Labels

Monday, September 14, 2015

ස්වල්ප වූ වරදක් ජීවිතයට ම මහා විපතක් විය හැකිය


අප පසුගිය පොහොය දිනයන්හි කතා කලාක් මෙන් ‘සතිය’ හෙවත් ‘සිහිය’ පිළිබඳව සාමාන්‍ය ජීවිතයකට ගලපා බලමු. සාමාන්‍ය ජීවිතයකට අප ගලපා බැලුවොත්, ඕනෑම ජීවිතයක් යහපත් වූ චරිතයකින් හෙබි පුද්ගලයෙක් යැයි නම් ලබන්නේ, හැකිතාක්දුරට සියලු අවස්ථාවන්හි දී වැරැද්දක් නොවෙන්නට තරම් තම ජීවිතයේ, චරිතයේ පාලනයක් ඇති කරගත් මනුෂ්‍යයන්ටයි.

මේ සමාජයේ ජීවත්වන මනුෂ්‍යයන්ට මොනතරම් උගත්කම් තිබුණත්, පෙනුමක් තිබුණත්, ධනයක් තිබුණත් ස්වල්ප වූ වැරැද්දක් ජීවිතයට ම මහා විපතක් විය හැකියි. එය භික්ෂුවකට වුවත්, ගිහි ජීවිතයේ අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක් වූවත්, ඇස් කොනකින් ඇතිවන බැල්ම අභාවිත සිතක ඇතිකරගත් අසතිය නිසා මතු වූ සිතිවිල්ල මහා විපතකට මුලක් විය හැකියි. මේ නිසා ඒ මොහොතෙහි ජීවත්වීම හෙවත් යෝනිසෝමනසිකාරය පුරුදු කිරීම මෙලොව ජීවිතය ම යහපත පිණිස කෙතරම් උපකාරී වන්නේ දැයි ඔබම සිතා බලන්න.

මී ළඟට තවත් වචනයක් සඳහන් කරනවා අනුපස්සනා කියල, තමන් කළ, කී දෑ පිළිබඳව නැවත සිතා බැලීම රූප, ශබ්ද ආදී ආරම්මණයන් අනුව නැවත නැවත මෙනෙහි කොට බැලීමයි. අභාවිත සිත්වල පෘතග්ජන ලෝකයාගේ සිත්වල බොහෝ ආරම්මණ හෙවත් කෙලෙස් වංචාකාරී ලෙස සකස්විය හැකියි. නිදසුනක් ලෙස මෙසේ සඳහන් කළ හැකියි. අභාවිත සිතක් හෙවත් මනාකොට සිහිය පුරුදු නොකරන අයෙකුට රාගය, කරුණාව, මෛත්‍රීය ලෙස දැනිය හැකිය, පෙනිය හැකිය. සිතේ තැන්පත්විය හැකියි. නුපුරුදු සිත නිසා හෙවත් අසතිය නිසා ඔහුට හෝ ඇයට රාගය හෝ දැඩි ඇලීම පිළිබඳව මනා වූ අවබෝධයක් නැතිව යා හැකියි. ඔහුට හෝ ඇයට දැනෙන්නෙ එය කරුණාව, මෛත්‍රීය, උපකාර කිරීමක් හැටියටයි. මේ ආදී විවිධ සිතිවිලි පැමිණිය හැකියි. එහෙත් සැබෑවටම තමාගේ සිත තුළ වැඩෙන්නේ රාගයක් හෝ ද්වේෂයක්, අමනාපයක් විය හැකියි. අනුපස්සනා නම් වූ තමාගේ ක්‍රියාව අනුව නැවත සිතා බැලීමෙන්, මෙනෙහි කිරීමෙන්, නැවත නැවත විවරණය කොට බැලීමෙන් සැබෑ අරමුණු පැහැදිලි කර ගත හැකියි. හැබෑවට ම මේ මෛත්‍රීය ද, කරුණාවද? දයාවද? උදව් උපකාර කිරීම දැයි තමාගේ සිත, සිතිවිලි, වචනය, ක්‍රියාවන් කෙරෙහි නැවත නැවතත් විමසා බැලිය හැකියි. එවිට මගේ සිතේ මේ ඇති වී තිබෙන්නෙ මෛත්‍රීය ලෙස පෙනුනත්, මෛත්‍රීයට වඩා එහා ගිය ඇලීමක්, කරුණාවට එහා ගිය වෙනයම් ඇලීමක් ක්ලේෂයක් බව පැහැදිලි විය හැකියි. මා උදව් කරනවා, උපකාර කරනවා යැයි ඉදිරිපත් වුණත්, එසේ උපකාර කළත් මගේ සිත බලාපොරොත්තු වන්නේ කුමක්දැයි තමාගේ සිත ගැන නැවත විමසා බලන විට පැහැදිලි විය හැකියි. සමහර කෙනෙකුට අවවාද කරනවා යැයි පැවසුවත් මගේ සිතේ පවතින්නේ ද්වේෂය දැයි, අමනාපය දැයි, නුරුස්සනා බව දැයි, තමාට ම තේරුම්ගත හැකියි. අන් අයගේ අඩුපාඩු දකින්නේ, ඔවුන්ගේ ම හොඳට යැයි පැවසුවත්, මගේ සිතේ හැබෑවට ම පවතින්නේ අනුකම්පාවක් දැයි, කරුණාවක් දැයි සිතා බැලිය හැකියි. මේ ලෙසින් තමාගේ ම සිත, වචන, ක්‍රියාවන් කෙරෙහි නැවත, නැවතත් විමසා බලන විට වංචා කරන්න සුදානම් වන කෙලෙස්වලට අසු නොවී හැබෑම සීල, සමාධි, ප්‍රඥා ගුණ මාර්ගයට පුද්ගලයාට ළංවිය හැකියි.

සාමාන්‍ය සමාජයට ගැළපුවොත්, ගුණබර අම්මා කෙනෙකුට, පියාණන් කෙනෙකුට, යම් වූ ද කෙනෙකුට පිහිට විය හැකියි. උදව් උපකාර කළ හැකියි. ලෙන්ගතුව සමීප විය හැකියි. එහෙත් මේ උදව් උපකාර කිරීමට සුදානම් වීම, සමීපවීම, ලෙන්ගතුවීම සැබෑම පිරිසුදු සිතකින් දැයි කල්පනා කළ යුතුයි. ඒ පුද්ගලයාගේ පෙනුම, බැලීම, වචනය, හැසිරීම, ධනය හෝ වෙනයම් බාහිර යමක් නිසා මා සමීප වේ දැයි උපකාර කරනවා වේ දැයි, යන අදහසින් ද මා මේ කටයුතු කරන්නේ. එසේ වුවහොත් අයාලේ යන සිත. අයාලේ ම ගොස් මහත් වූ විපතකට නොදැනුවත් ම පත්විය හැකියි. තමාගේ සිතට එබී බැලීමෙන් සිතිවිලි, වචන හා ක්‍රියාවන් කෙරෙහි මනා වූ සිහියෙන් යුක්තව සතියෙන් යුක්තව පරීක්ෂා කොට බැලීමෙන් වැරැද්දකට හසුවෙන්න යන සිත එයින් වළක්වාගෙන තමාගේ පැවැත්මට ගැළපෙන ආකාරයෙන් නිවැරැදි මාර්ගය තුළ රදවාගත හැකියි. විදර්ශනාවේදීත් වැරැදි මාර්ගයට යන්නට නොදී අනිත්‍ය, දුක්ඛ, අනන්ත ත්‍රිලක්ෂණ ධර්ම මාර්ග ඔස්සේ ම සිත පවත්වාගැනීමට නම් මේ අනුපස්සනාව අවශ්‍යමයි.

සම්පජඤ්ඤය මෙහි දී පරික්ෂාකාරී නුවණ හෙවත් මනා කොට නුවණින් යුක්තව කටයුතු කිරීමයි. මුලින් සඳහන් කළ අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට සිත හා සිතිවිලි පිළිබඳව දකින්නට හැකියාවක් ඇති කරගත් සිතින් තමාගේ සියලු ඉරියව් කෙරෙහි, ඇවතුම් – පැවතුම් කෙරෙහි සිත හෙවත් සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීමයි. මෙතන දි අපට ආනාපාන සතිය වගේ ම ඉරියාපථ භාවනාවේ සඳහන් කළ කොටසත් සමීපකර ගත හැකිය. ගමන් කරන්නේ, ගමන් කරන්නෙමියි දැනගෙන ගමන් කරනවා. මින් අදහස් කරන්නේ කුමක් ද? ගමන් කරන විට මනා වූ සිහිය පුරුදු කළ පුද්ගලයෙකුට, ශරීරය මුල්කරගෙන තණ්හා මදමාන දෘෂ්ඨීන්ට හසු නොවී කටයුතු කරන්න පුළුවනි. එහෙම නැතිනම් එම පුද්ගලයා ඇසෙන් ගන්නා රූපය කෙරෙහි රාගයෙන් බැඳෙන්නත්, ද්වේෂයෙන් ගැටෙන්නත් පුළුවනි. ගමන් කරන විට ගමන් කරනවා යැයි සිහිය පිහිටුවන විට සම්මුති ලෝකයේ මම, මගේ කියා මේ ශරීරයත් ගමන් කරන පවත්වන ශරීරයත් පැවතුණත් පරමාර්ථ වශයෙන් එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින විට මෙහි පවතින්නෙ සම්මුතියක් පමණයි. පරමාර්ථ වශයෙන් පවතින්නෙ පඨවි ආදී ධාතු කොටස් හතරකුයි. රූප, වේදනා ආදී ස්කන්ධ පහකුයි. ඇස, කන ආදී ආයතන හයකුයි. මේ ශරීරය මම දැන් පවත්වනවා. මෙය නිරෝගිවත්, පහසුවෙනුත් එදිනෙදා කටයුතු සිදු කරමින් මා පවත්වනවා. නමුත් ශරීරය මුල් කරගෙන පාපී ආදී අකුසලයන්ට යොමුවෙන්නට අවස්ථාවක් සලසා දෙන්නේ නැහැ.

යහපත් වූ ජීවිතයකට කැමැති සෑම කෙනෙක් විසින් ම සම්මුතිය තුළ කැමැති අකැමැති හෙවත් ඉෂ්ඨ, අනිෂ්ඨ අරමුණුවලට මුහුණ දිය යුතුමයි. එහෙත් ඒවා කෙරෙහි තදින් නො ඇලෙන්නත්, නොගැටෙන්නත් සිහිය පුරුදු කරගත් පුද්ගලයකුට හැකියාවක් තිබිය යුතුමයි. එසේ නොමැති වුණොත් ඉතිරි වන්නේ හැඬිම, වැළපීම, ශෝකය පමණක්මයි.

මේවා සාමාන්‍ය ජීවිතයක සිදුකරන්නට පුළුවන් දැයි කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවනි. සම්පූර්ණයෙන් ම කෙලෙස්වලින් මිදීමක් ඇති කර ගන්න නම් රහත්වීම අවශ්‍යමයි. එහෙත් මේ කෙලෙස්වලට දැඩි ලෙස හසුවී හැඬිම්, වැළපීම් , දෙඩීම් ආදී දුක්ඛ දෝමනස්සයන්ට පත්වෙනවාට වඩා යම් වූ සංසිදීමකින් ජීවිතය පවත්වාගැනීමට මේ මාර්ග උපකාර කරගත හැකියි. ඒ ඉරියාපථ භාවනාවේ සඳහන් කළ සතර ඉරියව්වේදීම මනා ලෙස සිහිය පවත්වාගැනීම නිසා සිදුවීමට අවස්ථාව තිබෙන ලාමක, පාපී අකුසල ධර්මයන්ගෙන් හැකිතාක්දුරට නිදහස්වීමටත්, ඒවාට හසුවෙන්නට සිත උත්සාහ කළත්, ඉන් නිදහස් වෙන්නටත් අවස්ථාව සැලසෙනවා.

ඒ වගේ ම යම් විටක අශ්‍රැතවත් ස්වභාවය නිසා තද ඇලීමකට, ගැටීමකට නැතිනම් වැරැද්දකට හසුවෙන්නට, පාපයකට හසුවෙන්නට ගියත් එසේ අසුවුණත් එසැනින් ම එයින් අත්මිදීමට අවස්ථාව සැලසෙනවා. එනම් අපේ ජීවිතය පවත්වන හැම අවස්ථාවකම සම්පජානකාරී බව හෙවත් මනාකොට පරීක්ෂාකාරී නුවණින් කටයුතු කරන්නට සිහිය මනාකොට පුරුදු වී තිබීම නිසා අපට යහපතක් ම ඇතිවන බවයි.
සිහියේ ඉතාම යහපත් වූ හෙවත් පරිණත කොටසක් හෝ සම්පජානකාරී බව කියන ඒ පුරුද්ද ඒ අභ්‍යාසය ඕනෑම යහපත් වූ පුද්ගලයෙකුගේ ජීවිතයට යහපත් ආකාරයෙන් ම ඉදිරියටත් පවත්වාගෙන යන්නට උපකාර වන බවයි. භික්ෂුවක් නම් පැවිදි වූ දා ඇතිකරගත් සීලය ජීවිත කාලය තුළ පවත්වා ගැනීමට උපකාර කිරීමයි. හඬන, වැළපෙන, දොඩන කාම භෝගයන්ගෙන් පිරිපුන් වූ ජන සමාජයක දෙනෝ දහසක් මැද ගමන් කළත් පරීක්ෂාකාරී නුවණ නිසා කිසිදු වරදකට හසු නොවී ජීවිතය පවත්වා ගත හැකිවීමයි. පැවිදි වූ මෙහොතේ ඇතිකරගත් පැවැත් ම නිරාමිස ප්‍රීතියෙන් යුතුව පවත්වා ගැනීමයි. විවාහකයකු නම් ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ වශයෙන් සිත්වල සකස් වූ පංචශීලයට අනුව සදාචාරාත්මක, යහපත් වූ ජීවිතයක් ඇති කර ගත්තා සේම, ජීවත්වන ජීවිත කාලය තුළ යහපත්වත් සුපසන්වත් ජීවිතය පවත්වා ගැනීමට හැකියාවක් ලැබීමය. ඒ ආකාරයෙන් හැකියාවක් ලබන්නේ සම්පජඤ්ඤය හෙවත් පරීක්ෂාකාරී සිහි නුවණ පවත්වාගැනීම නිසාය. භාවනාවේ දී විදර්ශනාවට ළංවන විටත් සිතෙහි හටගන්නා වූ කෙලෙස් ඒවා මනාව තේරුම් අරගෙන ඒවාට හසු නොවෙන්ටත්, හසුවෙන අවස්ථා ඇස, රූපය, චක්ඛු විඥානය වශයෙන් මේ සියල්ල කෙලෙස්වලින් වළක්වා ගන්නටත් අවස්ථාව සැලසෙනවා.
“උදයත්ථ ගාමිණියා පඤ්ඤා යනුවෙන් අදහස් කළේ හට ගැනීම හා නැතිවීම පරීක්ෂාකාරී නුවණින් දැකීම හා අවබෝධ කර ගැනීමත්, ඒ වගේ ම රාග, ද්වේෂ ආදී වශයෙන් උපාදානයට ගැනීමත් යන අදහසයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ

“යංකිඤ්චි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” යමක් හටගන්නා සුළු ද ඒ හැම නැසෙන සුළුය යන සාමුක්කංසික දේශනාවට අනුව අපට වැටහෙන්නට පටන් ගන්නවා. හේතු ප්‍රත්‍ය නම් වූ එනම් පඨවි ආදී ධාතූන්ගෙන් හටගත් මේ සංඛත හෙවත් සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක සියල්ලම ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් බිඳීයාමෙන්, විසිරීයාමෙන් ඵලයක් නැසෙන බව අවබෝධ කර ගන්නට අවස්ථාව සැලසෙනවා. සම්පජඤ්ඤය හෙවත් පරීක්ෂාකාරී සිහිය, නුවණ ලෞකික වශයෙන් දියුණුවටත් පරමාර්ථ වශයෙන් දියුණුවටත් කෙසේ බලපාන්නේ දැයි අපට ඉතා පැහැදිලියි.

සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ සඳහන් කළ අයුරින් ඉදිරියට ගමන් කළත්, පිටුපසට ගමන් කළත් මනා කොට සිහිය පිහිටුවාගෙන ගමන් කරන්නේ වේ. අප මෙතෙක් කතා කළ සතිය හෙවත් සිහියට අනුව සතිමන්ත කෙනෙක් බවට පත්වෙන විට ඉරියව් පවත්වන විට කෙලෙස් රැස්නොවෙන ආකාරයෙන් අපට ජීවිතය පවත්වාගන්නට, චරිතය සකස්කර ගන්නට අවස්ථාව සැලසෙනවා.

එනම් ගිහි ජීවිතයක නම් පස්පව්, දස අකුසලයන්ට හසුනොවෙන තරමට හැකිතාක් දුරටම ඇවතුම් – පැවතුම් සකස් කරගත හැකිය. පැවිදි ජීවිතයක නම් ශීලයට බාධාවක් නොවෙන තරමට සිව්පසය පරිහරණයේ දී කෙලෙස්වලට හසුනොවෙන්නට තමාගේ ජීවිතය, චරිතය පවත්වාගත හැකියි. ගිහි ජීවිතයක නම් ඉගෙනීම, වෘත්තිය, පවුල් ජීවිතයේ කටයුතු කිරීමේ දී හැකිතාක් දුරට පස්පව්, දස අකුසල්වලින් බැහැර වී කටයුතු කිරීමට අවස්ථාව සලසා ගත හැකිය. සිහිය මනාකොට පිහිටුවන්නට භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සුත්‍ර දේශනාවේ දී මේ ආදී වශයෙන් පැහැදිලි කළා. මින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පටික්කූල සංඥාවත්, එනම් මේ ශරීරයේ ඇති පිළිකුල් ස්වභාවය පිළිබඳව මෙනෙහි කරමින් පටිනිස්සග්ගය හෙවත් අත්හැරීම පුරුදු කිරීමත්, නවසීවතිඛය හෙවත් යම් පුද්ගලයෙක් මරණයට පත්වී අමු සොහොනක දමන ලද මළ සිරුරක් නව ආකාරයට දැක රාගා දී කෙලෙස් බැහැර කිරීමටත් උගන්වනවා. ඒ පරමාර්ථ ධර්ම කතාව ඉදිරියට පුරුදු පුහුණු කිරීමයි.

මෙම කතා පෙළෙහි අප ඔබට පැහැදිලි කරන්නේ, එදිනෙදා පවත්වන සුපසපන් ජීවිතයකට සතිය හෙවත් සිහිය පිහිටුවීම මොනතම් ප්‍රයෝජනවත් වන්නේ ද? යන්නයි. කයේ ඇවතුම්, පැවතුම් පිළිබඳව මනාකොට සිහිය පිහිටුවා ගැනීමෙන් අපගේ එදිනෙදා පවත්වන ජීවිතය ඔබගෙ වචනයෙන් හැඳින්වුවොත් සද්පුරුෂයෙක් හැටියටත්, යහපත් වූ මනුෂ්‍යයෙක් හැටියටත් සකස් කරගත හැකියි. එපමණක් නොවෙයි සිල්වන්ත වූ භික්ෂුවක් හැටියටත්, ගුණ යහපත් වූ අම්මා කෙනෙක්, පියාණන් කෙනෙක් හැටියටත් පවුල් ජීවිතයක නම් ආදරණීය ස්වාමි දියණියක්, ස්වාමි පුත්‍රයෙක් හැටියටත් ජීවිතය සකස් කරගත හැකියි, අඩුම තරමෙ මේ මහ පොළොවට බරක් නොදැනෙන්න පය ගසා ජීවත්වෙන යහපත් වූ මනුෂ්‍යයෙක් හැටියට ටික ටිකවත් ජීවිතය පුරුදුකරගත හැකිය. ඒ නිසා සුපසපන් ජීවිතයකට මේ සතිය හෙවත් සිහිය මනාකොට පුරුදු කර ගැනීම මෙලොව වගේ ම පරලොව වශයෙනුත් වැඩදායීවන බව පැහැදිලියි




බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම්
සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 12 වන සෙනසුරාදා  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment