Labels

Saturday, September 12, 2015

ලාදුරු රෝගියෙක් මහා කාශ්‍යප හිමිට දන් පුදා දෙව් සැප ලබයි


මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සෑම දිනකම වාගේ පිඬු සිඟා වඩින්නේ දුගී දුප්පතුන් බහුලව ගැවසෙන අන්ත අසරණ රෝගීන්ගෙන් පිරුණු මාර්ගවලයි. ඒ උන්වහන්සේගේ සිරිතයි.
මේ අතර එක් දිනක් මහා කාශ්‍යප මහ තෙරණුවෝ පෙරවරුවෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන නුවර දුප්පතුන් බහුල එක්තරා වීථියක පිඬු සිඟා වැඩියහ. එසේ වඩින අතරතුර එක්තරා පෙදෙසකදී ලාදුරු රෝගය වැළඳීම නිසා අතිශයින්ම දුර්වල ව ආහාර ගනිමින් සිටි අසරණ රෝගියකු දැක, මොහුට පිහිට විය යුතු ය’යි සිතා ඔහු වෙත වැඩම කළහ.

තෙරුන් වහන්සේ දුටු ඒ අසරණ රෝගියා ‘ආර්යන් වහන්සේ මා වෙත වැඩියේ මගෙන් දන් ලබාගැනීමට විය යුතු යි. අහෝ! දුගී වූ මා මුන්වහන්සේට කුමක් පුදන්නද? පුදන්නට ඇත්තේ කමින් සිටි මේ ආහාරයේ අනුභව නොකළ කොටස පමණයි. දැන් කුමක් කරන්න ද? මෙය වත් පුදමි. පුදා පින් සිදු කර ගනිමි’ යි සිතා කමින් සිටි ඒ ආහාරයේ හොඳ කොටස කඩා කුණු වී ගිය අතින් ගෙන මහත් සැහැදැ සිතින් යුතුව මහ තෙරුන් ගේ පාත්‍රයට පිදුවේය. ඒත් සමඟම කුණු වී ගිය ඔහු ගේ එක් ඇඟිල්ලක් සැරොවත් සමඟින් පාත්‍රය තුළට වැටුණි.
මෙය මහා කාශ්‍යප තෙරුන් මෙන්ම ඒ අසරණයා ද දුටුවේ ය. එකල්හි ඒ අසරණ පුරුෂයා අතිශයින්ම නොසන්සුන් වී ‘අහෝ! දෙවියනේ මේ කුමක් සිදුවූවා දැ’යි කියා දුකට පත්ව බිම බලා ගෙන ගැහි ගැහී සිටියේය.

අසරණයා ගේ සිත දුටු මහා කාශ්‍යප මහ තෙරණුවෝ ‘මොහු පිදූ දනෙහි අනුසස් වර්ධනය කරන්නෙමි’ යි සිතා කිසිවක් නොපවසා අසල පිහිටි ගෘහ බිත්තියක් සමීපයට වැඩම කර පාත්‍රයෙහි වූ සැරොව සහිත කුණු ඇඟිල්ල පසෙකින් තබා ඒ ආහාරය වළඳන්නට පටන් ගත්හ. ආර්ය ඍද්ධියේ උත්කෘෂ්ට භාවයට පත් උන්වහන්සේට අතිශයින්ම පිළිකුල් සහගත වූ ඒ නීරස ආහාරය වළඳන කල්හි ද වැළඳූ පසුවද කිසිඳු පිළිකුලක් නොවුණි.

මෙය දුටු අසරණ පුරුෂයා ‘අනේ! මෙය මොනතරම් පුදුම සහගතද? මා වැනි රෝගී දුගියෙකු පිදූ කටුක ආහාරය පවා කිසිදු පිළිකුල් බවක් නැතිව මුන්වහන්සේ වළඳන සේක. මෙය මගේ වාසනාවය’යි කියා මහත් වූ සතුටට පත් විය.

මහා කාශ්‍යප තෙරණුවෝ දන් වළඳා දෙව්ලොව සැපතට මොහුට මෙය ප්‍රමාණවත් වන්නේය’යි සිතා හුන් තැනින් නැගී සිට වැඩම කළහ. අසරණ පුරුෂයා තෙරුන්ට දන් පුදා සිත පහදවා ගෙන නැවත නැවතත් එය මෙනෙහි කර සිත පහදවා ගෙන මරණින් මතු මිනිස් කය හැරදමා දෙව්ලොව ඉපිද අප්‍රමාණ දෙව් සැප දෙව්සිරි ලැබුවේය. මහා කාශ්‍යප තෙරණුවෝ මෙසේ වඳාරති.

“එක් දිනක් මම වන සෙනසුනෙන් නික්ම නගරයට පිඬු සිඟා වැඩියෙමි. එසේ වඩින කල්හි ආහාර ගනිමින් සිටි එක්තරා ලාදුරු රෝගියෙකු දැක ඔහු වෙත වැඩියෙමි.
එවිට ඒ අසරණ රෝගියා තමා කමින් සිටි ඒ ආහාරය කුණු වී ගිය අතින් ගෙන සැදැහැ සිතින් යුතුව මගේ පාත්‍රයට පිදුවේය. ඒත් සමඟ ම කුණුවී ගිය ඔහුගේ එක් ඇඟිල්ලක් විෂ සැරොවත් සමගින් පාත්‍රය තුළට වැටුණි. මම මෙය දුටුවෙමි. එහෙත් කිසිවක් නොපැවසුවෙමි. කිසිවක් නොපැවසූ මම අසල පිහිටි ගෘහ බිත්තියක් ළඟට ගොස් පාත්‍රය තුළවූ ඒ කුණු ඇඟිල්ල පසෙකින් තබා ඒ ආහාරය වැළඳුවෙමි. එය වළඳන කල්හි ද වැළඳූ පසුව ද මට කිසිඳු ආකාරයේ පිළිකුලක් නොවුණි.


2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment