Labels

Saturday, September 12, 2015

බෞද්ධයාගේ පරිසර ප්‍රතිපත්තිය



සිගාලෝවාද සූත්‍රයේ ඇතුළත් ගාථා දෙකකි, මේ
පණ්ඩිතෝ සීලසම්පන්නෝ
ජලමග්ගීව භාසතී
භෝගේ සංහරමානස්ස
භ මරස්සේ ව ඉරීයතෝ
භෝගා සන්නිචයං යන්ති
වම්මිකෝ වුපචීයතී
ඒවං භෝගේ සමාහත්වා
ලමත්ථෝ කුලේගිහී

ගිහි ගෙදර වසන්නට සමත් පුද්ගලයා නුවණැත්තකු හා සදාචාර සම්පන්න පුද්ගලයකු විය යුතුය. ඔහු මී මැස්සාගේ ඉරියව්වෙන් ධනය රැස් කර ගත යුතු ය. එවිට වේයාගේ තුඹස මෙන් ධන එක් රැස් වේ. මෙසේ ඔහු දිලිසෙන ගින්නක් මෙන් බැබළීමට පත් වේ.


පරිසරය ගැන සැලකීමේ දී මිනිසා සතු විය යුතු නුවණැතිකම පිළිබඳ මූලික කරුණ වන්නේ පරිසරය අවබෝධ කර ගැනීම ය. මිනිසාට, පරිසරයේ අවශ්‍යතාව ද, පරිසරයේ බලපෑම ද, මිනිස් ක්‍රියා නිසා සිදුවන පාරිසරික ප්‍රතිචාරද පිළිබඳ වැටහීමක් තිබිය යුතුය. ඒ අවබෝධය ඇති පුද්ගලයා හැසිරිය යුත්තේ සදාචාර සම්පන්නව ය. පරිසරය විනාශ කිරීමට ද, දූෂණය කිරීමට ද නොව, ලද අවබෝධය අනුව පරිසරයෙන් නිසි පරිදි උපරිම ප්‍රයෝජන ගැනීමට තරම් නුවණ ද, සංවරය ද මිනිසා සතු විය යුතුය. ඒ අදහස කැටි කොට දැක්වුවහොත් ධනෝපායනය, මීමැස්සා මල් පැණි රැස් කරන්නාක් මෙන් කළ යුතුය. එවිට වේයා තුඹස බඳින්නාක් මෙන් ධනය එක් රැස් වේ. සාර්ථක පුද්ගලයකු ලෙස ගිහි ගෙදර ජීවත් වීමට සමත් වන්නේ එවැන්නෙකි. හෙතෙම සමාජයෙහි දිලිසෙන ගින්දරක් මෙන් බැබළීමට පත්වෙයි.

ධනෝපායනයෙහි හෙවත් නිෂ්පාදන කාර්යයෙහි යෙදිය යුත්තේ මී මැස්සාගේ ඉරියව්වෙනැයි මෙහි කියැවේ. මී මැස්සා මලින් මලට ඉගිළෙමින් රොන් ගනියි. මලේ පැහැයටවත්, මලේ සුවඳට වත් ඔහුගෙන් හානියක් නොවේ. වණ්ණගන්ධං අහෙඨයං පලේති රසමාදාය යනුවෙන් මේ ක්‍රියාව තව තැනකදී අවධාරණය කර තිබේ. මේ මල් පැණි ටික ටික එකතු කර ගෙන මී මැස්සා මී වදයක් බඳියි. රොන් ගැනීම නිසා මලේ හෝ මල් ගසේ පැවැත්මට කිසිදු බාධාවක් නොවේ. එපමණක් නොවේ, මලින් මලට පියාඹා යන විට රේණු තැවරීමෙන් මල් වල පරාගනය සිදුවේ. එනිසා ඵල හට ගැනීමට එය හේතුවේ. ඵල හට ගැනීම නිසා මල් ගසේ පරම්පරාව දිගින් දිගට පවත්වා ගැනීමට පුළුවන් කම ලැබේ.

මෙතැනදී මී මැස්සා තම වුවමනාව ඉටු කර ගන්නේ පරිසරය (එනම් මල්ගස) සංවර්ධනය කරමිනි. පරිසර සංවර්ධනය මෑත දී මිනිසා හැඳිනගත්, දැන් ව්‍යාප්ත කිරීමට උත්සාහ දරන සංකල්පයකි. එය මී මැස්සා විසින් මුල සිට ම අනුගමනය කරමින් මිනිසාට සම්පත් පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳ පූර්වාදර්ශයක් සපයා ඇත. බුදුදහම එය වටහාගෙන මිනිසුනට එලෙස ක්‍රියා කරන්නැයි අනුශාසනා කර ඇත. එහෙත්, පරිසරයද මිනිසාගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා කැමති පරිදි පරිහරණය කිරීමට දෙවියන් මවා දෙන ලද්දකැයි පැවසූ අය පරිසර විනාශයට මඟ පෑදූ බව නොදනිති.

මලට නොදැනෙන ලෙස, මල නොතලා රොන් ගන්නා මී මැස්සා මී වදයක් බඳියි. එය ඔහුගේ පරපුර රැක ගැනීම සඳහා ය. ඉතා සංවරශීලීව කරන මේ ක්‍රියාව නිසා තමන්ගේ පරපුර රැක ගැනීම පමණක් නොව අතිරේක යහපතක් ද සිදුවේ. ඖෂධයක් ලෙසින් ද, ආහාරයක් ලෙසින් ද මී පැණි මිනිසාට ඉතා ප්‍රයෝජනවත් ය.
මෙසේ මලේ පරම්පරාවට ද, මී මැස්සාගේ පරම්පරාවට ද, මිනිසාගේ පරම්පරාවට ද අසීමිත සේවාවක් කරමින් පරිසරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරය මී මැස්සා මිනිසාට උගන්වයි. ධරණීය සංවර්ධනය (sustainable development නමින් දැන් හඳුන්වා දී ඇත්තේ මේ අයුරින් ලබා ගත යුතු සංවර්ධනයක් නොවේ ද?
වේයාගේ තුඹස බැඳීමේ උපමාව ද පරිසර ප්‍රතිපත්තියෙහි ලා ඉතා වැදගත් එකකි.

ඉහත කී ආකාරයෙන් ධනය උපයාගැනීමෙහි යෙදෙන්නාගේ ධනය වේයාගේ තුඹස මෙන් ගොඩනැගෙන බව එයින් කියැවේ. වේයා තුඹස බඳින්නේ කෙසේ ද? එය වේයා තනිවම කරන කාර්යයක් නො වේ. එය සාමූහික ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයකි. මිනිසා. තමන් තනිව ම ධනවත් වෙන බව සිතුවත් මෙය එසේ සිදුවන්නක් නොවේ. ව්‍යාපාරිකයකු, කර්මාන්තශාලා හිමියකු, ආයතන පාලකයකු, නිලධාරියකු, දේශපාලකයකු හෝ වෙනත් ඕනෑ ම ධනවත් වූ පුද්ගලයකු ගැන සිතා බලන්න.

අති විශාල පාරිභෝගික සංඛ්‍යාවක් නොමැතිව ව්‍යාපාරිකයාට ධනවත් විය නො හැකි ය. කර්මාන්තශාලා හිමියාට හෝ ආයතන පාලකයාට ඒ කාර්ය සඳහා කොපමණ සේවක පිරිසක් අවශ්‍ය ද? පරිපාලකයා පාලනය කරන්නේ තනිව ම ද? මිනිසුන්ගේ ආධාර නොලබන දේශපාලකයකුට පැවතිය හැකි ද? ඒ තබා, ගුරුවරයකුට ගුරුකම රැකෙන්නේ, වෛද්‍යවරයකුට, නීතිඥයකුට, ඉංජිනේරුවරයකුට ඔවුනගේ වෘත්තිය කරගෙන යාමෙන් සාර්ථකත්වයට ළඟා විය හැක්කේ කෙතරම් නම් මිනිසුන් සංඛ්‍යාවකගේ සහායයෙන්ද? මේ අනුව, කිසිවකුට තනියම ධනවත් විය නොහැකි බව වටහා ගත යුත්තකි. වේයාගෙන් මේ උපදේශය නිහඬව ලැබේ.
අනෙක් කරුණ, වේයා අනවශ්‍ය ලෙස ශීඝ්‍රගාමී කාර්යයෙක නොයෙදෙයි. එහෙත්, පස් බිඳෙන් බිඳ එක් රැස් කරන වේයා දින කිහිපයක දී විශ්වාස කිරීමට පවා අපහසු ලෙස ඉතා ශක්තිමත් තුඹසක් සාමුහික ප්‍රයත්නයක් වශයෙන් ගොඩනඟයි.

ධනෝපායනයෙහිලා වේයාගෙන් ගත යුතු ආදර්ශයයි, මේ. අනවශ්‍ය ඉක්මන්කම විනාශය කරා මෙහෙයවන්නකි. ක්‍රමවත් ස්ථාවර වැඩ පිළිවෙළක් අවශ්‍ය ය.
මී මැස්සා ද, වේයා ද තමන්ට ද, අනුන්ට ද උපරිම යහපත සැලසෙන අයුරු මෙන් ම සාමූහික ව, සංවරශීලීව පරිසරය හා හිතමිතුරු ආකල්පයකින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගනී. මිනිසාද පරිසරය හා හිතවත් ව සම්බන්ධ වී ස්වකීය යහපත ද සමාජ යහපත ද සලසා ලිය යුතුය. බෞද්ධයාගේ පරිසර ප්‍රතිපත්තිය එයයි.

ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි

2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment