Labels

Monday, September 14, 2015

භව දුක ගැන බුදු වදන්



බුදුන් වහන්සේගේ සියලු දේශනාවල මුලික අභිප්‍රාය වූයේ භවගත සත්ත්වයාගේ දුක නැති කිරීමේ ක්‍රමවේදය ඔහුට පැහැදිලි කිරීමයි. එනිසා නිර්වාණයට දුක්ඛක්ඛය යන පර්යාය නාමයක් ද වේ.
එය මොක්ඛ යනුවෙන් හඳුන්වනු ලබන්නේ ද දුකෙන් මිදීම යන අර්ථයෙන් වන අතර, නිරෝධ යනු ද දුක නැති කිරීම ම වේ. නිවන සැපක් ලෙස සලකනුයේ ද එහි දුක නැති නිසා ය. තමන් වහන්සේගේ පළමු දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයෙන් බුදුන්වහන්සේ හෙළි පෙහෙළි කරන ලද්දේ ද විශ්වයේ සත්ත්වයා විඳින දුක නමැති අත්දැකීම පිළිබඳ සහ එය හට ගැනීමට හේතුවත්, එයින් මිඳීම හා ඒ සඳහා වූ මාර්ගයත් ය. මෙබඳු අවධානයක් දුක පිළිබඳ බුදුදහම යොමු කොට ඇත්තේ දුක හා සැප නමැති මායාවේ සත්ත්වයා මුලා වී ඇති නිසා ය. අනෙක් අතින් භවගත වූ සත්ත්වයා දුකම විඳිමින් දුකෙහිම නිමග්ගනව දුට ම ශාප කරමින් දුක් ඇති දෙයක් ම සොයමින් අනාර්ය වූ පර්යේෂණයක නිරතව ඇති නිසා ය. මේ නිසා ඔවුනට තමා සිටින තැන එනම් භවයත්, එම භවයේ සනාතනික ධර්මතාව මන දුක ජය ගන්නා ආකාරයත් පැහැදිලි කළ යුතු වෙයි.

භවගත වූ සත්වයකුට මුහුණ පෑමට සිදුවන දුක, භව දුක්ඛ නමින් හැඳින්වේ. භවය සමඟ දුක යන අත්දැකීම ද එකට බැඳී ඇත. එකක් අනෙකෙන් වෙන් කොට විග්‍රහ කළ නො හැකිය. අනෙක් අතින් භවය හා ජාතිය හෙවත් ඉපදීම යන දෙකෙන් ජාති දුක්ඛය තේරුම් ගැනීම පහසු වන අතර භව දුක්ඛය තේරුම් ගැනීම එතරම් පහසු නැත. එහෙයින්ම භව දුක්ඛො යන යෙදුම ත්‍රිපිටකයේ බහුලව යෙදී නැත. ඒ වෙනුවට භව තණ්හා, භවනෙත්ති යනාදී පදවලින් භවය විස්තර කොට දුක්ඛ යන කේවල පදයෙන් සමස්ත භවයම දුකක් බව පෙන්වා දී ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස මහණෙනි, ස්වල්පමාත්‍ර වූ ද අශුචි දුගඳ වේ. මහණෙනි, මෙබඳු වූ භවය ස්වල්ප මාත්‍රයක්වත්, ඇසිල්ලක් තරම් කාලයක්වත් වර්ණනා නො කරමි’ යනුවෙන් බුදුරදුන් විසින් කරන ලද ප්‍රකාශය දැක්විය හැකිය. භවය දුකක් වන්නේ කෙසේදැයි ආගමික දාර්ශනික හා මනෝ විද්‍යාත්මක ආදී පසුබිම් ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අවබෝධ කර ගත හැකි ය.

බුද්ධ දේශනාවේ නොයෙක් තැන්වල භව යන්නෙහි දාර්ශනික විග්‍රහය විවරණය කොට ඇත.
 ඉතා කෙටියෙන්
 1. කාමභව,
 2. රූප භය,
3. අරූපභව යනුවෙන් භවත්‍රයක් වේ.
 මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක සය හා අපාය සතර යන ලෝක එකොළහ කාමභව නම් වේ. රූප භවය නම් රූපාවචර බ්‍රහ්ම ලෝක දහසය වන අතර අරූපාවචර බ්‍රහ්ම ලෝක සතර අරූපභව නම් වේ. තවද සඤ්ඤීභව, අසඤ්ඤීභව හා නේවසඤ්ඤීනාසඤ්ඤීභව යනුවෙන් භව තුන් ගැන ද අභිධර්මයේ කියැවේ. එසේම භව ගතික සත්ත්වයන්ගේ වාසස්ථාන නවයක් නව සත්තාවාස නමින් බුදුදහමෙහි ඉගැන්වේ. සම්පූර්ණයෙන් ක්ලේශ ප්‍රහාණය නො කළ සත්ත්වයාට විශ්වයේ කවර හෝ තැනක කර්මානුරූපව ලැබෙන උපත් වලදී ඉහත කී මනුෂ්‍ය දිව්‍ය අසුර පේ‍්‍රත තිරශ්චීන ආදී කවර ස්වරූපයකින් හෝ පෙනී සිටීමට සිදුවේ. සමහර විට මොවුහු ඇත් අස් ආදී මහත් ශරීර ඇතිව පෙනී සිටින අතර තවත් විටෙක පියෙවි ඇසට නො පෙනෙන සූක්ෂම භූත කොටස් ලෙස පෙනී සිටිති. කෙසේ වෙතත් තෘෂ්ණා මාන දෘෂ්ටි සහිතව සංසාරයෙහි වීම හෝ පැවතීම භව යන්නෙන් අදහස් වේ. මෙය සංසාරය ලෙස නම් කිරීමෙහි ද වරදක් නැත. කාම භවය ගත් කල්හී එයට අපාය සතර ද මනුෂ්‍ය ලෝකය ද දිව්‍ය ලෝක සය ද අයත් වේ. නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර යන සතර සතර අපාය යි. අපාය ද එක්සිය සතියකට බෙදා ඇත්තේ ය. මෙම අපායෙහි ඉපදීම වූ කලී අතිශය භයංකාර වූ ආදීනව ඇත්තේ ය.

‘පුඤ්ඤසම්මතා අයා යෙභුය්‍යෙන අපගතොති අපායො’ යනුවෙන් එන විග්‍රහය අනුව යම් තැනක් පුණ්‍යය හෙවත් පවිත්‍ර යැයි කියන ලද අභිවෘද්ධියෙන් පහ වූයේ නම් එය අපාය යි. කෙටියෙන් කිවහොත් සැපයෙන් පහ වූ තැන අපායයි. සතර අපා අතුරෙන් නරකය සංජීවය, කාලසූත්‍රය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය යනුවෙන් අට වැදෑරුම් වේ. මේවායේ දී සත්ත්වයාට මහත් වූ දුක්සමුදායකට මුහුණ පෑමට සිදුවේ. අකුසල කර්ම හේතුවෙන් මෙහි උපන් සත්ත්වයන්ගේ සිරුරු යමපලුන් විසින් කඩ කඩ කොට සිඳිනු ලැබේ. එහෙත් ජීවිතය අවසන් නොවේ. තවත් විටෙක ගිනිගෙන දිලෙන යකඩ පටියකින් පහර දෙති.
ඇතැම්හු අශුචියෙහිම ඉපිද අශුචිම අනුභව කරමින් අශුචියෙහිම මිය යති. මේ අනුව නරක තිරිසන් යෝනිවල අත්දැකිය හැකි වන්නේ දුකම මිස අනෙකක් නොවේ. පේ‍්‍රත හා අසුර යෝනිවල ඇත්තේ ද සැපයෙන් තොර දුක දොම්නස වෙළා ගත් අත්දැකීම්ය. සංයුත්ත නිකායේ යක්ඛ හා මාර වැනි සංයුත්තවලින්ද පේතවත්ථුවෙහි අන්තර්ගත කථාවස්තුවලින්ද එකී සත්වයන් අශුචි, සෙම, සොටු, කැහි ආදිය අනුභව කරමින් විරූපි සිරුරු ඇතිව දුක් විඳිමින් වෙසෙන අයුරු පැහැදිලි වේ. දරුවන් පස් දෙනෙකු සහිතව සිටි පංචපුත්තා නම් ප්‍රේතිය දැක මුගලන් තෙරුණුවන් ඇගෙන් විමසන්නේ.
නග්ගා දුබ්බණ්ණරූපාසි - දුග්ගනධා පූති වායසි
මක්ඛිකාහි පරිකිණ්ණා’ච - කා නූ තවං ඉධ තිට්ඨසි

යනුවෙන් ‘නිරුවත්ව විරූපීව, දුගඳ හමමින්, මැස්සන්ගෙන් ගැවසී සිටින ඔබ කවුද?’ යනුවෙනි. එබඳු වෙනත් කථාවස්තු විමසීමෙන් ද පෙනෙනුයේ මොවුන් ඉතා කෘශව, ඉල්පුණු නහර වැල් ඇතිව, බිම ගෑවෙන තෙක්වැවුණු අපිරිසුදු කෙස් ඇතිව බිහිසුණු පෙණුමෙන් යුතුව, ලේ සැරව අසුචි මුත්‍රාදිය අනුභව කරමින් උමතු වෙසින් සිටි බව ය. මේ අනුව භව දුක්ඛය නම් අතිශයින් බිහිසුණු වූවකි.
සුගති සංඛ්‍යාත මනුෂ්‍ය ලෝකය පින් කිරීමට සුදුසු තැනක් ලෙස පිළිගැනේ. කෘතාධිකාර ඇති බෝසත් ආදි දිව්‍ය ලෝකගත ඇතැම් දෙවි කෙනෙකුට මනුෂ්‍ය ලෝකයෙහි ඉපදීමට ආරාධනා කරන සෙසු දෙවියන් පවසන්නේ ‘ඉතො භො සුගතිං ගච්ඡ’ (භවත්ති, මෙයින් සුගතියට යන්න) යනුවෙනි. එතෙකුදු වුවත් ලෝකය දුක මත පිහිටා ඇත යන්න සනාතනික සත්‍යයකි. මෙහි ජාති ජරා ව්‍යාධි මරණ යනාදි දුක්ඛ දොමනස්සයන් ද, ඝර බන්ධන, වධ බන්ධන, ඥාති පුත්‍ර දාරකාදීන්ගේ ව්‍යසන, රාජභය, චෝරභය, අමනුෂ්‍ය භය, පර්වත ගංගා නදී ආදීන්ගෙන් මෙන්ම වැසි සුළං ආදියෙන් වන්නා වූ ව්‍යසනයෝ ද , සා
පිපාසා දුක්ඛයෝද, පංචස්කන්ධය පෝෂණයට නො හැකි වීමෙන් වන්නා වූ ද දුක්ඛයෝ අනන්ත ය. කාම භවයෙහි ස්වරූපය නම් කාමයන් සොය සොයා යෑමයි. කාමයෙන් භයත් ශෝකයත් නියත වශයෙන්ම ඇති වන බව බුදුහු පුන පුනා වදළාහ. අලගද්දූපම සූත්‍රය, මහාදුක්ඛක්ඛන්ධ වැනි සූත්‍රයකින් මේ පිළිබඳ වැඩි යමක් දැන ගත හැකි ය. මනුෂ්‍ය ලෝකයේ ගෘහ ජීවිතය සම්බාධ සහිත කෙලෙස්වලට ආකාරයක් වූ තැනක් බව ද බුදුන් වහන්සේ වදාළහ. මේ නිසා එක් අතකින් භෞතික කයක් පරිහරණය කිරීමේ දී ඇති වන මෙම දුක්ඛ දෝමනස්සයන්ට පිළියම් සොයා ගත නො හැකි ඇතැම්හු වස විස බී දිවි තොර කරති. ඇතැම්හු ගෙළ වැළ ලා මියෙති,

දිව්‍ය ලෝකයන්හි තත්ත්වය ද මෙසේම ය. දිව්‍යමය ශරීරයක් ඇති අධික ලෙස කාම සම්පත් අනුභව කරන මෙම සත්වයෝ කාමයෙහි මුසපත් වූවෝ වෙති. එහෙයින්ම ඔවුහු ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණය තේරුම් ගැනීමට අපොහොසත් වෙති. එහෙත් කාමයන්ගේ නිත්‍ය ස්වරූපය වන බිය, සැකය, වේදනාව, සන්ත්‍රාසය ඉක්මවා ලීමට මොවුනට ද නො හැකිය. බියට සන්ත්‍රාසයට පැමිණි දෘෂ්ඨි විපර්යාසයට පත් දෙවියන් පිළිබඳ තොරතුරු බෞද්ධ සාහිත්‍යයෙහි සුලබව දැකිය හැකිය. සංයුත්නිකායේ දෙවතා හා දේවපුත්ත සංයුත්තවල මෙයට නිදසුන් බහුලව හමුවේ. අනෙක් අතින් මොහු ද මිනිසුන් සේම දුක නමැති අත්දැකීමෙහි හිමිකරුවෝ ය. අටුවා විවරණවලට අනුව දෙවිවරු කරුණූ හතරක් නිසා දෙව්ලොවින් චුතවෙති. එනම් 1. ආයුෂ ක්‍ෂය වීමෙන් 2. පින් ක්‍ෂය වීමෙන් 3. ආහාර ක්‍ෂය වීමෙන් 4. කෝපයෙන්. එ බැව්, දෙවලොකතො හි දෙවපුත්තා ආයුක්ඛයෙන පුඤ්ඤක්ඛයෙන ආහාරක්ඛයෙන කොපෙනාති චතුහි කාරණෙහි චවන්ති ‘යන ප්‍රයෝගයෙන් තහවුරු වේ. සමහරු දෙව්ලොව සියලු සැප වළඳා එම ආයු ක්‍ෂය වීමෙන් ඉන් චුතවෙති. සමහරු කළ පින් මඳ හෙයින් රජුගේ භාණ්ඩාගාරයෙහි දමන ලද සහල් දෙතුන් නැළියක් මෙන් ම පින් ක්‍ෂය වීමෙන් චුත වෙති. සමරු සිහි මුළා බවින් ආහාර නොගෙන ආහාර ක්‍ෂය වීමෙන් චුත වෙති. තවත් සමහරු අනුන්ගෙ සම්පත් නො ඉවසීමෙන් උපන් කෝපය නිසා චුත වෙති. ආයුෂ හා පින් අවසන් වීමෙන් දෙවියන් දෙව්ලොවින් චුත වන බව පැවසීමෙහි ගැටලුවක් පැන නො නගී. එහහෙත් ආහාර ක්‍ෂය වීමෙන් චුතවේ යැයි කීම, ගැටලුවක් විය හැකි ය. එහෙයින් මෙම ගැටලුව අටුවාකරුවන් විසින් පැහැදිලි කොට .තිබේ.

මිනිසුන්ගේ කර්මජ තෙජො ධාතුව දුර්වල ය. කරජ කාය බලවත් ය. එහෙයින්ම ඔවුන්ට උණුදිය කැඳ ආදි සුළු ආහාරයකින් දින හතක් වුවද යැපිය හැකි ය. එහෙත් දෙවියන්ගේ තේජො ධාතුව බලවත් මෙන්ම කරජ කාය සියුම් දුර්වල වූවක් වෙයි. එහෙයින් එක් වේලක්වත් ආහාර නොගෙන ජීවත්විය නොහැකි ය. දහවල් කාලයෙහි දැවී තැවුණු නෙළුම් පතකට සවස් කාලයෙහි දිය කළගෙඩි සියයක් දැමූවත් ප්‍රාණවත් කළ නො හැකි වනමෙනි. මනෝථදොසිත දෙවිවරුද සිත් දූෂ්‍ය වීමෙන් මෙසේම චුත වෙති. මෙසේ හෙයින් දිව්‍යලෝක ගත සත්වයන්ය අතිශය දුක්ඛ වේදනාවන්ට මුහුණ දීමට සිදුවේ.චන්ද හා සුරියපරිත්ත පිරික්සීමෙන් මෙය තව දුරටත් අනාවරණය වේ. එයින් පැහැදිලි වන්නේ කාම භවය මුළුමනින්ම දුක් සහගත වූවක් වන බව යි.
රූපාරූප භවයන්හි තත්ත්වය ලැබෙනුයේ, ධ්‍යාන සමාපත්ති ලැබීමේ ප්‍රතිඵලයක් හැටියට ය. රූපවචර ධ්‍යාන වැඩූවෝද අරූපාවචර ධ්‍යාන වැඩුවෝද අනාගාමී වූවෝ ද මෙහි වෙති. නිර්වාණය දක්වා වූ සියලු භවික සත්වයන්ගෙ සකල ක්ලේශ ප්‍රහාණය වී නැති හෙයින් කෙලෙසුන් නිසා වන දුක්ඛ මෙම සත්වයෝ ද අත්විඳිති. ඒ අනුව රූප භවයෙහි රූප තණ්හාව නිසා ද අරූප භවයෙහි අරූප තණ්හාව නිසාද බිය දුක් ශෝක පරිදේව ඇතිවේ. බ්‍රහ්මකායික සත්වයන් තුළ කෙලෙසුන් ක්‍රියාත්මක වූ අයුරු පිළිබඳ දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දීර්ඝ විස්තරයක් අන්තර්ගත වෙයි. එමෙන්ම මොවුහු දීර්ඝ කාලයක් ජීවත්වීම හේතුවෙන් ලෝකය ශාස්වතය යන මිත්‍යා දෘෂ්ටියෙහි එල්බ ගෙන සිටිති. යථොක්ත කරුණූ අනුව පැහැදිලි වන්නේ භව සංඛ්‍යාත කවර තැනක වුව ද දුක් නමැති අනිෂ්ට අත්දැකීම විද්‍යාමාන වන බව යි. එහෙයින්ම බුදුන් වහන්සේ මොහොතකුදු භවය වර්ණනා නොකරමියි වදාළ සේක. නවය තුළ අනිත්‍ය , දුක්ඛ හා අනාත්ම යන ලක්‍ෂණත්‍රය ඉක්මවා ගිය නිත්‍ය, සුබ , සුඛ තත්වයක් විද්‍යාමාන නොවේ. ඒ නිසා බුද්ධිමත් මිනිසාගේ අරමුණ විය යුතු වන්නේ භවයේ ස්වභාවය දැන, එයට නිසි පිළියම් කිරීමයි.


 කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය
රාජකීය පණ්ඩිත
ආචාර්ය මකුරුප්පේ ධම්මානන්ද හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ නවම් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 25 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment