Labels

Monday, September 14, 2015

බුදු වදනෙන් දියුණුවට උපදෙස්


කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපැයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත. එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම,
මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීමථ සූදුවෙහි යෙදීම, පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගැනීමට අදාළව කැරෙන මඟ පෙන්වීම් බුද්ධ දේශනාව පුරාම දැක්වෙයි.

බුදුදහම පරලොව දියුණුව පමණක් අරමුණූ කරගත් දහමක් නොවේ. එහි මෙලොව දියුණුවට මුල් තැනක් හිමිවේ. මෙලොව දියුණුව ගැන සාකච්ඡා කිරීමේදී,ආර්ථික (භෞතික) දියුණුවෙන් පමණක් ලබන දියුණුව අංග සම්පූර්ණ එකක් නොවන බව කිව යුතුය. ආධ්‍යාත්මික දියුණුවට එහිදී වැදගත් තැනක් හිමි වෙයි. ආධ්‍යාත්මික දියුණුවෙන් තොර භෞතික දියුණුව පමණක් සැබෑ දියුණුවක් නොවේ.
භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සලසා ගනිමින් අංග සම්පූර්ණවූත්, සාර්ථක වූත් දිවි පැවැත්මක් සඳහා බුදු දහම මාහැඟි මග පෙන්වීමක් කරයි. එහිදී මහා මංගල සූත්‍ර දේශනාවට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. මිනිසාගේ භෞතික හා ආධ්‍යාත්මික දියුණුව සඳහා මහා මංගල සූත්‍ර දේශනාව ලබා දෙන උපදෙස් මාලාවකි. පස්, පව්, දස අකුසල් ආදියෙන් වැළකී මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂා පරිත්‍යාගය , සහජීවනය ආදී ගුණාංග වලින් පරිපූර්ණ වීම සඳහා පුද්ගලයාට එය ප්‍රබල පිටු බලයකි. එම උපදෙස් මාලාව තුළ අධ්‍යාපන දියුණුවට , චර්යාමය දියුණුවට , ආධ්‍යාත්මික දියුණුවට සහ සමාජයීය දියුණුවට අදාළ කරුණු ඇතුළත් වෙයි.
බුදු දහම ප්‍රඥාවන්තයන් සඳහා ය. මිනිසාගේ ප්‍රඥා වර්ධනය සඳහා අධ්‍යාපනය ලබා දිය යුතු ය.

බාහු සච්චංච - බහුශ්‍රැතයකු වීම
සිප්පං - ශිල්ප ඥානය

එහි දැක්වෙන මූලික කරුණු දෙකකි. බහුශ්‍රැත භාවය යන්නෙන් අදහස් කෙරෙන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ය. අතීතයේ පොතපත සුලභ නොවී ය. එබැවින් අධ්‍යාපනය ලැබීමට සිදු වූයේ ගුරු බසට සවන් දීමෙනි. ගුරු බසට අවනතව හොඳින් සවන් දී මෙන්,බොහෝ දේ අසා දැන ගැනීම තුළින් මිනිසාට උගතකු බහුශ්‍රැතයකු වීමේ වාසනාව උදාකර ගත හැකි වෙයි. පොතපත කියවීම මගින්ද එය ලබා ගත හැකි ය. මෙයින් අවධාරණය කැරෙන්නේ මෙලොව දියුණුව සඳහා ශාස්ත්‍රීය දැනුම හා ශිල්පීය ඥානය ලැබීම ය. ඊට කලා ශිල්ප දෑතේ හුරු බව වෘත්තීය පුහුණුව ශිල්පීය දැනුම ආදිය අවශ්‍ය වෙයි. අපේක්ෂා කරන අධ්‍යාපන දියුණුව සලසා ගැනීමට නම්, චර්යාමය දියුණුවක්ද ලබා තිබිය යුතුය. නැණවත්, ගුණවත් සමාජයක් නිර්මාණය කිරීමට නම් අධ්‍යාපන මෙන්ම චර්යා ධර්ම වල ආධ්‍යාත්මික ගුණවල වර්ධනයක් අවශ්‍යය.
එසේ සමාජයේ චර්යාමය දියුණුව සලසා ගැනීම සඳහාම ඉවහල් වන කරුණූ රාශියක් මහා මංගල සූත්‍ර දේශනාවේදී දේශනා කර වදාළහ. ඒවා නම්

1. විනයොච සුසික්ඛිතො - විනයගරුක මනා හික්මීමකින් යුක්ත වීම

2.සුභාසිතාච යා වාචා- යහපත් වූ වචන කතා කිරීම

3.අනාකුලාච කම්මන්තා - නිරවුල් කර්මාන්ත ව්‍යාපාර ආදියෙහි නිරතවීම

4. ධම්ම චර්යාව - ධර්මානුකූ®ල හැසිරීම

5. අනවජ්ජානි කම්මානි - නිවැරැදි ක්‍රියාකාරිත්වය

6.ආරති විරති පාපා - පාප ක්‍රියාවලින් මිදීම

7. මජ්ජපානාච සඤ්ඤමො - මත්ද්‍රව්‍ය මත්වතුර, නොගැනීම

8. කාලෙන ධම්ම සාකච්ඡා - සුදුසු කල්හි දහම් ඇසීම

9. කාලෙන ධම්ම සාකච්ඡා - සුදුසු කල්හි ධර්මය සාකච්ඡා කිරීම

10. සන්තුට්ඨි - ලද පමණින් සතුටට පත්වීම

11. පුබ්බේච කත පුඤ්ඤතා - පෙර භවයේ කළ පින් ඇති බව

මෙම මංගල කරුණු තුළින් අපේක්ෂා කරනුයේ සිත කය වචනය යන තිදොරින් සිදුවිය හැකි දුශ්චරිතවලින් තොරවූ යහපත් චර්යා ධර්මවලින් අනුන යහපත් සමාජයක් බිහි කිරීම ය. මානව සංවර්ධනය සඳහා දුසිරිත් වලින් දුරුවීමට සමගාමීව සුසිරිත් හුරු කිරීමද අවශ්‍ය වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ පුද්ගලයා විසින් දුරු කළ යුතු ලාමක ධර්ම මෙන්ම හුරු කළ යුතු සුසිරිත් ද දේශනා කර වදාළහ.
දියුණුව සොයා යන්නා, නැවියකු විසින් හසුරුවන නැවක් වැනි ය. පරිහානියට පත්වන පුද්ගලයා නැවියකු නොමැතිව ඒ මේ අත අයාලේ පාවී යන නැවක් බඳු ය. මිනිසා මෙලොව දියුණුව අපේක්‍ෂා කරන්නේ නම් තම ජීවිතය ක්‍රමවත්ව හසුරුවා ගත යුතු ය. ගුණධර්ම ප්‍රගුණ කර ගනිමින් ශික්‍ෂාකාමීව ආධ්‍යාත්මික ගුණ වගා කර ගත යුතු ය. ඒ සඳහා මහා මංගල සූත්‍ර දේශනාව මාහැඟි මඟ පෙන්වීමක් කරයි. ඒ මෙසේ ය.

1.තපො - තපස

2. බ්‍රහ්මචරිය – බඹසර දිවි පෙවෙත

3. අරිය සච්චානදස්සනං - චතුරාර්ය සත්‍ය වටහා ගැනීම.

4.නිබ්බාන සච්චිකිරියාච - සදා සැපත වූ නිවන් අවබෝධය.

5. පුට්ඨස්ස ලෝක ධම්මෙහි, චිත්තං යස්ස න කම්පති – අටලෝ දහමෙහි නොසැලීම.

6.අසෝ කං - ශෝකයට පත් නොවීම

7. විරජං - කෙලෙස් රහිත බව

8. ඛේමං - බිය රහිත නිදහසකට පත් වීම


9. අප්පමාදොච ධම්මේසු - කුසලෙහි නොපමා බව

මෙකී මංගල කාරණා මැනවින් අවබෝධ කොට ගෙන, ඒවා තම ජීවිත තුළ වර්ධනය කරගත් පුද්ගලයා, මෙලොව සතුට ළඟා කර ගනියි. ඒ තුළින්, නිවන තෙක් ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කර ගැනීමට ක්‍රියා කරයි. මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැකි ය. ඔහුට සමාජයේ විවිධ පුද්ගලයන් හා ආයතන සමඟ දැහැමි සම්බන්ධතා පවත්වා ගනිමින්, ජීවිත සාර්ථකත්වය ලබා ගැනීමට සිදුවෙයි.ඒ සඳහා මඟ පෙන්වන, මංගල කරුණු රාශියක් මහා මංගල සූත්‍ර දේශනාවේ දැක්වෙයි. සමාජයීය අභිවෘද්ධිය සලසන, මංගල කරුණු ලෙස ඒවා මෙසේ දැක්විය හැකි ය.

1. අසේවනාච බාලානං - බාලයන් ආශ්‍රය නොකිරීම.

2. පණ්ඩිතානංච සේවනා - නුවණනැත්තන් ආශ්‍රය කිරීම

3. පූජාච පූජනීයානං - පිදිය යුත්තන් පිදීම

4. පතිරූප දේස වාසෝච - සුදුසු පරිසරයක වාසය

5. මාතාපිතූ උපට්ඨානං - මවුපියන් රැක බලා ගනිමින් උවටැන් කිරීම

6. පුත්තදාරස්ස සංගහො - අඹුදරුවන් පෝෂණය

7. දානං - දන් දීම, පරිත්‍යාගය

8. ඥාතකානංච සංගහො - ඥාතීන්ට සංග්‍රහ කිරීම

9. – ගාරවොච – ගරු කළ යුතු අයට ගරු කිරීම

10. නිවාරතාච – නිහතමානී බව

11. කතඤ්ඤුතා - කෘත ගුණ සැලකීම

12. ඛන්ති - ඉවසීම

13. සෝවචස්සතා - කීකරු බව

14. සමණානංච දස්සනං - සංඝරත්නය දැකීම

මෙලොව දියුණූව අරභයා මහා මංගල සූත්‍ර දේශනාව තුළින් මෙන්ම, ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව තුළින් ද ලබා දී ඇති උපදෙස් රාශියකි. භාග්‍යවතුන් වහන්සේ විසින් මහා මංගල සූත්‍ර දේශනාව පවත්වනු ලැබ ඇත්තේ, දීඝජානු නම් කෝලිය සිටු පුත්‍රයා විසින් නගන ලද, පැනයකට පිළිතුරු වශයෙනි. දීඝජානුගේ පෙළපත් නාමය ව්‍යග්ගපජ්ජ යනුවෙනි. දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, මෙසේ විමසී ය. ‘ස්වාමීනී’ භාග්‍යවතුන් වහන්ස ගිහියෝ මෙලොව පස්කම් සැප අනුභව කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් විවිධ කරදර බාධක කම්කටොලු මධ්‍යයේ ජීවත් වෙති.එසේ කරදර බාධක මැද ජීවත්වන ගිහියා කෙරෙහි අනුකම්පාවෙන් මෙලොව පරලොව හිතසුව පිණිස වූ ධර්ම උපදෙස් වදාරන සේක්වා. මෙම ආයාචනය කාරුණිකව ඉවසා වදාළ භාග්‍යවතුන් වහන්සේ, මෙලොව දියුණුවට අතිශයින් ඉවහල්වන කරුණු හතරක් ප්‍රථමයෙන් දේශනා කර වදාළහ. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා සමජීවිකතා යනු ඒ හතර යි.
එක් එක් පුද්ගලයා සාර්ථක දිවි පෙවෙතක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් ධනයක් උපයා ගත යුතු ය. ඊට යෝග්‍ය වෘත්තියක් තෝරාගෙන අනලස්ව ධාර්මිකව ක්‍රියා කළ යුතු ය.

ඒ උට්ඨාන සම්පදාවයි. එසේ උපයා ගන්නා ධන සම්පත් සොර සතුරු, ගිනි හෝ ස්වාභාවික විපත් ආදියෙන් විනාශවීම වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂාකාරී වීම, ආරක්‍ඛ සම්පදාවේ. තුන්වැන්න නම් තමන් පවින් වළක්වන, සුමගට යොමු කරන බුද්ධිමත්, ගුණවත්, ත්‍යාගශීලී, අවංක කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමයි. (කල්‍යාණ මිත්තතා) අයවැය විමසා දැන නොමසුරුව, නමුත් අර පරිස්සමින් ක්‍රියා කිරීම, ‘සමජීවිකතා’ යනුවෙන් දැක්වෙයි. ගිහි ජීවිතයේ විවිධ අවශ්‍යතා සඳහා ධනය ඉතිරි කළ යුතු ය. ඒ ගැන දැක්වෙන සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ, ආදායමෙන් හතරෙන් එක් කොටසක් දෛනික දිවි පැවැත්ම සඳහා දෙකොටසක් ආයෝජනය සඳහා ද ඉතිරි කොටස හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ද යෙදීම යෝග්‍ය බව දැක්වෙයි.
කොතරම් විශාල ධනස්කන්ධයක් ඉපයුවත් එය අරපරිස්සමින් පාවිච්චියට නොගතහොත් පරිහානියට ලක්වනු ඇත.

එසේ ධන පරිහානියට හේතුවන නීති විරෝධී කම්සැප ලැබීම මත්ද්‍රව්‍ය හා මත්වතුර ගැනීම සූදුවෙහි යෙදීම පවිටු මිතුරන් ඇසුර ආදී දුශ්චරිත වලින් වෙන්විය යුතු ය. මේ අන්දමට මෙලොව ජීවිතයේ දියුණුව සලසා ගැනීමට අදාළව කැරෙන මඟ පෙන්වීම් බුද්ධ දේශනාව පුරාම දැක්වෙයි. එම මඟ පෙන්වීම් අනුව, බුද්ධිමත්ව ජීවිතය සකස් කරගෙන ,නොපසුබට උත්සාහයෙන් අධිෂ්ඨානශීලීව ක්‍රියාකිරීම තුළින්, මෙලොව, දියුණුව සලසා ගත හැකි වෙයි.


 එස්.ඩබ්ලිව්. ගුණරත්න

ශ්‍රී බුද්ධ වර්ෂ 2552 ක් වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ ජනවාරි මස 04 වන ඉරිදාදින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment