අකීකරු දෙව් මිනිසුන් දහම තුළ කීකරු කරවා දමනයට පත්කිරීමේ භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය සැබැවින්ය අසිරිමත් ය.
මෙත් කරුණා ගුණ පෙරදැරිව විස්මිත ප්‍රඥාාවේ අනුහසින් දෙවි මිනිස් චිත්ත සංතානයන් හි සිදුකළ ගුණාත්මක පරිවර්තනයෙන් සැනසුන ජීවිත අපමණ ය. සම්බුදු ගුණ අභියස දහස් ගණනකගේ දිවි තොර කළ දරුණු අංගුමාලයන්, දමිත සමිත අරහත් මුනිවරයෙකු බවට පත්විය
අසිරිමත් ගුණයන්ගෙන් හෙබි මෙලොව පහළ වී වදාළ මහාපුරුෂයාණෝ අප සරණ ගිය භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේ ය. නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිමින් ලෝ සතුනට අපමණ සෙත සෑදු උන්වහන්සේ සම්බුදු දිවියේ උත්තම ගුණ සුවඳ සදා අනුස්මරණී ය. සසරේ රැස්කළ අපමණ පුණ්‍ය බල ඇති උන්වහන්සේ දෙවි මිනිසුන් දමනය කෙරුමට සෘද්ධිමත් පෙළහර ද අනුන්ගේ සිත් බලා දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යය ද, කුසල් අකුසල් පෙන්වාදීම නම් වූ අනුශාසනීය ප්‍රාතිහාර්යය ද උපයෝගි කරගත් සේක.
වත්මන් සමාජයේ බොහෝවිට දකින්නට ලැබෙන්නේ බණින්නාට පෙරළා බනින, නින්දා අපහාස කරන්නන්ට පෙරළා නින්දා අපහාස කරන අය යි. නමුත් තථාගත බුදුරදුන්ගේ් ස්වභාවය ඊට වෙනස් ය. අක්කෝස භාරද්වාජ , සච්චක ආළවක වැනි අය අපහාසාත්මක වදන් පවද්දී ඉවසා වදාහළ සම්බුදු රදුන් පෙරළා පැවසුවේ සුමිහිරි සම්බුදු වදන් ය. ඒ නොදැමුණු සිත් දමනය වී ශ්‍රාවකයන් බවට පත්ව අපහාස කළ මුවින්ම මුනිඳු ගුණ වැයුවේ අනුත්තර පුරිසදම්සාරථි ගුණයේ අනුහසිනි.
උන්වහන්සේ නිරන්තරයෙන් කණට සැප ගෙන දෙන හෘදයාංගම ශිෂ්ඨ සම්පන්න මතකයේ රැචදිය යුතු අර්ථවත් විමුකිත් රස ඇතිව බොහෝ දෙනාට පි‍්‍රයමානප වචන වදාළා. ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් ද අපේක්ෂා කළේ එබඳු වදන්ම ය. දිනක් උන්වහන්සේ ඒ පිණිස රාහුල හිමියන් අමතා ‘පින්වත් රාහුල ඔබ හොඳින් විමසා බලද්දී මේ අයුරින් අවබෝධ කර ගන්නේ මගේ මේ වචනයෙන් කරන කි‍්‍රයාව මට විපාක පිණිස පවතින්නේ නැහැ. අන් අයටත් විපාක පිණිස පවතින්නේ නැහැ. නමුත් මේ වචනයනම් දෙ පැත්තෙන්ම යහපත පිණිස පවතිනවා. මේ වාචසික ක්‍රියාව කුසලයෙන් සැප උපදවනවා. සැප විපාක තියෙන දෙයක්“ කියා වදාළා.
වරක් අභයරාජ කුමරුන් ඇමතු තථාගතයන් වහන්සේ වදාළේ පින්වත් කුමරුනි, යම් වචනයක් අන් අයට පි‍්‍රයමනාප ද, සත්‍යවාදී ද අර්ථවත් ද සුදුසුකල් බලා තථාගතයන් වහන්සේ එය පවසන බවයි. යම් වදනක් අන් අයට අපි‍්‍රය අමනාප ද එනමුත් සත්‍යාවාදී ද අර්ථවත් ද එයද සුදුසුකල් බලා පවසන බවයි. භාග්‍යවතුන් වහන්සේ තුළ තිබූ මේ වාචසික සංවරය සැබවින්ම අසිරිමත් ය.
ඒ වගේම පරිසරයේ සොඳුරු චමක්කාරජනක බව සමඟින් බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු නිකෙලෙස් දිවිය මනාව ගැලපී ගියේ ය. සුන්දර සාල වනයක ජන්මය ලද අතුපර විහිදී ගිය සුවිසල් ඇසතු රුක් සෙවනක සම්බුදු බව පසක් කළ සුපිපි සල් රුක් සෙවනක පිරිනිවන් පා වදාළ උන්වහන්සේ නිරතුරු වාසය කළේ ස්වභාවික පරිසරය සමඟින් ඒකාත්මිකව ය. පිඬුසිඟා ලත් බොජුන් ගංතෙරක හෝ රුක් සෙවණක වැඩහිඳ වැළදු භාග්‍යවතුන් වහන්සේ බවුන් වඩමින් දැහැනේ සිත රැඳවූයේ වන මැද තුරු සෙවණක ය. වරක් නිසංසල වන උයනක විදසුන් වඩමින් සිටි ශ්‍රාවක භික්ෂූවක් දිරිගන්වමින් වදාළේ
රමණීයානි අරඤ්ඤානි - යත්ථ න රමති ජනෝ
විතරාගා රමිස්සන්ති - න තේ්කාමගවේසිනෝ
අඳුරු සෙවණැලි ඇත - වනය සොඳුරුය අපට
කාම සැපයට ඇලුණු ජනයා - කැමති නැහැමයි එයට
වීතරාගි ශ්‍රමණයන් - සිටිති ඇලෙමින් වනයට
කම් සුවය නො සොයන ඔවුන් - කැමතියි ඒ වනයට
භාග්‍යවතුන් වහන්සේ ගස් කොළන් සිඳීම, තණකොළ මත ජලය මත මළමුුත්‍රා කිරීම, කෙළ ගැසීමද නොකරන ලෙසට පැවිදි ශ්‍රාවකයන්ට ශික්ෂා පදයන් ද පැන වූවා. මිනිසාට නිවැරදිි විය හැක්කේ බුදුරජාණන් වහන්සේගේත්, ශ්‍රාවකයන් වහන්සේලාගේත් ඒ උතුම් පැවතුම් ආදර්ශයට ගනිමින් ධර්මයේ පිහිටා පමණයි.
උන්වහන්සේගේ දිවියේ තිබූ තවත් සුවිශේෂි ගුණයක් වූයේ ආර්ය නිහැඬියාව යි. නිහඬ බව පි‍්‍රයකළ නිහඬබව අගය කළ නිහඬබවේ ගුණ වැයූ උන්වහන්සේ සිය ශ්‍රාවකයන් හික්මවා වදාළේ ද ආර්ය නිශ්ශබ්දතාව පිණිස යි.
පුන් සඳා පෑයු එක් දිනක එක්දහස් දෙසිය පනහක භික්ෂූ පිරිසක් පිරිවරා තථාගතයන් වහන්සේ ජීවකයන්ගේ අඹවනයේ වැඩසිටි සේක. කිවිසුම් හඬක් හෝ උගුර පාදන හඬක්වත් නොමැති ඒ සා විශාල පිරිසක් සොඳුරු නිහඬබවේ ගැලී වැඩ සිටිනු දුටු අජාසත් රජු විශ්මයටත් උද්දාමයටත් පත්වුණා. අන්‍ය ආගමික ආරාමයන් කරා තථාගතයන් වහන්සේ වඩින විටදී සකුළුදායි ආදී පරිබ්‍රාජකයින් සිය සව්වන් පවා නිහඬ කරවී ය.
සම්බුද්ධත්වයට පෙර බෝසතුන් ගතකළ ගිහි දිවිය පවා සත්පුරුෂ ගුණයෙන් සපිරුණු ආදර්ශමත් වූවකි. රම්‍ය, සුරම්‍ය, සුභ යන අතිශය ෙසාඳුරු මාලිගාවන්හි සුවපහසු දිවියක් ගතකළ ද සිදුහත් කුමරු කාමයන්ගෙන් මුසපත් වුයේ නැත. අන් මැදුරුවල සේවකයින්ට කාඩි හොදි සහිත බත් ලැබෙද් දී සිදුහත් කුමරුගේ මැදුරේ ප්‍රණීත රසමසවුලෙන් යුතු සත්පුරුෂ දන් පිරිනැමුණි. බොහෝ දැසි දස්සන් තාඩන පීඩන විඳිමින් රළු වදන්වල දුක් පහස ලබද්දී අප බෝසතුන්ගේ පිරිවර ජනයා කාරුණික වදනින් ද, මෙත් සහගත සංග්‍රහයන්ගෙන් ද නිරුතුරු සැනසුනා ය.
අකීකරු දෙව් මිනිසුන් දහම තුළ කීකරු කරවා දමනයට පත්කිරීමේ භාග්‍යවතුන් වහන්සේ තුළ පැවති අනුත්තර පුරිසදම්ම සාරථි ගුණය සැබැවින්ය අසිරිමත් ය. මෙත් කරුණා ගුණ පෙරදැරිව විස්මිත ප්‍රඥාාවේ අනුහසින් දෙවි මිනිස් චිත්ත සංතානයන් හි සිදුකළ ගුණාත්මක පරිවර්තනයෙන් සැනසුන ජීවිත අපමණ ය. සම්බුදු ගුණ අභියස දහස් ගණනකගේ දිවි තොර කළ දරුණු අංගුමාලයන්, දමිත සමිත අරහත් මුනිවරයෙකු බවට පත්විය. දොළොස් වසරක් පුරාවට මිනිසුන් බිලි ගනිමින් දඹදිව් තලයට දුක් බිය කැන්දූ ආළවක යකු තිසරණ ගතව දිවි හිමියෙන් සිල්පද සුරකින උපාසකයකු බවට පත්වුණි. ඇඳීවත පවා නො මැතිව උන්මාදයෙන් මහමඟ දිවගිය පටාචාරාවන් තථාගත හදමඬලේ උපන් අරහත් ශ්‍රාවක දියණියකව විනයධර භික්ෂුණීන් අතරින් අගතනතුරු ලැබුවා ය. දිය බිඳු උදෙසා රෝහිණී නදි තීරයේ අවි අමෝරා සිටි ශාක්‍ය කෝලිය යෞවනයන් ද පැවිදි බවට පත්ව වීතරාගි විතදෝෂි හීතමෝහි චිත්ත සන්තානයන් ඇතිකර ගත්හ. සම්බුද්ධත්වයෙන් දෙවන වසරේ දී ඤාතී සංග්‍රහය උදෙසා යළි ශාක්‍ය දේශයට බුදුරදුන් වැඩියේ සදාතනිකව දමනය වූ විසිදහස්් නිකෙලෙස් රහතුන් පිරිවරමිනි.
ඒ වගේම ගස්ගල් අදහමින් සිටි සත්ව හිංසනයෙන් සතුටු වෙමින් සිටි අවිද්‍යාවෙන් වැසී ගිය අඳුරු යුගයට ලැබුණු සම්බුද්ධ සංදේශය නිසා සිසිලසට පත් වූ මේ රම්‍ය දිවයින සොදුරු මානූෂීය ගුණ දහමින් සුවඳවත් වුණා. අකාලික වූ උත්තම වූ මුනිදහමේ දායාදය ලද ලාංකීය සමාජය බොහෝ කලක් තිස්සේ අධාර්මික බලවේගයන්ට ලක්වීමේ හේතුවෙන් ඒ දැමුණු මිනිසත් බව පිරිහෙමින් පවතී. නොයෙකුත් ඇදහිලි පසුපස හඹා යමින් නොමිනිස්කම් දිනෙන් දින දළුලමින් ගුණදම් වියැකි ගිය යුගයක් බිහි වෙමින් පවතී. මනුෂ්‍යත්වය අගයන මෛත්‍රී කරුණා ආදී ගුණවලින් සපිරුණ දැහැමි සමාජයක් බිහිකළ හැක්කේ ශාස්තෘත්වයේ පිහිටාධාරයෙන් පමණයි. කල්‍යාණ මිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් දිවියට සමීප කර ගැනීමෙන් විනා එයට අන් මඟක් නැහැ. පිරිසුදු සීලයෙන් යුතු ආගන්තුක සත්කාරයෙන් හෙබි සංවර වදන් පවසන නිහඬ බව අගයන, පරිසර හිතෛෂී ධාර්මික සමාජයක් එවිට බිහිවනු ඇත. සම්බුද්ධත්වයේ උත්තම ගුණ සුවඳින් සුවඳවත් වූ ගුණදහම් සපිරුණු වර්තමානයක් එවිට උදාවනු ඇත. තථාගත බුදුසිරිතෙන් පරමාදර්ශ ගෙන මෙත් කරුණාවෙන් දහම් අනුහසින් අන් අය දමනය කෙරුම සැබෑ දමනය වන්නා සේම ලොවට සෙත ශාන්තිය සැලකීම ද වේ.
දැමුණු සිතින් යුතු භාග්‍යවතුන් වහන්සේ අවි ආයුධයෙන් තොරව සැරඵරුෂ වදනින් තොරව මහා කරුණාවෙන් ද විස්මිත ප්‍රඥාවෙන් ද අන් අය දමනය කළ සේක. ශාන්ත සිත් ඇතුව අන් අය සැනසූ සේක. දුකින් මිදී ගොස් අන් අය ද දුකින් මිදවූ සේක. සසරින් එතෙරට වැඩම කොට අන් අයද සසරින් එතෙර කළ සේක. උත්තම මුනි දිවිය කෙරෙහි අපේ සිත් පහන් කරගෙන අකාලික සම්බුදු වදන් පිළිසරණ කර ගනිමු. සොඳුරු මිනිස් දහම්හි පිහිටා උත්තරීතර මානුෂික ධර්ම ඇතිකරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අදිටන් කර ගනිමු.
පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ඔක්තෝබර්
29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment