Labels

Saturday, September 19, 2015

තණ්හාව නිසා ශෝකය උපදී




යේ රාගරත්තානු පතන්ති සෝතං
සයං කතං මක්කටකෝව ජාලං
ඒතම්පි ඡෙත්වාන වජන්ති ධීරා
අනපෙක්ඛිනෝ සබ්බ දුක්ඛං පහාය



සුපින්වතුනි

මගධයේ රජ කළ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ ඉතා සමීප දායකයෙකි. එතුමා විසින් බුදුසසුන උදෙසා ප්‍රථම ආරාමය පූජා කරන ලදී. එය රජගහනුවර වේළුවනාරාමය යි. රජතුමාගේ සිරිත වූවේ නිතරම වේළුවනාරාමයට ගොස් බුදුහිමියන් සමඟ පිළිසඳරෙහි යෙදීමයි.
ඛේමා බිසව රජතුමාගේ අග බිසව වූවාය. ඇය රූමත් බවෙන් අනූනය. බුදුරජාණන් වහන්සේ රූපයෙහි නිසරුභාවය දක්වමින් දහම් දෙසති’යි ඇසූ ඇය කිසි දිනක බුදු හිමියන් දැකීමට නොගියාය.
රජතුමාට බිසව වේළුවනාරාමයට යැවීමට අවශ්‍ය විය. ඒ සඳහා උපායක් යෙදවීය. ගීත ගායනා කිරීමෙහි දක්ෂ ගායකයන් කිහිප දෙනකු ගෙන්වා වේළුවනාරාමයෙහි මනස්කාන්ත බව වර්ණනා කරමින් ඔවුන් ලවා ගීත ගායනා කරවීය. ගීතිකා ඇයට ඇසෙන්නට සැලැස්වීය. එම ගීත ඇසූ ඛේමා බිසවට වේළුවනාරාමය නැරැඹීමට යෑමට කැමැත්තක් ඇතිවිය. ඒ අනුව රජතුමාගෙන් අවසර ඉල්ලූ අතර, රජු ඉතා සතුටින් අවසරය ලබා දුනි. ඊට අවශ්‍ය පහසුකම් ද සපයා දෙන ලදී.

වේළුවනාරාමයට ගිය ඛේමා බිසව අවට සිරි නරඹමින් බුදු හිමියන් වැඩ වසන දිශාවට ගමන් කළාය. ඇය මාර්ගඵල ලබා ගැනීමට තරම් හේතු වාසනා තිබෙන තැනැත්තියක බව දැන සිටි බුදුරජාණන් වහන්සේ අනෙක් අයට නොපෙනෙන ලෙසත්, ඇයට පමණක් පෙනෙන ලෙසත් අධිෂ්ඨාන කොට, ඉතා රූමත් කාන්තාවක තමන් වහන්සේට පවන් සලන අයුරු මවාපෑ සේක. මෙසේ පවන් සලමින් සිටි එම රූමත් කාන්තාව ක්‍රමයෙන් වයසට ගොස් අවසානයේ බෙහෙවින් ජරා ජීර්ණ තත්ත්වයට පත්ව, ඇද වැටෙන අයුරු දැකීමට සැලැස්වූ සේක.

රූප මදයෙන් මත්ව උඩඟු බවෙන් යුතුව සිටි ඛේමා බිසව මෙම සිදුවීම දැකීමෙන් සිරුර පිළිබඳ කලකිරීමට පත් වූවාය. බුදු හිමියන්ට වැඳ නමස්කාර කර රජ මැඳුරට ගිය බිසව තමන් ඉතා සතුටින් උයන්සිරි නැරැඹූ බවත්, එහෙත් බුදු හිමියන් අභියස සිදුවූ සිදුවීම් දැකීමෙන් සසර පිළිබඳ අතිශය කලකිරීමට පත්වූ බවත් සඳහන් කර, පැවිදි වීමට රජතුමාගෙන් අවසර ඉල්ලුවාය.

රජුගේ අවසරය ලබා ගත් ඇය මෙහෙණ සස්නෙහි පැවිදි බව ලබාගෙන පසු කාලයෙහි දී රහත් බව ලබා මහා නුවණැති භික්ෂුණීන් අතර අග තනතුර ලබා ගත්තාය. මෙම සිදුවීම මූලික කරගෙන බුදු රජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථාව දේශනා කළ සේක.
‘තමන් විසින් වියා ගන්නා ලද දැලෙහි වාසය කරන මකුළුවකු පරිද්දෙන් රාගයෙන් මත් වූ පුද්ගලයා තමන් විසින් උපදවා ගන්නා ලද තණ්හා නමැති සැඩ පහරෙහි වැටෙයි. එහෙත් නුවණැති පුද්ගලයෝ එවැනි තත්ත්වයට පත් නොවී, කම් සැපතෙහි ගිජු නොවී සියලු දුක් නැති කර උතුම් නිවන් පුරයට යති’ යනු එම ගාථාවෙහි ලුහුඬු අර්ථයයි.

මකුළුවා තමන් විසින්ම දැලක් වියා ගනු ලබයි. එම දැලෙහි කිසියම් සතකු පැටලී දැල සෙලවෙන විට වහා පැමිණ එම සත්වයා ග්‍රහණය කරගෙන තවදුරටත් එම දැලෙහි පටලවා සිරුරෙහි සාරය උරා බොයි. නැවතත් එම දැලට වී එහිම හිඳියි. යළිත් සතකු හසුවූ විට එලෙසම කරයි. තණ්හා නමැති සැඩ පහරෙහි නැවත නැවතත් වැටෙන සත්වයා දුකට පත් වෙයි. මිනිසුන් නොයෙකුත් අපරාධ කරන්නේ තණ්හාව නිසායි. තණ්හාවෙන් මුළාවට පත්වීම නිසා ශෝකය හට ගනියි. ‘තණ්හාය ජායතී සෝකො’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. තණ්හාව දුරු කළේද, නිරවශේෂ වශයෙන් අතහැර දැමුවේද, එයින් මිදෙයිද, එහි කිසියම් ආලයක් නොකරයිද හෙතෙම මේ භව ගමන නිමා කරයි. තණ්හාව සම්පූර්ණ වශයෙන් නැති කිරීම තුළින් ලබන සැනසීම දුක්ඛ නිරෝධය වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කොට වදාළහ.
සත්වයා සංසාර සාගරයට තල්ලු කර දමන මහා අකුශලයක් වශයෙන් තණ්හාව හැඳින්විය හැකියි. නැවත නැවතත් ඉපදෙමින් සසර දිගටම ගමන් කරන්නේ තණ්හාව නිසායි. සත්වයා සසර ගමන් කරන්නේ තණ්හාව නිසා නම් එම තණ්හාව දුරු කිරීම මගින් සසර ගමන නවතාලිය හැකිය. ‘ඵලමිච්ඡන්ති වනස්මිං වානරෝ..’වනාන්තරයේ සිටින වානරයකු ගෙඩි කෑමේ ආශාවෙන් ගසෙන් ගසට පනින්නාක් මෙන් තණ්හාව නිසා සත්වයා භවයෙන් භවයට ගමන් කරන බව බුදුහිමියෝ උපමාවක් මගින් පෙන්නුම් කොට වදාළහ.
ඇස, කන, නාසය ආදි පංච ඉන්ද්‍රියයන් පිනවීමට තිබෙන දැඩි ආශාව, පි‍්‍රය කරන දෙය ලබා ගැනීමට තිබෙන ආශාව, අකැමැති දෙය බැහැර කිරීමට එයින් වෙන්වීමට තිබෙන ආශාව, ජීවිතය සැපසේ පවත්වා ගැනීමේ කැමැත්ත, කාමය කෙරෙහි තිබෙන ආශාව මේ සියල්ලක්ම තණ්හාවට අයිති වෙයි. නඩු හබ ඇති කර ගනිමින් අයිතිවාසිකම් කියන්නේත්, කෝලාහල ඇති කර ගන්නේත්, මිනී මරා ගන්නේත් තණ්හාව නිසාමයි. පස් කම් සැප දැඩිව වැළැඳ ගැනීම තණ්හාවේ ලක්ෂණයකි.

තම ඇස්වලට පෙනෙන රූප ,කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ වැනි පංචකාමයන් සුන්දරය, ලක්ෂණය, සුබය ආදී වශයෙන් ගෙන වින්දනයක් ලබා ගනියි. මෙසේ සැප විඳින පුද්ගලයා මෙලොව අත්විඳින එම සැප සම්පත් පරලොවදීත් ලබා ගනිමි’යි සිතා ඒ අනුව හඹා ගොස් ‘භව තණ්හාව‘ දැඩිසේ ගනියි. ඒ අයුරින් භව තණ්හාව ශාස්වතවාදය නියෝජනය කරයි. විඳින්නා වූ සැප සම්පත් මෙලොවට පමණක් සීමාවේ යන උච්ඡේදවාදී දෘෂ්ඨී ගන්නා සත්වයා ආත්මයක් හෝ භවයක් නැතැ’යි යන සිතිවිල්ල ඇති කර ගනියි. එය ‘විභව‘ තණ්හා නමින් හැඳින්වේ.

මේ අනුව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදි දෘෂ්ටීන් හටගන්නා අතර, ඒ අනුව තණ්හාවෙහි මූල බීජය කාම තණ්හාව තුළම හටගන්නා බව පෙනෙයි. පංච කාමයන් දැඩිව ග්‍රහණය කර ගැනීම කාම තණ්හාවේ ලක්ෂණයයි. තම ඇසට පෙනෙන රූපය සුන්දරය, සුබය ආදි වශයෙන් මනැසට නැඟෙන සිතුවිලි මිහිරි ශබ්දයක් ඇසුන විට වෙනස් වෙයි. ඉන් පසු රූපය පසෙකලා මිහිරි ශබ්දය තුළින් වින්දනය ලබා ගනියි. ගන්ධ, රස, ස්පර්ශ ආදි අනෙකුත් අරමුණු අල්ලා ගැනීමේ ස්වභාවත් එලෙසම වෙයි. අරමුණු ගැනීම සහ අත්හැරීම ඉතා කෙටි කාල පරාසයක් තුළ සිදුවේ.

පෘතග්ජන සත්වයා රූප, ශබ්ද, ගන්ධ , රස සහ ස්පර්ශ යන අරමුණු ගැනීම ඔස්සේ පස් කම් සැප විඳීමට අපේක්ෂා කරයි. ඛේමා බිසව රූපය පිළිබඳ මහත් ඉහළින් සිතා සිටි බැවින්, රූපයට නිග්‍රහ කරනු ඇතැ’යි යන සැකයෙන් මුලින් බුදු හිමියන් දැක්මට යෑමට අකැමැති වූවාය. වත්මන් සමාජයේ ද පුහුදුන් වැඩිදෙනාගේ බලාපොරොත්තුව වන්නේ ඉතා ඉහළින් පස්කම් සැප විඳීමයි. ඒ වෙනුවෙන් යාන වාහන, ඉඩකඩම් , ගෙවල් දොරවල්, මිල මුදල් තමන් සතු කර ගැනීමට උත්සාහ කරති. එපමණකින් නොනවතින ඔවුහු සමාජයේ විවිධ තනතුරු නම්බු නාම අපේක්ෂාවෙන් කටයුතු කරති. එවැනි සැප සම්පත් තමන් සතු කර ගැනීමට ගන්නා උත්සාහයේදී සාධාරණ මෙන්ම අසාධාරණ ක්‍රියාමාර්ග ද අනුගමනය කරති. කලකෝලාහලවලට පැටලෙති. මනුෂ්‍ය ඝාතන පවා සිදු කරති. එමගින් මුළු මහත් සමාජයේම විවිධ අර්බුද හට ගනියි.

ජීවිතයේ අනිත්‍යතාව වටහාගෙන කටයුතු කළ යුතුයි. ජාති,ජරා, ව්‍යාධි, මරණ, අපි‍්‍රය සම්ප්‍රයෝග, පි‍්‍රය විප්‍රයෝග ආදි දුක්ඛයන් ගැන ධර්මානුකූල වැටහීමක් ඇත්නම් ඔහු තුළ රත්නත්‍රය පිළිබඳ ශ්‍රද්ධාව ඇති වෙයි.අනිත්‍ය ,දුක්ඛ,අනාත්ම යන ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් පමණයි නිවන් දැකිය හැකි වන්නේ. එසේ නොමැතිව නිවන් දැකිය හැකි වන්නේ නැත. සිරුරෙහි නිස්සාරත්වය අවබෝධ කර ගත් ඛේමා බිසව බුදු හිමියන්ගේ අවවාද අනුගමනය කළාය. අප්‍රමාදයෙන් කටයුතු කර ඉන්ද්‍රියාලම්බනයන්ගෙන් නිදහස්ව මනැස සන්සුන් කර ගත් ඇය රහත් භාවයට පැමිණීමට තරම් වාසනාවන්ත වූවාය. පෙර ප්‍රාර්ථනා බලයෙන් මහා නුවණැති භික්ෂුණීන් අතරෙන් අගතැන්පත් වුවාය.

ඛේමා මෙහෙණින් වහන්සේ මෙන් ශරිරයේ තිබෙන අසාරත්වය, අසුබ බව, අනිත්‍යතාව හොඳින් වටහාගෙන විදර්ශනා භාවනා වශයෙන් පංචස්කන්ධයේ අස්ථිරතාව මෙනෙහි කර තණ්හාදි සියලු කෙලෙසුන් නසා උතුම් නිවන් සුව අත්පත් කර ගැනීමට අදිටන් කර ගනිමු


බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති, ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි





 
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් අව අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ නොවැම්බර් 13 වන අගහරුවාදා    දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment