Labels

Sunday, September 13, 2015

මිසදිටු අඳුර

 

2013 ක් වූ ජනවාරි 26 වන සෙනසුරාදා දින ලිපිය

තථාගතයන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් වන අතර, උන්වහන්සේ පෙන්වන මඟ ගොස් තම තමන් විසින්ම තම විමුක්තිය සලසාගත යුතු වේ.
ඒ හෙයින් බුදුදහම ස්වයං ක්‍රියාකාරීත්වය හෙවත් ස්වඡන්දතාව හෙවත් පුද්ගල හැකියාව දියුණු කර ගැනීම තුළින් උතුම් නිවන දක්වා තමාව පෝෂණය කරගැනීමට උගන්වන, ධර්මයකි

න නග්ගචරියා න ජටා න පඞ්කා
නානාසකා ථණඩිලසායිකා වා
රාජො ච ජලලං උක්කුටිකණප්පධානං
සොධෙන්ති මච්චං අවිතිණ්ණකඞ්ඛං”


ධර්ම ශ්‍රවණය බොහෝ වැදගත් කාරණාවක් බැව් අපි නිතර කතා කරමු. එහි උසස් බව මෙසේ රසවාහිනී දහම් සොඬ කතාවෙහි දැක්වෙයි. ධර්මයම ඇසිය යුතුය. ධර්මයට සිත ඇලෙයි. සසරින් එතෙරවීම පිණිස ධර්මය හැර වෙනත් පිහිටක් නොමැත.

ධම්මමූලං තිසමපදං”

සියලු සැපතට මූලික වන්නේ ධර්මයයි. දහම්සොඬ රජු සිය රාජ්‍යය අතහැර ධර්මය සොයා ගිය අයුරු ඔබට මතක ඇත.
මාතෘකා කළ ගාථාව ධම්මපදයේ ඇතුළත් ගාථාවක් වන අතර එදා භාරතීය සමාජයේ පැවැති සහ එම නාමයන්ගෙන් නොවුණත් අදත් පවතින විවිධ මිථ්‍යාදෘෂ්ටීන් පිළිබඳව කතාකෙරෙන ගාථාවකි.

ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි”

බුදුදහම ආගමක් නොව දර්ශනයකැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. බුදුදහමට ආගම යන වදන පාවිච්චි කළ නොහැකි බව අප නිතර නිතර අවධාරණය කර ඇත. ආගම යන වදන තුළ අන්තර්ගත ලක්‍ෂණ දෙස බලන කල්හි බුදුදහම තුළ ආගමකට වඩා ඇත්තේ දර්ශනයක ලක්‍ෂණයක් බව පැහැදිලිව දැකිය හැකි ය. මේ කාරණය පිළිබඳව අතිපූජ්‍ය වල්පොල රාහුල හිමිපාණන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ. සුවඳ දෙන රෝසමලට කඩදාසි මල කීව ද එහි සුවඳ රෝසමල් සුවඳමය. එමෙන් බුදුදහමට බුද්ධාගම යනුවෙන් භාවිත කළ ද, එයින් ලැබෙනුයේ දර්ශනය තුළ ඇතුළත් හරයම බැව් පැහැදිලි කාරණාවකි. දර්ශනයක් ලෙස හැඳින්විය හැකි බුදුදහම ‘එහිපස්සිකො’ හෙවත් ඇවිත් බැලිය යුතු දේශනාවක් වන අතර, නුවණැත්තන් විසින් සිය පෞද්ගලික අවබෝධය මත ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහීති’ යනුවෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් තේරුම් ගත යුත්තකි.

තුමෙහහි කිච්චං ආතප්පං අක්‍ඛාතාරො තථාගතා’

තථාගතයන් වහන්සේ මාර්ගෝපදේශකයෙක් වන අතර, උන්වහන්සේ පෙන්වන මඟ ගොස් තම තමන් විසින්ම තම විමුක්තිය සලසාගත යුතු වේ. ඒ හෙයින් බුදුදහම ස්වයං ක්‍රියාකාරීත්වය හෙවත් ස්වඡන්දතාව හෙවත් පුද්ගල හැකියාව දියුණු කර ගැනීම තුළින් උතුම් නිවන දක්වා තමාව පෝෂණය කරගැනීමට උගන්වන, ධර්මයකි.
‘න නග්ගචරියා’ ආදී වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ ඇඳුම් රහිතව ජීවත්වීම මිථ්‍යා දෘෂ්ටිය ලෙසිනි. අචේලක යන්නෙහි සිංහල තේරුම සේල නොමැති යන්නයි. සේල - සෙල්ලු - හෙලු යන්නෙන් ද අර්ථ ගන්වන්නේ ඇඳුම් රහිත බවය. සේලයන් අත්හැරිය හෙයින් අචේලක වේ. ඒ අනුව නග්ගචරියා යනු නග්න චරියාවයි. නග්න චරියාවෙන් යුතුවන්නේ නිගණඨයන්ය. නොහොත් මිථ්‍යාදෘෂ්ටික වෘතදාරීහු ය.
කල විසූ බොහෝ දෙනා ජටා පැළඳූහ. ‘ජටා අස්ස අත්ථිති හි ජටිලො’ ජටා පැළඳි හෙයින් ජටිල නම් වූහ. ජටාධර තවුසො ජටිල නමින් හැඳින්වූහ. මොවුහු මිථ්‍යාදෘෂ්ටිකයෝ වූහ. ‘පඞ්කා’ නම් මඩයි. ඇඟේ මඩ තවරාගෙන සිටියවුන් ද මිත්‍යාදෘෂ්ටිකයෝ වූහ.

‘නානාසකා ථණ්ඩිලසායිකා වා’

අසූචි භක්‍ඛකා යනු අශූචි වැනි දෑ අනුභව කරන පුද්ගලයෝය. ‘ථණ්ඩිල සායිකාවා’ යනු දඬු මෙන් කෙලින් නිදන්නෝද වූහ. ‘රාජො ච’ දූවිලි ශරීරයේ තවරාගත්තවුන් ද ‘උක්කුටික’ ඇණ තියා ඉඳගත්තවුන් ද විය.
ඉහත කී සෑම පුද්ගලයෙක්ම විවිධ වෘත හරහා ශාරීරික පීඩා විඳිමින් වැරැදි ලෙස කෙලෙස් නැතිකිරීමට උත්සාහ කරන හෙයින් ඔවුන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස හඳුන්වමු. අද සමාජයේ ද මේ තත්ත්වය දිස්වෙන අවස්ථා වේ. සමහරු ආධ්‍යාත්මික දියුණුව ශාරීරික ක්‍රියාකාරකම් තුළින් ලබා ගැනීමට හැකිවේයැයි කල්පනා කරමින් විවිධ වෘතයන්හි යෙදෙති. සිල්රැකීම, භාවනා කිරීම ආදිය වෘත ලෙස ගන්නාමුත්, එම වෘත ශරීරයට වදදීමක් ලෙස නොව, ආධ්‍යාත්මය පෝෂණය කිරීමේ උපකාරක අවස්ථා ලෙස සලකා ක්‍රියාකළ යුතු වේ.

න සීලබ්බතමත්තේ
බහුසච්චේන වා පුන
අථ වා සමාධිලාභෙන
විවිච්ච සයනෙන වා”
භික්‍ඛු විස්සාස මාපාදි
අප්පන්තොවා ආසවක්‍ඛයං”


මෙම කාරණාව අප බොහෝ තන්හි සාකච්ඡා කර ඇත. තමන් ළඟ සීලයක් ඇතැයි ද තමන් බඹසරව හැසිරෙන්නේ යයි ද තමන් ළඟ සමාධියක් ඇතැයි ද, තමන් වෙන් වූ සයනයක නිදන්නේ යයි ද කෙලෙස් නැතිකරන තෙක් තමන් පිළිබඳව විශ්වාසයක් ගොඩනඟා නොගන්න යයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. පෘතග්ජනයන් ඇසුරු නොකරන නෛෂ්ක්‍රම්‍යය සුවය මම විඳින්නේ යයි කී පමණින් කෙලෙස් නැතිකරන තෙක් කිසිවෙකුට වටිනාකමක් දිය නොහැකිය. කෙලෙස් නැතිකරන තුරු ඇති කරගන්නා සියලු තත්ත්වයන් උසස් ලෙස නොසැලකිය යුතු ය.

බොහෝ රූක්ෂ ප්‍රතිපදා අනුගමනය කරන්නන් සිල්වතුන්ය. ගුණවතුන් යැයි විශ්වාස කරන පිරිස් අදත් සිටිති. එදත් සිටියහ.
දීඝ නිකායේ පාඨික වග්ගයේ දැක්වෙන පාඨික සූත්‍රයේ ඉදිරිපත් කරුණු මෙසේ මුලාවී කටයුතු කරන බෞද්ධයාට බොහෝ වැදගත් වේ.
මල්ලරට අනුපිය නගරයේ වැඩ විසූ සමයේ එක් දිනක් බුදුන් වහන්සේ පිඬුසිඟා වැඩියහ.

අතිප්පගොඛො තාව අනුපියායං පිණ්ඩාය චාරිතුං”

පිණ්ඩපාතයේ යාමට තවත් වෙලාව ඇති හෙයින් උන්වහන්සේ එම ප්‍රදේශයේ වාසය කළ ‘භග්ගවගොත්ත’ තාපසයන් හමුවීමට ඔහුගේ ආරාමයට යා යුතු යයි අදහස් කළ සේක. මෙවන් අවස්ථා අපට ද උදාවේ. බුදුරජාණන් වහන්සේ මානුෂීය ලෙස ක්‍රියාකළ උතුම් මනුෂ්‍යයෙකි. බුදුන්වහන්සේ දැකීමෙන් සන්තුෂ්ටියට පත් වූ භග්ගවගොත්ත තාපසතෙම, ‘සවාගතං භන්තේ’ - ස්වාමීනි, ඔබ පිළිගනිමි යයි පවසමින් බුදුන්ට උස් අසුන් පනවා තමා ද මිටි අසුනක හිඳ ගත්තේ ය. ‘චිරස්සං ඛො භන්තේ භගවා ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය’ යනුවෙන් ඔබ වහන්සේ බොහෝ කලකින් වැඩියේයයි පවසා තාපසතෙම ආගිය තොරතුරු විමසුවේ ය.
එහිදී ‘ස්වාමීනි ඔබ වහන්සේගේ ශිෂ්‍ය සුනක්ඛත්ත ඔබවහන්සේව අතහැර ගියා යයි’ ආරංචි වූ බව තාපසයා කීවේ ය. බුද්ධත්වයෙන් වසර 20කට පසු බුදුන් වහන්සේගේ නිත්‍ය උපස්ථායක ලෙස අනඳ හිමි පත්වූ බව අපි දනිමු. ඊට පෙර කිහිප දෙනෙක්ම බුදුන් වහන්සේට උපස්ථාන කළ අතර, සුනක්ඛත්ත හිමි ඉන් එක් අයෙකි. සුනක්ඛත්ත හිමි ලිච්ඡවි සූත්‍රයේ මේ අවස්ථාවේ බුදුන් වහන්සේ හා සුනක්ඛත්ත හිමි අතර දෙබසක් ඇති වූ බව සටහන්ව ඇත.

සුනක්ඛත්ත හිමි – මම සිවුරු හැර ඔබ වහන්සේ අතහැර යමි.

බුදුන් වහන්සේ - ‘ඔබ ඇයි සිවුරු හරින්නේ.’

සුනක්ඛත්ත හිමි – ඔබ වහන්සේ උත්තරීතර මනුෂ්‍ය ධර්ම හෙවත් මිනිසුන්ට කළ නොහැකි දේ පිළිබඳ ප්‍රාතිහාර්යය පාන්නේ නැත. එසේම ‘අග්ගඤ්ඤය’ හෙවත් ලෝකෝත්පත්තිය පිළිබඳව මට විස්තර කර දෙන්නේ නැත. ඒ හෙයින් මම ඔබ හැර යමි. (බුදුන් වහන්සේගේ විජ්ජා බැලීමට මහණ වූ සුනක්ඛත්ත වැනි පුද්ගලයන් අදත් වෙසෙති.)

බුදුන් වහන්සේ - සුනක්ඛත්ත මම ඔබ මා වෙත පැවිදි වෙන්න යයි කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමිනි,

බුදුන් වහන්සේ - මා වෙත වසන්නැ’යි මම ඔබට කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමීනි.

බුදුන්වහන්සේ - ඔබ තමන්ම ඇවිත් තමන්ම යන දක්නට ඇත.
ලංකාවේ සම සීත දේශගුණයක් ඇති අනුරාධපුර, සිතුල්පව්ව වැනි ප්‍රදේශවල රහතන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් වැඩ සිටි බැව් අපි දනිමු.

 රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 03 වන ඉරිදා දින ලිපිය

බුදුන් වහන්සේ - සුනක්ඛත්ත මම ඔබ මා වෙත පැවිදි වෙන්න යයි කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමිනි,

බුදුන් වහන්සේ - මා වෙත වසන්නැ’යි මම ඔබට කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමීනි.

බුදුන්වහන්සේ - ඔබ තමන්ම ඇවිත් තමන්ම යන කෙනෙක්. මම උත්තරීතර මනුෂ්‍ය ධර්ම පෙන්වනවා යැයි ඔබට පොරොන්දු වී පැවිදි කරගත්තේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමිනි,

බුදුන්වහන්සේ - මට ප්‍රාතිහාර්ය පෙන්වන්නේ නම් මහණ වන්නේ යැයි ඔබ කීවේ ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමිනි.

බුදුන්වහන්සේ - එසේනම්, උත්තරීතර මනුෂ්‍ය ධර්ම පෙන්වීමට මා පොරොන්දු වී නොමැත. එසේ කරන ලෙස ඔබ ඉල්ලීමක් කර නොමැත. මමත් ඔබත් අතර බැඳීමක් නොමැත. එසේනම් ඇයි මට චෝදනා නගමින් සිවුරු හැර යන්නේ යැයි ඇසූ සේක. තවද ඔබ මා වෙත මහණ වන්නේ නම් අග්ගඤ්ඤය හෙවත් ලෝකෝත්පත්තිය පිළිබඳව කියාදෙන්නේ යැයි මා පොරොන්දු වී ඇත් ද?

සුනක්ඛත්ත – නැත, ස්වාමීනි,

බුදුන්වහන්සේ - ඔබගේ කතාව නිශ්ඵලයි. ඔබ සිවුරු හැරයන්නේ අප’තර වූ බැඳීමක් කැඩුණු නිසා නොව. මෙම ධර්මය ඔබට ඔරොත්තු නොදෙන නිසා ය. මෙම ගැඹුරු ධර්මය අවබෝධ කිරීමට ඔබට පුණ්‍ය ශක්තිය ඤාණ ශක්තිය නොමැති හෙයින් ඔබ සිවුරු හැර යන්නේය යැයි බුදුන් වහන්සේ වදාළ සේක.
අද අබෞද්ධයන් වන පිරිසට මෙම පාටික සූත්‍රය බෙහෙවින් අදාළ වේ. බුදුදහම අත්හැර යන්නවුන් විවිධ හේතු ඉදිරිපත් කරන මුත්, සත්‍ය වශයෙන්ම ඔවුන් එසේ කරනුයේ, බුද්ධ ධර්මයේ අඩංගු ධර්මය ශක්තියෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකිව නොව, තම දුර්වලතා හේතුවෙන් සිය ආධ්‍යාත්මික ගුණයන් උසස් මට්ටමකට පත්කර ගැනීමට අපහසු නිසා බැව් අපි දනිමු.

භාණ්ඩයක් තේරීමේ දී එහි ප්‍රමිතිය පරීක්‍ෂා කිරීමට පරීක්‍ෂණ පටිය දිගේ යවනු ලැබේ. නිසි ප්‍රමිතියක නොපවතින භාණ්ඩ ප්‍රතික්ෂේප වේ. එමෙන් බුදුරදුන් වෙත පැමිණි පුද්ගලයන් අතර, මෙම ගැඹුරු දහම දැන විමුක්තියට යාමට අසමත් වූවෝ සිටිති. බුදුන් වහන්සේ සුනකඛත්ත හිමිට මෙසේ ද ප්‍රකාශ කළ සේක.
ඔබ වජ්ජි ග්‍රාමයේ දී ඉතිපි සො භගවා..... ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ වැනුවෙහි. ස්වාක්‍ඛාතො භගවතො.... ආදී වශයෙන් දම්ගුණ වැනුවෙහි. එමෙන්ම සුපටිපන්නො සාවක සංඝො.... ආදී වශයෙන් සඟගුණ වැනුවෙහි. මහජනයා ඉදිරියේ මේ සියලු ගුණ වැයූ ඔබ අද බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් අතහැර යාමෙන් ඔබ ගරහාවට ලක්වේ. තෙරුවන් වර්ණනා කළ සුනකඛතත තමා වර්ණනා කළ ධර්මයෙහි හැසිරීමට පිනක් නැතැයි ඔබම අවලාද විඳින්නේ මේ ඔබගේ අවාසනාවයි, යනුවෙන් බුදුරදුන් වහන්සේ දේශනා කළ සේක.

යළිත් භග්ගවගොත්ත දෙසට හැරුණු බුදුන්වහන්සේ සුනක්ඛත්ත හිමි තමන් වහන්සේ අතහැර යාම පිළිබඳව පෙර සිදුවූ අලංකාර සිද්ධියක් මෙසේ පැහැදිලි කළ සේක. බුදුරදුන් කල කුළු නම් වූ කුඩා නගරයක උත්තර නම් නියම්ගම කොරක්ඛත්තිය නම් නිගණ්ඨ තාපසයෙක් විසුවේ ය. නිඝණ්ඨ යන්නෙන් ගැට නැති, ඇඳුම් නැති යන අර්ථය ලබාදේ. ඇඳුමක රැඳවීමට ගැටයක් අවශ්‍යය. එහෙත් ඇඳුම් නැතිකල්හි ගැටයක අවශ්‍යතාවය ඇති නොවේ. නිගණ්ඨ යන්න කෙලෙස් ගැට ලෙහනවා යන්නෙන් ද යෙදේ. දිනක් බුදුරදුන් වහන්සේ සමඟ සුනක්ඛත්ත ගමන් කරන කල්හි කොරක්ඛත්තිය නිගණ්ඨ පුත්‍රයා සිටිනු දුටුවේ ය. ‘කුක්කුරවතිකො’ හෙවත් සුනඛ වත හෙවත් බලුවෘත සමාදන් වූ කොරකඛතතිය දෙඅත්, දෙකකුල් පොළොවේ තබා බිම දිගාවී බිම දැමූ ආහාර මුවින් බුදින්නෙකි. ඒ තරම් පිළිකුල් ස්වභාවයකින් ජීවිතය ගත කරන්නෙකි. බුදුරදුන් වහන්සේ කොරක්ඛත්තිය දැක ඉදිරියට වැඩීම කළ සේක. එහෙත් සුනක්ඛත්ත හිමි ‘අනේ මේ නම් හොඳ රහතන් වහන්සේ නමකැයි’ මිමිණුවේය. අශුචි බුදින, රළු වෘත සමාදන් වූ පිළිකුල් සහගත කොරක්ඛත්තිය හොඳ රහතන් වහන්සේ නමක් ලෙස දැකීම සුනක්ඛත්ත ගේ අභාග්‍යයකි.

බුදුරදුන් වහන්සේ සුනකඛතතගේ වැරැදි කල්පනාව දිවැසින් දැක ‘ඔබ පැවිද්දෙක්ද? ඔබ ශාක්‍ය පුත්‍රයෙක් ද? පිළිකුල් සහගත නිගණ්ඨයා පිළිබඳව ඔබ ඔයතරම් දුර්වල කල්පනාවක් ඇතිකර ගත්තේදැයි විමසූ සේක.
එවිට සුනක්ඛත්ත ඉතා රළු ලෙස මෙසේ පවසා ඇත. ‘අරහංතස්ස මච්චෙය්‍යති’ ඔබ වහන්සේ රහතුන්ට මසුරු වෙනවාද? ඊර්ෂ්‍යා කරනවා ද? එවිට බුදුරදුන් වහන්සේ මෙවන් දේශනාවක් කරන ලද සේක.
මහ රහතුන්ට ඊර්ෂ්‍යා නොකරමි. තව දින හතකින් මොහු මියගොස් කාලකංජ නම් ‘සබ්බ නිහීනො’ සියලු අපායයන්ගෙන් වඩාත් හීන අපායේ උපදින බවත්, මොහු මිය යාමෙන් පසු කීරක්‍ඛතතමබ සුසාන භූමියට ගෙන ගොස් දමන බවත් මොහු බොහෝ දුක් විඳින බවත් වදාළ සේක.
එසේම ඔහුගේ ශරීරයට තට්ටු කළ කල්හි ඔහුම සිය කතාව කියනු ඇතැයි ද බුදුන් වහන්සේ සුනක්ඛත්ත හිමිට කී සේක.

මේ අවස්ථාවේ සුනක්ඛත්ත හිමි කොරක්ඛත්තිය වෙත ගොස් බුදුහාමුදුරුවෝ ඔහු පිළිබඳව ප්‍රකාශ කළ කතාව කියා, හොඳට වතුර බී හොඳට ආහාර ගෙන බුදුරදුන්ගේ වචනය බොරු කරන්න යැයි ඉල්ලීමක් කළේ ය.
මේ අවස්ථාව අපි වත්මන් සමාජයට ගළපා බලමු. සුනක්ඛත්ත හිමි මෙන් පුද්ගලයෝ අපේ සමාජයේ ද සිටිති. බුදුරදුන් වෙත වසමින් බුදුරදුන්ට ඊර්ෂ්‍යා කරන, කුමන්ත්‍රණය කරන, සුනකඛතත හිමි වැනි පුද්ගලයන් අපට විවිධ තන්හිදී හමුවෙති. සමහරු කාර්යාලවල ප්‍රධානියාට විරුද්ධව කුමන්ත්‍රණ කරන සේවකයන් පිළිබඳව අපට බොහෝ අවස්ථාවල තොරතුරු ලැබී ඇත. බුදුදහමේ කථාකළ කාරණා අකාලික වන්නේ මෙසේ ය. නිගණ්ඨ තෙමේ මෙම කතාව පිළිනොගත් නමුත් දින හතකින් කොරක්ඛත්තිය මියගිය අතර ඔහුගේ මළමනිය තීරකඛතතමබ සුසාන භූමියට ගෙනගොස් දැමීය.
සුනක්ඛත්ත හිමි සුසාන භූමියට ගොස් මළමිනියට තට්ටු කළ කල්හි වැලි පිසදමමින් නැගී සිටි කොරක්ඛත්තිය තමා කාලකංජ අපායේ ඉපදෙන බව කීවේ ය. පසුව සුනක්ඛත්ත බුදුරදුන් වෙත පැමිණ සිදුවී ඇති පුවත කීවේ ය. එවිට බුදුරදුන් වහන්සේ මෙසේ පවසන සේක. ‘සුනකඛතත ඔබ මට චෝදනා කළා මා උත්තරීතර මනුෂ්‍ය ධර්ම පෙන්වා නැතැයි කියා. එහෙත් මා ප්‍රාතිහාර්ය පෙන්වා නැත්දැයි බුදුන්වහන්සේ විචාළ සේක. එවිට සුනක්ඛත්ත ‘ඔබ වහන්සේ මට උත්තරීතර මනුෂ්‍ය ධර්ම පෙන්වා ඇත. නමුත් ඒ පිළිබඳ තවත් බොහෝ දේවල් පවසා නැතැයි’ කීවේ ය. එවිට බුදුරදුන් වහන්සේ පහත සඳහන් ගාථාව ප්‍රකාශ කළ සේක.

අකතඤඤුස්ස පොසස්ස
නිච්චං විවරදස්සිනො
සබ්බං චෙ පඨවිං දජ්ජා
නෙව නං අභිරාධයෙ


අකෘතඥ මනුෂ්‍යයෙක්ට, නිතර සිදුරු සොයන්නන්ට, මේ මහ පොළොව දුන්නත් ඔහු සතුටු කළ හැකි නොවේ.
දෙමව්පියන් සමහර දරුවන්ට කෙතරම් දුන්නත් කිසිවක් නුදුන්නේයයි දරුවෝ දොස් නගති. එසේම දරුවන් කෙතරම් හොඳින් සැලකුවත් දරුවෝ නොසලකති’යි යනුවෙන් පවසන සමහර දෙමව්පියන් ද සිටියි. ඒ අකෘතඥ බවේ ස්වභාවයයි. බුදුරදුන් වහන්සේට ද්වේශ කිරීමට සකස්ව තිබූ සුනක්ඛත්ත ගේ මානසික තත්ත්වයට අනුව ඔහු බුදුරදුන්ට චෝදනා කළේ ය.

වත්මන් බෞද්ධ සමාජය තුළ මතුවී තිබෙන තත්ත්වය බොහෝ සේ සාකච්ඡා කළ යුතු කාරණයකි. ධර්මයෙන් ලබාගත හැකි නිසි ඵල ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ නොවෙති.
පාඨික සූත්‍රයේ දී බුදුන් වහන්සේ තමන් වහන්සේ විජ්ජාකරුවෙක් නොවන බවත්, අහසින් යාම, පොළොවෙහි ගිලීම, දියමතුපිට ඇවිදීම වැනි සෘද්ධි ප්‍රාතිහාර්ය නිතර නොදක්වන බවත්, තමන් වහන්සේට මිනිසුන් පහදවා ගැනීමට අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කළ සේක. උන්වහන්සේ පිරිසක් වටකරගෙන සිටීමට අපේක්‍ෂා නොකළහ. උන්වහන්සේ කෙලස් ප්‍රහීන කළ උත්තමයෙක් වන අතර, ලොව යථාර්ථය පෙන්වා දීම උන්වහන්සේගේ අරමුණ විය. සුනක්ඛත්ත ඉල්ලා සිටියේ උන්වහන්සේ දීමට අකැමැති දෙයකි.

රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 09 වන සෙනසුරාදා    දින ලිපිය 


කයක් නොමැතිව සිතක් හුදෙකලා වී ඇති හෙයින් එහි ආත්මයක් ඇතැයි තර්කයක් ඉදිරිපත් කර ඇත. මෙම කාරණාව පටලවා නොගත යුත්තකි. සිත සමඟ කය ද ඇතිමුත් එම කය අප කතාකරන ඝනබල ශරීරයක් නොව, අක්‍රීය වූ සියුම් වූ ශරීරයකි. මෙහිදී සිත තරම් කය ප්‍රබල නොවේ. එමෙන්ම කය මිස සිත නොමැති අවස්ථා ඇති අතර, එහිදී සිත අක්‍රිය වී කය ප්‍රබල වේ. ඉහත කී අවස්ථා දෙකේ දී ම ධර්මශ්‍රවණයට බාධා ඇතිවේ



අද ගුණදම් පුරණ භික්‍ෂූන් වෙත යන සමහර බෞද්ධයන් උන්වහන්සේලාගෙන් විමසන්නේ තමන්ගේ අනාගතය කිව හැකි ද? එසේ නැතහොත් තමන් සිතන දේ කිව හැකිද? ආදී වශයෙන් බොළඳ ගැටලු පිළිබඳවය.
බුදුරදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කර ඇති සෝමාවතිය, දළදා මාලිගාව වැනි උත්තරීතර සිද්ධස්ථානවල යම් යම් අවස්ථාවල බුදුරැස් විහිදේ. දළදා වහන්සේ වැඩම කරන අවස්ථාවලදී ධාරානිපාත වැසි ඇද හැලෙයි. එවන් විශේෂතා බුදුරදුන් වෙත ඇත. අද එවන් උතුම් බුද්ධ ලක්‍ෂණ තමන්ගේ කුණුවන ශරීරයට ආරූඪ කරගනිමින් කටයුතු කරන පුද්ගලයන් හා ඒ හරහා තමන්ගේ ආධ්‍යාත්මය උසස් කරන බෞද්ධ පිරිස යන දෙපිරිසම සිදුකරනු ලබනුයේ මහා අපරාධයකි. බුදුදහමෙන් අප විජ්ජා පෙන්වීම අපේක්‍ෂා නොකළ යුතු අතර, බුදුදහමට අනුව අපගේ ඇතුළාන්තය සකස් කොට ගෙන විමුක්තිය සලසා ගැනීමට උත්සාහවන්ත විය යුතු ය.

සිල්ව්‍රත නිසා ආඩම්බර නොවන්න. විවිධ ධ්‍යාන ලැබූ, මාර්ගඵල ලැබූ භික්‍ෂූන් වහන්සේලා හැකිතරම් ඉක්මනින් කෙලෙස් නසා රහත් බව ලැබීමට උත්සාහවන්ත නොවී ‘හත්‍ථං පත්තං වෙදං’ යනුවෙන් රහත් බව තමන්ගේ ඇතැයි මානයෙන් ක්‍රියා කළ අවස්ථා ඔබට මතක ඇත.
සෝවාන් ඵල ලැබූවෙකුගේ උපරිම භව ගණන හතකි.
සකෘදාගාමී ඵල ලැබූවෙකුගේ ඉදිරි භව ගණන උපරිම එකකි.
අනාගාමී ඵල ලැබූවෙකු ශුද්ධාවාසවලට ගමන් කරනවා විනා යළි මනුලොවට පැමිණීමක් නැත.
අර්හත් බව ලැබුවෝ මේ භවයේම සසර අවසන් කරති.
මාර්ගඵල ලබා ඇතැයි කිසිවෙක් ආඩම්බර නොවිය යුතුය. අශුචි ස්වල්පයක් වුවද, අශුචි ගොඩක් වුවද එහි දුගඳ සමාන වන්නා සේ සසර කෙටි වුවද සසර දිගුවුවද සසර දුක එක සමාන වේ. සසර දුක් නිවා ගැනීම පිණිස කටයුතු කරනු විනා ලෝකයා විසින් ඉල්ලුම්කරන ලෝකයා විසින් අගය කරනු ලබන විවිධ ධ්‍යාන ප්‍රාර්ථනා නොකරන ලෙසත්, ධ්‍යාන ලබා යළි පරිහානියට යාමට ඉඩ ඇති බවත් බුදුන්වහන්සේ දේශනා කර ඇත.

උක්‍ඛිතවා පුඤ්ඤතෙජෙන
කාමරූපගතිඞ්ගතා
භවග්ගතමපි සමපත්තා
පුනාගචඡන්ති දුග්ගතිං”


යනුවෙන් පින් මහිමයෙන් බ්‍රහ්ම ලෝකයට ගියද යළිත් දුගතිගාමී වීමට ඉඩ ඇති බව ප්‍රකාශ කර ඇත.
ධ්‍යාන ලැබූවෙක්ට බුදුකෙනෙකුන් මඟහැරෙන්නට අවස්ථාව උදාවිය හැකි ය. සිදුහත් කුමරුන්ට නම් තබන දින පැමිණි කාලදේවල තවුසා මුලින් සිනහ වී පසුව හැඬූ බව ප්‍රකාශිත ය. සිදුහත් කුමරු බුද්ධත්වය ලබන අවස්ථාව වන විට තමන් බ්‍රහ්ම ලෝකයේ සිටින හෙයින්, තමාට බුද්ධෝත්පාද කාලයක මිනිස් ලොව විසීමට අවස්ථාව නොලැබෙන හෙයින් තමාට සංවේගයක් හටගත් බැව් කාලදේවල තවුසා පවසා ඇත. අසඤ්ඤ තලයේ ඉන්නවුන්ට ධර්මශ්‍රවණයට හැකියාව නොලැබෙන බව ඉන් පැහැදිලි ය. ධර්ම ශ්‍රවණයට අවස්ථාව නොලැබෙන ක්‍ෂණ සම්පත්තියෙන් තොරවූ ලක්‍ෂ 8 ක් පිළිබඳව අප මෙම ග්‍රන්ථයේ ‘තෘෂ්ණාව නැතිකරමු’ යන පරිච්ඡේදයේ පැහැදිලි කර ඇත. බ්‍රහ්මලෝකවල ඉපදීම ද ධර්ම ශ්‍රවණයට බාධාවක් වන බව අප ඉගෙන ගෙන ඇත. සිත මිස කය නැති බඹලොව හා කය මිස සිත නැති බඹලොව යනුවෙන් ඉගැන්වීමක් ඇත. මෙම කාරණය සමහරු බුදුදහම ආත්මවාදයක් හා භෞතික වාදයක් ලෙස ගනිති.

කයක් නොමැතිව සිතක් හුදෙකලා වී ඇති හෙයින් එහි ආත්මයක් ඇතැයි තර්කයක් ඉදිරිපත් කර ඇත. මෙම කාරණාව පටලවා නොගත යුත්තකි. සිත සමඟ කය ද ඇතිමුත් එම කය අප කතාකරන ඝනබල ශරීරයක් නොව, අක්‍රීය වූ සියුම් වූ ශරීරයකි. මෙහිදී සිත තරම් කය ප්‍රබල නොවේ. එමෙන්ම කය මිස සිත නොමැති අවස්ථා ඇති අතර, එහිදී සිත අක්‍රිය වී කය ප්‍රබල වේ. ඉහත කී අවස්ථා දෙකේ දී ම ධර්මශ්‍රවණයට බාධා ඇතිවේ.
අෂ්ට දුෂ්ටක්‍ෂණ අතර වන ‘පංචේන්ද්‍රිය වෙකලලං’ හෙවත් අක්‍රීය පංචස්කන්ධය යන කාරණය ගෙන බලමු. මේ පිළිබඳව බුදුන්වහන්සේ මහාතණ්හාසංඞ්ඛය සූත්‍රයේ දී කතා කර ඇත.

“අඤ්ඤත්‍ර පචචයා නන්‍ථි විඤඤාණසස සමභවො” විඤ්ඤාණය සෙසු ප්‍රත්‍යවලින් තොරව හුදකලාව නොසිටියි. සිත සමඟ රූප ද තිබිය යුතු වේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කාරණාවලදී සංඥා, සංඛාර හා විඤ්ඤාණ මානසික තත්ත්වයන් වේ. රූපය භෞතිකය. එම භෞතිකමය ඇසුරු කොට සිත පවතින අතර, සිත ශක්තිමත් වී කය දුර්වල වීම හේතුවෙන් සිත මිස කය නැති බඹලොව වශයෙන් හැඳින්වේ.
රූපය ගලක් මෙන් ශක්තිමත් තිබී, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ශක්තියෙන් හීන හෙයින් කය මිස සිත නැති තත්ත්වයක් හටගනී. මේ සඳහා සරල උදාහරණයක් දැක්විය හැකිය. බතක් පිසීමට හාල් මෙන්ම වතුර ද අවශ්‍ය ය. හාල් ප්‍රමාණය පිසෙන්නට අවශ්‍ය පමණට වඩා ජලය වැඩිවූ කල්හි එහි ඉදෙන්නේ බතක් නොව කැඳය. හාල් ඉදෙන්නට ප්‍රමාණවත් ජලය තිබූ කල්හි එහි පිසෙන්නේ බතකි. කැඳ හා බත යන ආහාර වර්ග දෙකටම හාල් හා ජලය යන එකම සංයෝගයක් ඇතුළත් වන මුත්, එම සංයෝගය අනුපාතයට අනුව වෙනස්වනු ඇත.

එසේ කයේ අනුපාතය අඩුවී සිත සියුම් වූ කල්හි සිත මිස කය නැති තත්ත්වය ද සිතෙහි අනුපාතය අඩු වී කය සියුම් වූ කල්හි කය මිස සිත නැති තත්ත්වය ද උපදියි. මෙසේ අරූපාවචර බ්‍රහ්මලෝකවල ඉපදුන පුද්ගලයන්ට ධර්මාවබෝධය කළ නොහැකි ය.

අසඤ්ඤතලයේ හෙවත් ප්‍රත්‍යෙක දේශවල ඉපදුන පිරිසට ද ධර්මාවබෝධයට අවස්ථාව නොලැබේ. ලෝකයේ ඇන්ටාර්ටික්, ආක්ටික් ද්‍රවාසන්න රටවල, අධික ශීතල, අධික උෂ්ණය පවතින රටවල බුද්ධි මට්ටම හීනවන හෙයින් ධර්මාවබෝධය නොලැබේ. එහි මිථ්‍යාදෘෂ්ටිය ප්‍රබලව දක්නට ඇත.
ලංකාවේ සම සීත දේශගුණයක් ඇති අනුරාධපුර, සිතුල්පව්ව වැනි ප්‍රදේශවල රහතන් වහන්සේලා ඉතා විශාල ප්‍රමාණයක් වැඩ සිටි බැව් අපි දනිමු.

“චක්ඛුං අනිච්චං, රූපං අනිච්චං” යන කාරණ අවබෝධ කර ගැනීමට ඉන්ද්‍රිය විකල්වූ අයට නොහැකි ය.
දරුණු මිථ්‍යාදෘෂ්ටිකයන්ට ද ධර්මාවබෝධය ලැබිය නොහැකි බව අපි සාකච්ඡා කළෙමු. ඔහුට යමක් අවබෝධ කරගැනීමට අපහසු කාරණාවකි. බුදුහාමුදුරුවෝ ආත්මය පමණක් නොව, ආත්මවාදය (වචනය) පවා පිළිකෙව් කළ සේක.

‘එතං මම එසො හමසමි එසො මෙ අතතාති’ ආදී වශයෙන් ගත් කල්හි එහි මිථ්‍යා දෘෂ්ටියක් ඇත. ඒ හෙයින් බුදුදහමේ අන්තර්ගත ධර්මය නියමාර්ථයෙන් ගත යුතු අතර, ධර්මය වරදවා වටහා ගැනීම සර්පයෙකු වල්ගයෙන් අල්වා ගත්තා මෙනි. වල්ගයෙන් අල්ලාගත් කල්හි සර්පයා දෂ්ට කිරීම වැළැක්විය නොහැකි ය.
මිථ්‍යාදෘෂ්ටික සමාජයක් තුළ, මිථ්‍යාදෘෂ්ටිය පි‍්‍රයකරන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පවා විසූ සමාජයක් තුළ, බුදුරදුන් වහන්සේ දේශනා කළ සම්මා දෘෂ්ටියේ ඇති වැදගත්කමත් පිළිබඳව අප මෙහිදී සාකච්ඡා කළෙමු.
ඒ හෙයින් මිථ්‍යාදෘෂ්ටිය හඳුනාගෙන, වැරැදි දැකීම අතහැර බුදුදහමින් පෙන්වන සම්මා දෘෂ්ටිය සොයායාමට බෞද්ධ අපට විශාල වගකීමක් ඇත. ඒ සඳහා අවශ්‍ය ධර්මය බුදුබණෙහි ඇතුළත් වේ. ඒ ධර්මය නිවැරැදිව ග්‍රහණය කොට, ඒ හරහා විමුක්තිය සලසා ගැනීමට අවශ්‍ය කරන වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට සැවොම උත්සාහ ගත යුතු වේ.




ශි‍්‍ර ජයවර්ධනපුර
ව්ශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි

 

 

ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 26 වන සෙනසුරාදා  දින හා දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 03 වන ඉරිදා දින හා   දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 09 වන සෙනසුරාදා දිනයන්හි බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි පෙළකි

No comments:

Post a Comment