණක් සතුටු නොවී භාවනාමය පින්කමට තමන් සම්බන්ධ විය යුතුයි. ඇතැම් විට මේවාට වෙලාවක් නැතැ’යි, විවේකයක් නැතැ’යි සිතෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව ‘තිට්ඨංචරං නිසින්නොවා සයානොවා යාවතස්ස විගත මිද්ධෝ’ යනුවෙන් ක්‍රම පහක් උගන්වා තිබෙනවා. සිටගෙන සිටියදී, ඉඳගෙන සිටියදී , ඇවිදිමින් සිටියදී ,නිදන ඉරියව්වෙන් හෝ නිදිවර්ජිතව සිටියදී භාවනාවෙන්ම යෙදෙන්නැ’යි වදාළා.

සත්‍ය වචනයේ මිහිරියාව..



බොරු කීමෙන් වැළකීමට හොඳම පිළිවෙල වන්නේ සියලු අභූත දේ වර්ජනය කිරීමයි. අභූත දේ නම් සිදු නොවූ දෙයයි. තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ නොසිදු වූ දේ ගැන කථා කිරීමෙන් වැළකීම මෙහි අදහසයි. සිදු නො වූ දේ ගැන අප කථා කරන්නේ ඒ ගැන උපකල්පනය කිරීම හරහායි. ඒ උපකල්පන තුළ කියන දේ බොරුවක් වීමට අවස්ථාවක් ඇත. කථා කළ යුත්තේ තමන්ට ප්‍රත්‍යක්ෂ වූ දේ ගැන පමණි. පරම සත්‍යය ලෙස ගත හැක්කේ එයයි.
තමන්ට ප්‍රත්‍යක්ෂ නොවූ, නොදන්නා දේ ගැන කතා කිරීමෙන් වැරැදි අදහස් ප්‍රකාශ විය හැකියි. නමුත් පරම සත්‍යය එසේ වෙනස් නෙවේ. එහි අඩුපාඩු විය නොහැක. එමනිසා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ ගැන පමණක් කථා කිරීමෙන් හා තමන්ට ප්‍රත්‍යක්ෂ දේ පමණක් පිළිගැනීමෙන් බොහෝ දුරට අසත්‍ය ප්‍රකාශ කිරීම අවම කරගත හැක.

නිවෙන සැනසෙන නිවන

කේසර සිංහ රජුගෙන් යම් සතෙකුට කිසිම ගැලවීමක් නැතිවා සේ භාග්‍යවතුන් වහන්සේ සමඟ යම් පුද්ගලයෙක් වාද කළොත් ඒ පුද්ගලයා නිරුත්තර වන බව අපි පසුගිය ලිපියෙන් සඳහන් කළෙමු. අද පළවෙන්නේ මෙම ලිපි මාලාවේ අවසාන ලිපියයි.
සිංහ සූත්‍රයේ තවත් කාරණාවක් ලෙස සිංහයා රත්තරං ගුහාවේ සිටින කාලය භාග්‍යවතුන් වහන්සේ උප්පත්තියේ සිට අවුරුදු විසිනවයක් ගතවන තුරා අප්‍රමාණ වූ සැප සම්පත් ඇති මාළිගා තුනක අවුරුදු විසිනවයක් ගෙවාපු කාලයට සම කළා. මෙය භාග්‍යවතුන් වහන්සේ ඵල සමාපත්තියට සම වැදී, ඵල සමාපත්තියෙන් ගත කරන කාලය සිංහ රජු ගුහාවේ ගත කරන කාලයට සමාන වෙයි.
මේ සුත්‍ර දේශනාවේ නැවත සඳහන් කරනවා සිංහයා ඇඟ මැළි කඩා ගුහාවේ දොර සමීපයට පැමිණ පාද දෙක ඉදිරියට දිගුකර කෑගසා පිටුපස ප්‍රදේශය පිටුපසට ඇද ඇඟ මැළි කඩා කෙලින් සිටිනවා. මෙය භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කිරීම අඳුරේ ගිනි වළල්ලකට සමාන කරයි. මේ සිංහයා ඇඟ මැළි කඩා නිකරුණේ සිටින්නේ නැහැ. පිට සොලවා දූවිලි ඉවත් කරනවා. මෙසේ පිට සොලවන්නේ සිංහයාගේ ස්වරූපය නිසයි. නැත්නම් මේ සිංහයා වෙසෙන රත්‍රං ගුහාවේ දූවිලි නැතිව ඇති. භාග්‍යවතුන් වහන්සේ ධර්ම සභාවට වැඩම කිරීම සිංහයා පිට ගසා දැමීමට උපමා කර තිබෙයි. තවත් මොහොතක මෙය අඳුරේ ගිනි වළල්ලක් සේ සමාන කර තිබෙයි. මේ සිංහයා පිට ගසා වටේට දුවනවා. නමුත්, මේ සිංහයා දුවන දසුන තවත් කෙනෙකුට පෙනෙන්නේ නැහැ. කේසර සිංහයා සුදුයි යනුවෙන් සඳහන් කරනවා. පිට මැද ඇත්තේ රතුපාට ඉරි තුනක්.

සැපයට හේතුවන සීලය

බුදු දහමේ ඉගැන්වෙන ධර්මානුකූල ප්‍රතිපදාවේ අවසන් බලාපොරොත්තුව නිවන් අවබෝධයයි. එහි දී අප ගමන් කළ යුතු ප්‍රතිපදාව නොහොත් මාර්ගය අනුපූර්ව ශික්ෂාවයි. පෘථග්ජන පුද්ගලයා අනුක්‍රමයෙන් සීලයෙන් යුක්තව නිර්වාණය උදෙසා ගමන් කරයි. එය ලෞකිකත්වයෙන් ලෝකෝත්තර අධිගමනයට පත්වීමක් ලෙස දැක්විය හැකිය.
මෙලොව සාර්ථක බවෙහි ප්‍රධාන අංගය සීලයයි. එනම් සීලයෙන් සමාධියටත්, සමාධියෙන් ප්‍රඥාවන්ත වී උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නා ආකාරය බුදුහිමියන් තමන් වහන්සේ අවබෝධ කරගත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දී පියවරෙන් පියවර පෙන්වා දී ඇත. එහි දී සීලයෙන් තොර සමාධියත්, සමාධියෙන් තොර ප්‍රඥාවත් පිළිබඳව සාකච්ඡා කිරීමක් නොමැත. සීලය පළමුවෙන් ම සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවයි. සීලයෙහි නොපිහිටීම තුළ සත්ත්වයා අනේකවිධ දුක් කම්ටොලු, වේදනා පීඩාවන්ට මුහුණපාමින් සසර දීර්ඝ කාලයක් සැරිසරන බව බුදුහිමියන් වදාළ සේක.

ශීලය සැබැවින්ම කුමක්‌ උදෙසාද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 'සතර අපායෙන් මිදෙමු' - 27 කොටස

ශීලය කියන්නේ බොහෝම ආකර්ෂණීය දෙයක්‌. සිතූ සිතූ සම්පත් ලැබෙන දෙයක්‌. එය ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකය.

නමුත් ශීලය තුළින් ඇති වන හික්‌මීමක්‌ තිබෙනවා. ඒ හික්‌මීම පෝෂණය වෙලා තිබෙන්නේ නෙක්‌ඛම්මය තුළින්. මේ නෙක්‌ඛම්ම සිත විසින්, ශිල්පද ආරක්‍ෂා කරගැනීම නිසා දායක පිරිස්‌වලින් ලැබෙන සිව්පසය විනයානුකූලව පාලනයට යටත්කර ගන්නවා. එම හික්‌මීම නිසාම භික්‍ෂුන් දක්‍ෂවෙනවා ශීලය, සමාධිය උදෙසාම තමා තුළින් පෙළගස්‌වා ගැනීමට. එම දක්‍ෂභාවය නැතිකෙනා ශීලයේ දිට්‌ඨදම්මවේදනීය කුසල් විපාකයන් ලැබෙනවිට ශීලය නිසාම ශීලයෙන් පිරිහෙනවා.

ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරුකරන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 'සතර අපායෙන් මිදෙමු' - 26 කොටස

භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවක්‌ රාත්‍රියේ පවත්වනවිට එක මහත්මයෙක්‌ නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්‍ෂුව අදහස්‌ කළේ 'දැන් පරක්‌කු වුණා' කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්‍ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්‍රින් ලක්‍ෂ කීයක්‌ අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද? ගෙවීගිය සෑම රාත්‍රියක්‌ම අවසන් වූයේ එළිවීමෙන්ය.

Sunday, June 11, 2017

පොඩි කමට කළත් 'පව' පොඩි නැත පුතුනේ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.... 'සතර අපායෙන් මිදෙමු' - 24 කොටස

වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා 'හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්‍යභාවනාව ගැන කියල දෙන්න' කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම දරුවාගෙන් ඇසුවේ 'ඔබ පැවිදිවීමේ අදහසක්‌ තිබෙනවාද?' කියල. එවැනි අදහසක්‌ නොමැති බව ප්‍රකාශ කළ නිසා භික්‍ෂුව එම දරුවාට මතක්‌ කළේ 'ඔබ අනිත්‍ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ අධ්‍යපන කටයුතුවලට බාධාවක්‌ වෙයි' කියල.

තවත් පුතුන් කුමට පතන්


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....'සතර අපායෙන් මිදෙමු' - 23 කොටස

භික්‍ෂුව හමුවීමට පැමිණි තරුණ තාත්තා කෙනෙක්‌ භික්‍ෂුවගෙන් බොහෝම සංවේදී ප්‍රශ්නයක්‌ ඇහුවා. 'හාමුදුරුවනේ මම කුඩා දරුවෙක්‌ ඉන්න තාත්ත කෙනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 4යි. මේ පුංචි දරුවා හරිම දඟකාරයි. එයා එක වෙලාවකට සන්ඩුකරනවා. තව වෙලාවක සෙල්ලම් කරනවා. තවත් සමහර වෙලාවට අම්මා සමග ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. මේ දරුවා සෙල්ලම් කරන වෙලාවට නිතරම මම හාවා, මම මුවා, මම අලියා ආදී වශයෙන් සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කරනවා, හැසිරෙනවා' මේ මහත්මයා අහනවා මගේ දරුවා සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කිරීමට ප්‍රියවීම හේතුවෙන් මගේ දරුවාට යම් ප්‍රශ්නයක්‌ වේවිද කියලා.

ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 'සතර අපායෙන් මිදෙමු' - 22 කොටස

වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක්‌ ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්‌සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා.

ගුරුකමේ රඟ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 'සතර අපායෙන් මිදෙමු' - 25 කොටස

කලෙක භික්‍ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක්‌ ඈතින් වැසි වනාන්තර ලක්‍ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක්‌ වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්‌ථානයක්‌. ඉහත කාලය තුළ එක ස්‌වාමීන්වහන්සේ නමක්‌ සති දෙකක්‌ පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා.

මරණ බියෙන් තොර මරණයක්‌ උදෙසා


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ... 

'සතර අපායෙන් මිදෙමු' - 22 කොටස

වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද? 

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය පිරිහීමට පත්වෙන්නේ.

ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 23 කොටස

තවත් වැලන්ටයින් දිනයක්‌ අත ළඟය. මෝහයට මෝස්‌තර දමා 'ආදරය' යෑයි ආටෝපයක්‌ සරුවට සමාජගත කරන්නේය. සරු දේ නිසරු වශයෙනුත් නිසරු දේ සරු වශයෙනුත් ගත් අහිංසක තාරුණ්‍යය මුලාවෙන් මුලාවට පත්වන්නේය. සැබෑ සැනසීම වෙනුවට කාමයේ ආශ්වාදය තුළ වැනසීමට පාර කපන්නේය. පරිහානියෙන් පරිහානියට යන ලෝකයේ ඒ 'නන්නත්තාර' රැල්ල නැවතීම (හේතු ඵල අනුව) අපට නොහැකිවුවද, සරු දේ සරු වශයෙන් ගලපාගැනීමටත් නිසරු දේ නිසරු ලෙසින් බැහැර කිරීමත් පහසුවක්‌ වනු පිණිස ආදරය ගැන සඳහන් මේ සටහන මෙම සතියේ ඔබට පිදීමට අපි තීරණය කළෙමු. 

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා 'මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ' කියලා.

මේ දුකදැයි සිහියෙන් බලන්න


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..... 'සතර අපායෙන් මිදෙමු' - 22 කොටස

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා.

ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි

'සතර අපායෙන් මිදෙමු' - 21 කොටස

තාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය. 

අහෝ! තිරිසන් අපාය

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...  'සතර අපායෙන් මිදෙමු' - 20 කොටස

පිංවත් ඔබේ දෑස්‌ ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස්‌ කරුවන්. සතර අපායෙන් එකක්‌ තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්‌දෙන ස්‌ථානයක්‌. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි.

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 19 කොටස

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා 'ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?' කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ 'දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා' ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි. උපසම්පදා විනය කර්මයෙන් පස්‌සේ මට වෙච්චි දෙයයි මම ප්‍රකාශ කළේ. ඒත්, ඒ දරුවා ඒක තේරුම් ගත්තේ නැහැ. ශීලය තුළට යන්න යන්න ඔහු නිවෙනවා. එය ශීලයේ ආශ්චර්යයක්‌. සිsල්පද රකිනවාය කියන්නේ ජීවිතයට පහසුවක්‌මයි. භික්‍ෂුව මේ මොහොතේ ඉන්න සරළ භාවය ශීලයේ ඵලයක්‌. මෙතනට එන කෙනා අවබෝධයෙන් දන්නවා තමා තුළ විකුණන්නවත්, විකිණෙන්නවත් දෙයක්‌ නොමැති බව.

මේ අවුරුද්දේ ඔබත් මෙතැනට එන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....  ( නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II)

'පිංවත් ඔබත් මෙතැනට එන්න' කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත.

Saturday, June 10, 2017

කෙලෙස් නසන බලධර්ම

ඒ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙකි. දිනක් එහි වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ ඛිණාසමබල සූත්‍රය දේශනා කළ සේක. එහිදී සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් යම් බලයන්ගෙන් යුතු වූ රහතන් වහන්සේ නමක් මා ගේ ආශ්‍රවයෝ ගෙවී ගියහ’යි, ආශ්‍රවයන්ගේ නැතිවීම ස්ථිර කළේද? ඒ රහතන් වහන්සේ ගේ ආශ්‍රවයන් ගෙවීමට, ක්ෂය කිරීමට හේතු වූ බලධර්මයෝ කොතෙක් වේද?යි විමසූහ. එහිදී සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, “මේ ශාසනයෙහි රහතන් වහන්සේ අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ තත්ත්වූ පරිද්දෙන් දකින්නෝය.

සිවු මහා ගංගාවෝ මහ සයුරට ගලා ආ කල එකම ලවණ රසයයි

බුදුරදුන් දෙව්රම් වෙහෙරෙ වෙසෙන සමයෙහි තමා හුවා දක්වමින් අනුන් හෙලා දුටු එක්තර ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේ නමක් අරභයා මෙම ජාතක කථාව දේශනා කරන ලදි. දෙව්රම් වෙහෙර වැසි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් “ඇවැත්නි අපගේ ජාතිය හා සමාන ජාතියක් නැත, අපගේ ගෝත්‍රය හා සමාන ගෝත්‍රයක් නැත, අපගේ දැසි දස් කම්කරුවෝ පවා ඇල් සහලේ බත් සහ මත්ස්‍ය මාංස අනුභව කෙරෙති, කසී සළු අදිති, කසී රට සුවඳ විලවුන් ගල්වති, අපි මහණ වූ හෙයින් මෙබඳු රූක්ෂ භෝජන අනුභව කරම්හ, රූක්ෂ වූ සිවුරු පරිහරණය කරම්හ” යනුවෙන් ස්ථවිර නවක මධ්‍යමක භික්ෂූන් ඉදිරියෙහි තම මහන්තත්වය ප්‍රකාශ කරමින් ජාත්‍යාදි වශයෙන් අන්‍යයන්ට නින්දාකරමින් වාසය කළේය.