“නත්ථි තණ්හා නදී සමා - තෘෂ්ණාව හා සමාන ගලන ගඟක් තවත් නැත. තෘෂ්ණාව ගලන ගඟකි. අතුරක් නැතිව නිරන්තරයෙන් ම ගඟෙහි පවතින්නේ ගැලීමකුයි. ප්‍රධාන වශයෙන් අප දකින ගංඟා ජීවිතයේ අපට සැමදාම පෙනෙන්නේ නතර වීමක් නොව ගැලීමකුයි. තෘෂ්ණාවත් එසේමයි.
බිනර මස පුර අටවක පොහෝ දින අප කතා කළ විෂම වූ ලෝභය පිළිබඳව තවදුරටත් විස්තරාත්මක ව කතා කොට එයින් අත්මිදී පෘතග්ජන වූ අපේ ජීවිත වඩාත් යහපත් වූ අයුරින් පවත්වා ගැනීම පිළිබඳව අදත් අප විමසා බලමු.
අප යෙදෙන රැකියාව, ව්‍යාපාරය හෝ ධන උපායන මාර්ග ධර්මානුකූලව ම පත්වාගෙන යෑම තුළින් මනසේ ඇතිවන ආර්යය ධනය බොහෝමයි. මෙලොව වශයෙන් තමන්ට මානුෂික සංතෘෂ්ටියක් ලබාදෙනවා. එය කායික මානසික නීරෝගීව ජීවත් වෙන්නටත්, දීර්ඝායු සම්පත්තිය පිණිසත් හේතු වෙනවා.
මරණ මංචකයේදීත් මම වංචාකාරයෙක්, අසාධාරණ ලෙස අනුන්ගේ ධනය උපයූ කෙනෙක් යැයි තමාගේ සිතට චිත්ත පීඩා ගෙන දෙන්නේ නැහැ. මරණින් මතු සතර අපායට යාවී දෝයි යන බය හටගන්නෙත් නැහැ. සැබෑවට ම නොමුලාව, නොබියව මරණයට මුහුණ දෙන්නටත්, මරණයෙන් මතු දුගතියෙහි නොව සුගතියෙහි උපදින්නටත් අවස්ථාව සලසා ගන්නවා. මේ ආදී ලෙසින් ජීවිතය පැවැත්වීම සඳහා යහපත් වූ අරමුණු වෙනුවෙන් ජීවිතය, අනාගතය, අභිවෘද්ධිය වෙනුවෙන් සැළසුම් කළ යුතුයි. ඒ වෙනුවෙන් කැමැත්තක් ඇති කරගත යුතුයි. එහෙත් මේ ධර්ම කතාවෙහි “සුපසන් ජීවිතයක්” සඳහා උපදෙස් දෙන්නේ දැඩි ආශාවන් හෙවත් විෂම වූ ලෝභයක් ඇති නො කර ගැනීමටයි. එයට හේතුව ලෝභය, හෙවත් මෙහි සඳහන් කරන අයුරින් තෘෂ්ණාව, අභාවිත සිතකින් නම් කවදාවත් සම්පූර්ණ කළ නොහැකි දෙයක් ලෙස ම තැන්පත්ව පැවතීමයි.
“නත්ථි තණ්හා නදී සමා - තෘෂ්ණාව හා සමාන ගලන ගඟක් තවත් නැත. තෘෂ්ණාව ගලන ගඟකි. අතුරක් නැතිව නිරන්තරයෙන් ම ගඟෙහි පවතින්නේ ගැලීමකුයි. ප්‍රධාන වශයෙන් අප දකින ගංඟා ජීවිතයේ අපට සැමදාම පෙනෙන්නේ නතර වීමක් නොව ගැලීමකුයි. තෘෂ්ණාවත් එසේමයි. ඇසට තමා කැමැති ආකාරයෙන් රූප ලැබීමත්, ඒවා කාමච්ඡන්දයෙන් යුක්තව අරමුණු පිහිටුවාගෙන සිත සතුටු කරමින් සෑහීමක් ඇතැයි නැතුව ලබාගැනීම, නැවත ලබාගැනීම, ඒවායෙහි ඇලීම, ඒ නිසා ම පස් පව් දස අකුසල්වලට යොමුවීම අවසානයේ නොතිත් ආශාවන් ඇතුවම, එනම් අතෘප්තිකර ආශාවන්ගෙන් යුක්තව ම මනුෂ්‍යයා මරණයට පත්වීම, අභාවිත සිතක ඇතිවන කාමච්ඡන්දයේ ප්‍රතිඵලය එයයි.
ඇසට කොපමණ රූප දුන්නත්, අභාවිත සිතක් සෑහීමකට පත්වන්නේ නැහැ. අභාවිත සිතකින් කනෙන් කොපමණ ශබ්ද ඇසුවත් මගේ, මගේ ප්‍රියයි කියමින් කවදාවත් සෑහීමකට පත්වන්නේ නැහැ. නාසයෙන් කොපමණ ආග්‍රහණ ලැබුවත්, දිවෙන් කොපමණ රස ලැබුවත්, අභාවිත සිතකින් නම් තෘප්තිමත් වීමක් ඇත්තේ ම නැහැ. විශේෂයෙන් ම දිව ගැන කතා කරන විට අපට මේ කරුණ පැහැදිලියි. අසංවර ගති පැවතුම් ඇති භෝජනයෙහි පමණ දැනගැනීමක් නැති රස තෘෂ්ණාවට හසු වූ එමෙන් ම ආහාරයෙහි කෑදර හා ගිජු වූ පුද්ගලයා ආහාරයෙන් කවදාවත් ඇතැයි යන හැඟීමක් හෝ තෘප්තිමත්වීමක් ලබන්නේ නැහැ. එවැනි පුද්ගලයාගේ යම් විටක කුස පිරුණත් සිත නම් පිරෙන්නේ නැති බව පැහැදිලියි. ඔහු හෝ ඇය දැඩි ලෙස ආහාරයේ ඇලෙන, ගිලෙන අතර දැඩි වූ ගිජුකමක් ද එහි ඇති කර ගනී. සමහර විටක ඒ ආහාර නිසාම ඔහු හෝ ඇය බලවත් ලෙස ගිලන් වූ අයෙක් බවට පත්වෙනවා පමණක් නොව ආහාරයේ ප්‍රමාණය නොදැනීම හා ආහාරයේ ගිජුවීම නිසා භයානක රෝග තත්ත්වයන් ඇති වී දීගාසිරි නොලබා මන්ද ආයූ ඇතුව මෙලොවින් බැහැරව යන්නට ද ඔහුට හෝ ඇයට සිදුවෙයි.
මේ දිවට කොපමණ රස දුන්නත් සෑහීමක් නොවෙයි. අතෘප්තිකර හෙවත් මේ ආශාවන්ගේ කෙලවරක් නැති ජීවිතයකට කයට සැපයැයි මොනතරම් දුන්නත්, සිතට මොනතරම් ප්‍රියයි, ප්‍රියයි යැයි අරමුණු ලබා දුන්නත් කිසිදා සෑහීමක් ඇතිවෙන්නේ නැහැ. ඇස ආදී ඉන්ද්‍රියන්ට රූප ආදී අරමුණු ලබාදෙන තෙක් ඒවා ලබන්නට වෙහෙසෙනෙවා. මේ අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ සිතක හැටි බලන්න. ඒ අරමුණු කෙසේ හෝ ලබාගත්තාට පසුව සිත පවසන්නේ කුමක් ද? මා ලැබූ දේ දැන් මගේ සිතට ඇති, එනම් අර වස්තූන් ලැබුවා ඇති කියන අදහස නොවේ. අර වස්තුව කෙරෙහි ඇලුණු පාට, ස්වභාවය, ආකාරය, සිත ගත්තා වූ කියන්නා වූ කාමය ගැනයි මේ කියන්නෙ. දැන් එය ඇති මට දැන් අලුත් පෙනුමක්, අලුත් යමක් අවශ්‍යයයි. අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක්, සිතට අලුත් සිතිවිලි අවශ්‍යයයි. සරල අදහස මේ වගෙයි; සිත ඇලුණු වස්තුව ලබා ගන්නා තෙක් හඬයි, වැළපෙයි, දුක්වෙයි. යම් විටක වැරැදි ද කරයි. කෙසේ හෝ ලබාගන්නට උත්සාහ කරයි.
මෙතැන දී ධර්මය අධර්මය මේ පුද්ගලයාට නොපෙනෙයි. හොඳ – නරක නොවැටහෙයි. කෙසේ හෝ ලබා ගන්නට උත්සාහ කරයි. ඒ වස්තුව එසේ ලබාගත්තාට පසුව සිදුවන්නේ කුමක්ද? මේ අභාවිත සිතක ඇති අතෘප්තිකර ආශාවන්ගෙන් පිරිපුන් සිත ඇති තැනැත්තා ඒ වස්තුවත් දැන් ඇතැයි පවසමින් අලුත්, අලුත් රූප, ශබ්ද ආදී අරමුණු සොයාගෙන යන්නට යයි. මේ සිතට දැන් කවදාවත් සතුටක් නැත. දෙනකම් හොඳයි. දුන්නට පසුව එය ඇතැයි කියයි. දැන් මට අලුත් යමක් අවශ්‍යයයි කියයි.
මේ නිසා අභාවිත සිත් ඇති මිනිස්සු සැමදා දුකින් පසුවන බව පැහැදිලියි. මොනතරම් ලබා දුන්නත් අභාවිත සිත සෑහීමකට පත්නොවේ. මහා සාගරයට කොපමණ ජලය වැටුණත් සෑහීමකට පත් නොවන්නා සේ, ගින්දරට මොනතරම් දර කපා දැමුවත් ඇවිලීමෙන් සෑහීමක් නොවන්නා සේ අභාවිත සිත් ඇති පුද්ගලයන්ගේ සිත, ඇස, කන ආදී ඉන්ද්‍රියන්ගෙන් රූප, ශබ්ද ආදී අරමුණු ලබාදීමෙන් සතුටු කළ නොහැකි බව දැන් පැහැදිලියි. එපමණක් නොවෙයි මේ අභාවිත සිත මේ ආශාවන්ට අනවබෝධයෙන් යුක්තව හසුවීම නිසා තමාගේ සිතේ ඇතිකර ගන්නා වූ තරහව, වෛරය, සැකය, බිය, තනිකම, පාළුව, මානසික අසහනය, වික්ෂෝපය, දොම්නස මේ ආදී කෙලෙස් මෙපමණ යැයි පැවසිය හැකි ද? ඒ විතරක් නෙමෙයි මදය, අකුසලය බලවත්ව නැඟීසිටීම අනුන්ගේ දුක් දැකීම හා පැවසීම, එකට එක කීම, ක්‍රෝධය මේ ආදී අප්‍රමාණ උපක්ලේෂයන්ට ද ඔහු හෝ ඇය උරුමක්කාරයෙක් බවට පත්වෙනවා.
අප මේ සඳහන් කළේ විෂම වූ ලෝභයේ ඇති නරක ආදීනවයන් පිළිබඳවයි. විෂම වූ ලෝභයෙන් යහපත් වූ ආදීනවයක් ලැබිය නොහැකිය. අශ්‍රැතවත් පෘතග්ජන ජීවිතවල ආශාව ඇලීම හැටියට හැඳින්වූවත් ඒ ආශාව ඇලීම, පස්පව්, දස අකුසල්වලින් තොරව තමා ගත කරන ජීවිතය පහසුවෙන් පවත්වාගැනීම පිණිසම කළ යුතු බව අප පැහැදිලි කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්ම කරුණුත් අප පැහැදිළි කළා.
එසේ නොව මේ අභිජ්ඣා නම් වූ මේ විෂම වූ ලෝභය තමා සතු වස්තූන් කෙරෙහි පවත්වා මොනතරම් විපතක්, පීඩාවක් තමාට ලබා දෙන්නේ දැයි තේරුම්ගත යුතුමයි. යම් වූ ද අයකුට තමාගේ ජීවිතය පමණක් නොව, තමාගේ පවුලේ අයටත්, පරම්පරා දෙක තුනකට පමණ සෑහෙන ධනයක් තිබෙන බවත් පැහැදිලියි. නමුත් ඔවුන් ජීවත්වන්නේ දිරාගිය නිවසක නම්, වාඩිවන්නට, නිදන්න පුටුවක්, ඇඳක් නැතිව, අඳින්නේ වැහැරී ගිය ඇඳුම් නම්, ආහාරයට ගන්නේ ඉතාම පෝෂණයෙන් අඩු ස්වල්ප වූ ආහාරයක් නම්, ගෙදර දොරේ පරිසරය පවා අපවිත්‍රව තබාගන්නේ නම් එවැනි ජීවිතයක ඇති ශෝචනීය ස්වභාවය ඔබට ම තේරුම් ගන්නට ආරාධනා කරමි.
බුදුරජාණන් වහන්සේගේ දවස ජීවත් වූ “මට්ටකුණ්ඩලී” නම් දරුවාගේ පියාගේ මසුරු ස්වභාවය තේරුම් ගත හැකිය. ඒ වගේ ම “මච්චරී” නම් වූ සිටුවරයාගේ කතාවත් ඔබට තේරුම්ගත හැකිය. ඒ මසුරු සිටාණන් බොහෝ ධනය තිබුණත් සත් මහල් ප්‍රසාදයක් තිබුණත් තමන්ට කැවුම් කන්නට ඇති වූ ආශාව සංසිඳුවා ගන්නට උත්සාහ ගත්තේ නැහැ. තමාගේ ධනය වියදම් වේ යැයි බියෙන් එය බිරිඳටවත් නොකියා කල්පනා කරමින් දුකින් සිටින විට, බිරිඳ විසින් ප්‍රශ්න කරන ලදුව මට මෙවැනි ආශාවක් පවතිනවා යැයි සඳහන් කළ බව පැවසෙනවා.
එහි දී බිරිඳ සඳහන් කරනවා ඔබට පමණක් නොව මේ මුළු නුවරට ම කැවුම් පිස දෙන්නට හැකියාවක් අපට තිබේ යනුවෙනුයි. නුවරුන්ට කුමට ද? යනුවෙන් ප්‍රශ්න කළේය. එහෙම නම් “ඔබටයි” මටයි කැවුම් උයා ගනිමු’යි පැවසූ විට නුඹට එවැනි ආශාව නැත්තේ ය. ආශාව ඇත්තේ මටය, මට පමණක් කැවුම් හදා ගත යුතුය; මේ කතාව දිගින් දිගට පැවතුණත් මසුරු සිතක ස්වභාවය දැන් ඔබට තේරුම්ගත හැකිය. තමාගේ වස්තූන් කෙරෙහි දැඩි ආශාවක් ඇති වූ විට, තමාගේ පරිභෝජනයටවත් ගන්නට තරම් මේ සිත ඉඩදෙන්නේ නැති බව පැහැදිලිය. මෙවැනි මනුෂ්‍යයෝ යම් වස්තුවකට අරක්ගත් යක්ෂයකුට අයිති දෙයක් සේ තමනුත් ප්‍රයෝජනයක් නොගෙන අන් අයටත් ප්‍රයෝජනයක් ගන්නට ඉඩ නොදී මිය පරලොව යයි. විෂම වූ ලෝභයෙන් යුතු පුද්ගලයා තමා සතු ධනය පරිහරණය නොකොට තමාත් දුක්විදිමින් ජීවත්වන අතර සමාජයේ නින්දාවට ම ගොදුරුවන බව ඉතාම පැහැදිලියි.
ධර්මානුකූලව උපයාගත් ධනය තමනුත් මැනවින් පරිභෝජනය කොට ඒ වගේ ම අන් අයටත් උපකාර කොට දනට, පිනට, පරිත්‍යාග කොට කුසල් සිතම ඇති කරගෙන මියැදෙන්න පුළුවනි නම් එය මොනතරම් සැනසිල්ලක් ද?
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment