සමාජයේ බොහෝ බෞද්ධයෝ ධර්ම දේශනා ශ්‍රවණය කරති. භික්ෂූන් වහන්සේලාත් ධර්ම දේශනා කරති. සමහරු ධර්ම දේශනා පින්කම්මාලා වශයෙන් බොහෝ මුදල් වියදම් කොට පවත්වති.
එබඳු ධර්ම දේශනා කාලීන ධර්ම දේශනා, විචිත්‍ර ධර්ම දේශනා, කාව්‍ය ධර්ම දේශනා යනුවෙන් ද හඳුන්වති. එහෙත් ඒ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ධර්ම රසයක් විඳීමට හෝ ශාස්ත්‍රීය වශයෙන් ධර්මාවබෝධයක් ලබා ගැනීමට පුළුවන්ද? යන්න මඳක් සිතා බැලිය යුතු ය. ඒ නිසාවෙන් ශාස්ත්‍රීය වශයෙන් ධර්ම දේශනාවක් පැවැත්විය යුත්තේ, ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද? යන්න මෙම ලිපියෙන් පහදා දීම අරමුණ වේ. ඉන් අනතුරුව ශාස්ත්‍රීය වශයෙන් ධර්ම දේශනාවක් සකස් කර ගැනීම සඳහා පහසු වන සේ තෝරාගත් සූත්‍ර ධර්මයක් අනුව බණ කොපියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.)
ධර්ම දේශනයක් පවත්වන්න කලින් දේශකයන් වහන්සේ ‘අනුන්නට ධර්ම දේශනා කිරීම බොහොම අමාරු, අපහසු දෙයක් බව‘ පළමුවෙන් ම වටහා ගත යුතුයි. එය බුදු-හාමුදුරුවෝ ම ලබා දුන් උපදේශයක්. ධර්ම දේශනාවකින් බුදුහාමුදුරුවෝ කරුණු අටක් අපේක්ෂා කළා. ඒ අපේක්ෂා 08 ඉටු කරමින් ධර්ම දේශනා කරන්න හරිම අපහසුයි.
අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ අනුරුද්ධ සූත්‍රයේ ඒ කරුණු අට සඳහන්ව තිබෙනවා.
1. අල්පේච්ඡතාව ඇති කිරීම.
2. සතුට වර්ධනය කිරීම.
3. විවේක සුවය ඇති කිරීම.
4. ආරද්ධ වීර්යය ඇති කිරීම.
5. එළඹ සිටි සිහිය ඇති කිරීම.
6. සමාධිය ඇති කිරීම.
7. ප්‍රඥාව ඇති කිරීම.
8. පපංච (ප්‍රමාදස්ථාන) නැති කිරීමයි.
මීට අමතරව ධර්ම දේශනා කරන විට සිහි තබා ගත යුතු තවත් කරුණු තුනක් මජ්ක්‍ධිම නිකායේ මඛාදේව සූත්‍රයේ දී සඳහන් වෙනවා.
1. තමන් පෙළදහම (ධම්ම පටිසංවෙදි) හා අටුවා කතා (අත්ථ පටිසංවෙදි) දන්නා බව.
2. අසන්නාටත් පෙළදහම (ධම්ම පටිසංවෙදි) හා අටුවා කතා (අත්ථ පටිසංවෙදි) කියා දෙන බව.
3. දේශනාව අවසානයේ දී දෙදෙනා ම පෙළදහම (ධම්ම පටිසංවෙදි) හා අටුවා කතා (අත්ථ පටිසංවෙදි) අවබෝධ කර ගන්නා බවයි.
අපට සමාජයේ නිතර ම අහන්න ලැබෙන නමක් තමයි ‘ධර්ම කථික’ කියන නම, ඒත් ‘ධර්ම කථික’ නමින් සෑම දේශකයන් වහන්සේ නමක් ම හඳුන්වන්න බැහැ. ‘පංචස්ඛන්ධයේ කළ කිරීම සඳහා හා නොඇලීම සඳහා හා පංචස්ඛන්ධය නැති කිරීම සඳහා ධර්ම දේශනා කරන භික්ෂුව පමණයි ‘ධර්ම කථික’ නමින් හඳුන්වන්න පුළුවන්. (ඒ ගැන තවත් විස්තර සංයුත්ත නිකායේ පඨම හා දුතිය ධම්මකථික සූත්‍ර බලන්න.)
අටුවාචාරීන් වහන්සේලා ධර්ම කථිකයන් වහන්සේලා හතර දෙනෙක් ගැන උගන්වා තිබෙනවා.
1. පේත ධම්මකථික - සමහර දේශකයන් වහන්සේලා යමක් කියන කොට ඉතා ඉක්මණින් ද, තවත් සමහරවිට ඉතා මන්දගාමීව ද කියනවා. ඒ වගේම සමහර දේවල් ශබ්ද නගා මහ හයියෙන් ද, සමහර දේවල් නොඇසෙන තරම් සෙමෙන් ද කියනවා. මේ අය ප්‍රේත ධර්මකථිකයන් ලෙස හැඳින්වූයේ මොවුන්ගේ මුඛ විපර්යාස හරියට ‘නිජ්ඣාම තණ්හික’ ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙකුගේ කටින් පිටවෙන ගින්න හා සමාන නිසයි. ඒ ප්‍රේතයන්ගේ කටින් පිටවෙන ගින්න ටික වෙලාවක් හොඳින් දැල්වෙනවා. තවත් ටිකකින් නිවී යනවා. මේ ප්‍රේතයන්ගේ ගින්නේ අඩු වැඩි මුඛ විපර්යාස වගේ අඩු වැඩි ශබ්දයෙන් මුඛ විපර්යාස කරමින් දේශනා කරන අයයි ‘පේත ධම්මකථික’ නමින් හැඳින්වූයේ.
2. නිග්‍රෝධ ධම්මකථික - සමහර දේශකයන් වහන්සේලා තමන් මූලාශ්‍ර කර ගත්ත ගාථාව හෝ සූත්‍ර පාඨය හා එයට අදාළ ධර්ම විස්තර, අටුවා කතාදිය අමතක කර දමනවා. ඊට පස්සේ බාහිර උපමා නිදසුන් දක්වමින් කෙළවරක් නැති නොයෙක් නොයෙක් දේ කියනවා. නුග ගසක අතු ගිය ගිය තැන මුල් ඇදගෙන ඒ හැමතැන ම අතුපතර වැවෙමින් හැදෙනවා. එවිට ඒ අතු මව් ගසෙන් ඈත් වෙනවා. ඒ නිසයි මූලාශ්‍රය අමතක කරලා බාහිර කතා කියන දේශකයන් ‘නිග්‍රෝධ ධම්මකථික’ නමින් හැඳින්වූයේ.
3. විචිත්‍ර ධම්මකථික – මූලාශ්‍රයට අනුව ම පෙළ දහම දක්වමින්, අවශ්‍ය තැන්වල දී අටුවා කතාත් දක්වමින් ධර්මය දේශනා කරන භික්ෂුවයි ‘විචිත්‍ර ධම්මකථික’ නමින් හැඳින්වූයේ, මෙවැනි දේශකයන් වහන්සේලා ඉතා දීර්ඝ දේශනා කෙටියෙන් ද, ඉතා කෙටි දේශනා දීර්ඝව ද කියා දෙනවා. කිසිම වෙලාවක මූලාශ්‍රයෙන්, ධර්මයෙන් පිට පනින්නේ නැහැ.
4. අග්‍ර ධම්මකථික – අභිධර්මය ගැන දැනුමක් ඇතිව අභිධර්ම මාතෘකා විස්තර කරමින් ධර්ම දේශනා කරන භික්ෂුවයි ‘අග්‍ර ධම්මකථික’ නමින් හැඳින්වූයේ.
ඇත්තටම තමන් දේශනා කරන දේශනය විචිත්‍රවත් වෙන්න නම්, තම දේශනයේ අන්තර්ගතය මෙම කරුණුවලින් ද සමන්විත විය යුතු යි. එවැනි කරුණු දාහතක් පෙන්වා දෙන්න පුළුවන්. අඩුම ගණනේ මෙම කරුණුවලින් හත අටක්වත් ඔබේ දේශනයෙන් ප්‍රකට විය යුතුයි. එතකොටයි ධර්ම දේශනය විචිත්‍රවත් වෙන්නේ.
1. ශ්‍රද්ධාව උපදවයි. - සද්ධා ජනනතො
2. ප්‍රඥාව උපදවයි – පඤ්ඤා ජනනතො
3. අර්ථ සහිතයි - සාත්ථතො
4. බ්‍යඤ්න සහිතයි - සබ්‍යඤ්ජනතො
5. ප්‍රකට වදන් සහිතයි – උත්තානපදතො
6. ගැඹුරු අර්ථ සහිතයි – ගම්භීරත්ථතො
7. මිහිරියි – ඛණ්ණසුඛතො
8. හෘදයාංගමයි – හදයංගමතො
9. තමා උසස් කොට නොදක්වයි – අත්තතුකංසනතො
10. අනුන් හෙළා නොදකියි – අපරවම්භනතො
11. කරුණාබරිතයි – කරුණාසීතලතො
12. ප්‍රඥාව වඩවයි – පඤ්ඤාවඩ්ඪනතො
13. ඉන්ද්‍රිය ගෝචරයි – ආපාථරමණීයතො
14. මැඩීමට සමත් වෙයි – විමද්දක්ඛමතො
15. ඇසීමට සැපයි - සුයමානසුඛතො
16. විමසීමට සිතෙයි – වීමංසියමානතො
17. සියලු අතින් යහපත් වෙයි - සබ්බතොභද්දො
ධර්ම දේශනයක් පැවැත්වීමේ දී මූලිකවම අනුගමනය කළ යුතු විධික්‍රම කිහිපයක් පෙන්වා දෙන්න පුළුවන්.
1. සුදුසු පරිදි අසුන් ගැනීම.
2. පන්සිල් දීම.
3. දේවතාරාධනාව කිරීම.
4. නමස්කරය කීම.
5. මාතෘකා පාඨය කීම.
6. අරමුණ නිමිත්ත කීම.
7. ධර්මානිසංස හා මාතෘකා පාඨය හඳුන්වා දීම.
8. නිදාන කථාදිය කීම.
9. ධර්ම කරුණු විස්තර කිරීම.
10. එම ධර්ම කරුණු ජීවිතයට හා සමාජයට සම්බන්ධ කිරීම.
11. පුණ්‍යානුමෝදනා කිරීම.
12. දෙවියන්ට පින්දීම හා ආශිර්වාද කිරීම.
මේ ආකාරයට ධර්ම දේශනයක් දේශනා කරන්න පුළුවන් නම්, එය තමයි භික්ෂුවක් හැටියට අපේ ජීවිතේ අප ලබන ලොකුම භාග්‍ය හා සතුට. ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඉතා හොඳින් සූදානම් වෙන්න. මූලාශ්‍ර කර ගන්නා මාතෘකාවට අදාළ පෙළ හා අටුවා හොඳින් අධ්‍යයනය කරන්න. අවශ්‍ය තැන්වල දී පාලි පාඨ ඉතා නිවැරදිව භාවිතා කරන්න. හැමවිටම ආමිස ලාභාපේක්ෂාවෙන් තොරව ධර්ම දේශනා කරන්න. එවිට විශ්වයේ පවතින ධර්මයේ ශක්තිය ලැබේවි. මහත් ශාන්තියක් උදා වේවි.
රාජකීය පණ්ඩිත, දර්ශනපති, බලපිටියේ
සිරිසීවලි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ නිකිණි අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
සැප්තැම්බර් 12 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment