අප සසරෙන් මිදීමට කුසල් දහම් පුරුදුකරන විට එයට එන බාධකය වන්නේ කායිකව සහ මානසිකව හටගන්නා වූ දුක්ඛදොමනස්ස. මේවා ඇතිවූ විට කලබල වී ඉක්මන් වෙනවා, ඒවායෙන් අත මිදෙන්න.
අප කුසල ධර්මයක් වඩන මොහොතේ දී අපට සීතලක් දැනුනොත්, උෂ්ණයක් දැනුණොත්, බඩගින්නක් ආවොත්, පිපාසයක් දැණුනොත්, මැසි මදුරුවන්ගෙන් කරදරයක් ආවොත් අප මොකද කරන්නේ? ශරීරය තුළින් වේදනාවක් හටගත්තොත් සතුන් සර්පයන්ගෙන් අනතුරුක් වුණොත් අප මොකද කරන්නේ? අප ඉක්මනින් ඒ ඇති වූ දුක ගෙවාගන්න දුක නිවාගන්න පිළියම් යොදනවා.
අප හැම දෙයකින්ම සොයන්නේ් සැපත, සතුට, සැනසීම. අප කවුරුවත් කැමැති නැහැ දුකට. දුක හැමෝම ප්‍රතික්ෂේප කරනවා. දුකට කැමැති නැහැ. සැපතයි හොයන්නේ. ඒ නිසා සැප යමකින් ද එන්නේ, ඒ සැප එන දේට අපි ඇළුම් කරනවා. දුක එන්නේ කොතැනනින් ද? සැප අහිමි වෙන්නේ කොතැනින් ද? අප ඒ දේ ප්‍රතික්ෂේප කරනවා. අප මේ රූපය මම මගේ, මගේ ආත්මය කියා ගන්නවා. මේ කය මම මගෙයි කියා සිතන්නේ එහි සැපතක් තිබෙන නිසයි. හොඳ නිසයි. සුබ නිසයි. එලෙසම වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණත් මම ම වෙලා. මගේ ම වෙලා මගේ ආත්මය ම වෙලා. දැන් ආත්මය මගේ. මේ පංච උපාදානස්කන්ධය ආත්ම කොට ගෙන මගේ ආත්මයට දුක එන්න බැහැ. මගේ ආත්මයට වද වේදනා විඳින්න බැහැ. මගේ ආත්මයට සැප ලැබෙන්න ඕන. මගේ ආත්මයට ලැබෙන දුක ප්‍රතික්ෂේප කරනවා. පිළිකුල් කරනවා.
අපට දුක එන්නේ රූපාදි ස්කන්ධ ටික මම, මගේ් වශයෙන් ආත්ම කරගෙන සිටින නිසයි. මට දුක් විඳින්න බැහැ. ඒ නිසා අප සැප හොයනවා. අප ඉගෙන ගන්න බැරි වුණොත් දුක එනවා. ඉගෙන ගත්තොත් තමයි සැප තිබෙන්නේ්. රස්සාවක් නැත්නම් මේ ආත්මයට දුක එනවා. රස්සාවක් තියෙනවා නම් සැප ලැබෙනවා. දුක එන ආකාරය හා දුක නැතිවෙන හැටි අප දන්නේ ඒ විදිහටයි. විවාහයක් වුනොත් සැපතක් නො ලැබුණොත් දුකයි. සල්ලි මිල මුදල් ඇත්නම් සැපතක් නැත්නම් දුකයි. ඒනිසා මෙන්න මේ අපේ ජීවිතය වෙලා තියෙන්නෙ මෙන්න මේ අපේ ආත්මයට යමකින්ද දුක එන්නේ. ඒ දුක ප්‍රතික්ෂේප කරල සැප ලබා ගන්නයි. ඒ සැප ළඟා කර දෙන්න අප භාවිත කරන දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාවකුත් තියෙනවා. දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාව තමයි අප හැමදාම ජීවත් කරන්නේ.
අප කරන ක්‍රියාකාරකම් ඔක්කෝම දුක්ඛ නිරෝධගාමිනි ප්‍රතිපදාවට අයිතියි. හැමදාම මේ දුක නැති කරන්න මොකද කළේ. සීතල දැනෙන විට පොරොව ගත්ත. එවිට ආත්මයට සැප ලැබුණා. අප මේ සංසාරෙ මේ සීතල කියන ප්‍රශ්නය විසඳගන්න කොතරම් පොරොවන්න ඇද්්ද? තාමත් පොරවනවා. ඒ වගේම උෂ්ණය දැනුනමත් එයට විසඳුම් සොයන්න ඇති. පිපාසය මැසි මදුරු උවදුරුවලින් වළකින්න, අභ්‍යන්තරයේ හටගන්න වාත දෝෂයෙන් ඌෂ්ණාදියෙන් හටගන්න දාහ දැවිලි ගතිය වළක්වාගන්න නොයෙක් ප්‍රතිකර්ම ශාන්ති කර්ම කළා. ඒවා සංසිඳුනාට පසු ඒ නැවත ඒ දුකත් පවතිනවා. ඒක නිරුද්ධ වෙලා නැහැ.
මේ ශරීරියට හටගන්නා තියුණු වූ රළු වූ කටුක වූ අමනාප වූ අකැමැති වූ වද වේදනා තිබෙනවා. රූපය දිරන්නේ, ලෙඩවන්නේ නැතුව පවත්වා ගන්න, මැරෙන්නේ නැතුව, වද වේදනා නැතුව පවත්වා ගන්න හොඳයි කියල කියන්නේ මොනවද ගුණයි කියන්නේ මොනවද අප ඒ දේ කරනවා. නමුත් තවමත් ඒ දුක ගෙවා ගන්න බැරි වුණා. කැමැති වුණත්, අකැමැති වුනත් ඒ දුක අප වෙත ගලාගෙන එනවා.
එහෙනම් අපට පැහැදිලියි මෙතරම් කාලයක් සසරේ දුකට හේතුව හා දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මඟ හැටියට අනුගමනය කරපු වැඩ පිළිවෙල එතරම් සාර්ථක වෙලා නැහැ. අප දුක කියා දැක්කේ සැබෑ දුක නොවෙයි. සැප කියලා දැක්ක තැන සැබෑ සැපයක් නොවෙයි තිබෙන්නේ. දුක නැති කරන්න කියලා අප කරපු වැඩ පිලිවෙලත් සැබැවින් දුක නිරුද්ධ කරන වැඩ පිළිවෙලක් නොවේ. ඒ නිසා අපි සංසාරේ තාමත් මේ දුකට පත්වෙලා තියෙනවා. දුක උරුම කරගෙන තියෙනවා. අප හැමදාම තාමත් මේ ඇත්ත දැකල නැහැ. තාමත් අප කරන්නේ සීතල දැනෙන කොට පොරවනවා. ඊට වඩා දෙයකින් මිදෙන්න වෙන ක්‍රමයක් අප දන්නෙ ම නැහැ.
නමුත් ලොව්තුරු බුදුවරු ලෝකයට පහල වෙලා මෙන්න මේ ප්‍රශ්න ටිකෙන් නිදහස් වෙලා ශාන්තිය, සැනසිල්ල උදෙසා යාමට මාර්ගය කියා දුන්නා. ඒ නිසා අප සද්ධර්මය අහන්න යොමු වෙන්න ඕන.
එනිසා අප අපේ ජීවිතය තුළ පුංචි දෙයක් දැනුණත් එකවර ම පිනට දහමට තියෙන අවස්ථාව මඟහැර ගන්න හොඳ නැහැ. බොහොම ලෙහෙසියෙන් කුසලයට තියෙන අවස්ථාව අප අතහැර ගන්නවා. අප පුංචි දුකක් දරා ගත්තොත්, ලොකු දුකකින් මිදෙන්න පුළුවන්. සාමාන්‍ය ලෝකෙ කටයුතු කරන අප සංසාර ගමනේ ස්වභාවය ගැන හිතලා අනන්ත දිගු සංසාර ගමනේ පීඩා වින්දේ මේ පුංචි සැපයක් හොයාගෙන ගිහිල්ලායි. මේ එන පුංචි දුක විඳ දරාගන්න බැරි නිසා අප හැමදාම ප්‍රතිපත්තියෙන්, සීලයෙන්, ගුණයෙන්, බණෙන් භාවනාවෙන් ඈත්වූවා. එහි ප්‍රතිඵලය තමයි අප සංසාරයේ හැමදාම නැවත නැවත දුකට පත්වීම.
පිළියන්දල සද්ධර්මාලෝක
ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල
ගුණරතන හිමි
No comments:
Post a Comment