තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා සෘජු නිවැරැදි මාර්ගයක් දේශනාකොට වදාළේ දුක්විඳින සත්ත්වයන්ට ඒ දුකෙන් නිදහස් වීම පිණිසයි.
ඒ සෘජු මාර්ගයේ ගමන් කළ බොහෝ දෙනා සසරින් නිදහස් වුණා. ඒ මාර්ගයට පිවිසුනේ නැති අප තවමත් සසරේ ගමන් කරනවා.
මේ මාර්ගය වනාහී “ඛේමෝ මග්ගෝ” එනම් ක්ෂ්ම මාර්ගයකි. ඉතා සුවදායකය. සතුටින් යා යුත්තකි. ධර්මානුකූලව සිතන පුද්ගලයා ධර්මානුකූලව චරණය කරන පුද්ගලයා මේ ආශ්චර්යවත් ගමන හොඳට ජීවිතයට සුසංයෝග කර ගන්නවා. ඒ නිසා හැම මොහොතකම මේ ශාන්තිදායක නිවුණු බොහෝම සිසිල් වූ මඟ අප ස්පර්ෂ කළයුතුයි. ධර්මය නැති තැන අප විපත්තියට පත්වෙනවා. නිවැරැදිව හොඳින් සෙවිලි කළ ගෙයක වහලෙන් වතුර වැටිලා කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. පිළිවෙලට සෙවිලිකළ වහලින් එහෙන් මෙහෙන් වතුර වැටෙනවා. ඒ නිසා භාවිත සිතක් හදාගත්ත පුද්ගලයා ගෙදර වහලය හොඳට සෙවිලි කරගත්තා හා සමානයි. භාවිත සිතක් නැතිනම් ධාර්මික සිතක් ගැඹුරු ආධ්‍යාත්මික සිතක් නැති කෙනා සසර විපත්තියට පත්වන්නේ හරියට සෙවිලි නොකළ වහළ අපට අනන්ත දුක් කරදර බාධක ගෙන දෙන්නාක් ලෙසයි. ඒ වගේම ඉන්ද්‍රිය දමනය කළ විට සුවපත් භාවය ලබනවා. ඉන්ද්‍රිය දමනය නැති පුද්ගලයා හරියට මුදුන් මුලක් නැති මහා ගහක් කුඩා සුළඟකින් වුවත් බිම හෙලන්නාක් මෙන් ලෙහෙසියෙන් විනාශයට පත් කරනවා.
මේ ලෝකයේ විෂය වස්තුවලින් අපව මුලා කරනවා. ඒ විෂය වස්තු රූප, ශබ්ද, ගන්ධ රස, ස්පර්ශ කියන මාරයාගේ ඊතලයි. මේ මාර ඊතලවලට අප ලක්වෙනවා. අපේ හිත ඇඳී, බැඳී, රැඳී, ගැටී යනවා. එතැනින් සිත මුදා ගන්නට අප දක්ෂ වෙන්න ඕන. ඒ විෂය වස්තු ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඉට්ඨා, කන්තා, මනාපා, පියරූපා, රජනීයා, කාමුප සංහිතා ලෙසයි. බොහෝම ඉෂ්ඨයි. සිත ඇදී යනවා. හරිම මනාපයි. පියකරුයි. සිත ඇඳෙනවා. කාම සිතිවිලි වලින් සිත වසා ගන්නවා. ඒ නිසා මේ ලෝක ස්වභාවය දැනගෙන මෙතැනින් මිදීමට තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අපට ප්‍රයෝජනයත් වෙනවා.
ඒ සඳහා උන්වහන්සේ ගොපල්ලකු උපමා කොට වදාළ මහා ගෝපාල සූත්‍රය අද ඉගෙන ගනිමු.
හරක් බලාගන්න ගොපල්ලෙක් හිටියා. ඔහු දිනක් තමාගේ හරක් ටික ගඟක් ළඟට ගෙනාවා. ගඟේ ජලය පිරිලා තිබුණේ. මේ ගොපල්ලා කිසිවක් සොයා බලන්නේ නැතිව හරක් ටික එගොඩ කිරීම පිණිස ගඟට බැස්සුවා. ගවයන් සියල්ලම ගසාගෙන ගියා. ගොපල්ලත් විපත්තියට පත්වුණා.
තවත් දවසක තව ගොපල්ලෙක් ඔහුගේ ගව රැළ එගොඩ කිරීම පිණිස ගඟ ළඟට ආවා. එදත් ගඟේ වතුර වැඩියි. නමුත් ඒ ගොපොල්ලා වටපිට බලලා නිසි තැනින් ගවයන් එගොඩ කළා. කිසිම ගවයෙකුට හානියක් වුණේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ මේ ගොපල්ලන් දෙදෙනාගේ වෙනස පහදමින් මේ “මහා ගෝපාල සූත්‍රය” වදාළා. එහිදී උන්වහන්සේ හොඳ ගොපල්ලෙකුගේ ලක්ෂණ එකොළහ ක් තිබෙන බව වදාළා.
1) රූපඤ්ඤු හෝති - ගොපල්ලා සිය ගණන් ගවයන් සිටියත් දුටු ගමන් රූපයෙන් මේ ගවයන් වෙන වෙනම හඳුනා ගන්නවා.
2). ලක්ඛණ කුසලෝහෝති - එක එක ගවයාගේ තිබෙන ලකුණු මත ඔහු මේ ගවයන් හඳුනා ගන්නවා.
3) ආසාධිකං සාටේතාහෝති – ගවයන්ගේ හැදෙන පණු බිත්තර ඉවත් කර ගවයාට සුවසේ ඉන්න ඉඩ සලසනවා,
4) වනං පටිච්ඡාදේතාහෝති – වන තුවාල වලට පිළියම් කරනවා,
5) ධූමං කත්තාහෝති - ගවගාලට නිතරම දුම් අල්ලනවා. එයින් මැස්සන්ගෙන් බෝවෙන රෝග නැතිවෙනවා,
6) තිත්ථං පජානාති – ගවයන් නාන තොටුපල ගැන අවබෝධයෙන් ඉන්නවා,
7) පීතං ජානාති – ගවයන්ට ජලය දිය යුතු ස්ථාන වෙලාව හොඳින් දන්නවා,
8) වීථිං ජානාති - ගවයන් ගෙන යා යුතු පාර, වීථිය හඳුනා ගන්නවා,
9). ගෝචර කුසලෝ හෝති - ගවයන්ට තණ ලබාදෙන ගොදුරු බිම අවහිරතා බාධක නැති තැන් හොඳින් සොයා බලනවා,
10) අවසේසදෝහී හෝති – කිරි දොවන විට පැටවුන්ට ටිකක් ඉතිරි කරනවා,
11) පරිණායකා අතිරේක පූජාය පූජිතා හෝති - වයස්ගත වූ වැඩිමහළු ගවයින්ට විශේෂ සැලකිලි දක්වනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, මේ හිත හදන්න කැමැති කෙනෙක් නැතිනම් මේ සසරින් එතෙර වෙන්න කැමැති කෙනෙක් හරියට හොඳ ගොපල්ලෙක් වගේ ක්‍රියා කරන්නට ඕන. හිත හදාගන්න ඕන. රූපච්ඤ්ඤුු හෝති - පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියා සතරමහා ධාතු පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. ලක්ඛණ කුසලෝ හෝති – ලකුණු මතින් ගවයන් හඳුනා ගන්නවා වගේ හිත තුළ මතුවන කුසල අකුසල පිළිබඳව හොඳින් හඳුනා ගන්නවා. ඒ වගේම ආසාධිකං සාටේතා හෝති කියන්නේ පණු බිත්තර ඉවත් කරනවා වගේ අපේ සිතේ ඇතිවන පංචනීවරණ ධර්ම වන කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා දුරුකිරීමයි. වනංපටිච්ඡාදේතා හෝති- ගවයන්ගේ වන තුවාල වලට බෙහෙත් කරනවා වගේ අපේ ඉන්ද්‍රියන් සංවර කර ගන්නවා. කර්ම රැස් වෙන රූප, ශබ්ද, ගන්ධ රස, පහස කියන පංචකාමයන්ගෙන් සිත රැක ගන්නවා,
ඊළඟට ධූමංකත්තා හෝති – ගව ගාලට දුම් අල්ලනවා වගේ අපත් ආධ්‍යාත්මික සිතක් ගොඩනඟා ගන්න නිතර ධර්ම ශ්‍රවණය කළ යුතුයි. දුම් අල්ලනවිට වටපිට ඉන්න මැස්සෝ මදුරුවෝ ඉවත්වෙනවා වගේ ධර්මය ශ්‍රවණය කරන විට වැරැදි සංඥා, සිතිවිලි, ඉවත් වෙලා සිත නියම මාර්ගයේ ගමන් කරනවා. ඒ වගේම තිත්ථං පජාපාති කියන්නේ ගොපල්ලා තොටුපල හඳුනා ගන්නවා වගේ මේ ආධ්‍යාත්මික ගමන බලවත් කරන පුද්ගලයා විනයධර, බහුශ්‍රැත, තපෝධර උතුමන් නිතර හමුවෙනවා.
උන්වහන්සේ සමඟ සාකච්ඡා කොට ධර්ම ගැටළු විසඳගෙන බලවත් භාවයට පත්වෙනවා, පීතං ජානාති - ගොපල්ල ජලය පානය කළ යුතු තැන දන්නවා වගේ ශ්‍රාවකයා ධර්මයේ තිබෙන විමුක්ති රසය හඳුනා ගන්නවා. මහා මුහුදම ලුණු රස වන්නා වගේ ධර්මය පුරාම විමුක්ති රසය පිරී පවතිනවා. එය රාගය, ද්වේශය මෝහය නැති කරන්නට උදව් වෙනවා. ඒ වගේම වීථිං පජානාති – ගවයන් ගෙනයන මාර්ගය දන්නවා වගේ ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් හොඳට මේ හිත ඉක්මවන්නට අවශ්‍ය කරන ධර්ම මාර්ගය දකිනවා. ඒ තමා ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ගෝචර කුසලෝහෝති කියන්නේ ගවයන් ගෙනයන කවන පොවන තැන් හඳුනා ගන්නවා වගේ මේ අසිරිමත් ධර්මයේ සුවපත් වන පුද්ගලයා දකිනවා හොඳම තණබිම තමා සතර සතිපට්ඨානය . මේ සතර සතිපට්ඨානය පුරුදු කිරීමෙන් ඒකාන්තයෙන් අරිහත්භාවයට පත්වෙන්න පුළුවන් බව උන්වහන්සේ වදාළා. ඊළඟට අවසේසදෝහි හෝති - කියන්නේ කිරිටික දොවලා පැටවුන්ටත් ටිකක් ඉතිරි කරනවා වගේ මේ සිත හදමින් බලවත් ආධ්‍යාත්මික ගමනකින් සුවපත් වී සසර බිය නැති කරගන්නට කැමැති කෙනා මේ සිව්පස පරිභෝගයේදී ඒ පිළිබඳව අවබෝධයෙන් පරිභෝජනය කරනවා. ඒ වගේම පරිණායකා අතිරේක පූජාය පූජිතෝහෝති - වැඩිහිටි ගවයන්ට විශේෂ සැලකිලි ලබා දෙනවා වගේ හොඳට සිත පුරුදු කරන පුද්ගලයා මේ ගොපල්ලාට සමානයි. ධර්මධරයින් පුදනවා, මගඵලලාභීන්, බහුශ්‍රැත අය පුදනවා. එසේ හොඳට සිත හදාගන්න කෙනා ගොපොල්ලෙකුට අපූරුවට සමාන වෙනවා. ඔහු කරුණු කාරණා දැනගෙන ගවයන් රැකබලා ගන්නවා වගේ ආධ්‍යත්මික ගමනකින් සුවපත්වීමට කැමැති පුද්ගලයා තමන්ගේ හිත හොඳට රැකගන්නා බව මෙයින් පැහැදිලි වෙනවා.
එසේනම් හදාගත් සිත අපේ ජීවිතයට හරියට වටිනවා. මේ සිතෙහි උපදින සිත් අපට හීලෑ කරගන්න පුළුවන්නම් එතැනම ජීවිත ශාන්තිය යි. අප විඳින දුක් සැප සියල්ලක්ම සිත මතයි තිබෙන්නේ. යම්කිසි දුකක් හෝ සැපතක් අනුභව කරනවා නම්, මේ හැම දේකටම විඤ්ඤාානයයි ප්‍රත්‍යය වන්නේ. මේ විඤ්ඤාාන ක්‍රියාවලිය නතර කරගතහොත් කිසිම දුකකින් අප තැවෙන්නේ නැහැ. මේ භයානක රාග , ද්වේශ, මෝහ ගින්නෙක් පවා නො තැවෙන බව බුදුන් වහන්සේ මනාව පැහැදිලි කරනවා. ඒ නිසා ධර්මාන්විත සිතක් ගොඩනගා ගන්න. ඒ තුළින් ඔබේ සිත සුවපත් කරගන්නට උත්සාහ කරන්න.
එවිට අඳුරේ ඉන්න ඔබට ආලෝකය හමුවෙනවා නියතමයි.
කථිකාචාර්ය, දර්ශනපති
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment