Labels

Saturday, September 12, 2015

මානසික අසහනය අඩුකරගන්නේ කෙසේ ද?



 විවිධ දුෂ්කරතා හා ගැටලු පැන නගින විට ඔබට ඇතිවන මානසික අසහනය අඩුකර ගැනීම කෙරෙහි ඔබගේ සිත යොමුකළ යුතුවේ. ප්‍රථමයෙන් ඔබ ජීවත්වන පරිසරයේ ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට උත්සුක විය යුතුයි.


මෙලොව සිදුවන සෑම දෙයක්ම, ක්‍රමානුකූලව හා තත්වාකාරයෙන් සිදුවෙතැයි බලාපොරොත්තුවීම උගහටය. ලෝක ස්වභාවය හැම විටම ඔබගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක නොවන්නකි. ගැටලුවලින් තොර ලොවක් හෝ ජීවිතයක් ඇතිවිය නොහැකිය.

හිරුඑළිය, වැස්ස, සුළඟ හා සඳ එළිය වැනි ස්වාභාවික බලවේගයන් ද ඇතැම්විට අපට ඉතා ප්‍රයෝජනවත් වුණද ඇතැම්විට ඒවාම අපට හානිදායක විය හැකියි. මෙලොව හැමතින්ම හොඳවූත් හැමතින්ම නරකවූත් කිසිවක් නැත. එක් පිරිසක් හොඳයයි වැළඳගන්නා දෙය තවත් පිරිසක් ප්‍රතික්ෂේප කරති. එබැවින් හොඳ නරක තීරණය වන්නේ අපගේ අවශ්‍යතාවය අනුවයි. ස්වභාවයෙන්ම කිසිවක්, හොඳවන්නේත් නරක් වන්නේත් නැත. බුදු දහම අනුව ලොව එකම පොර පිටියකි. ඔබද එහි කොටස් කරුවෙකි.

ජීවිතයේ පැවැත්ම හා ඉන්ද්‍රියන් පිනවීම සඳහා බලවත් ආසාවකින් ඔබ පෙළෙන්නේ නම් මෙම විපර්යාස වූ ලොව තුළ අඛණ්ඩ වූ පැවැත්ම වෙනුවෙන් මානසික අසහනය නමැති විශාල වන්දියක් ඔබ ගෙවිය යුතුය. “මමය මාගේය” යන වැරදි හැඟීම නිසා, සදාකාලික ජීවිතයක් හා ඉඳුරන් පිනවීමේ බලවත් ආසාවකින් මනස විකෘතියට පත්වෙයි. නොසන්සිඳුණු ආසාවන් නිසා ගැටලු කලිකලහ, විරෝධතා, සන්නිවේදන දුර්වලතා, දුක්ඛිය, තනිකම හා සාංකාව ආදිය ජනිත වෙයි. මේවායින් නිදහස්වීමක් නම් නැත.
ඔබගේ මානසික අසහනය අවමකර ගැනීමට නම් ඔබගේ ආත්මාර්ථකාමී තෘෂ්ණාව අඩුකර ගත යුතුය. ජිවිත ගමනේදී තුංමංහන්දි හමුවේ ඔබ හරිමඟ තෝරාගන්නේ නම්, ඔබගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ජීවන ගැටලු නිරාකරණය කර ගැනීමටත් ඉඳුරන් පිනවමින් ආසාවන් හසුරුවාලනු ලබන්නේ නම් ඒවායින් පැනනගින ගැටලුවලින් පීඩනයට පත්වීමටත් සිදුවෙයි.

ඔබට මුහුණපෑමට සිදුව ඇති ගැටලුවලට මෙන්ම දුක් කරදරවලට අන් අය මුහුණ දී ඇති ආකාරය සලකා බැලීම ද ඔබගේ මානසික පීඩනය අඩුකර ගැනීමට එක් මඟක් වේ. ඔබ අසහනයෙන් පීඩා විඳින විට මුලු ලොවම ඔබට එරෙහිවී ඇතැයි ඔබ කල්පනා කරයි. මුළු ජීවතයම බිඳ වැටී ඇතැයිද අවසානය ළංවී ඇතැයිද සිතයි.
කෙසේ හෝ වේවා ඔබ වටා ඇති දේවල් සම්බන්ධව චිත්‍රයක් මවාගෙන ඒවායින් ඔබට ආශිර්වාද පිණිස පවත්නා දේවල් වෙන්කොට ගතහොත් පුදුමයකට මෙන් ඔබගේ ජීවිතය වෙනත් බොහෝ මිනිසුන්ට වැඩියෙන් වාසනාවන්ත බව පෙනී යයි.

“දෙපානැති මිනිසකු හමුවනතුරු මට පාවහන් යුගලක් නැතැයි මම මැසිවිලි නගමින් සිටියෙමි” යන කියමනත් ඔබ සමහරවිට අසා ඇත. කෙටියෙන් කියතොත් ඔබගේ ප්‍රශ්න හා බැරි අමාරුකම් පිළිබඳව වුවමනාවට වැඩියෙන් කතාකරනවා විය හැකියි. ඇත්ත වශයෙන් අන් අයගේ ප්‍රශ්න වඩ වඩාත් බරපතළ වුවද ඔවුන් තමන් ගැන වුවමනාවට වැඩියෙන් කනගාටුවන්නේ නැත. ප්‍රශ්න එසේම තිබුණාවේ. කනගාටුවී මනස්තාපය වැඩිකරගනු වෙනුවට ප්‍රශ්න විසඳා ගැනීමට උනන්දුවන්න. ප්‍රශ්න විසඳාගැනීම සම්බන්ධව චීන ජාතිකයන් සතුවූ ප්‍රායෝගික කියමනක් මෙසේය.

“ඔබට විශාල ප්‍රශ්නයක් ඇත්නම් එය කුඩා ප්‍රශ්නයක් බවට හරවා ගන්න. ඔබට කුඩා ප්‍රශ්නයක් ඇත්නම් එය ප්‍රශ්නයක් නොවන ආකාරයට අවමකර ගැනීමට කටයුතු කරන්න.”
ඔබගේ ප්‍රශ්න අවම කරගැනීමට ඇති තවත් මඟත් නම් මීට පෙර සමාන අවස්ථාවකට හෝ මීට වැඩි බරපතළ ප්‍රශ්නවලදී ඔබ ඒවාට මුහුණදුන් ආකාරය මෙනෙහි කිරීමය. ඔබගේ ඉවසීමත්, උනන්දුවත්, උත්සාහයත් යොදාගැනීමෙන් දැනට විසඳුම් නැතැයි ඔබට පෙනීයන බරපතළ ප්‍රශ්න පවා විසඳාගත හැකියි. එසේ කටයුතු කරනවිට දැනට ඔබ මුහුණදෙන ගැටලුවලට ඔබ යටපත් කිරීමට ඉඩ නොලැබෙයි. ඒ නැතත් ජීවිතය ගැන අලුත් දෘෂ්ටිකෝණයකින් සලකා බැලීමෙන් ඔබ මුහුණදෙන කවරආකාරයේ බරපතළ දෙයක් වුවද විසඳා ගැනීමට ඔබ සමත්වෙයි.

ඔබ මීට පෙර මීට වඩා බරපතළ ප්‍රශ්නවලට මුහුණ පා ඇති බවත්, ඉදිරියට එන ඕනෑම තත්ත්වයකට සාර්ථකව මුහුණ දෙන බවත් තේරුම්ගන්න. මේ අන්දමින් ප්‍රබල මානසික රාමුවකින් යුක්තව සිටීමේදී ඔබට යළිත් ප්‍රබල ආත්ම ශක්තියක් ලැබී සියලු ප්‍රශ්න යහතින් විසඳා ගැනීමට හැකිවෙයි.
ඔබ මුහුණ දෙන කිසියම් ගැටලුවක් වෙයි නම් නිසැකවම එයට විසඳුමක් ද ඇත. එහෙයින් දුක්වන්නේ ඇයි? අනික් අතට ඔබගේ ප්‍රශ්නයට විසඳුමක් ඇත්තේම නැතිනම් ඔබගේ දුක්වීමෙන් කිසිදු පලක් නැත. දුක් වීමෙන් ප්‍රශ්න විසඳාගැනීමට කිසිදු පිටුබලයක් නොලැබෙයි.
සියලු අය එක හා සමාන හොඳ අය නොවේ.
අනුන්ට කරදර නොකරන අහිංසකව ජීිවත්වන මිනිසුන්ට අන් අයගේ කපටිකම් හා ප්‍රයෝගකාරී වැඩ නිසා කරදරවලට මුහුණපෑමට සිදුවන බවට පැමිණිලි ලැබේ. කිසිදු වරදක් නොකර තමන් හිංසා පීඩාවට පත්වීම නිසා හොඳින් ජීවත්වීම නිෂ්ඵල වැඩකැයි ඔවුහු සිතති. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් උද්ගත වූ විට ඒවායේ ගොදුරු බවට පත්වූ අහිංසකයන් “ මෙම ලොව සියලුම වර්ගවලට අයත් මිනිසුන්ගෙන් සැදී ඇති බව කල්පනාවට ගත යුතුය. හොඳ හා ඉතා හොඳ නොවන නරක හා ඉතා නරක නොවන යනාදී අසාමාන්‍ය චරිත ලක්ෂණවලින් යුත් අයගෙන් ලෝකය සමන්විතවන බවත්, සිතාගතයුතුය. තමන් මෙයින් හොඳ පිරිසට අයත් යැයිද, සාමයට බාධා කරන කදරකාරයන් නරක පිරිසට අයත් යැයිද මෙම නරක පිරිසට අයත් කෙනෙකුගේ වරදක් ඇතැම්විට ඉවසා සිටීමට සිදුවේ යයි ද සිතා තමන්ගේ සිත් සනසාගත යුතු වේ.

මෙහිදී අපි මොහොතකට “හොඳ හා පරිස්සම් සහිත රියැදුරකුගේ හා නරක හා පරිස්සම නැති රියැදුරකුගේ තත්වය ගෙන බලමු. හොඳ හා පරිස්සම් සහිත රියැදුරු තැන පරිස්සමින් රිය පැදවීමට සෑම වෑයමක්ම දරද්දීත් ඔහුට ද අනතුරුවලට මුහුණදීමට සිදුවෙයි. ඔහුගේ කිසිදු වරදක් නැත. වරද ඇත්තේ නරක රියැදුරුගේය. මේ අන්දමින් සලකා බලනවිට හොඳ අයටද හොඳින් කටයුතු කළ ද කරදර වලට මුහුණ පෑමට සිදුවන බව පෙනේ. ඒ නරක හා අපරීක්ෂාකාරී පුද්ගලයන් අප අවට සිටින බැවිනි. එහෙයින් ලෝකය හොඳද නැත. නරකද නැත. සාන්තුවරයින්ගෙන්ද, මෝඩයින්ගෙන්ද, අවබෝධයක් ලැබූ අයගෙන්ද සමන්විත වෙයි. එකම මැටි පිඩකින් ලස්සන හා අවලස්සන දේද ප්‍රයෝජනවත් හා අප්‍රයෝජනවත් දේද සලසාගත හැකියි. හොඳ කලයක් තැනෙන්නේ කුඹල්කරුවාගේ ද දක්ෂතාව නිසා මිස මැටි පිඩුවක හොඳ නිසා නොවේ. ඇත්ත වශයෙන්ම කුඹල්කරුවා ඔබමය. ඔබ තුළ ජනිතවන සන්තුෂ්ටියේ හෝ මනස්තාපයේ නියම වාත්තුකරුවා ඔබමය. ඔබ සොයන දෙය ඔබට ලැබේ.

මෙම ලිපිවල දී ඇති උපදෙස් මැනවින් ප්‍රගුණ කරන්නේ නම් ඔබගේ කරදර සියල්ල මැඩපවත්වා ගැනීමටත්, ඔබ සොයන සාමය සතුට හා සැනසීම ලබාගැනීමටත් ඒකාන්තයෙන් හැකි වෙයි. සැමවිටම ඔබගේ ආරක්ෂාව සඳහා මෙහි විශේෂයෙන් දක්වා ඇති මූලධර්ම අනුගමනය කරන්න.

2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment