Labels

Wednesday, September 23, 2015

ධම්මානුපස්සනා


 ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තිබෙනවා.


කාමච්ඡන්ද –ව්‍යාපාද , ථීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා කියන නීවරණ ධර්ම අරමුණු කර ගෙන කරනු ලබන භාවනාව
රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන්ධ පිළිබඳ භාවනාව
ඇස, කන, නාසය , දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියයන්ද ඒවාට අරමුණු වන රූප ශබ්ද ආදි අරමුණු නිසා ඇතිවන සංයෝජන ධර්මයන්ද අළලා කරන භාවනාව
සත්ත බොජ්ඣංග භාවනාව
දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය සහ දුක්ඛ නිරෝධගාමිණී පටිපදාර්ථ සත්‍යය යන චතුරාර්ය සත්‍යයන් පිළිබඳ භාවනාව

නීවරණ භාවනාව – කාමච්ඡන්දය කියා කියන්නේ රූප– ශබ්ද, ගන්ධ, රස ඵොට්ඨබ්බ (කායික ස්පර්ශයන්ට අරමුණු වන දේවල්) කියන අරමුණුවලටත්, ඒවා නිසා ඇතිවන ආශ්වාදයන් විඳීමටත් ඇති කැමැත්තය. තමාගේ සිතේ කාමච්ඡන්දය ඇතිනම්, ඒ බවත්, කාමච්ඡන්දය සිතේ නැත්නම් ඒ බවත්, නූපන් කාමච්ඡන්දය ඉපදුණූ කල ඒ බවත්, උපන් කාමච්ඡන්දය නැතිවූ විට ඒ බවත්, නැතිවූ කාමච්ඡන්දය නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වූ කල ඒ බවත් දැන ගැනීම කියන ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීමයි. මෙයින් අදහස් කරන්නේ. මේවා මොනවාද? මේවා මොනවාද මේවා ඇතිවන හේතු මොනවාද? මේවා නිසා ඇතිවන ආදීනව මොනවාද? මේවා නිරුද්ධ කරන්නේ කොහොමද? මේවා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, දුක්ඛ සත්‍යක් හා සමුදය සත්‍යයක් බව, මේවා කෙරෙහි කලකිරීය යුතු බව, නො ඇලිය යුතු බව ආදී කරුණු තමා විසින්ම දැක අවබෝධ කර ගැනීමයි. යථා පරිදි දකිනවා කියන්නේ.
ව්‍යාපාදය – තරහව, ක්‍රෝධය, නුරුස්නා ගතිය, අමනාපය, නො සතුට ආදිය ව්‍යාපාද නීවරණයට ඇතුළත්. තමාගේ සිතේ ව්‍යාපාදය ඇතිනම් ඒ බවත්, සිතේ ව්‍යාපාදය නැත්නම් ඒ බවත්, නූපන් ව්‍යාපාදය ඉපදුණු කළ ඒ බවත් උපන් ව්‍යාපාදය නැතිවූ විට ඒ බවත්, නැතිවූ ව්‍යාපාදය නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වූ කළ ඒ බවත් දැන ගැනීම පිළිබඳව ඒ ඒ කරුණුවල යථා තත්ත්වය අවබෝධ කර ගනිමින් භාවනා කිරීමයි. මෙයින් අදහස් කරන්නේ.

ථීනමිද්ධය- ථීනමිද්ධය කියන්නේ සිතේ මැළිබව,අලස බව නිදිමත ගතිය ආදියට මේවා සිතේ ඇති බව නැති බව,ඇතිවූ විට ඒ බව ඉපදුණූ ථීනමිද්ධය නැතිවූ විට ඒ බව, නැතිවූ ථීනමිද්ධය නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වූ විට ඒ බව යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් භාවනා කළ යුතු වනවා.
උද්ධච්ච කුක්කුච්ච – සිත නොයෙක් අරමුණු කරා දුවමින් විසිරෙන ගතිය උද්ධච්චයි. තමා විසින් මේ දක්වා කර ඇති අකුශල හා කර නොමැති කුශල් ගැන සිත සිතා පසුතැවීම කුක්කුච්චයයි. මේවා සිතේ ඇති විට, ඒ බවත්, නැති විට ඒ බවත්, සිතේ නො තිබුණූ මේවා ඇති වූ විට ඒ බවත්, ඇතිවූ මේවා නැතිවී ගිය විට ඒ බවත්, නැතිවූ මේවා නැවත නූපදින ලෙසම නිරුද්ධ වී ගිය විට ඒ බවත් යථා පරිදි දැකීම මින් අදහස් කරනු ලබන භාවනාවයි.

විචිකිච්ඡා – බුද්ධ ධර්ම, සංඝ ත්‍රිවිධ රත්නය, පෙර පැවැති භව, පසුව ඇතිවන භව,පෙර සහ පසු භව, (සම්මුති වශයෙන් භව කියා කියන වචනයට අප කියන්නේ පෙර ආත්මය ආදි වශයෙන් ආත්මය කියලා) පටිච්චසමුප්පාද ධර්ම, සහ ශීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව ගැන ඇතිවන සැක අට මෙයට ඇතුළත්. මෙවැනි සැක කිසිදා නැවත නූපදින ලෙස සම්පූර්ණයෙන්ම දුරුවන්නේ සෝවාන් වූවාට පසුව පමණයි. මේවා ගැනත් ඇති බව, නැති බව ආදි කරුණු කලින් නීවරණවලට කියා ඇති කරුණු ආකාරයෙන්ම අවබෝධ කර ගත යුතු වනවා.

පංචස්කන්ධ භාවනාව– රූප,වේදනා, සංඥා, සංස්කාර, විඥාන, පංචස්කන්ධ මෙනාවාදැයි ඒවායේ නියම යථා තත්ත්වය දැකීමත්, ඒ ස්කන්ධ ඇතිවීමේ හේතු දැකීමත්, ඒ ස්කන්ධ නිරුද්ධ වී යාම දැකීමත් පංචස්කන්ධ භාවනාවට ඇතුළත්.
ආයතන භාවනාව – ඇසත්, ඇසට අරමුණු වන රූපත්, කනත් කනට අරමුණු වන ශබ්දත්, නාසයත් නාසයට අරමුණු වන ගන්ධයත්, දිවත්, දිවට අරමුණු වන රසත්, ශරීරයත්, ශරීරයට අරමුණු වන ස්පර්ශයනුත් මනසත්, මනසට අරමුණු වන දේවලුත් (ධම්මාරම්මණත්) යථා පරිදි දැකීමත්,මේවා නිසා යම් සංයෝජන ධර්මයක් ඇතිවූයේ නම් (සංයෝජන කියන්නේ සසරෙහි බැඳ තැබීමට හේතුවන කාමච්ඡන්ද ව්‍යාපාද ආදියට) ඒ බවත්, උපන් සංයෝජන නැතිවූ විට, ඒ බවත්, නැතිවූ සංයෝජන නැවත ඇති නොවන ආකාරයෙන් ම නැතිවූ විට ඒ බවත් යථා පරිදි දකිමින් හා අවබෝධ කරමින් කරනු ලබන භාවනාවයි. මින් අදහස් කරනු ලබන්නේ.
සත්ත බොජ්ඣංග භාවනාව

1.සති සම්බොජ්ඣංගය – සති සම්බොජ්ඣංගය කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දැක්වූ සම්මා සතියමයි.

2.ධම්මවිචය සම්බොජ්ඣංගය – නිවන් දැකීමට අවශ්‍ය ධර්ම කරුණු නුවණින් විමස විමසා මැනවින් දැකීම,ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව බලන විට මෙය සම්මා දිට්ඨියයි.

3. විරිය සම්බොජ්ඣංගය –ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දැක්වෙන සම්මා වායාමයයි. මෙයින් දැක්වෙන්නේ.

4.පීති සම්බොජ්ඣංගය – භාවනාවේදි ශරීරය පිනා යන බව හා සිත සතුටට පත්වීම. පී‍්‍රතිය නිසා සතුට ඇතිවන බවත්, සතුට නිසා කයේ සහ සිතේ සැහැල්ලු බවක් ( පස්සද්ධිය) ඇතිවන බවත්, එයින් සිත සමාධියට පත්වන බවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරා .තිබෙනවා.

5. පස්සද්ධී සම්බොජ්ඣංගය – භාවනා කරන විට කයේ සහ සිතේ දැඩි ඕලාරික බව නැති වී සැහැල්ලු වී සන්සිඳී යන බව.

6. සමාධි සම්බොජ්ඣංගය – සිත සමාධියට පත්වීම, (පීති පස්සද්ධි, සමාධි කියන බොජ්ඣංග තුන ම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුව බලන විට සම්මා සමාධියට යි අයත් වන්නේ)

7.උපෙක්ඛා සම්බොජ්ඣංගය – තමාගේ අනුන්ගේ සහ සියලු ජීවි අජීවි සංස්කාර කෙරෙහි ඇලෙන්නේත් නැතිව, ගැටෙන්නේත්, නැතිව සිත මැදහත්ව පැවැතීම මෙය ඉතා ප්‍රකටව දැනෙන්නේ විදර්ශනා භාවනා කරන විට සංස්කාර උපෙක්ඛා ඤාණ අවස්ථාවේදීයි. මෙය දුක්ඛ නිරෝධගාමිණි පටිපදාර්ය සත්‍යයට වැටෙන නිසා, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියට යි මෙය අයත් වන්නේ.

බොජ්ඣංග ධර්ම භාවනා කරන විට, ඒ ඒ බොජ්ඣංගය ධර්මයන් තමාගේ සිත තුළ ඇති විට ඇති බවත්, නැති විට නැති බවත්, නූපන් බොජ්ඣංගය ධර්ම ඇති වූ විට ඒ බවත්, යම් කලෙක උපන් බොජ්ඣංගය ධර්ම භාවනාවෙන් සර්ව සම්පූර්ණත්වයට පත් වූ විට ඒ බවත් දැකිය යුතු වනවා.
චතුරාර්ය සත්‍ය භාවනාව – චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන්ටම ප්‍රතක්‍යක්ෂ වන සේ දකිමින් කරනු ලබන භාවනාවයි මෙයින් අදහස් කරන්නේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය,දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍ය ගැන පොත්පත් කියවා, ධර්ම දේශනා අසලා, මතක තබාගෙන තිබුණත් අන් අයට ඒ පිළිබද කරුණු කියා දෙන්නට හැකියාව, තිබුණත් ප්‍රත්‍යක්ෂ ලෙස මෙම සත්‍යයන් නො දන්නා කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බැහැ.

අතීත සංසාරයේ කියන්නට බැරි තරම් කල්ප ගණන් අපි සසර අනන්ත දුක් වින්දා. මෙවැනි කුඩා ලිපියකින් ඒවා කෙටියෙන් හෝ දැක්වීමට බැහැ. ඒ දුක ගැන කල්පනා කර බලමින් තරමක හෝ අවබෝධයක් ඒ ගැන ඇතිකර ගන්න. මේ දක්වා මේ භවයේදි කොච්චර දුක් අපි අත්දැකලා තිබෙනවාද? මැරෙන තෙක් තව කොච්චර නම් ජරා, ව්‍යාධි, මරණ දුක් විඳින්නට වෙයිද,සෝවාන්වත් නොවුණොත් අනාගත භව වලදී තව කොච්චර නම් දුකකට පත් වෙනවද කියලා තරමක හෝ හැඟීමක්වත් ඇතිකර ගන්නට බලන්න. මේ පංචස්කන්ධයන්ගේ පැවතීමයි. දුක මේකමයි දුක්ඛ සත්‍යය මේකමයි දුක් ලබාදෙන දුක්ඛ සමුදය සත්‍යය,මේක තිබෙන තාක් කල් දුකෙන් ගැළවෙන්නට බැහැ. සසර එක මොහොතක්වත් රැඳී නොසිටිය යුතුයි කියන අවබෝධය ඇතිවනවා. ඒක නිවන් දැකීමට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා.


 දන්කන්දේ ධම්මරතන හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 21 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment