Labels

Sunday, September 20, 2015

සැපත නො ලැබෙන වරද කාගේ ද?



අඩුපාඩු ඇතිව මිනිස් ජීවිත ලැබුවොත් ඒ මිනිස් ජීවිතය අර්ථවත් නැහැ. අසම්පූර්ණයි. එසේ අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා ආබාධිත වෙලා, ලෙඩ්ඩුවෙලා මිනිස් ලෝකේ උපදින්නේ ඇයි?
මන්දායුෂ වෙලා දුර්වර්ණ වෙලා, කුලයෙන් ගෝත්‍රයෙන් පහත් යැයි සම්මත තැන්වල ප්‍රති සන්ධිය උපත්පත්තිය ලබන්නේ ඇයි? කව්ද ඒක කරන්නේ? දෙවියන් විසින් ද? මොකක් ද ඒකට හේතුව?

අප සරණ ගිය තථාගතයන් වහන්සේ අප හැම දෙනාටම කරුණාවෙන් අනුකම්පාවෙන් සංසාර දුක් ගිනි නිවා ගැනීම පිණිස, දේශනා කළ සද්ධර්මය අපගේ මෙලොව ජීවිතය තුළ සහනය සැනසිල්ල උදාකර ගන්නටත්, ඒ සංසාර දුක නිමා කරන ගමනට මං පෙත් සාදා ගන්නටත් අපට උපකාර වෙනවා.
මේ මනුෂ්‍ය ලෝකයේ උපදීම ඉතා දුර්ලභ කාරණාවක්. මනුෂ්‍ය ලෝකයේ අප ඉපදෙන්නේ මහා පුණ්‍ය බලයක මහිමයෙන්. නමුත් ඔබ දැක ඇති මනුෂ්‍ය ලෝකයේ උපදින සමහර මිනිසුන් අංග විකලව, මන්ද බුද්ධිකව, විවිධ ආබාධිත ස්වභාවයන්ගෙන් යුක්ත ඉපදෙනවා. සුගතියක් ලෙස හඳුන්වන මහා පුණ්‍ය බලයකින් මිනිස් ලොව ඉපදෙන සමහරු ඇයි එහෙම උපදින්නේ?
ඒ වගේම මේ මිනිස් ලොව උපදින සමහර දෙනා කුමන හෝ රෝගයකින් පීඩා විඳිනවා . අද සමාජයේ බොහෝ දෙනා හුඟක් ලෙඩ වෙන අය. මනුෂ්‍ය ලෝකෙ රෝගිවෙලා උපන්නොත්? අංග විකලා වෙලා, මන්ද බුද්ධික වෙලා, ආබාධිත වෙලා උපන්නොත් මිනිස් ලෝකයේ මිනිස් සැප විඳින්න බැහැ. ලෝකෝත්තර සැපයකට රෝගීබව බාධාවක්. එහෙම උපන්නොත් ලොවුතුරු සැපයට යාම අඩාල වෙනවා. ඒ වගේම මිනිස් ලෝකයේ තව කොටසක් උපදිනවා මන්දායුෂව. මිනිස් ලොව ඉපදිලා වැඩි කලක් රැඳෙන්නෙ නැහැ. මවු කුස තුළම මිය යනවා. ඉපදිලා දින ගණනකින්, සති ගණනකින්, මාස ගණනකින් අවුරුදු ගණනනික් මිය යනවා. තරුණ වියේදී මියයනවා. ඇයි මේ අඩු වයසින් මිය යන්නේ? අඩු වයසින් මිය ගියහොත් මිනිස් සැප විඳින්න බැහැ ලෝකෝත්තර සැපයට මන්දායුෂ්කව බව බාධාවක්.

තව කොටසක් මේ ලොව ඉපදෙනව විරූපි අවලක්ෂණ වෙලා. සැරයක් බැලුවාම තව සැරයක් බලන්න හිතෙන්නෙ නැහැ. අහක බලාගන්න හිතෙන තරමට විරූපි සිරුරෙන් යුක්ත අය ඉන්නව. දුර්වර්ණව උපදිනව. එහෙම කෙනාටත් මනුෂ්‍ය ලෝකයේ සැපයට බාධාවක් තියෙනව මනා වූ පෞරුෂ ශක්තියකින් සමාජයට මුහුණ දෙන්න බැහැ. සැඟවෙන ස්වභාවයක් ඔවුන් තුළ තිබෙන්නේ. ලෞකික ලෝකේත්තර සැපයට යම් බාධාවක් ඒ තුළ තියෙනවා

මෙබඳු අඩුපාඩු ඇතිව මිනිස් ජීවිත ලැබුවොත් ඒ මිනිස් ජීවිතය අර්ථවත් නැහැ. අසම්පූර්ණයි. එසේ් අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා ආබාධිත වෙලා, ලෙඩ්ඩුවෙලා මිනිස් ලෝකේ උපදින්නේ ඇයි? මන්දායුෂ වෙලා දුර්වර්ණ වෙලා, කුලයෙන් ගෝත්‍රයෙන් පහත් යැයි සම්මත තැන්වල ප්‍රති සන්ධිය උපත්පත්තිය ලබන්නේ ඇයි? කව්ද ඒක කරන්නේ? දෙවියන් විසින් ද? මොකක් ද ඒකට හේතුව?

තථාගතයන් වහන්සේ ශීලය ඔබේ අවශ්‍යතාවයක් බවට පත් කරන්නේ මේ හේතුව නිසා. අපට සිල්වත් වෙන්න කියා වදාළේ් උන් වහන්සේ සතුටු කරන්න නොවෙයි. ඔබ ඔබව සතුටු කර ගන්නයි. අංගවිකලව, මන්ද බුද්ධිකව, ආබාධිතව උපතක් ලැබුණානම් එසේ ලැබුණේ් අප අතර යම් කෙනෙක් මේ සංසාර ගමනේ දී දුශ්චරිතය කළ නිසයි. මේ සංසාර ගමනේ දී කය වචනය, වැරැදි ආකාරයට භාවිතා කළ බවට සාක්ෂි තමයි ඒ සපයන්නෙ. අපාය ආදී ගතිවල උත්පත්ති ලබා, දුක් විඳින්නේ තිදොරින් අසංවරය පවුකම් කළ නිසා යි.
කයින් වචනයෙන් අනුන්ට දුන් වද වේදනා අනුන්ගේ ජීවිතවලට කළ හිරිහැරය, අනුන්ගේ ජීවිතයට දුන්න දුක වේදනාව පීඩාව ආදි රෝගීන් බවට පත් කරල අප මේ විඳින්නේ් ජීවිතය වරදා ගත්ත බවට සාක්ෂි යි.
ඒ වගේම ඔබ සිතන්න ඇයි අප දුර්වර්ණ වෙලා උපදින්නේ. අප අනුන්ට නින්දා කළා. උපහාස කළා. මවු දෙමාපියන්ට රැවුවා ගෙරවුවා. අවනත උනේ නැහැ. ගරු කළේ නැහැ. වැඩිහිටියන් පිදුවේ නැහැ. අංග විකල අබාධිත දුර්වල අය දැක නින්දා කළා. අපහාස කළා. ඊර්ෂ්‍යා, වෛරයේ ප්‍රතිඵලය තමයි දුර්වර්ණ වීම.
තථාගතයන් වහන්සේ මහා ප්‍රඥාවෙන් මේ මිනිස් ජීවිතය අර්ථවත් බව අංග සම්පූර්ණ බව, ලබල දෙන්නෙ කිනම් හේතුවකින් ද කියා උන්වහන්සේ සොයා විමසලා බැලුුවා. උන්වහන්සේ දැක්ක මෙසේ වෙන්නේ කාය, වාග්, මනෝ කර්මයේ දෝෂය නිසා බව. ඒ නිසා උන්වහන්සේ අපට අවධාරණය කොට වදාළා සිල්වත් වෙන්න කියලා.

තවත් අවස්ථාවක උන්වහන්සේ අපට පුණ්‍ය ප්‍රතිපදාවක් දේශනා කළා. ඒ දානය යි. මිනිස් කය හොඳට ලැබුණට, ඉන්න හිටින්න තැනක්, කන්න බොන්න දෙයක්, යන්න එන්න වාහනයක් මූලික අවශ්‍යතා පහසුකම් ටික නැති වුනොත් ඒ මිනිස් ජීවිතය අසම්පූර්ණ යි. ලෞකික සැපය උරුම නැහැ. ලෝකෝත්තර සැපයටත් එය බාධාවක්. අපට මේ භවභෝග සම්පත් ලැබෙන්නේ කොහොම ද?

බුදු නුවණ දානයේ විපාකය දැක්ක. ඒ ගැන දේශනා කළා. භවබෝග සම්පත් ටික ළඟා කරල දෙන්නේ දානයෙන්. ඒ නිසා දන් දෙන්න කියා අපට කියා දුන්නා. ඔබ මුලින්ම පොඩියට හෝ දන් දෙන්න පුරුදු වෙන්න. බත් කන පිඟාන හෝදල ඉඳුල් වතුර ටික විසි කරනකොට, හට්ටි මුට්ටි හෝදල ඉඳුල් වතුර ටික විසිකරන කොට හිතන්න මේ ආහාර බොහෝ සතුන්ට ආහාර වේවා කියා.

මජ්ඣිම නිකායේ දක්ඛිණ විභංග සූත්‍රයේ දී මේ පින්කමට ආනිසංස දැක්වූවේ ආත්ම භාව සීයක් දෙව් මිනිස් සැප ගෙනදෙන පින්කමක් කියලා. ලේසි පින්කමක් නොවෙයි. දුර්ජන උනත් මනුෂ්‍යයෙකුට දානය ලෙස කිසිවක් දුන්නොත් ආත්ම භාව දහසක් දෙව් මිනිස් සැප දෙන පින්කමක් වෙනවා. එතැනින් ඔබට දානය පින්කම පටන් ගන්න පුළුවන්.

අද අප සමාජයේ බොහෝ දෙනා දන් දෙනවා. නමුත් සිල්වත් නැහැ. දුසිල් බව නිසා රෝගීන් වෙනවා. එතකොට මොන තරම් කෑම ලැබුණත් කන්න බැහැ. රසවත් දේ ගෙදර තිබෙද්දීත් තිත්ත, කහට, ඇඹුල්, කරවිල, කන්න වෙන්නේ ඔබ දුසිල්වත්ව දන් දීපු නිසයි. එනිසා දෙන වෙලාවේදී සිල්වත් ව සිත පහදාගෙන දන් දෙන්න.
තථාගතයන් වහන්සේගේ ශාසනයේ සිටි සීවලි මහරහතන් වහන්සේට බොහෝ ආහාර ලැබුණා. නමුත් ලෝසක රහතන් වහන්සේ නිතරම සිටියේ කුසගින්නේ. උන්වහන්සේට බඩ පිරෙන්න දානය කවදාවත් ලැබුණේ නැහැ. පිණ්ඩපාතය වැඩියම මිනිස්සු කෑම අරගෙන එනවා බෙදන්න. නමුත් පාත්තරය පිරිලා තිබෙනව දකිනවා. හිස් පාත්තරේ අරගෙන ආරාමයට එනවා. උන්වහන්සේ පිරිනිවන් පානා දවසේ සැරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ කරගෙන ඇවිත් තමන් වහන්සේගේ අතේම පාත්තරය තබාගෙන ලෝසක හිමියන්ට දානයට වළදන්නැ යි වදාළා. එදා තමයි උන්වහන්සේ බඩ පිරෙන්නට දානය වැළදුවේ. රහතන් වහන්සේලා අතරත් එබඳු වෙනස්කම් තිබුණා. දානමය පිනේ් අඩු වැඩිකම ඒ.
අප මේ ගත කරන ජීවිතය අර්ථවත් වෙන්න සම්පත් තියෙන්න ඕන. ඒ සම්පත් ලැබෙන්නේ දානයෙන්. ඒ නිසා නිතර නිතර දන් දෙන එකත් ඔබේ ජීවිතයේ එක් අංගයක් කර ගන්න.




පිළියන්දල සද්ධර්මාලෝක
ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි


 


ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ඔක්තෝබර් 29 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment