Labels

Thursday, September 24, 2015

බුදුරදුන් පිළිතුරු නොදුන් ප්‍රශ්න දහය



බුදුරජාණන් වහන්සේ ලොව සියල්ල අතැඹුලක්සේ දුටුවාහ. උන්වහන්සේ දතයුතු සියල්ල දත්තාහ. උන්වහන්සේගේ ඥාන සීමාව ඉක්මගිය ඥාන පථයක් නොමැත්තේ ය.
බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ කිසිදු තැනක පැටලීමක් හෝ පැකිලීමක් නැත්තේ ය.ඒ නිසා බුදුරදුන්ගේ ඥාන විෂය ආචින්තනීය වන අතර උන්වහන්සේ දුටු ලෝකය ද, උන්වහන්සේ දුටු පරිදි සත්ව විෂය ද, කර්ම විෂය ද ලෝක විෂය ද සිතා කෙළවරක් කළ නොහැකි අචින්තනීය දේය. මේ අචින්තනීය ලෝක විෂය සත්ව විෂය කර්ම විෂය බුදුරජාණන් වහන්සේ තතු පරිදි සර්වඥතා ඥානයෙන් දුටු නිසා පුහුදුන් මිනිසාට ඇතැම් කරුණු අවිෂය නිසා එබඳු ප්‍රශ්න නඟනවිට උන්වහන්සේ නිශ්ශබ්ද වූහ.
ඒ බුදුරදුන් මුනිවතරැකි අව්‍යාකත නම් වූ ප්‍රශ්න දහය පිළිබඳව කිසියම් අවබෝධයක් ඇති කර ගැනීම මෙහිලා වැදගත් වනු ඇත. එම ප්‍රශ්න දහය මෙසේ ය.

1. ලෝකය සදාකාලිකද? (ශාශ්වතද?)

2. ලෝකය සදාකාලික නොවේද? (උච්ඡේදද?)

3. ලෝකයේ කෙළවරක් තිබේද? (අත්තවත්ද)

4. ලෝකයේ කෙළවරක් නැතිද? (අනන්තවත්ද?)

5. මනස හා ශරීරය එක්ව පවතීද?

6. මනස හා ශරීරය වෙන් වෙන්ව පවතීද?

7. තථාගතයන් මරණින් පසු සිටීද?

8. තථාගතයන් මරණින් පසු නොසිටීද?

9. තථාගතයන් මරණින් පසු සිටී හා නොසිටින තත්ත්වයක්ද?

10. තථාගතයන් මරණින් පසු සිටින්නේත් නොව නොසිටින්නේත් වේද?



බුදුරජාණන් වහන්සේ කෙනෙකු අසන ප්‍රශ්නයන්ට දෙන විසඳුම් ක්‍රම සතරකි. ඒ මෙසේ ය.

1. ඇසූවිට එකවර පිළිතුරු දෙන ප්‍රශ්න

2. ප්‍රශ්නයක් ඇසූවිට බුදුන්වහන්සේ ද ප්‍රශ්නයක් නඟා පිළිතුරු දීම.

3. ප්‍රශ්නයකට විග්‍රහකොට පිළිතුරුදීම.

4. පිළිතුරු නොදී අතහරින ප්‍රශ්න.

1. එකංග ව්‍යයකරණීය,

2. පටිපුච්චා ව්‍යාකරණීය,

3. විභජ්ජව්‍යාකරණීය,

4. ධපනීය යනුවෙන් බුදුරදුන් දස කෙනෙක් අසන ප්‍රශ්නයේ ස්වභාවයට අනුව පිළිතුරු දුන් බව මෙයින් පෙනේ.

ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නවලට පිළිතුරු එකහෙළා නොදී බැහැරකළේ ඇයි ද යන්න විමසිය යුතු ය. එය උගතුන් දක්වන පරිදි නිවනට අදාළ නොවන නිසාද නැතිනම් ලෝක විෂයේ අචින්තනීය බව සලකා බුදුරදුන් එහි ආරම්භය හා කෙළවර නොදත් නිසාද? නැතහොත් මේ ප්‍රශ්න වැරැදි ලෙස නැඟූ ප්‍රශ්න නිසා ඒ පිළිතුරුවලින් තවත් මිථ්‍යා දෘෂ්ටිවලට වැටෙන නිසාද? එසේත් නැතිනම් වෙනත් හේතුවක් නිසා මේ ප්‍රශ්නවලට ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරක් නොදුන්නාද යන්න විමසා බලමු.
බුදුරදුන් දුටු ලෝක විෂය කෙනෙකුගෙන් අසා දැනගත් දේ නොව ස්වයං ප්‍රත්‍යක්ෂයෙන් දුටු දෙයකි. භෞතික ලෝකයේත්, සත්ව ලෝකයේත් මූල ධාතූන් පිළිබඳව එහි හටගැනීම, පැවැත්ම හා අභාවයට පත්වීමත් අන්තය අනන්තය පිළිබඳව මිනිසා තුළ ඇතිවන දෘෂ්ටි වාදවලට හේතුවත් බුදුරදුන් මැනවින් දුටු නිසා උන්වහන්සේ ලෝකවිදූ නම් වන්නාහ. එබඳු ලෝකවිදූ බුදුකෙනෙක් මේ ප්‍රශ්නවලට පිළිතුරුදීම අත්හළේ ඇයි ද යන්න පැහැදිලි වේ.

පුහුදුන් ලෝකවාසීහු හැමවිටම ඇත හා නැත යන අන්ත දෙකට ඇදීයති. තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකෙන් බැහැරට මධ්‍යම තත්ත්වයේ සිට දහම් දේශනා කරති. “ මේ ප්‍රකාශය තුළින් පැහැදිලි කෙරෙන්නේ ලෝකයා අන්තවාදී දෘෂ්ටි දෙකක ගැලී සිටියදී බුදුරදුන් ඒ දෘෂ්ටිවලින් බැහැරව ලෝකය සාපේක්ෂකව දක්නා බවයි. ආත්මයක් ඇත යනු එක ප්‍රශ්නයකි. ආත්මයක් නැත යනු තව අන්තයකි. මනස හා ශරීරය එකට පවතී යනු එක අන්තයකි. මනස හා ශරීරය වෙන්ව පවතී යනු අනෙක් අන්තයයි. ලෝකය අන්ත යනු එක් අන්තයකි. ලෝකය අනන්තවත්ය යනු අනෙක් අන්තයයි. මෙලෙස එකිනෙකට විරුද්ධ අන්ත දෙක පුද්ගලයා ගැලී සිටීමට හේතු විවරණය කොට දැක්වූහ. බුදුරදුන් මේ අව්‍යාකත ප්‍රශ්න ඉහත කී අන්ත දෙක භාජනය කරන නිසා එම අන්ත දෙකෙන් බැහැරවූ මාධ්‍යමික ධර්මයක පිහිටා සිටියහ. ඒ මාධ්‍යමික තත්ත්වය යනු සියලු අන්තවාදී දෘෂ්ටිවලින් බැහැරවීම මිස එහි මැද සිටීම නොවේ. බුදුරදුන් සියලු හැට දෙකක් දෘෂ්ටි මෙසේ ප්‍රතික්ෂේප කළත් හැට තුන්වෙනි දෘෂ්ටියක් පිහිටවූයේ නැත.

බුදුරජාණන් වහන්සේ ලෝක විෂය ගැන නොදැන මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නා නොවේ. උන්වහන්සේගේ ලෝක විෂය පිළිබඳව ලෝක ධාතු පිළිබඳව කළ විවරණය නූතන විද්‍යාව අභිභවා යන තරම්ය. ඉරු දහසකින් සමන්විත කුඩා ප්‍රමාණයේ ලෝක ධාතුන්ගෙන් සමන්විත මූල නිකා ලෝක ධාතුවත් එබඳු චූලනිකා ලෝක ධාතුන් දහසක් ගුණ කිරීමෙන් යුත් මධ්‍යම ලෝක ධාතුන් පිළිබඳවත් එය දහසකින් ගුණ කිරීමේ ප්‍රමාණයකින් යුත් මහා සහස්සී ලෝක ධාතූන් පිළිබඳ කළ විවරණ විශ්මය ජනකය. මේ විශ්වයේ අවකාශය කොතරම් අචින්තනීයද යන්න බුදුරදුන් දැන හා දැක ප්‍රකාශ කළ බැවින් බුදුරදුන් මේ ප්‍රශ්නයට පිළිතුරු දැන සිටි බව පෙනේ. නමුත් ඒ පිළිතුර අසන්නට සත්‍ය ද අසත්‍යද යන්න පරීක්ෂා කර බැලීමට නොහැකි නිසා බුදුරදුන් එයට ඒකාංගික පිළිතුරක් නොදුන්නාහ. මක් නිසාදයත් බුදුරදුන් හැමවිටම යමක් පැහැදිලි කළේ කෙනෙකුට ඉන්ද්‍රිය ඥානයෙන් හෝ අභිභ්‍රමනින් ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ නම් පමණි. මේ නිසා ලෝකයේ අන්තය අනන්තය පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු බුදුරදුන් දේශනා කළත් ශ්‍රාවකයාට එය තම ඉන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ෂ කළ නොහැකි නිසා උන්වහන්සේ පිළිතුරු නොදී නිහඬවූහ.

“චූල මාලුංක්‍ය” සූත්‍රයෙහි දැක්වෙන පරිදි දිනක් මාලුංක්‍ය පුත්ත නම් භික්ෂුවක් බුදුරදුන් හමුවට පැමිණ මේ ඉහතකී ප්‍රශ්න දහයට බුදුන් වහන්සේගෙන් පැහැදිලි පිළිතුරක් නොලැබේනම් තමන් සිවුරු හැරයන බව අවධාරණය කළේ ය. එවිට බුදුන් වහන්සේ මාලුංක්‍ය පුත්තට පැහැදිලි කළේ ඔබට මා විසින් මේ ප්‍රශ්න දහයට පිළිතුරක් දෙන්නේ ය යන පොරොන්දුව පිට පැවිදි වූවා නම් එසේ සිවුරු හැරයාම සාධාරණයි. මා එබඳු පොරොන්දුවක් නොවූ නිසා එයට පිළිතුරුදීමට මම බැඳී නැති බව උන්වහන්සේ පැවසූහ. ඔබ පැවිදි වූයේ සසර දුක නැතිකර ගැනීමේ අරමුණින් නම් මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා යාම ඊට කිසිසේත් අදාළ නොවන බව බුදුරජාණන් වහන්සේ මාලුංක්‍ය පුත්තට උදාහරණයක් මඟින් පැහැදිලි කළහ.

මාලුංක්‍ය පුත්ත යම් පුද්ගලයෙක් දිනක් කිසිවකු විසින් විදින ලද ඊතලයකින් පහර කෑවේ ය. හේ අතිශය වේදනාවෙන් කෑගසමින් සිටින විට ඔහුගේ නෑහිත මිතුරන් වහා ඔහුව වෛද්‍යවරයකු කරා ගෙනයාමට සූදානම් වෙති. එවිට මේ තුවාල ලැබූ තැනැත්තා එය වළකාලමින් “ මේ ඊතලය විද්දේ කවුරුන්ද?” ඔහු ජාතිය කුමක්ද? ඊතලය තැනුවේ කවුරුන්ද? කුමන ලෝහයකින් එය තැනුවාද? එහි දුන්න සාදා ඇත්තේ කුමකින්ද, දුන්නේ දුනුදියට යොදාගෙන ඇත්තේ මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනතුරු මම වෛද්‍යවරයා වෙත නොයමියි, මෙසේ නෑයන් වළක්වන්නේ නම් ඔහු එයින් ජීවිතක්ෂයට පත්වන්නේ ය. මෙම උපමා කථාවෙන් අව්‍යාකත ප්‍රශ්නවලට බුදුරදුන් පිළිතුරු නොදුන්නේ, පැහැදිලිවම එය නිවනට අදාළ නොවන බව පැහැදිලි වේ. ඹපොට්ඨපාද සූත්‍රයට අනුව අව්‍යාකත ප්‍රශ්න කිසිදු ප්‍රයෝජනයක් නැති එසේම ධර්මයට අනුකූල නොවූ ලෝකයේ යථා ස්වභාවයට අනුකූල නොවූ මිනිසා උත්තම චර්යාව හෙවත් බ්‍රහ්ම චර්යාවටද අදාළ නොවන බවත් මෙසේ “න අත්ථ සංහිතං න ධම්ම සංහිතං, නාදි බ්‍රහ්මචරියකං” යනුවෙන් පැහැදිලි කර ඇත.
මජ්ක්‍ධිම නිකායේ පංචත්තය යනුවෙන් හා සංයුක්ත නිකායේ ගද්දූලබද්ධ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ ඇත, නැත, අන්ත, අනන්ත, ශාශ්වත, අශාශ්වත, ජීවය හා ශරීරය, එකක්ය. දෙකක්ය. යන මෙකී සියලු විවාද බිහිවන්නේ සක්කාය දිට්ඨිය වූ පංචස්කන්ධයෙහි ඇලී ගැලී සිටීම නිසා බවයි.

 මෙම කරුණු අපූරු උදාහරණයක් මඟින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. “සුනඛයෙකු කණුවක බැඳ තැබූ අවස්ථාවේ සුනඛයා කඹය දිග තිබෙන ප්‍රමාණයට ඇවිදිමින් කණුව වටේම ගමන් කරයි. එහි ලැග සිටියි. එයින් පිටට ඌට ගමන් කිරීමක් හැකියාවක් නැත. මෙලෙස දස අව්‍යාකත ප්‍රශ්න අප රවුමක් ලෙස ඇඳ මැද කණුවක් සලකුණු කර එහි ගැට ගැසූ සුනඛයාද චිත්‍රයට නඟා බලමු. සුනඛයන් වරක් එක් අන්තයකටත් තවත් වරෙක අනෙක් අන්තයට ගමන් කරන බව පෙනේ. බුදුරජාණන් වහන්සේ දැක්වූ පරිදි සුනඛයා කණුවට බැඳ සිටින්නා සේ පෘථජ්ජන මිනිසා සක්කායදිට්ඨිය නම් වූ කණුවෙහි බැඳී ඒ අන්තයටත් මේ අන්තයටත් ගමන් කරයි. මෙසේ මිනිසා ලෝකය හා සත්වයා, සදාකාලිකය ආත්මය සදාකාලිකය යනුවෙන් ගැනෙන ශාශ්වත වාදයටත්, මරණින් මතු සියල්ල අවසන් වේ. ලෝකය සදාකාලික නොවේ යන උච්ඡේද වාදයටත් ගමන් කරයි. ලෝකයේ කෙළවරක් පිළිබඳවත් අන්තය අනන්තය පිළිබඳව නිගමනයටත් මිනිසා එළඹෙන්නේ තමන් කේන්ද්‍ර කරගෙනය. සත්වයා හා ලෝකය නිරන්තරයෙන් හේතු ප්‍රත්‍ය ධර්මයන්ගෙන් සකස්වෙමින් හැමවිටම ගලායන ප්‍රවාහයක් ලෙස පවත්නා භවයක මෙසේ ලෝකය පිළිබඳ එළඹෙන්නේ රූප, වේදනාව, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය නිත්‍යයයි, මමයයි මගේ යයි සලකන සක්කාය දිට්ඨිය නිසාවෙනි.
මේ නිසා අව්‍යාකත ප්‍රශ්න හා එමඟින් එළැඹෙන දෘෂ්ටිවලින් මිනිසා දෘෂ්ටි ග්‍රහනයක යෙදෙයි. බුදුන් වහන්සේ පුහුදුන් ලෝකයාට මේ ප්‍රශ්නවලට ඒකාංගිකව පිළිතුරු නොදුන්නේ ඔහු ඇත, නැත යනුවෙන් සැලකෙන අන්ත දෙකෙහි ස්වභාවයෙන්ම ගැලී ඒ අනුව සිතන නිසාය. සක්කායදිට්ඨිය ප්‍රහීන වූ පුද්ගලයාට මේ අව්‍යාකත ප්‍රශ්න කිසිවක් පැන නොනඟී. මේ අනුව බුදුරදුන් මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදීමට හේතු ගණනාවක් තිබූ බව පැහැදිලි වේ.


 මහාචාර්ය
විලේගොඩ අරියදේව හිමි








 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ අගෝස්තු 10 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment