නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
න පමඤ්ඥේථ පුඤ්ඤස්ස
නමංතං ආගමිස්සති
උදබිං දු නිපාතෙන
උදකුමෙහාපි පුරති
පුරති ධීරෝ පුඤ්ඤස්ස
ථොක ථොකමපි ආචිනංති
සුපින්වතුනි,
නිකිණි පුර පසළොස්වක පෝය දින අදයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා තුන්මසක් ගත වූ පසු පළමු ධර්ම සංගායනාව පැවැත්වූ දිනය හා උපසපන් භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වන පෝය දිනය නිසාත් නිකිණි පෝය ශාසනික වශයෙන් වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බිළාල පාදක සිටුවරයා නිමිති කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාවෙන් අදහස් කරනුයේ පින අල්පයයි නොසිතන්න බුදු පාමොක් මහ සඟනට දන් දී අල්පයයි නොසිතන්න. පින් කරන විට ජල බින්දු එකතු වී භාජනයක් පිරෙන්නාසේ පිනද සම්පූර්ණ වේ.
සැවැත්නුවර වැසියන් කොටස් වශයෙන් බෙදි මහ සඟරුවනට දන් දුන්හ. බුදුරජාණන් වහන්සේ මෙම සැදැහැති පිරිසට අනුදැන වදාළේ,
1. සමහරු තනිවම දන්දුන්විට භෝග සම්පත් ලබයි. පිරිවර සම්පත් නොලබයි.
2. තවත් පිරිසක් තනිවම දන් නොදෙයි. අනුන් ඒ සඳහා සම්මාදන් කරවති. ඔහු භෝග සම්පත් නොලබති. පිරිවර සම්පත් ලබති.
3. තවකෙනෙක් තනිවම දන් නොදෙයි අනුන්ද ඒ සඳහා සම්බන්ධ කර නොගනි. ඒ අය භෝග සම්පත් හා පිරිවර සම්පත් යන දෙකම නොලබති.
4. තවත් පුද්ගලයෙක් තමාද දන් දෙමින් අන් අය ද සම්බන්ධ කර ගනු ලබයි. ඒ ඇත්තන් භෝග හා පරිවාර සම්පත් යන දෙකම ලබති.
බුදුරදුන්ගේ දේශනාව ශ්‍රවණය කළ එක් සැදැහැවත්, කුල පුත්‍රයෙක්. බුදුපාමොක් මහ සඟනට දානයක් පූජා කිරීම සඳහා ආරාධනාකොට ගෙන් ගෙට ගොස් දානෝපකරණ රැස් කළේ ය. එක් සිටුවරයකුගේ වෙළෙඳ සැළට ගොස් මේ බව සැළකළ පසු ඔහු ඇඟිලි තුනට හසුවන ඉතා සුළු ප්‍රමාණයක් දන් දුන්නේ ය. පසුව මේ සිටුතෙමේ දන් දුන් ආහාරවල ප්‍රමාණය ගැන සිතා මගේ නුගුණ කියා පෑවොත්, දානය සංවිධානය කරනු ලබන කුල පුත්‍රයාගේ ජීවිතය විනාශ කර දමන බව පවසා බුදු පාමොක් මහ සඟනට දානය පූජා කරනු ලබන අවස්ථාවට සහභාගී වී ඒ දෙස බලා සිටියේ ය. එහෙත් සිදුවූයේ ඔහු අපේක්ෂා නොකළ දෙයකි. නැලි ආදියෙන් දන් දුන් අයටත් ඇඟිලි තුඩු ආදියෙන් දන් දුන් අයටත්, මහත් ඵල වේවායි ප්‍රකාශ කළේ ය. මේ දුටු සිටු තෙමේ දානය සංවිධායකගෙන් වැඳ සමාව ගත්තේ ය. මේ කාරණය බුදුරජාණන් වහන්සේට සැළවීමත් සමගම, ඉහත ගාථාව දේශනා කරමින් පින ටික ටික රැස් කරමින් විශාල පිනක් ලබා ගැනීමට හේතුවන බවත් අනුදැන වදාළහ.
පින යනු කුමක්දැයි දැන ගැනීම මෙහිදී වටී. “චිත්තං පූනාතීති පුඤ්ඤං” සිත පිනා යාම පිනයි. සිතේ ඇතිවන සතුට මෙහිදී පින වශයෙන් අදහස් වේ. “පුඤ්ඤානි පරලෝකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං” පින පරලොව හිත සුව පිණිස පවතී. පරලොවදී අපට සිටින එකම මිතුරාද පින පමණි. පින සහ කුසලය අතර වෙනස පින සුගති සැපය ලබාදෙන අතර කුසලය නිවන් සැප සඳහා උපනිශ්‍රය වේ.
පින් කිරීම නිසා සප්තකවම ස්වර්ගයන්හි උපත ලැබෙන අතර සමථ භාවනාව වඩා ධ්‍යාන සම්පත්තින් උපදවාගෙන බ්‍රහ්ම ලෝකවල උපත ලද හැකිය. පින් කරන ඇත්තෝ සුගතියෙන් සුගතියට උපත ලබති. දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් මනුෂ්‍ය ලෝකවල මනුෂ්‍ය සම්පත් අපේක්ෂාවෙන් සිදු කරනු ලබන යහපත් ක්‍රියා පින්කම් ගණයට ගැනේ.
“සබ්බ පාපස්ස අකරණං...” යන ගාථාවෙන් කියැවෙන පරිදි සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ සියලු පාප කර්මයන් අතහැර කුසල් සිත දියුණු කර ගැනීමයි. මෙහිදී පින දියුණු කිරීමට අනුශාසනා නොකළේ පින සසර පැවැත්මටත් කුසලය සසර පැවැත්මටත් හේතුවන නිසාවෙනි.
දිව්‍ය මානුෂික සම්පත් කෙළවර නිවන් සැපත අවබෝධ කර ගැනීම සෑම බෞද්ධයකුගේම අපේක්ෂාව වේ. මේ සඳහා පින් කුසල් සිදුකරගැනීම අවශ්‍ය බව සිහිගන්වනු කැමැත්තෙමි.
පින් කරන අය මෙලොවත් සතුටු වෙති. පරලොවත් සතුටු වෙති. තමා සිදුකළ පින් දහම් ගැන සිතා දෙලොවම සතුටු වෙති. පින් සිදුකරගැනීමට කාලයක් අවශ්‍ය නැත. කුඩා කාලයේ සිට වෘද්ධ අවධිය දක්වා සෑම දශකයකදීම පින් දහම් සිදු කළ හැකිය. පින් රැස් කිරීම වයසට ගිය පසු කිරීමට ඇති දෙයක් ලෙස සමහරු සළකති. ඒ නිසා පින් කළ හැකි කාලය වෙනත් දේ සඳහා යොදවා වයෝවෘද්ධ අවස්ථාවට එළඹි පසු පින් කිරීමට පෙළඹුනද එය සාර්ථක වන්නේ නැත. අවුරුදු හැත්තෑවක් ජීවත්වන කෙනෙකු උදාහරණ ලෙස ගතහොත් ළදරු අවධිය අධ්‍යාපනය රැකිරක්ෂා කටයුතු, ගෘහ ජීවිතය නින්ද සඳහා ගතවන විට හා විශ්‍රාම ලැබූ පසුද ලෙඩ රෝග සඳහා ගතවන කාලය බැලූ විට ජීවිතයේ පින් දහම් සිදු කිරීමට විශේෂ කාලයක් වෙන් කිරීමට නුපුළුවන.
පින්වත, පින් සිදුකර ගැනීමේ දී අසදෘෂ දානදිය යුතු නැත. ඔබ නිති පන්සිල් පොහොය අටසිල් රකින කෙනෙක් වන්න. දසකුසල් වඩන කෙනෙක් බවට පත්වන්න. ඔබට තිබෙන ප්‍රමාණයට දන් දෙන්න. සිල් රකින්න භාවනා කරන්න, ඔබේ නිවසේ සිටගෙනම සිදුකළ හැකි පින්කම් රාශියකි. ඔබේ නිවස දුෂ්චරිතයෙන් තොර නිවසක් බවට පත් කර ගන්න. උදේ සවස බුද්ධ වන්දනාව සිදුකිරීම දෙමාපියන්ට තම දෑතින් සංග්‍රහ කිරීම අඹු දරුවන්ට සැළකීම ආගන්තුකයන්ට ඥාතීන්ට සැළකීම මෙන්ම කුල දේවතාවුන් වහන්සේලාට සත්කාර කිරීම අගනේය. නිවසේ සිටින සතුන්ට හා පක්ෂීන්ට නිවසේ ඉතිරිවන ආහාරපාන දීම වැදගත්වේ. ආහාරගෙන පිඟාන සෝදා විසිකරණ ඉඳුල් ටික ද ආහාරයක් වේවා යනුවෙන් සිතා සිදුකළහොත් එය ක්ෂුද්‍ර ජීවීන් අනුභව කිරීමද ඔබට අයත්වන පිනකි.
ධර්මය ශ්‍රවණය කිරීම දහම් පොත්පත් ලිවීම කියවීම, බෙදාදීම ආදී පින්කම් නිතර දෙවේලේ සිදුකිරීමට පුළුවන. ඔබ තුන්සිත පහදවාගෙන සැදැහැ සිතින් සිදු කරනු ලබන පුණ්‍ය කර්මයක්. මමකුඩා පින්කමක් කළෙමියි. සිතා පසුතැවිලි නොවන්න. සෑම විට කළ පින්කම ගැන සිතා සතුටුවන්න. එක මල මල එකතු කොට මාලා දාමයක් සකස් කරන්නාක් මෙන් මෙලොව පරලොව ශුභ සිද්ධිය සඳහා හේතුවන පුණ්‍ය ශක්තිය මෙලොවදීම ඔබට රැස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එසේම ලැබූ මිනිසත්බවෙන්ද උපරිම ප්‍රයෝජනය ගත් නුවණැති, සද් පුරුෂයෙකැයි සිතා ටික ටික පින් රැස්කරගනිමින්, විශාල පිනක්, අත්පත්කර ගැනීමට ද ඔබට පුළුවන ඒ සඳහා උත්සුක වන්න.
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය,
ඓතිහාසික යටගල රජමහා විහාරය,
ඓතිහාසික මගුල් මහා විහාරය, ප්‍රමුඛ අෂ්ඨමහා විහාරාධිපති,
දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක
සද්ධර්මකීර්ති ශ්‍රී රතනසාර හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ
ශාස්ත්‍රපති පණ්ඩිත
මැටරඹ හේමරතන නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ
අගෝස්තු 10 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment