Labels

Friday, September 11, 2015

සසරක ගමන



මනුෂ්‍යයන්ගෙන් සමහරෙක් ජීවිතය අවසන් වීමෙන් පසුව දුක් බහුල වූ උපතකට පැමිණෙති. සමහරෙක් මවු කුසකට ම පැමිණෙති. සමහරු දිව්‍යාත්මයන්ට පැමිණෙත්.

උපාදානයන් නැති කළ අය පිරිනිවෙති හෙවත් නැවත උපතක් ලැබීමෙන් වළකිති, යනුවෙන් බුදුහාමුදුරුවන් පැහැදිලි ලෙස මෙය පෙන්වා ඇත. මෙසේ සසර ගමන් කරන සත්ත්වයා හැමවිටම සෑම ජීවිතයකදීම අද්දැකීම් ලබාගනී. ලබා ඇති අද්දැකීම්වල පමණට දක්ෂකම හා සුදුසුකම ද වැඩි වෙයි.
එක ජීවිතයකදී සිත සකස් කරගත් හා සිතෙහි රුචිය දියුණු වූ ආකාරය අනුව දෙවනුව ලබන ජීවිතය වෙනස් වේ. පරිත්‍යාගය, මෛත්‍රිය, කරුණාව වැනි උතුම් සිතිවිලි වැඩි දියුණු කර ගැනීමෙන් සැප බහුල වූ ජීවිතවලට යාමද, ලෝභය, කෝපය, ඊර්ෂ්‍යාව වැනි නරක සිතිවිලි දියුණුවීම නිසා දුක් බහුල ජීවිතවලට පත්වීම ද සිදුවෙයි.

 මෙයින් කවර ජීවිතයක් ගත කළත් එම ජීවිතයට අයිති ආයුෂ අනුව පමණක් එසේ විසිය හැක. ඇතැම්විට ආයුෂ ඉතිරිව තිබියදීත් අනපේක්ෂිත විපත් නිසා අතරතුරදී ජීවිත අවසන් වන අවස්ථා ද ඇත. වැඩි වශයෙන් එසේ අවසන් වූ අය නැවතත් එම මට්ටමේ ජීවිතයකට ම පත්වන බව දක්නා ලැබේ. තමන්ගේ පෙර ජාතියේ තොරතුරු කුඩා වයසේදී ප්‍රකාශ කළ දරුවන් සැමදෙනාම මෙසේ අඩු ආයුෂක් ගතකර පෙර ජීවිතය අවසන් කළ අයය.

මෙසේ සසර ජීවිත ගතකරමින් පැවැතගෙන යන උපාදානස්කන්ධ සංයුති විශාල වූ අසංඛ්‍ය වූ සමූහයක් විශ්වය පුරා ඔබනොබ හැසිරෙමින් හා ජීවිත මාරුකර ගනිමින් ගතකරති. කවර ශ්‍රේණියක ජීවිතයක් හෝ දරන කල එම ශ්‍රේණියේ ජීවිත ගතකරන තවත් බොහෝ පිරිසක් හමුවේ. පෙර වතාවකදී එක්ව සිටි කෙනෙකු පසුව වතාවලදී කොතෙකුත් හමුවිය හැක. කාර්යාලයක සේවයේ යෙදී සිටි සේවකයෙක් වෙනත් කාර්යාලයකට මාරු වෙයි. ඔහුගේ මාරුවීමෙන් හිස්වූ අසුනට වෙනත් කෙනෙක් පත්වෙයි.

දුම්රියක පිරිසක් නැඟී යති. නැවතුම් පළකදී කීපදෙනෙක් බැසයති. එතැනින් නැඟුන මගීහු හිස් වූ අසුන්වල හිඳගනිති. කාටවත් වෙනත් කෙනෙකු නැතිකර දැමීමට නොහැක. සමහර විට ඇතැමෙක් “මොහු මගේ සතුරාය, මොහුගෙන් නිදහස් විය යුතුය” යි සිතා වෙනත් කෙනෙකු තමා විසින් ම හෝ වෙනත් කෙනෙකු ලවා හෝ මරා දමයි. මෙය බොහෝ විට බලවත් පුද්ගලයන් අතින් සිදුවන දෙයකි. බලය වැඩිපුර ඇති නිසාය. මෙසේ මැරිමෙන් සතුරාගෙන් නිදහස් විය නොහැක. තමන් සතුරෙකැයි සැලකූ තැනැත්තා නැවතත් හමුවෙයි. ඔහුගේ සතුරුකම එයින් තවත් වැඩිවෙයි. තවත් කොපමණ වාරයක් මෙසේ මරා දැමුවත් සතුරුකම වැඩි වීමත් සුළු කාලයක් සඳහා අනතුරුදායක සතුටක් ලැබීමත් හැර වෙනත් ඵලයක් ඇති නොවේ.

අද ඔබගේ බලය වැඩි නම් අද ඔබට එම පුද්ගලයා ඝාතනය කළ හැක. එහෙත් තව වරකදී ඔහු ඔබට වඩා බලවත් විය හැක. එදාට ඔබ ද අසරණය. තමන්ගේ හැකියාවන් සෙස්සන් පාගා දැමීමට හෝ නැසීමට හෝ යොදාගැනීම ශක්තියට අපහාස කිරීමකි. ශක්තිය යනු විශ්වසාධාරණ දෙයකි. එය තමන් අතට වැඩිපුර එකතුවීම නිසා එය එහිම හිමිකරුවන් වන සෙස්සන් පෙළීමට යොදා ගැනීම බලයෙන් ගිලිහීමට හේතුවන ක්‍රියාවකි. විශ්වධර්මතාව ශක්තියට අපහාස කිරීම නො ඉවසයි. තමන් සතුරෙකැයි සිතා යමකු ඝාතනය කළත් ඔහුම භූතාත්මයකින් ඔබ ලුහුබඳින්ට ද ඉඩ ඇත. ඔහුගේ ශක්තියේ පමණට ප්‍රතික්‍රියා ද කරන්නට ඉඩ ඇත. එයට අතිරේක වශයෙන් විශ්ව ධර්මතාවට අනුව ලැබෙන ප්‍රතික්‍රියාව ද බලාපොරොත්තු විය යුතුය. ඔබ කොතරම් රහසේ තමන් බේරී වෙන කෙනෙකු ඝාතනය කළත් ඔබ එය කළ බව ඉබේට ම සෙසු බොහෝ දෙනාට දැනෙන්නට පුළුවන. එය දුටු කෙනෙක් නැත. එහෙත් එම අදහස නිකම්ම බොහෝ දෙනාගේ සිතට දැනෙන්නට පටන් ගනී. අප නොදැනුවත්වම අප පසුපස විශ්ව සන්නිවේදනයක් ක්‍රියාත්මක වී පවතී. කෙතරම් සඟවා කළ වරදක් වුවද නොසිතූ ලෙසින් හෙළිදරව් වන අවස්ථා කොතෙකුත් ඇත. ඇතැම් ඒවා සිතාගත නොහැකි ක්‍රමවලින් හෙළිවී ඇත. එක තැනක සිදුවන දෙය තවත් බොහෝ තැන්වලට දැනෙන විශ්ව සන්නිවේදනයක් පවත්නා හෙයිනි.

සතුරකුගෙන් නිදහස් වීමට ඇති එකම ක්‍රමය නම් සතුරු බව නැති කිරීමය. සතුරා නැති කිරීම වෙනුවට සතුරු බව නැති කළ යුතුය. ගැටීම් අඩු වනසේ ක්‍රියා කරමින් තමන්ගේ සිතෙහි පවතින ‘මොහු මගේ සතුරෙක්’ යන සිතීම ක්‍රමයෙන් තුනී කරගැනීම සතුරාගෙන් නිදහස් වීමේ සාර්ථක ම ක්‍රමය වේ. කවදා හෝ ඔබට මෙය කිරීමට ම සිදුවේ. එය කරනතුරු සතුරුකම හා සතුරාත් නැති කළ නොහැක. මරාදමනු ලැබූ සතුරා නැවත ඉපදී තවත් දැඩි ලෙසින් සතුරුකම් කරයි. ඔබත් එයට එබඳුම ප්‍රතික්‍රියා කරන තුරු ඔහුට තමන්ගේ ක්‍රියා ගැන පසුතැවිලි වීමට අවස්ථාවක් නොසැලසෙයි.

ඔබගේ ජීවිතයෙහි යම් පමණ දෙනෙකු සමඟ සතුරුකම් ඇතිකර ගනිතොත් එපමණම විශ්වයේ සැරිසරන සත්ත්වයන් අතුරෙන් ඔබට සිටින සතුරන්ගේ සංඛ්‍යාව වැඩිවෙයි. යම් පමණ දෙනෙකු ඔබ මිතුරන් බවට පත්කර ගන්නෙහි නම් එපමණම දෙනෙකුගෙන් විශ්වයේ නොයෙක් තැන හමුවන මිත්‍රයන්ගේ ගණන වැඩිවෙයි. ඔබ යම් පමණ දෙනෙකුට උපකාර කෙළෙහි නම් හා යම් පමණ දෙනෙකුට පිහිට වූයෙහි නම් එපමණ දෙනෙකුගෙන් ඔබට හිතවත්ව ක්‍රියා කරන ජනසංඛ්‍යාව වැඩි වෙයි. කවර තැනක උපන්නත් එහිදී හමුවන මෙම පුද්ගලයෝ නිකරුණේ ම ඔබට උපකාර කරති. හිතවත් වෙති. ඔවුන්ගේ නෑදෑ මිත්‍රයෝ ද ඔබට හොඳින් සලකති. තමන්ගෙන් පීඩා ලැබූ අය හෝ ඔවුන්ගේ නෑදෑ මිත්‍රයෝ ඔබට පීඩා කරති. මේ නිසා ජීවිත කාලය තුළදී හැකිතාක් දෙනෙකුට උපකාර කරමින් හැකිතාක් වැඩි දෙනෙකු සමඟ මිත්‍රව විසීමෙන් හා එක් කෙනකු සමඟ හෝ සතුරුකම් ඇති නොවනසේ හැසිරීමෙන් තමන්ගේ අනාගත ජීවිත සැනසිල්ලෙන් ගතකිරීමට අවස්ථාව සැලසේ.

ඔබ අනුන්ගේ අයිතිවාසිකම් බලයෙන් උදුරාගෙන තමන්ගේ දූදරුවන්ට හෝ නෑයන්ට ඒවා හිමිකර දීමට උත්සාහ කළහොත් ඔබට පසුව කනගාටු වීමට සිදුවෙයි. ඔබගේ තමන්ගේ කම් හා අනුන්ගේ කම් අද දරා සිටින ජීවිතයට සීමාවූ ඒවාය. මෙතැනින් මැරීගොස් ඔබ හානි කළ අයගේ පවුලකම උපදින්නටත් ඉඩ ඇති හෙයිනි. එහෙයින් කාගේ හෝ සාධාරණ අයිතියට හානියක් නොකළ යුතුය. අද ඔබ බොහෝ දෙනා විශ්වාස කරන කෙනෙකු වී සිටියහොත් නැවත උපන් තැන්වලදී ද සෙසු අය ඔබ විශ්වාස කරති. මෙලෙසින් ක්‍රියා කිරීමෙන් සසර ගමන විශ්වධර්මතාවෙන් ඉඩ ලැබෙන උපරිම ප්‍රමාණයට සැපවත්ව ගතකළ හැක. ලෙඩවීම, මහලුවීම වැනි අනිවාය¸ පීඩාවන් සසර සැරිසරන්නකුට අයත් දේ ලෙස පිළිගැනීමට සිදුවෙයි. ඒවා හැරෙන විට සියලු අංශයන් සතුටුදායක තත්ත්වයකින් පවත්වාගෙන යාමට ඉහත සඳහන් කළ සංවරයෙන් හා පරිත්‍යාගයෙන් ගොඩ නැඟෙන ධම්මචරියාව උපකාරවෙයි. එසේ ජීවත් වන තැනැත්තාට මරණය විශේෂ දෙයක් ලෙස සැලකීමට හේතුවක් නැත. මරණය ‘හෙට උදෑසනක් බලාපොරොත්තුවෙන් නින්දට යාමක් ලෙස සැලකීමට පුළුවන් වෙයි. ඔබට සසර සැබවින් ම එපා වූ දවසක නිවන ද අත්වනු ඇත.



2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment