Labels

Wednesday, September 23, 2015

භාග්‍යවතුන් වහන්සේ වදාළ දියුණු කළයුතු පැතිකඩ


අපි සියලු දෙනාම කැමතියි මේ ලෝකයේ තිබෙන වඩාත්ම බුද්ධි සම්පන්න, ඤාණවන්ත දෙය අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න.
නුවණ අහිමි කරගන්න මේ ලෝකයේ කවුරුත් කැමැති නැහැ. අප කවුරුත් කැමති නුවණ දියුණු කර ගන්නයි.
දැන් ගත කරන මේ මනුෂ්‍ය ලෝකයේදී අපට හැකියාවක් ලැබිල තිබෙනවා අපේ මානසිකත්වය නොයෙක් නොයෙක් ක්ෂේත්‍රවලට, නොයෙක් අංශවලට යොමු කරල දියුණූුකරන්න පුළුවන්කම. ඒ දියුණුවේ ප්‍රතිඵල අපට අද එක එක ක්‍රමවලට දකින්න පුළුවන්. නමුත් සමහරු මේ මානසිකව දියුණු කරන්න පුළුවන් හැකියාව නරක පැතිවලට දියුණු කරනවා. එවිට ලෝකයාට විශාල හානියකි, පීඩාවක්, ශෝකයක්, කනගාටුවක්, ඇති වෙනවා. නමුත් හොඳට හෝ නරකට මේ බුද්ධිය හසුරුවන්න පුළුවන්කම මනුෂ්‍යයන්ට තියෙනවා.

මනුෂ්‍යයන්ගේ තිබෙන මේ සුවිශේෂි හැකියාව ගැන හොඳාකාර ලෙස අවබෝධ කරගෙන මනුෂ්‍ය ජීවිතයේ ඉහළටම දියුණු කළේ අපගේ බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ අපට මනුෂ්‍ය ජීවිතයේ අප කවුරුවත් නොදන්නා තේරුම් නොගත් පැති ගැන කියා දුන්නා. සමහර විට අප කැමතියි පිටසක්වල ගැන විස්තර අහන්න. අප කැමතියි වෙන ලෝක ගැන තොරතුරු හොයන්න. නමුත් අපේ ජීවිතයේ අභ්‍යන්තරය ගැන කියා දුන්නොත් සමහරවිට ඒකට කැමති නැහැ. එයට හේතුව තමන්ගේ ජීවිතය ගැන කතන්දරේ අහන්න බොහෝ දෙනෙක් කැමැති නැහැ. බොහෝ දෙනෙක් කැමැති අනුන්ගේ ජීවිතේ ගැන අහන්නයි.

අපේ මේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම තිබෙනවා දියුණු කළ යුතු පැත්තක්. ඒ තමා වටහා ගැනීමේ ශක්තිය. එයට කියනවා ඤාණය , බුද්ධිය, ප්‍රඥාව කියා. උන්වහන්සේ දේශනා කළා ප්‍රඥාව තමා මනුෂ්‍යයාට තිබෙන ලොකුම වස්තුව. ඒ කියන්නේ බුද්ධිමත් බවයි. බුද්ධිමත් පුද්ගලයාට දුක ලැබෙන දේවල්වලින් වැළකිලා ස්ථාවර සැපයක් ජීවිතය තුළ දියුණුූ කරගන්න පුළුවන්. මේ හැකියාවඋන්වහන්සේ තුළ සම්පූර්ණයෙන්ම තිබුණා. උන්වහන්සේ බුද්ධිය, ප්‍රඥාව දියුණු කරගත්තා.

ලැබුණ ජීවිතය තේරුම් නො ගත් අය මේ මනුෂ්‍ය ජීවිතයේ එක එක දේ කරනවා. රැකී රක්ෂා කරනවා. දූ දරුවෝ ලැබෙනවා. ගෙවල් දොරවල් හදනවා. සමාජ සේවා කටයුතු කරනවා. මේ සියලු දේ කරගෙන යද්දී අපේ ජීවිතය කෙමෙන් කෙමෙන් වයසට යනවා. වයසට ගියාට අපි නුවණින් මෝරන්නෙ නැහැ. වයසින් මේරුවට අප ප්‍රඥාවෙන් මෝරන්නේ නැහැ. වයසට ගියාට පස්සේ ප්‍රඥාව වැඩෙනවා නම්, නුවණ මෝරනවා නම්, බුද්ධිය පහළ වෙනවා නම්, මේ ලෝකයේ වයසට ගිය සියලු දෙනාම බුද්ධිමත් අය. වයසට ගිය සියලු දෙනාම ප්‍රඥාවන්ත, නුවණ දියුණු කළ අය.

නමුත් අපට පේනවා සමහර අය වයසට යන්න යන්න ඒ අයට නො තිබුණ ප්‍රශ්න ඇති වෙනවා. සමහර විට කේන්ති යනවා. සමහර විට කල්පනා කර කර ඉන්නවා. කීකරු නැහැ. කරන්න කියන ද් නොවේ කරන්නේ. ප්‍රශ්න හදනවා. මේකෙන් අපට පේනවා වයසට යන්න යන්න වෙන්නේ පොඩි ළමයි වෙන එක. වයසට යන්න යන්න වෙන්න ඕන බුද්ධිමත් වෙන එකයි. නමුත් වෙන්නෙ අනෙක් පැත්තයි.
ඊට පස්සේ මේ අය දන්නේම නැතිව එක තැනකට, පුටුවකට ජීවිතය සීමා වෙලා චූටි ළමයි වගේ බොළඳ බවට පත්වෙනවා. මෙසේ වන්නේ දියුණු කළ යුතු පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරල කටයුතු කළ නිසයි. දියුණු කරන්න ඕන පැත්ත අමතක කිරීම තරම් අවාසියක් මේ ජීවිතයේ තවත් නැහැ. දියුණු කරන්න තිබෙන පැත්ත අමතක කරල දැම්මොත් එය අපට විශාල අවාසියක්.

බුදුරජාණන් වහන්සේ ඒ සඳහා වදාළා අපට කය සංවර කරගෙන, වචනය සංවර කරගෙන, සිත පිළිබඳ පාලනයක් ඇති කරගන්න කියන එක. ඒ වගේම බුද්ධිමත් විදිහට කල්පනාව හසුරුවන්න ඕන. අපගේ කල්පනාව බුද්ධිමත් විදිහට හසුරුවන්න පුළුවන් නම් අපට පුළුවන් ජීවිතය ගැන ලොකු ගැඹුරක් දකින්න.
බුදුරජාණන් වහන්සේ වදාළා ඔහු නුවණින් විමසනවා ඇස ගැන. ඇස ස්ථිර එකක්ද? වෙනස් වෙන එකක්ද? කියලා. අපට පේනවා මේ ලෝකයේ ඇස් පෙනීම දුර්වල වෙලා ගිහිල්ලා ඇස සම්පූර්ණයෙන් නැතිවෙලා යනවා. මේ ලෝකයේ සමහරුන්ගේ ඇස්වලට හානි වෙනවා. රිය අනතුරු වුණාම ඇස් ගැලවිලා විසි වෙනවා. එහෙමනම් අපට තේරුම් ගන්න පුළුවන් මේ ඇස අනිත්‍ය එකක්. ඊළඟට කන. කන්වලට අසනීප හැදෙනවා. සමහරු කන්වලට ගහනවා. ගහපුවාම කන් ඇහෙන්නේ නැතිව යනවා. ඊළඟට තුවාල හැදෙනවා. කන සම්පූර්ණයෙන් ම ඇහෙන්නේ නැති අය ඉන්නවා. එහෙමනම් කන කියා හිතන දේ ස්ථිර දෙයක් නෙවේ.
ඊළඟට නාසය. නාසයේ නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. නාසයට නොයෙක් හානි සිද්ධ වෙනවා. එහෙම නම් නාසයත් ඕන වෙලාවක අනතුරකට භාජනය වෙන්න පුළුවන් එකක්.

මේ දිවත් එහෙමමයි. මේ දිවට නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. මේ දිව නොයෙක් වෙලාවට ප්‍රයෝජනයට ගන්න බැරි අවස්ථාවන් එනවා. සමහර අවස්ථාවල සමහර අයගේ ජීවිතවල දිව පාවිච්චි කරන්න බැරි වෙනවා. නහයෙන් බට දාලා තමයි ආහාර සපයන්නේ. ඒකෙන් පේනවා මේ දිවත් අනිත්‍යයි.

ඊළඟට නුවණින් විමසනවා නම් ශරීරය ගැන. මේ ශරීරයට හැදෙන ලෙඩ රෝග ගැන ලැයිස්තුවක් ගන්න කියලා කිව්වොත් දහස් ගණන් නම් වලින් කියන්න ලෙඩ හැදෙනවා. ඉතින් එහෙම නම් මේ ශරීරය වෙනස් වෙන දෙයක් කියලා ඇස්වලට පේනවා නම්, අපි තමන්ගේ ජීවිතය ගැන විමසලා බලන පැත්ත කොච්චර ටිකයිද? මේක තමයි ඇත්ත තත්ත්වය. අප හංගන්න හදන්නෙත් ඒ ඇත්ත තත්ත්වයම යි.

ඊළඟට හිත. හිත සාමාන්‍ය කෙනාට අවබෝධ කරගන්න බැරි නිසා හිත ගැන නොයෙක් මතිමතාන්තර ඇතිකරගෙන තිබෙනවා. අප දන්නවා නුවණ පාවිච්චි කරන කෙනෙකුට පුළුවන් ඇහැට පේන දේවල් විමසලා මේවා මේ වගේ කියා තීරණය කරන්න. හිත ගැනත් නුවණ පාවිච්චි කරන කෙනෙකුට විමසලා අවබෝධ කරන්න පුළුවන් මේක. මේ වගේ එකක් කියලා. එහෙම හිත ගැන විමසීමකින් තොරව පරීක්ෂණයකින් තොරව, සොයා බැලීමකින් තොරව තමා අප හිත ගැන එක එක ඒවා හිතාගෙන ඉන්නේ.
අප කියයි හිත ගැන කියන කොට හිත නිත්‍ය දෙයක්, ආත්මය දෙයක් කියා. මේක තමයි ජීවිතයෙන් ජීවිතයට යන්නේ කියලා. මේ සියල්ල විමසීමෙන් තොරව කියන කතන්දර. බුදුරජාණන් වහන්සේ වදාළා මේ සිත අනිත්‍ය දෙයක්. උන්වහන්සේ හැම දෙයක්ම සකස් වූ දෙයක් හැටියට පෙන්වා දුන්නා. සකස් වු කාරණා පවා උන්වහන්සේ කියා දුන්නා. මේ අනිත්‍ය වූ සිත අප සාමාන්‍ය මට්ටමින් කොහොමද අනිත්‍යයි කියා තේරුම් ගන්නේ. අප දන්නවා අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා කියන එක. නිත්‍යයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක.

මේ හිතේ ස්වභාවය අත්තෙන් අත්තට පනින වඳුරෙක් වගේ කියලයි උන්වහන්සේ වදාළේ. හිතේ ස්වභාවය සිතිවිල්ලෙන් සිතිවිල්ලට මාරු වෙවී යනවා. අදහසින් අදහසට මාරු වෙවී යනවා. එය චිත්ත ස්වභාවයක්. සිතිවිල්ලෙන් සිතිවිල්ලට මාරු වෙවී යන චිත්ත ස්වභාවයක මොකක්ද තිබෙන නිත්‍ය ස්වභාවය. වෙනස් වෙන දෙයක් තිබෙන්නේ.

මේ සියලු දේවල් කරන්න පුළුවන් අපට බුදුරජාණන් වහන්සේගේ සහයෝගය, උපකාරය, පිහිට ලබාගත් විට. අප ලබාගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් බුදුරජාණන් වහන්සේ ගැන කතා කරලා. ධර්මය ගැන කතා කරන්නේ නැත්නම් ඒකෙ තේරුම එය ධර්මය අවබෝධ කරල නැහැ. බුදුරජාණන් වහන්සේ කවුද කියා අවබෝධ කරගන්නේ ධර්මය තුළින්. ඒ නිසා ඒ ධර්මයන් අප අනිවාර්යයෙන්ම කතා කරනවා. ධර්මය ගැන කතා කරලා ශ්‍රාවක පිරිස ගැන කතා කළේ නැත්නම්, එහෙනම් අපි ධර්මය හරියට දන්නේ නැහැ. ධර්මය ගැන කතා කරන පුද්ගලයා ඒක අනුගමනය කරන ජීවිත ගැන කතා කරනවා. එවිට ශ්‍රාවකයෝ ගැනත් කතා කරනවා.

එහෙනම් බුදුරජාණන් වහන්සේ, උන්-වහන්සේ වදාළ ශී‍්‍ර සද්ධර්මය, උන්වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස කියන මේ රත්න තුන. මේ මැණික් තුන මේ ජීවිතයට පුදුම විදිහට ජීවිතය ආලෝකවත් කරන්න උපකාර වෙනවා. එනිසා මුළු හදවතින්ම අපගේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. තමන්ගේ ආධ්‍යාත්මික ගුරුවරයා හැටියට උන්වහන්සේ තෝරගන්න. තමන්ගේ කල්‍යාණ මිත්‍රයා, ගුරුවරයා උන්වහන්සේ කියා හිතන්න. ඒ සඳහා ඔබ සියලු දෙනාට ප්‍රඥාව පහළ වේවා!




 පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 21 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment