ධර්මාශෝක රජ්ජුරුවො බොහෝ වෙහෙර විහාර හදලා ධර්මයට ලැදිව කටයුතු කළත් මරණාසන්න මොහොතේ පවන් සලනවාය කියලා ඇති වුන නොසතුට නිසා ඒ කිළිටි මනසින් මිය ගිහිල්ලා පිඹුරෙක් වෙලා උපන්නයි කියලා සඳහන් වෙනවා. එහෙම උනේ කුමක් නිසාද?
බොහෝ පින් දහම් කරලා තිබුණත් අවසාන මොහොතේ මනස නිසි ලෙස හසුරුවා ගන්නට බැරි නම් නිසි ලෙස පවත්වා ගන්නට බැරි නම් ඒ තැනැත්තාට මරණින් මතු සුගතියක උපදිනවාය කියන එක බොහොම දුෂ්කර දෙයක්
මනුෂ්‍යයින් හැටියට අපි සමගි සම්පන්නව ජීවත් වෙන්නේ ඔවුනොවුන්ගෙන් ලැබිය හැකි සහායක් ලබමින් අපෙන් ඔවුන්ට ලබා දියහැකි යම්කිසි සහයෝගයක් ලබා දෙමින් මනුෂ්‍යකම් වඩවා ගන්නටයි. අපට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ තව කෙනෙක් අපේ සිතැඟි අනුව පවත්වන්න. එබඳු තැන් වලදි අපි පොඩ්ඩක් හිතලා බලන්ට ඕන මට පුළුවන්ද අනුන්ගේ සිතැඟි අනුව ජීවත් වෙන්නට. මට පුළුවන්ද අනුන්ගේ ආකල්ප වලට සර්වාකාරයෙන් නතු වෙන්නට. මට පුළුවන්ද හාත්පසින්ම අනුන් කියන ආකාරයට මගේ ජීවිතය පරිවර්තනය කරන්නට.
එහෙම බැරිනම් අනෙකාටත් මගේ සිතුම් පැතුම් අනුව මගේ ආකල්ප අනුව ජීවත් වෙන්න කීවාට එහෙම කරන්න පුළුන් කමක් නැහැ. එහෙමනම් ඒ ඒ පුද්ගලයා සතුව යම්කිසි විවිධත්වයක් විශේෂත්වයක් අනන්‍යතාවයක් පවතිනවා. මේ පුද්ගල අනන්‍යතාවය හඳුනාගෙන ගැටෙන්නේ නැතුව හැපෙන්නේ නැතුව විවාහ ජීවිතය කුමක් සඳහාද කියන අර්ථය නිවැරදිව වටහා ගෙන ජීවත් වෙනවා නම් ඒ මනුෂ්‍යයින් ජීවිතයක් තුළ ලැබිය යුතු සතුට සහනය සුවය ලබනවා වගේම යහපත් වූ ජීවන ආකල්පයකින් යුක්තව මේ ලැබූ නවාතැනෙන් ගත යුතු උසස් ඵල ප්‍රයෝජන ලබනවා.
ඒ වගේම මරණය පිළිබඳව මිනිසුන්ට තියෙන්නෙත් ඒ හා සමාන අගතිගාමී ආකල්පයක්. ජීවිතය ආශ්වාදජනකව භුක්ති විඳින නිසාම මරණය පිළිබඳව කල්පනා කරන කොට අශුභවාදීවයි සිතන්නේ.
මරණයෙන් සියල්ලක්ම නිම වෙනවා වැනි එක්තරා උච්ඡේදවාදී ආකල්පයක ගැලී සිටිනවා. පෙර දඹදිව පමණක් නෙමෙයි අදටත් මේ ලංකාවෙ එබඳු උච්ඡේදවාදී මත දරන බොහෝ දෙනා සමාජය තුළ අපට මුණ ගැහෙනවා. එබඳු අය ගෙන් සමහරු කල්පනා කරන්නේ ඊළඟ භවය තියනවාද නැද්ද කියලා අපි දන්නෙ නැහැනෙ. ඒ නිසා මෙතනින් මැරුණට පස්සේ මේ සියල්ලෙන් අපි නිදහස් වෙනවා කියන විදිහේ ශුභවාදී ආකල්පයක් ඇති කරගෙන එක්තරා අන්තයක ගිලී සිටිනවා. තව සමහර කෙනෙක් කල්පනා කරනවා මරණයෙන් පසු මා සන්තක සියල්ල මට අහිමි වෙනවා. මගේ කයත් මට අහිමි වෙනවා. මගේ බිරිඳ මගේ සැමියා මගේ දූ දරුවන් මගේ ඤාතීන් හොයා සපයපු සියල්ලක්ම මට අහිමි වෙනවා යනුවෙන් එක්තරා අශුභවාදී ආකල්පයක් ඇති කර ගන්නවා. මෙයින් පළමු තැනැත්තා මරණය ශුභවාදීව දකිමින් ජීවිතයෙන් ලැබිය යුතු ඵල ප්‍රයෝජන නොගෙන සියල්ල මරණයෙන් අහවර වෙනවාය කියන නිදහස් හැඟීමෙන් මරණයෙන් පස්සේ කය අහෝසි වුනාට චිත්ත පරම්පරාව භවයට බැඳී පවතින නිසා නැවත උපදිනවා. සසර ගමනට සිද්ධ කරගත් කුසල් දහමක් නැති නිසා වැඩූ මනසක් නැති එබඳු අය දුකට දොම්නසට පීඩාවට හෝ සතර අපායටට පතිත වෙන්නට තියන ඉඩ කඩ වැඩියි.
ඒ වගේම මරණය පිළිබඳව අශුභවාදී ආකල්පයක් තියෙන්නා වූ තැනැත්තා ඒ අශුභ ආකල්පය නිසා මරණය ගැන සිතනකොටත් මහ තැති ගැනීමකින් භීතියකින් පලා යන්නට උත්සාහ කරනවා. කොතෙක් පලා යන්නට උත්සාහ කළත් ඒ තැනැත්තාට මේ මරණයෙන් පලා යන්නට බැරි බව තථාගතයන් වහන්සේ නොයෙක් තැන දේශනා කළා. අවසානයේ එයට මුහුණ දෙන්නට සිදධ වෙනවා, නමුත් එයට මුහුණ දෙද්දී සියල්ල මට අහිමි වෙනවා, සියල්ල මට නැති වෙනවා කියන මේ වැරදි ආකල්පය නිසා තැති ගන්නා වූ මනස පහත් තැනක ජනිත වෙන්නට, අපා ගතික වෙන්නට තියන ඉඩ වැඩියි. කුමක් නිසාද ඒ විදිහේ මරණ භීතියෙන් තැති ගන්නේ? මරණයෙන් තමන් සතු සියල්ල අහිමි වෙනවා, ඊළඟට මට කුමක් වේදෝ කියන මේ අවිනිශ්චිත ස්වභාවය නිසා. ඇයි මෙහෙම වෙන්නේ? මරණය පිළිබඳ නිවැරදි ආකල්පයක් නැති නිසා.
ඇත්තටම මරණය කියන්නේ කුමක්ද? භවයෙන් භවය එක් එක් කය දරමින් එක් එක් නවාතැන් වල ජීවත් වෙමිනුයි අපි මේ සසර පවත්වාගෙන යන්නේ. මේ මනුෂ්‍ය කය කියලා කියන්නේ ඒ අතර ලැබූ තවත් එක නවාතැන් පොළක් පමණයි. මෙයින් ඉවතට ගියාය කියලා සියල්ල අහෝසි වෙන්නේ නෑ අපි තව දුරටත් මේ සසරෙහි පවතිනවා. අපේ විඤ්ඤාණ පරම්පරාව නැවත නැවත තවත් ආත්ම භාවයක ජනිත වෙලා දුක් සැප වින්දනය කරනවා.
පෙර භවයේ අපි මියගිහින් මේ භවයට පැමිණුනාට පස්සේ අපට කවදාවත් හිතිලා තියනවද අපේ පෙර භවයේ මව් පියන්ට මොකද වුනේ? දරුවන්ට ඤාතීන්ට මොකද වුනේ? මගේ ධන සම්පත් වලට මොකද වුනේ? මගේ ඒ භවයේ දරුවන් සුවසේ ජීවත් වෙනවද දන්නේ නෑ. මෙහෙම පසු තැවිල්ලක් අපට කවදාවත් ඇති වෙන්නේ නැහැ. අපි මේ ජීවිතය ලැබුවට පසුව මේ ජීවිතයේ මව් පියන් මේ ජීවිතයේ දරුවන් ඇතුව මේ ජීවිතයේ යම්කිසි සමාජ සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන පවතිනවා. මෙතනින් ඉවත් වුනත් මේ භෞතික සියල්ල අහිමි වුනත් අපි සසරේ රැස් කර ගත්තාවූ කුසලාකුසල කර්මයන් අනුව යළි උපදිනවා. ඒ උපදින තැන අලුත් සම්බන්ධතාවයන් ගොඩ නගා ගන්නවා.
එහෙම නම් අපි ඇත්තටම කළ යුත්තේ මේ සියල්ල අහිමි වෙනවා කියලා භීතියෙන් තැති ගැනීම නොවෙයි. ඒ ලබන්නා වූ ආත්ම භාවය සුවපත් කර ගන්නට යහපත් කර ගන්නට අවශ්‍ය විදිහේ කුශලයක් සිහි කරගෙන මනස සැහැල්ලු කර ගන්නයි අපි උත්සාහ කළ යුත්තේ. එවිට මරණ යනු නිදාගෙන පිබිදෙන තරම් සැහැල්ලු දෙයක්. බොහෝ දෙනෙක් ජීවිතයේ බොහෝ පින් දහම් සිද්ධ කරනවා. ඒ කොතෙක් පින් දහම් සිද්ධ කළත් මරණය පිළිබඳව බිය මුසු හැඟීමක් තිබුනොත්, මරණාසන්න අවස්ථාවේ මනසේ යම් දුබලකමක් මතු වුනොත් එයම ඊළඟ භවය දුගතිගාමී වෙන්න හේතුවක් විය හැකියි.
ධර්මාශෝක රජ්ජුරුවො බොහෝ වෙහෙර විහාර හදලා ධර්මයට ලැදිව කටයුතු කළත් මරණාසන්න මොහොතේ පවන් සලනවාය කියලා ඇති වුන නොසතුට නිසා ඒ කිළිටි මනසින් මිය ගිහිල්ලා පිඹුරෙක් වෙලා උපන්නයි කියලා සඳහන් වෙනවා. එහෙම උනේ කුමක් නිසාද? බොහෝ පින් දහම් කරලා තිබුණත් අවසාන මොහොතේ මනස නිසි ලෙස හසුරුවා ගන්නට බැරි නම් නිසි ලෙස පවත්වා ගන්නට බැරි නම් ඒ තැනැත්තාට මරණින් මතු සුගතියක උපදිනවාය කියන එක බොහොම දුෂ්කර දෙයක්.
කුකුල්පනේ සුදස්සි හිමි
2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment