බුදු ඇසට ලක් වූ අය
කපිල වස්තුවෙදි නන්ද කුමාරය පැවිදි වුනේ ඔටුණු පැළඳීම,ගෙවදීම, ජනපද කල්‍යාණිය ආවාහකර ගැනීම කියන උත්සව තුනක් සූදානම් කරල තියන වෙලාවක. බුදුරජාණන් වහන්සේ සමග මාළිගාවෙ ඉඳල විහාරයට යද්දි ජනපද කල්‍යාණිය නන්ද කුමාරයට කිව්ව ඉක්මනින් ආපහු එන්න කියල
. නන්ද කුමාරය පැවිදි වුනාට පස්සෙ ජනපද කල්‍යාණිය කියපු වචනය නිතර නිතර සිහියට නැගුන. නන්ද හාමුදුරුවන්ට දැනුනෙ ඇය තමන් ඉදිරියෙ ඉන්නව වගේ. මේ නිසා නන්ද හාමුදුරුවන්ගෙ හිතේ කාමච්ඡන්දය කාම ආසාව හොඳටම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත. බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුවො දෙව්ලොවට රැගෙන ගියා. දෙවඟනන් දැකපු නන්ද හාමුදුරුවන්ගෙ හිත මානුෂික කාමයෙන් දිව්‍යකාමයක් බවට පත්වුනා.
බුදුරජාණන් වහන්සේ දැක්ක නන්ද හාමුදුරුවන්ගෙ හිත බාහිරව කාමයට බර උනත් අභ්‍යන්තර වශයෙන් නෙක්ඛම්ම ආසයට බර බව. උන්වහන්සෙ උපක්‍රමශීලීව එම නෙක්ඛම්ම ආසය මතුකර ගැනීමට නන්ද හාමුදුරුවන් යොමු කළා. අවසානයෙදි දිව්‍ය කාමයන් එපා වුනා. උන්වහන්සෙ රහතන් වහන්සෙ නමක් බවට පත්වුනා.
අංගුලිමාල අද තමන්ගෙ මව මරණයට පත්කරල ගුරු පූජාව සිද්ධ කරනව. එහෙම වුනොත් මව මැරීම නිසා ආනන්තරිය පාපකර්මයක් කර ගන්නව. ඒක අයිති වෙන්නෙ කම්මාවරණයට
මිනිසුන් සිය ගණනක් මරල ඇඟිලි මාලයක් හදාගෙන ව්‍යාපාද සිතින් සෑහෙන කාලයක් ගත කළත් අංගුලිමාලගෙ හිත අව්‍යාපාද ආසයෙන් යුක්ත බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක. උන්වහන්සෙ අංගුලිමාල වෙත වැඩම කළා. නවතින්න මහණ කියල නැවතුණු අංගුලිමාල වඩින බුදුරජාණන් වහන්සේට කිව්ව. ඒ වෙලාවෙ මම නැවතිලා ඉන්නෙ. ඔබ නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
අංගුලිමාලගෙ හිත මේ වචනයට ඇදිල ගියා. එහි තේරුම විමසුව. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා අංගුලිමාල පැවිදි වුනා. පසුව රහතන් වහන්සෙ නමක් බවට පත්වුනා.
බූමාටු ගණයට අයිති ආලවක යක්ෂයගෙ භවන පිහිටල තිබුණෙ අලව් නුවර නුගරුකක් ඇසුරු කරගෙන, මද්දහන් වෙලාවට ඒ කියන්නෙ ඉරමුදුන් වෙලාවට මේ නුග ගහේ හෙවනැල්ල වැටෙන සීමාවට ඇතුල් වෙන අය අනුභව කරන්න යක්ෂයට වරමක් අවසරයක් ලැබිල තිබුණ.
දවසක් සතුන් දඩයමේ ගිය අලව් රටේ රජතුමා මේ නුග ගහේ කතාව දන්නෙ නැති නිසා විඩා සංසිඳුව ගන්න නුග ගහ යටට ගියා. මේ යකා රජතුමාව අල්ල ගත්ත. දිනපතා මිනිසකු බැගින් එවන පොරොන්දුව පිට රජතුමාට නිදහස ලැබුණ. පොරොන්දුව හරියටම ඉටුවුනා. කාලයක් ගතවුනා. දවසක් යක්ෂයාට යවන්න කවුරුවත් හිටියෙ නෑ. රජතුමාට සිදුවුනා දවසකට හරි තමන් බේරිලා තම පුතාව යක්ෂයාට යවන්න. දරුව යවන්නෙ අලුයම් වෙලාවෙ නුගරුක මුලට.
මේ සිදුවීම වෙන්න පෙරදින අලුයම බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමාපත්තියට සම වැදුන. ඊට පස්සෙ එයින් ඉවත්වෙලා බුදුඇසින් ලෝ සතුන් දෙස බැලුව. ඒ වෙලාවෙ බුදු ඇසට පෙනුන ආලවක යක්ෂයට සෝවාන් වෙන්න හැකියාව තියන බව. ඒ වගෙම අලව් රටේ රජතුමාගෙ පුතාට අනාගාමි වෙන්න හැකියාව තියන බව. තවත් බොහෝ දෙනාට ධර්මාවබෝධය වෙන බව.
ඒ නිසා එදා හවස සැවැත් නුවර ජේතවනාරාමයෙ ඉඳල යොදුන් තිහක් දුරින් පිහිටල තිබුණ අලව් රටට වඩින්න ඉර බැහැගෙන යන වෙලාවෙ පිටත් වුනා. රාත්‍රිය ගත කළේ ආලවක යක්ෂයගෙ භවනෙ. යක්ෂයා නොයෙක් උපක්‍රම යෙදුව බුදුරජාණන් වහන්සෙ විනාශ කරන්න. ඒත් බැරිවුනා. අන්තිමට ප්‍රශ්න ඇහුව. උන්වහන්සෙ පිළිතුරු දුන්න. අලුයම් කාලෙ වෙනකොට යක්ෂයා සෝවාන් වුනා.
මේ වෙලාවෙ තමයි අලව් රටේ රජතුමාගෙ පුතා යක්ෂයගෙ අතට දුන්නෙ. දැන් අලව් යකා මිනී මස් කන්නෙ නෑ. ඒ නිසා රජකුමාරය බුදුරජාණන් වහන්සෙට දුන්න. මේ දරුව ලොකු මහත් කරල ආපහු මටම ගෙනත් දෙන්න කියල බුදුහාමුදුරුවො රාජකුමාරය රාජපුරුෂයන්ට දුන්න. මේ විදියට අතින් අතට මාරුවුන නිසා තමයි රජකුමාරයට හත්ථාලවක කියන නම ඇතිවුනේ.
කුමාරය ලොකුවුනාට පස්සෙ බුදුහාමුදුරුවො ළඟට යැව්ව. කුමාරය බුදුහාමුදුරුවොත් භික්ෂු සංඝයාත් ඇසුරු කළා. ධර්මය ඉගෙන ගත්ත. අනාගාමි වුනා. ඔහුට උපාසකවරු පන්සියයක් හිටිය. පසු කාලෙක බුදුරජාණන් වහන්සෙ සතර සංග්‍රහවස්තුවෙන් පිරිස් සතුටු කරන උපාසකයන් අතර හත්ථාලවක උපාසක තුමා අගතනතුරට පත් කළා.
ආලවක යක්ෂයා නිතරම ව්‍යාපාදය ඇසුරු කළත් ඔහු තුළ අව්‍යාපාද ආසය ඇති බව බුදු ඇසින් දුටු නිසා තමයි සෝවාන් වීමට හැකි වුනේ.
අජාසත් රජතුමා රාජ්‍ය ලෝභයෙන් බිම්බිසාර පියරජතුමා මරණයට පත්කළා. ඊට පස්සෙ අජාසත් රජතුමා බොහෝ දුකට පත්වුනා. සිත සනසා ගැනීමට සුදුසු කෙනෙකු ගැන විමසුව. ජීවක වෛද්‍යවරයා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ හමුවීම සුදුසුයි කියල. ඒ අනුව රජතුමා උන්වහන්සේව හමුවුනා. මේ ජීවිතයෙදි ලැබිය හැකි මහණකමේ ප්‍රතිඵල තියනවද කියල ප්‍රශ්නයක් ඇහුව රජතුමා. බුදු හාමුදුරුවො පිළිතුරු දුන්න තියනව කියල. මේ දේශනාව දීඝනිකායෙ හඳුන්වල තියෙන්නෙ සාමඤ්ඤඵල සූත්‍රය කියල.
දේශනාව අවසානෙදි රජතුමා ආපහු ගියා හිතේ දුක සන්සිඳුනා. ඒ වෙලාවෙ බුදුරජාණන් වහන්සෙ දේශනා කළා මහණෙනි, අජාසත් රජතුමා පියා නොමැරුව නම් මේ බණ අහපු ආසනේදීම සෝවාන් වෙන්න තිබුණ කියල.
අජාසත් රජ සෝවාන් වෙන්න හැකියාව තිබිලත් පියා මැරීම නිසා ආනන්තරිය කර්මය කරගත්ත. කර්මාවරණයට හසුවුනා. අභව්‍ය පුද්ගලයෙක් වුනා.
2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment