Labels

Tuesday, September 15, 2015

පුහුදුන් සිතේ ඇතිකරගත් අමනාපය


ක්‍රෝධය තරහව මනසට පැමිණියාට පසුව සාමාන්‍යයෙන් එම පුද්ගලයා කරන්නේ මොනවාද ?
කියන කාරණාව එම පුද්ගලයාටවත් තේරෙන්නේ නැහැ. ක්‍රෝධයේත් වෛරයේත් ස්වභාවය එයයි. තමන් ළඟ නැති ගුණ තියෙන බවට පෙන්වමින් ගරුබුහුමන් ලබන්නට කැමැති වන ඇතැම් අය සමාජයේ ජීවත් වනවා. ඒ වගේ පිරිස් ගිහි සමාජය තුළ ජීවත්වන්නත් පුළුවන්. පැවිදි සමාජය තුළ ඉන්නත් පුළුවන්. එහෙම කෙනෙකුට කියන්නේ කුහක ගති සිරිත් පිරුණු පුද්ගලයෙක්ය කියලා.



බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වසන සමයේ “චිත්ත” නමින් සිටුවරයෙකු දඹදිව ජීවත් වුණා. “චිත්ත” සිටුතුමා බොහෝ ධනධාන්‍යවලින් ආඪ්‍යයව සිටි සෞභාග්‍යමත් පුද්ගලයෙක්. ආර්ථිකමය වශයෙන් බොහෝම වත්පොහොසත් කමින් යුක්ත වූ එම සිටුවරයා ගුණධර්ම වලිනුත් බොහොම පොහොසත්ව සිටියා. ගුණධර්මවලින් පමණක් නොවෙයි, හොඳ ප්‍රඥාවකින් යුක්ත වූ පුද්ගලයෙක් . මුදලුත් තිබෙන, ගුණධර්ම වලිනුත් පරිපූර්ණ, ප්‍රඥාවන්ත බවෙනුත් පිරිපුන් පුද්ගලයන් සාමාන්‍යයෙන් දුලබයි. චිත්ත සිටුතුමා සියලු දේවලින් පරිපූර්ණව සිටියා. තමන් හරිහම්බ කරගත්ත තමන් සතු ධනය නැති බැරි අනෙකුත් අයටත් බලාපොරොත්තුවකින් තොරව දන් දීම තුළින් බොහෝ සතුටක් ලබපු කෙනෙක්. එනිසාම චිත්ත සිටාණන් ජනතාව අතරට වඩාත් ප්‍රසිද්ධ වෙලා ගියා. එයට හේතු වූයේ, කිසිම අයෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම හා ඔහු එම පිරිසගේ අවශ්‍යතා සම්පූර්ණ කරදීම. ඔවුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍ය වන මුදල් සිටුතුමා ඔවුන් වෙත පරිත්‍යාග කළා.

එම කාලය තුළ එක දවසක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වන “මාහානාම” මහා තෙරුණ් වහන්සේ “චිත්ත” නම් සිටුවරයාගේ නිවසට පිණ්ඩපාතයට වැඩම කළා. චිත්ත සිටාණන්ට හරිම සතුටක් දැනුණා. බුදුපියාණන් වහන්සේගේ ශ්‍රාවකයකු තමන්ගේම නිවසටම පිණ්ඩපාතයේ වැඩම කිරීම පිළිබදව සිටුතුමාට අසීමිත සතුටක් දැණුනා. ඒ වගේම මහානාම හාමුදුරුවන් පාරේ වඩින තැන්පත් ගමන් විලාශය දුටුවිට තවදුරටත් පැහැදුණා. එහෙම පැහැදුණ සිටුවරයා මහානාම හාමුදුරුවන්ගෙන් බණ අසා සෝවාන් භාවයට පත්වුණා. සිටුවරයාට අයිති අම්බාටක උයනේ, ලස්සනට පන්සලක් සාදවා මහානාම හාමුදුරුවන්ට පූජා කළා. . මහානාම හාමුදුරුවන් මෙම විහාරය තුළ දීර්ඝකාලීනව වැඩ වාසය කළේ නැහැ. පසුකාලීනව කාලය ගතවීමත් සමඟ “සුධම්ම” නමින් ස්වාමීන් වහන්සේ නමක් මෙම පන්සලේ වැඩ වාසය කළා. විහාර බිම ලස්සනට පිළිවෙලට තබාගෙන විහාරගෙය ලස්සනට තබාගෙන “සුධම්ම හාමුදුරුවන්” “චිත්ත සිටුවරයාගේ “ඇප උපස්ථාන ලබමින් ඒ විහාරයේ දිගින් දිගටම වැඩ වාසය කළා. මේ ආකාරයෙන් කාලය ගතවීමත් සමඟම මෙම පන්සල මගේය යන සිතිවිල්ල සුධම්ම හාමුදුරුවන්ගේ සිතට ආවා. නිදහසේ කාලය ගත කරන සුධම්ම හාමුදුරුවන් ගේ සිතට මේ පන්සල මගේය කියන ආශාව ඇති වුණා.

එම ආශාව නිසා පන්සලේ වැඩ කටයුතු තවත් හොඳින් කරමින් තවත් ලස්සන ආකාරයෙන් පන්සල තබාගත්තා. එක දවසක් බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු වන “සාරිපුත්ත” මහරහතන් වහන්සේත් වමත් සවුවන “මොග්ගල්ලාන” මහරහතන් වහන්සේත් දෙනමම මෙම පන්සලට වැඩම කළා. මහරහතන් වහන්සේලා දෙනමම ටික දවසක් මෙම පන්සලේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේගේ අගසවු දෙනම මෙම පන්සලට වැඩම කිරීම පිළිබඳව චිත්ත සිටාණන්ට ඇතිවුණේ කියන්න බැරිතරම් සන්තෝෂයක්. හරිම සන්තෝෂයෙන් හරිම ගෞරවයෙන් භක්ත්‍යාදරයෙන් විහාරයේ වැඩ වාසය කළ අගසවු දෙනමට ගරු සැළකිලි කරන්නට චිත්ත සිටාණන් පටන් ගත්තා. චිත්ත සිටාණෝ පන්සලට පැමිණෙන වාර ප්‍රමාණයත් ක්‍රමයෙන් වැඩි වුණා. පන්සලට පැමිණෙන වාරයක් පාසා චිත්ත සිටාණෝ පන්සලට රැගෙන එන දේවලුත් වැඩි වුණා. අගසවු දෙනම සඳහා කරන ගරු සැලකිලිත් වැඩියි. වෙනදා නැති තරම්ම කරන සැළකිලි පිළිබඳ සුධම්ම හාමුදුරුවන්ගේ සිතට නොමනාපයක් ඇති වුණා. මේ පන්සල මගේ. පන්සල වගේම මෙම පන්සලේ නායක ස්වාමින් වහන්සේත් මමයි. මට නැති සැලකිල්ලක් පන්සලට අලුතෙන් වැඩම කළ ආගන්තුකයන්ට ඇයි? ආදි වශයෙන් හිතන සුධම්ම හාමුදුරුන්ගේ සිතිවිලි තව තවත් වෛරයෙන් තරහෙන් පිපිරෙන්න පටන් ගත්තා. චිත්ත සිටාණන්ට මේ තත්වය නොවැටහුණේ ඔහු තුළ පැවැති ශ්‍රද්ධාව වැඩි නිසයි. අගසවු දෙනමගෙන් බණ අසා අනාගාමී ඵලයටත් පත් වී සිටි චිත්ත සිටාණන්, පුහුදුන් බවෙන් පිරිපුන් සුධම්ම තෙරුණ් වහන්සේ මේ ගරුසැලකිලි තමන්ට කරන්නේ නැතිව ආගන්තුක තෙරුන්වහන්සේලා වෙනුවෙන් කරන චිත්ත සිටාණන් පිළිබඳව තරහවත් ඇතිකර ගත්තා. පසුකාලීනව එය ක්‍රෝධයක් බවට පත්කර ගත්තා. ක්‍රෝධය තරහව මනසට පැමිණියාට පසුව සාමාන්‍යයෙන් එම පුද්ගලයා කරන්නේ මොනවාද ? කියන කාරණාව එම පුද්ගලයාටවත් තේරෙන්නේ නැහැ. ක්‍රෝධයේත් වෛරයේත් ස්වභාවය එයයි.අගසවු දෙනම පන්සලේ වැඩ සිටියදීම චිත්ත සිටාණන්ට රුදුරු ආකාරයට බැණ වැදුණූ සුධම්ම හාමුදුරුවන් අගසවු දෙනම පන්සලේ වැඩ සිටියදීම මම මේ පන්සලේ තව මොහොතක්වත් වැඩ වාසය කරන්නේ නැහැ. මේ පන්සල බලා කියා ගන්න මට කරන්න බැහැ. කැමැති අයෙකු පන්සලේ නහර කරගෙන පුද සැළකිලි කළාට මට කමක් නැහැ. ආදී වශයෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කරල පන්සලෙන් එළියට බැහැල යන්න ගියා. සුධම්ම තෙරුණ් වහන්සේ විත්ත සිටාණන්ට එසේ බැන වැදිල කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ ජේතවනාරමායේ. ජේතවනාරමායේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ ළගට වැඩම කළ සුධම්ම හාමුදුරුවන් හිතේ තිබුණ කේන්තියත් එක්කම තමන්ට වූ බලවත් අසාධාරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේට සැළකර හිිටියා. තමන් හිටිය පන්සලට අලුතෙන් වැඩම කළ ආගන්තුක හාමුදුරුවන් දෙනම නිසා ප්‍රධාන දායක තුමා තමන්ට නොසලකා අනෙකුත් අයට සලකන්න යාම මොනතරම් වරදක්ද බුදුහාමුදුරුවනේ කියලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ පැමිණිල්ලක් ඉදිරිපත්කලා. මේ සිදුවීම එකින් එක අසාගෙන සිටිය බුදුරජාණන් වහන්සේ සුධම්ම හාමුදුරුවෙන්ගේ පුහුදුන්කම නිසා ඇතිකර ගත්ත නොමනාපය, නිසා ඇති වුණ මානසික විපරීත බවක් බව වටහාගත්තා. චිත්ත සිටාණන්ට සුධම්ම තෙරුණ් වහන්සේ දොස් කිව්වට, චිත්ත සිටාණන් තුළ වරදක් නැහැ. අගසවු දෙනමට සුධම්ම තෙරුණ් වහන්සේ දෝෂාරෝපණය කළාට උන්වහන්සේලා අතේ වරදක් නැහැ. වරද තියෙන්නේ සිදුවීම් පිළිබඳව වැරැදි ආකාරයට සිතල ඔළුව නරක් කරගත්ත සුධම්ම තෙරුන් වහන්සේ ළඟම තමයි. මෙම කරුණු කාරණා සුධම්ම හිමියන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුවා.

ඔබ වහාම ගිහිල්ලා, ඔබේ වරදට චිත්ත සිටාණන්ගෙන් සමාව ගන්නට ඕනෑ බව දේශනා කළා. සුධම්ම හාමුදුරුවන් නැවතත් පන්සලට වැඩම කරල තමන්ගේ අතින් වුණ වරද පිළිබඳව චිත්ත සිටාණන්ගෙන් සමාව ගත්තා. මෙම සිදුවීම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ සුධම්ම හාමුදුරුවන්ට නැවතත් ධර්මය දේශනා කළා. තමන් ළඟ නැති ගුණ තියෙන බවට පෙන්වමින් ගරුබුහුමන් ලබන්නට කැමැති වන ඇතැම් අය සමාජයේ ජීවත් වනවා. ඒ වගේ පිරිස් ගිහි සමාජය තුළ ජීවත්වන්නත් පුළුවන්. පැවිදි සමාජය තුළ ඉන්නත් පුළුවන්. එහෙම කෙනෙකුට කියන්නේ කුහක ගති සිරිත් පිරුණු පුද්ගලයෙක්ය කියලා. ඒ වගේ අයට තමන් තුළ තිබෙන එම ගතිසිරිත් නිසාම ආසාව නමැති අකුසලයත් මානය නමැති අකුසලයන් දවසින් දවස වඩා වර්ධනය වෙනවා. ඒක බරපතළ අපරාධයක් කියන වග බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරල දුන්නා.




 මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 12 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment