අප උපන් පසු, ජීවත්වීමේ දී විවිධ වයස්වලදී, විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයන් අපට හමුවෙති. බිරිඳ හෝ ස්වාමියා, දරුවන්, මිතුරු මිතුරියන් ආදීන් ඒ අතර වෙති. එහෙත් අම්මා අපට හමුවූයේ උපත සමගිනි.
උපතේ දී හමුවන මව නොසිටි කල අපගේ ජීවිතය ගොඩනො නැගේ
“දිවිනනාහං භික්‍ඛවෙ න සුප්පතිකාරං වදාමි, කතමෙසං ද්විනනං මාතුච්ච පිතුච්ච. එකෙන භික්‍ඛවෙ අංසෙන මාතරං පරිහරෙය්‍ය. එකෙන අංසෙන පිතරං, පරිහරෙය්‍ය වස්සතායුකො වස්සසෙතජීවී. සො ච නෙසං උච්ඡාදන පරිමදදනනහාපන සම්බාහනෙන, තෙපි තෙත්‍ථව මුත්තකරීසං චජෙය්‍යුං නෙÀවව භික්‍ඛවෙ මාතාපිතුනනං කතං වා හොති, පටිකතං වා.”
අංගුත්තර නිකායේ දුක නිපාතයට අයත් සමචිත්ත වර්ගයේ දැක්වෙන ගාථාවක් මෙහි මාතෘකා ගාථාව ලෙස ඉදිරිපත් කෙරේ. මෙම සූත්‍රය ලොව්තුරා අමාමෑණී බුදුරජාණන් වහන්සේ මව, පියා යන උත්තරීතර චරිතද්වයය පිළිබඳව දේශනා කළ ඉතා වටිනා කරුණු ඇතුළත් සූත්‍රයක් වේ. අපි හැම මවකගේ දරුවෝ වෙමු. ඒ හෙයින් දරුවන් ලෙස විශේෂයෙන් අප අපගේ මව පිළිබඳව කෙසේ කල්පනා කළ යුතු ද යන කාරණාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයකින් සාකච්ඡා කෙරේ. එය වත්මන් දරු පරපුරට ඉතාමත් වටිනා කාරණාවක් වනු ඇත. බුදුන් වහන්සේ මව්පිය ගුණ මාතෘකා කළ ඉහත සඳහන් ගාථාවන්හි අර්ථය මෙසේ ය.
“ද්විනනාහං භික්‍ඛවෙ න සුප්පතිකාරං වදාමි, - මහණෙනි අපට මෙලොවදී සැලකිලි කොට අවසන් කළ නොහැකි දෙදෙනෙකි.
කතමෙසං දවිනනං මාතුච්ච පිතුච්ච – ඒ කවුද? මව සහ පියා යන දෙපළය.
එකෙන භික්‍ඛවෙ අංසෙන මාතරං පරිහරෙය්‍ය - මහණෙනි එක අංශයකින් (උරකින්) අම්මා තබාගෙන,
එකෙන අංසෙන පිතරං, පරිහරෙය්‍ය - අනික් උරහිසේ තාත්තා තබාගෙන,
වස්සසතායුකො වස්සසත ජීවී. සො ච නෙසං උච්ඡාදන පරිමද්දනනහාපන - සමබාහනෙන, තෙපි තෙත්‍ථව මුත්තකරීසං චජෙය්‍යුං නෙÀවව භික්‍ඛවෙ මාතාපිතුනනං කතං වා හොති, පටිකතං වා.” ශත වර්ෂයක් පුරා කවමින්, නාවමින්, පිරිමදිමින්,දෙවුරේ තබාගෙන සැලකුවද දෙමාපියන් අපට කළ සේවයට ප්‍රති සේවයක් කිරීමට හෝ ඔවුනට ණය ගෙවා නිම කිරීමට හෝ අපට හැකියාවක් නොමැත, යනු එහි අරුතය.
ඒ තරම් උසස් ලෙස ජිනේන්ද්‍රයන් වහන්සේ මව්පිය ගුණ වණමින් මව්පිය සත්කාරය අමිල සංග්‍රහයක් ලෙස පැහැදිලි කර ඇත.
මවට සැලකීම පිළිබඳව බුද්ධ චරිතයේ බොහෝ අවස්ථා අපට හමුවේ. බෝසත් චරිතය තුළ හා බුද්ධත්වයෙන් පසු කාලවකවානුව තුළ මවට අපරිමිත ගෞරවයක් බුදුන් වහන්සේ දැන් වූ සේක. ආනන්තර්ය කර්ම පිළිබඳ කථා කිරීමේ දී අප කව්රුත් දන්නා පංචානන්තරීය කර්ම අතර මව්පිය ඝාතනය නොවෙනස්වන අනිවාර්යයෙන් අයහපත් ඵල ලබාදෙන අකුසලයක් ලෙස බුදුන් වහන්සේ දැක්වූ සේක. මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝභේදය, බුදුන්ගේ ශරීරයේ ලේ සෙලවීම පංචානන්තරීය කර්ම බව අපි දනිමු. ඉන් මව මැරීම ඊළඟ භවය හෙවත්, අනතුරු භවය තුළ අනිවාර්යයෙන් අයහපත් ප්‍රතිඵල ලබාදෙන, දුගතියට පමුණුවන, අකුසලයකි.
අංගුත්තර නිකායේ ඇතුළත් තවත් සූත්‍රයක පැහැදිලි කෙරෙන පරිදි, සැලකිලි දක්වා පිං රැස්කළ හැකි, නොසලකා පව් රැස් කළ හැකි සිව්දෙනෙකි. එනම්, මව, පියා, ලොව්තුරා බුදුන් හා තථාගත ශ්‍රාවකයා එම සිව්දෙනා වෙති. බුද්ධ ධර්මය පරිශීලනයේ දී බුදුන් වහන්සේ මවට සැලකීම පිළිබඳ විශාල අවධානයක් යොමුකර ඇති බව පෙනේ.
මවට සැලකීම පිළිබඳව විශේෂ ඉගැන්වීමක් බුදුදහමේ අන්තර්ගතව ඇත්තේ ඇයි?
මෙම කාරණය ඉතා විශාල වැදගත්කමක් සහිත වන අතර අද කතිකාවට ලක්විය යුතු කාරණයකි. අප උපන් පසු, ජීවත්වීමේ දී විවිධ වයස්වලදී, විවිධ අවස්ථාවල, විවිධ පුද්ගලයන් අපට හමුවෙති. බිරිඳ හෝ ස්වාමියා, දරුවන්, මිතුරු මිතුරියන් ආදීන් ඒ අතර වෙති. එහෙත් අම්මා අපට හමුවූයේ උපත සමගිනි. උපතේ දී හමුවන මව නොසිටි කල අපගේ ජීවිතය ගොඩනොනැගේ අම්මා දසමසක් ඇයගේ කුස තුළ අප තබාගෙන බොහෝ කරදර දුක් පීඩා විඳ අප රැකගන්නීය. විද්‍යානුකූලව දරුවෙක් කුස තුළ දසමසක් නොසිටින බැව් ප්‍රකාශ වූවත් දින 28 1/2 ක් ලෙස ගැනෙන සිංහල මාස ක්‍රමයට අනුව දසමස නිවැරදි බව කිවයුතු ය.
මව දරුවා පෝෂණය කරන්නීය. දරුවෙක් මෙලොවට බිහිවූ පසු, තම ශරීරයෙන් ගලන කිරෙන් තවකෙක්ව පෝෂණය කරන්නේ කව්ද? ඒ මව පමණි. තම ශරීර කොටස්වලින් තවෙකෙක්ව පෝෂණය කරන වෙනත් අයෙක් අපට මෙලොවදී හමුනොවේ. දරුවා කෙරෙහි ඇතිවන සෙනෙහසට, ආදරය ඇයගේ රතු ලේ සුදු කිරි බවට පරිවර්තනය වේ.
එදා බුදුන් වෙත පැවිද්ද ඉල්ලා පැමිණි කාන්තාවන්ගේ විමුක්තිදායිකාව ලෙස සැලෙකන මහා ප්‍රජාපතියට, පැවිද්ද දීම බුදුන් ප්‍රතික්‍ෂේප කළ කල්හි ආනන්ද හිමි මෙසේ පැවසූ බව සඳහන් වේ.
“ස්වාමීනි, මේ ඔබවහන්සේගේ අම්මා, ඔබවහන්සේට කිරිදුන් මව.”
“ආපාදිකා පෝසිකා භගවන්තං ජනෙතතියා කාලංකතෙ ථඤ්ඤං පායෙසි”
ඔබ වහන්සේගේ මව් නැති කල, ඔබවහන්සේ නැලෙව්වේ, ඔබවහන්සේගේ අතපය හැඩකළේ, ඔබ වහන්සේ හදා බලා ගත්තේ ඇයයි. ඒ හෙයින් ඇයට සලකා ස්ත්‍රීන්ට භික්‍ෂුත්වය ලබාදෙන මෙන් ඉල්ලා සිටියේ ය. එතෙක් උන්වහන්සේ ස්ත්‍රීන්ට පැවිද්ද දීම නුසුදුසු යයි තදින් සිටි මුත් ආනන්ද හිමිගේ ප්‍රකාශයෙන් පසු, මව්ගුණ පිළිබඳව බාහිරයෙන් පැමිණ කරුණු කාරණා සලකා ස්ත්‍රීන්ට පැවිද්ද දීමට තීරණය කළ සේක.
මෙම අවස්ථාව ඉතා වැදගත් වේ. ඒ කුමක් හෙයින්ද? බුදුන් වහන්සේ භික්‍ෂුණී ශාසනය පිහිටුවීමට තීරණය කළේ මවට සැලකීමේ අරමුණක් ලෙසින් වීම හේතුවෙනි.
එමෙන්ම ත්‍රිපිටකයේ සූත්‍ර විනය අභිධර්ම යනුවෙන් පිටක තුනක් බව ඔබ දනී. ඉන් විනය හා සූත්‍ර පිටක භික්‍ෂූන් හා සමාජයේ ලෝක ව්‍යවහාරය ඇසුරුකොට කරන ලද දේශනාවලින් සමන්විත වේ. එහෙත් උන්වහන්සේ අභිධර්මය දේශනා කරන ලද්දේ මාතෘදිව්‍ය රාජයාණන් ප්‍රධාන පිරිස අරඹයාය. ඒ අනුව ත්‍රිපිටකයෙන් එක් පිටකයක් අම්මා වෙනුවෙන් වෙන්කිරීම තුළ බුද්ධ දේශනාවේ 1/3 ක් මවට සැලකීමක් ලෙස දේශනා කර ඇති බව පැහැදිලි ය.
මවකගේ සෙනෙහස පිළිබඳව කිසිවෙක්ට සීමා පැනවිය නොහැකි අතර, එම සෙනෙහස තවත් කිසිම සෙනෙහසකට සමාන ද කළ නොහැකිය. “ආදරය කරන කල ඇය මට මවක් මෙනැයි තරුණයෝ ස්ත්‍රීන් පිළිබඳව ප්‍රකාශ කර සිටින අවස්ථා ඇත. එහෙත් මවක් ලෙස හිතන්නට තවත් මවකට විනා වෙනත් කිසිවෙක් සමත් නොවේ. එම ගුණය මවටම අයත් ගුණයකි. මෙයට ඉතා හොඳ නිදසුනක් කලන්දක ජාතකයේ දැක්වේ. එදා ලෙහෙනි පැටියා මහමුහුදට ගසාගෙන ගියකල්හි ලෙහෙනියට තම පැටියා වෙනුවෙන් කිරීමට කිසිවක් නොවීය. එහෙත් ඇය තම වල්ගයෙන් පොඟවා මහමුහුද ඉසින්නට උත්සාහ කළා ය. කළ නොහැකි කාර්යයක් වූවද, ඇය ගත් උත්සාහයේ ප්‍රබල ශක්තිය හේතුවෙන් ලෙහෙනියට පැටියා නැවත ලැබිණ. මවකගේ ශක්තියේ අදිටනක ගැඹුරුබව, ප්‍රබල බව ඉන් මොනවට පැහැදිලි වේ.
2012 නොවැම්බර් 6 වනදා පුවත් පතේ පළ වු ලිපිය
පැරැණි සමාජය තුළ දරුවෙක් සකස්කිරීමේ දී ඉතාමත් අර්ථ සම්පන්න අයුරින්, ධර්මානුකූලව දමාපියන් ක්‍රියා කළ අතර, ඇතැම් විට දඬුවම් කිරීම ද යොදාගත්හ. හැඳි නොගා හදන කිරිහොද්ද කැටි ගැසී නරක්වන්නා සේ, හොඳින් හෝ තදින් නිසි ලෙස සකස් නොවන දරුවා විනාශයට පත්වෙයි. දරුවන්ට සැප සම්පත් ලබාදීම පමණක් නොව ජීවිතය තේරුම් ගැන්වීම ද කළයුතු වේ.
“ආදරය කරන කල ඇය මට මවක් මෙනැයි තරුණයෝ ස්ත්‍රීන් පිළිබඳව ප්‍රකාශ කර සිටින අවස්ථා ඇත. එහෙත් මවක් ලෙස හිතන්නට තවත් මවකට විනා වෙනත් කිසිවෙක් සමත් නොවේ. එම ගුණය මවටම අයත් ගුණයකි. මෙයට ඉතා හොඳ නිදසුනක් කලන්දක ජාතකයේ දැක්වේ. එදා ලෙහෙනි පැටියා මහමුහුදට ගසාගෙන ගියකල්හි ලෙහෙනියට තම පැටියා වෙනුවෙන් කිරීමට කිසිවක් නොවීය. එහෙත් ඇය තම වල්ගයෙන් පොඟවා මහමුහුද ඉසින්නට උත්සාහ කළා ය. කළ නොහැකි කාර්යයක් වූවද, ඇය ගත් උත්සාහයේ ප්‍රබල ශක්තිය හේතුවෙන් ලෙහෙනියට පැටියා නැවත ලැබිණ. මවකගේ ශක්තියේ අදිටනක ගැඹුරුබව, ප්‍රබල බව ඉන් මොනවට පැහැදිලි වේ.
මවක් යනු තම දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අවස්ථානුකූලව කිසිදිනෙක තමා නොකිරීමට අදහස් කරන, ක්‍රියා වුවද කිරීමට තරම් පෙළඹෙන්නියකි. තම ආත්මාභිමානය පසෙකලා සෙස්සන් ඉදිරියේ යදිමින්, හඬමින්, හිඟාකමින්, තම දරුවන් පෝෂණය කරන මව්වරු අපට සමාජය තුළ හමුවේ.
සමහර දෙමාපියන් තරමක් රළු බව අපි දනිමු. ‘අපේ අම්මා සැරයි. ඇයගේ අවවාද සැර වැඩියි’ ආදී වශයෙන් ප්‍රකාශ කරන දරුවෝ සිටිති. එහෙත් මව්පියෝ දැඩිවන්නේ සිය දරුවන් සකස් කර ගැනීමට විනා සිය ආධිපත්‍යය පැතිරවීම උදෙසා නොවන බව දරුවන් දෙමාපියන් වූ දින තේරුම් ගනියි.
අද සමහරු බටහිරින් ලැබෙන අනවශ්‍ය චර්යාවන් කරපින්නා ගනිමින්, ඇතැම් කාරණා වරදවා අර්ථකථනය කරති. දෙමාපියන්ට දෙවියන් සේ සැලකිය යුතු වේ. දරුවන් සකස් කරන ක්‍රියාවලියේ දී දෙමාපියන්ගේ මෘදු බව මෙන්ම තද බවද (සෘජු බවද) අත්‍යවශ්‍ය කාරණා වේ. මෘදු බව මෙන්ම සෘජු බවද රජෙක්ට තිබිය යුතු බව දසරාජ ධර්මයේ දී පැහැදිලි කෙරේ.
බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී දෙමාපියන් දරුවන් කෙරෙහි කටයුතු කළයුතු ආකාරය මෙසේ පෙන්වා දී ඇත.
“පාපා නිවාරෙන්ති” – පවින් වැළකිය යුතු ය.
“කල්‍යාණෙ නිවෙසන්ති”
යහපතෙහි යෙදවිය යුතුය.
“සික්‍ඛාපෙන්ති”
සකසා නිවැරදිව ශිල්ප ලබාදිය යුතු ය.
“පතිරූපෙන දාරෙන සංයොජෙනති”
සුදුසු කල ආවාහ විවාහ කරදිය යුතුය.
“සමයෙ දායජ්ජං නිය්‍යාදෙන්ති”
සුදුසු කල දායාද පවරා දිය යුතු ය.
දෙමාපියන් දරුවන් සකස්කළ යුත්තේ ඔවුන් පවින් මුදවා, යහපතෙහි යොදවා, සුදුසු ශිල්පය ලබාදීමෙනි. පැරැණි සංස්කෘත පඬිවරයෙක් මෙසේ ප්‍රකාශ කර ඇත.
“මාතා ශාස්තෘඞ - පිතා වෛරී යෙන බාලො න පාටිතං”
යම් මවෙක්, පියෙක් සිය දරුවන්ට නිසි අධ්‍යාපනය ලබා නොදුනහොත් ඒ මව සැතිරියෙකි. පියා වෛරකාරයෙකි.
යම්කිසි මවෙක් පියෙක් දරුවන්ට අධ්‍යාපනය ලබානොදුන් කල්හි දරුවන් නොහික්ම වූ කල්හි, දරුවන් කෙරෙහි නිවැරදිව කටයුතු නොකළ කල්හි, එම මව හැතිරියෙක් ලෙසත් පියා වෛරකාරයෙක් ලෙසත් ලෝකය සලකයි. එවන් තත්ත්වයක් තුළ තම ජීවිතය අභාග්‍යයට බඳුන් කරගත් දරුවන් අපට සමාජයේ දී හමුවෙති.
මහද්ධන සිටුතුමාගේ කථාව මෙයට කදිම නිදසුනකි. අසූකෝටියක් ධනය තිබූ මහද්ධන සිටු දෙපළට එක් දිනයක් වූ අතර, ඇයට අධ්‍යාපනය ලබා නොදී, නැටුම්, ගැයුම් වැනි වින්දනය ලබන ශිල්ප ඉගැන්වූහ. එම ශිල්ප නොවටින බව ඉන් ප්‍රකාශ නොවන අතර, නුවණ අරභයා ශාස්ත්‍ර අධ්‍යාපනයද ලැබිය යුත්තක් බව අවධාරණය කරමි. නිසි වයසේ දී ආවාහයක් කරදීම පිණිස සොයා බැලීමේ දී තවත් අසූකොටියක් ධනය හිමි තරුණයෙක් හමුවිය. ඔහුද විනෝදය ලැබීමේ ක්‍රම විනා වෙනත් ශිල්පයක් නොදත්තේ ය.
එම විවාහයෙන් එකසියහැට කෝටියක් ධනය එක්වූවත්, ධනය විනාශ කිරීමට විනා ධනය රැස්කිරීම නොදැන සිටි තරුණ යුවළ ධන භංගත්වයට පැමිණ අවසානයේ පොල්කට්ටක් ගෙන නගරයේ වීථිපුරා ඇවිද ඉතා දුකසේ ජීවත් වූ බව සඳහන් වේ. ඒ හෙයින් දෙමාපියන් තම දරුවන්ට ධනය ලබාදෙන්නා සේම ගුණධර්ම පුහුණු කළ යුතු අතර, ධන පරිභෝජනය ඉගැන්විය යුතු ය.
අද සමාජය තුළ අප අත්දකින තවත් වැරදි ක්‍රියාවලියක් ඇත. එනම් දෙමාපියන් අනවශ්‍ය ප්‍රතිරූපවලට රැවටී තමන් විශ්වාස කරන එම වැරදි ප්‍රතිරූප සඳහා වැරදි වටිනාකම් ලබාදී දරුවන් ඒ සඳහා යොමුකරමින් දරුවන් වනසති. අර්ථ නාගරික පරිසරය තුළ මේ තත්ත්වය බහුල ලෙස ප්‍රදර්ශනය වේ.
විශේෂයෙන් දෙමාපියන් දරුවන් ඉංගී‍්‍රසි අධ්‍යාපනයට යොමුකිරීම තුළ ඔවුන් ඉහළ පෙලැන්තියේ යන මිථ්‍යා අදහසකින් කටයුතු කරති. මිනිසෙක් ඉහළ වන්නේත් පහළ වන්නේත් ඔවුහු කරන කියන දෑ තුළිනි. එම පිරිස ගුරුවරුන්ට විවිධ බලපෑම් කරමින් දරුවන් සකස්කිරීමේ ක්‍රියාවලියට බාධා පමුණුවති.
පැරණි සමාජය තුළ දරුවෙක් සකස්කිරීමේ දී ඉතාමත් අර්ථ සම්පන්න අයුරින්, ධර්මානුකූලව දෙමාපියන් ක්‍රියා කළ අතර, ඇතැම් විට දඬුවම් කිරීමද යොදාගත්හ. හැඳි නොගා හදන කිරිහොද්ද කැටි ගැසී නරක්වන්නා සේ, හොඳින් හෝ තදින් නිසි ලෙස සකස් නොවන දරුවා විනාශයට පත්වෙයි. දරුවන්ට සැප සම්පත් ලබාදීම පමණක් නොව ජීවිතය තේරුම් ගැන්වීමද කළයුතු වේ. එක් පැරණි සංස්කෘත පඬිවරයෙක් මෙසේ පවසා ඇත.
“පංච වර්ෂානි ලාලයේත්
දශ වර්ෂානි තාඩයේත්
ආගතෙ ෂෝඩශේ වර්ෂෙ
පුත්‍රං මිත්‍ර වදාචරේ”
“පංච වර්ෂානි ලාලයේත්” – දරුවන් වසර පහක් හොඳින් සුරතල් කර ආදරයෙන් බලාගත යුතුය.
“දශ වර්ෂානි තාඩයේත්” – වසර දහයක් ගතවන තෙක් ආදරය වෙනස් කොට නොගෙන හොඳින් හෝ දඬුවම් කරමින් හෝ දරුවන් සකස් කළ යුතු ය.
“ආගතෙ ෂෝඩශේ වර්ෂෙ – පුත්‍රං මිත්‍ර වදාචරේ” වසර දහසය වන විට පුතුන්ට මිතුරන් සේ දෙමාපියන් හැසිරිය යුතු ය.
දරුවන් සැකසීමේ දී හුදෙක් ආහාර ලබාදීමෙන්, දැනුම ලබාදීමෙන් පමණක් නොසෑහිය යුතු බව දෙමාපියන් සිහිකට යුතුවේ. අප දරුවා සකස් කර ඉදිරිපත් කරන්නේ ලෝකයට හෙවත් සමාජයටය. දෙමාපියන් දරුවන්ට අවවාද අනුශාසනා සිදු කරනුයේ දරු සෙනෙහස නිසා බැවින් දෙමාපියන්ගේ රළු ගති ඉවසීමට දරුවන් පුරුදු විය යුතු ය.
2012 නොවැම්බර් 13 පත්‍රයේ පළ වු ලිපිය
සම කළ නොහැකි දරු සෙනෙහස
මවක් යනු උත්තරීතර ළඳකි. මව ඉවසිමේ පරමාදර්ශයයි. අපේ අතට යමක් දුන් කල්හි අප කොපමණ වේලාවක් එය අතේ තබාගන්නේ ද? එය බිමින් හෝ වෙනත් ස්ථානයක තබා අත නිදහස් කර ගැනීමට නිරතුරුවම මාන බලති. එහෙත් මව තමන්ගේ කුසට දරුවෙක් පැමිණි දින සිට දස මසක් කුස පිරිමදින් දරුවා රැක ගන්නීය. ආශිර්වාද කරන්නීය. සෙනෙහස දක්වන්නීය. දරුවා සමඟ ගනුදෙනු කරමින් සිටින්නිය. දරුවා මෙලොව බිහිකළ දින සිට සෑම මොහොතක්ම දරුවා වෙනුවෙන් කැපකරන්නී අම්මාය. කුඩා කළ ඇවිදීමට, කතා කිරීමට, ක්‍රීඩා කිරීමට පුරුදු පුහුණු කොට, දරුවන් වැඩිවියට පත්වන කල්හි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආවාහ කටයුතු සොයාබලා මහත් කැපවීමකින් ක්‍රියාකරනුයේ දෙමාපියන් ය. එහිදී මව විශේෂ කාර්යභාරයක් ඉටුකරන්නීයඑක් අකීකරු දරුවෙක් සිය මිතුරන් හා කෙළිසෙල්ලම් පිණිස වනයට යාමට සූදානම් වූ අවස්ථාවේ දී එහි නොයන ලෙස ඔහුගේ මව අවවාද කළමුත්, හිතුවක්කාර දරුවා අවවාද නොපිළිගෙන කැලයට යාමට පිටත්වූයේ ය. දරුවාගේ ගමන වැළැක්වීම සඳහා “උඹව කොටියා කාපන්” යැයි මව කීවා ය. මව සිය හදවතේ දරු සෙනෙහස, කරුණාව, මෛත්‍රිය ඇතිව මේ වදන් පිටකළ මුත් සත්‍ය වශයෙන් දරුවා කොටියෙක්ට බිලිදීමට අදහස් නොකළා ය. මවකගේ ජීවිතාවසානය දක්වා දරුවන් කෙරෙහි ඇය තුළ ඇති මෛත්‍රී කරුණාව නොවෙනස්ව පවතී.
දරුවා කැලයට ගොස් ක්‍රීඩා කර සවස් භාගයේ නිවසට ඒමට පිටත්වීමේ දී සැබැවින්ම කොටියෙක් ඔහු ඉදිරියට ආවේ ය. බියට පත් දරුවාට මව ගෙදරින් පිටවන මොහොතේ කරන ලද ප්‍රකාශය සිහිවී, ප්‍රාර්ථනා කරනුයේ, “අම්මා උදේ මුවින් පිටකළ දෙය නොව අම්මාගේ හදවතේ තිබෙන දෙය සිදුවේවා” යනුවෙනි. කුමන හේතුවක් නිසාවෙන් හෝ කොටියා ඉවත්ව ගියේ ය. දරුවාද මව් සෙනෙහස හඳුනාගෙන තිබුණි.
බුදුන් වහන්සේ දෙමාපියන් මෙසේ හඳුන්වා ඇත.
“බ්‍රහ්මාති මාතාපිතරො...” මව පියා බ්‍රහ්ම ලෙස හඳුන්වා ඇත. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‍ඛා යන සතර බ්‍රහ්ම විහරණ හේතුවෙන් දෙමාපියන් බ්‍රහ්ම වන බව උන්වහන්සේ දේශනා කළ සේක.
මෙත්තා - මව මිස දරුවන් කෙරෙහි අසීමිත මෛත්‍රියක් පතුරුවන වෙනත් අයෙක් නොමැත.
කරුණා - මව මිස දරුවන්ගේ දුකෙහිදී හදවත කම්පාවෙන වෙනත් අයෙක් නොමැත.
මුදිතා - මව මිස දරුවන්ගේ සැපතේ දී, දියුණුවේ දී, වාසනා ගුණ මතුවීමේ දී සතුටුවන වෙනත් කෙනෙක් නොමැත.
උපේක්‍ඛා - මව මිස සියල්ල දැක දැක ජීවිතයේ අවසානය දක්වා ඉවසීමෙන් ක්‍රියා කරන වෙනත් කෙනෙක් නොමැත.
ඉහත සඳහන් සතර බ්‍රහ්ම විහරණ පිහිටා ඇත්තේ යහපත් දෙමාපියන් වෙතය. තම දරුවන්ගේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැපවී කටයුතු කරන දෙමාපියෝ තම දරුවන් තමන් අභිබවා ඉදිරියට යෑම, දියුණුව ලැබීම දකිමින් මහත් සතුටට පත්වෙති.
ප්‍රවීණ ගීත රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් නමැති නිර්ව්‍යාජ ලේඛකයා සිය මව පිිළිබඳව ඉතා අනුවේදනීය ලෙස පහත සඳහන් කවිය ගොතා ඇත.
උණුසුම නළලතේ අත්ලෙන් මැන්නාය
වෙද ගෙට ගියේ පොරවා කර පින්නාය
මළ පොත අකුර මට පෙන්වා දුන්නාය
දෙවියන් බුදුන් මෙන් මගෙ ළඟ උන්නාය
“උණුසුම නළලතේ අත්ලෙන් මැන්නාය” – අම්මා ගෙදර වෛද්‍යවරියයි. ඇය සතුව වෙද උපකරණ නැතත් පිට අත්ල නළලට තබා ශරීරයේ උණුසුම බලා රෝග තත්ත්වය දැනගැනීමට ඇය සමත්ය.
“වෙද ගෙට ගියේ පොරවා කර පින්නාය” වෙද ගෙදරට දරුවා රැගෙන ගියේ රෙදි පොරවාගෙන, කරපින්නාගෙනය. එදා මෙන් අදත් සමහර ගම්මාන ඉතා දුෂ්කරය. එහි වාහන නැත. සියයට අසූවක් පහසුකම් තිබුණත් වාහනයක් නොමැති ගෙවල් දොරවල් බොහෝ ය. එවිට දොස්තර ගෙදරට, වෙද ගෙදරට, රෝහලට රෝගී දරුවා කරේ තබාගෙන බොහෝ දුර ගමන් කරන මව්වරු අදත් දක්නට ලැබේ. පියවරු ද සිටින බව අමතක නොකළ යුතු ය. ඔවුහු දහදුක් විඳගෙන දරුවා වෙනුවෙන් රෝහල තුළ ගැවසෙති.
“මළ පොත අකුර මට පෙන්වා දුන්නාය” මුල් අකුරු හා ජීවිතය කියාදෙන්නේ මවයි.
දෙවියන් බුදුන් මෙන් මගෙ ළඟ උන්නාය. දෙවියන් බුදුන් යනු යමෙක්ගේ ජීවිතය කාලය තුළ දුකේදීත්, සැපේදීත් එක විට එක ළඟ, එක ලෙස සිටින දෙමාපියන් දෙදෙනාය. විශේෂයෙන් මව ය.
“ආහුණෙය්‍යා ච පුත්තානං පුබ්බාචරියා ති වුච්චරෙ”
බුදුන් වහන්සේ මව පිළිබඳව කරන ලද තවත් ප්‍රකාශයක් මෙසේ දැක්වේ. අපගේ මුල් ගුරුවරිය මවයි. එවන් ගුණැති මව පිළිබඳව නොසලකා හැර කටයුතු කරන දරුවන්ගේ ජීවිත කුමන අන්දමින් කෙළවර වේදැයි සිතීම පවා අපහසු කාරණයකි.මව ගැන කියැවෙන තවත් එක් සංස්කෘත පාඨයක් මෙසේ ය.
“ජනනී ජන්‍මභූමිශව සවර්ගාදති ගරීයතී”
“ජනනී” යනු අම්මාය. ජන්මභූමි යනු මව්බිමය. මව හා ජන්ම භූමිය යමෙක්ට ස්වර්ගයට වඩා වටිනා බව ඉන් ප්‍රකාශිතය. උම්මග්ග ජාතකයේ මෙවන් ප්‍රකාශයක් ඇත.
“හන්ති භෙත්‍ථහි පාදෙහි මුඛඤච පරිසුමහති
සවෙ රාජ පියා හොති තං කෙන තවාභිපස්සසීති”
යමෙක්ට අතින් පයින් පහරදෙන කල්හි ඔහුගේ මුව සිඹිය හැක්කේ කාටද? ඒ අන් කිසිවෙක් නොව මවයි. දරුවා සිය අතින් පයින් පහර දෙන විට මව පී‍්‍රතියට පත්වෙන්නීය. තව තවත් තදින් පහර දෙන විට දරුවා නළවමින් සතුටු වෙන්නීය. අත් පා පහර වැදී ඇයට වේදනාවක් හටගත්තද, තම දරුවාගේ අත්පා ශක්තිමත් වී ඇතැයි ඇය සතුටට පත්වන්නීය. ඒ හේතුවෙන් දරුවාට ඇයගේ ආදරය වැඩිවේ. දරුවාට ඇයගේ ආශිර්වාදය වැඩි වේ.
මේ පිළිබඳව පියවරු උරණ නොවන්න. යම් දරුවෙක් හඬන කල්හි, වේදනාවට පත් වූ කල්හි, කිලුටු වූ කල්හි, කැතකුණු කරගත් කල්හි දරුවාට වඩාත් ළං වන්නේ මවයි. බොහෝ විට පියවරු දරුවන් තමා වෙත තබාගන්නේ දරුවා පිරිසුදු වී සිනහවෙමින් සිටින කල්හිය. මෙය සාමාන්‍ය ජීවිතයයි. තම ජීවිත කාලයම දරුවන් රැක බලාගන්නා දරුවන්ගේ සියලු කටයුතු කරන පියවරු ලොව නැතුවා නොවෙයි. එහෙත් බොහෝ දරුවන් වෙසෙනුයේ මව තුරුල්ලෙහිය. මව දරුවන් වෙනුවෙන් කරනු ලබන කැපකිරීම කිරීමට පියවරුන්ට එළඹෙන අවස්ථා අඩුය.
සුද්ධෝදන පියරජු බුදුන් වහන්සේ සමග මෙසේ පවසා ඇත.
පුත්තපෙමං භනෙන ඡවිං ජින්දති
ඡවිං ඡෙත්වා චම්මං ඡින්දති
චම්මං ජෙත්වා මංසං ජින්දති
මංසං ජෙත්වා නහාරුං ඡින්දති
නහාරුං ජෙත්වා අට්ඨිං ඡින්දති
අටඨිං ජෙත්වා අටඨිමිඤජං ආහච්ච තිටඨති
“ස්වාමිනී පුත්‍ර ස්නේහය, දරු සෙනෙහස මහා පුදුම ජනක බරපතල කාරණාවකි. දෙමාපිය සෙනෙහස තමන්ගේ කුඩු හම සිඳගෙන මහ හම සිඳිති. නහර සිඳගෙන මස සිඳිති. මස සිඳගෙන ඇට සිඳිති. ඇට සිඳගෙන ඇට මිදුළු සිඳිති. එසේ ඇටමිඳුළු සිඳගෙන දරු පෙම උපදින්නේ” යැයි පැවසීය. එම ප්‍රකාශය හේතුවෙන් “මහණෙනි, දරුවෙක් පැවිදි කරන කල්හි දෙමාපිය අවසරය ඇතිව කළ යුතුය.” යනුවෙන් ශික්‍ෂා පදයක් පැනවූ සේක.
මවක් යනු උත්තරීතර ළඳකි. මව ඉවසිමේ පරමාදර්ශයයි. අපේ අතට යමක් දුන් කල්හි අප කොපමණ වේලාවක් එය අතේ තබාගන්නේ ද? එය බිමින් හෝ වෙනත් ස්ථානයක තබා අත නිදහස් කර ගැනීමට නිරතුරුවම මාන බලති. එහෙත් මව තමන්ගේ කුසට දරුවෙක් පැමිණි දින සිට දස මසක් කුස පිරිමදින් දරුවා රැක ගන්නීය. ආශිර්වාද කරන්නීය. සෙනෙහස දක්වන්නීය. දරුවා සමඟ ගනුදෙනු කරමින් සිටින්නිය. දරුවා මෙලොව බිහිකළ දින සිට සෑම මොහොතක්ම දරුවා වෙනුවෙන් කැපකරන්නී අම්මාය. කුඩා කළ ඇවිදීමට, කතා කිරීමට, ක්‍රීඩා කිරීමට පුරුදු පුහුණු කොට, දරුවන් වැඩිවියට පත්වන කල්හි ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ආවාහ කටයුතු සොයාබලා මහත් කැපවීමකින් ක්‍රියාකරනුයේ දෙමාපියන් ය. එහිදී මව විශේෂ කාර්යභාරයක් ඉටුකරන්නීය.
එදා අංගුලිමාල බවට පරිවර්තනය වූ අහිංසකගේ ජීවිතයේ තීරණාත්මක මොහොත රජු විසින් තීන්දු කරන ලද්දේ අහිංසකගේ පියා ඉදිරියේ ය. අහිංසකගේ පියා රාජ සභාවේ පුරෝහිත බමුණා විය. අංගුලිමාල ජීවග්‍රාහයෙන් හෝ මරා හෝ තමන් වෙත ගෙන එන ලෙස රජතුමා නියෝග කළේ ය. පුරෝහිත බමුණු තෙම වහා නිවසට ගොස් සිය බිරිඳ මන්තානි බැමිණිය වෙත රජුගේ නියෝගය දැනුම් දෙමින් “අද අපේ පුතා අහිංසක මිනීමරුවෙක් ලෙස නම් කොට ඇත. අද රජතුමා පුතා මරණවා”යි පවසා නිහඬ වූයේ ය. එහෙත් මන්තානි බැමිණියට දරු දුක වාවාගත නොහැකි වූ අතර, තම දරුවා බේරාගැනීම සඳහා ඔහු ඉදිරියට යාමට තනිවම නිවසින් පිටවූවා ය. එදා බුදුහිමි අංගුලිමාල දමනය නොකළේ නම් ඔහු මව මරා පංචානන්තරීය කර්මයක් සිදුකර ගන්නේ ය. මරණය ඉදිරියේ වූවද තම දරුවන් බේරාගැනීම පිණස හැකි සෑම දෙයක්ම කිරීමට මවක් පසුබට නොවන්නීය. ඒ තරමට ආශ්චර්යමත් සෙනෙහසක් ඇය තුළ ඇත. එවන් ගුණැති මවට යම් දරුවෙක් දුකක් දෙන්නේ නම් ඒ දුක යළි ඔහුට උරුමවනු ඒකාන්තය.
දිනක් එක් පියෙක් අප හමුවී තම තරුණ පුතු හිතුමනාපයට ආවාහයක් කරගනිමින් තමන්ගෙන් ඈත් වූ බව මහා දුකකින් පැවසුවේ ය. ඒ පිළිබඳව අප කරුණු සොයාබැලීමේ දී අපට ලැබුණු තොරතුරු අනුව, එම තරුණයාගේ මව ද සිය මවට දුක දී හිතුමනාපයට කුලගෙට ආ කාන්තාවකි. එදා ඇය සිය මවට දුන් දුක් වේදනාව අද ඇය සිය පුතුගෙන් අත්විඳින්නීය. එනයින් කල්පනා කරන කල්හි සිය මවට දුක් දෙන පුද්ගලයාට ඒ දුක එලෙසම පැමිණීමට ඉඩ ඇති බව පැහැදිලිය. දෙමාපියන් දරුවන්ට දක්වන නිර්ව්‍යාජ අවංක සෙනෙහසට සමාන කළ හැකි වෙනත් සෙනෙහසක් මෙලොව නොමැති සේම ඊට විරුද්ධවන්නන්ට ලැබෙන ප්‍රතිඵලයද ප්‍රබලව බලපානු ඇත.
සිඟාලෝවාද සූත්‍රයෙහි දෙමාපිය දූදරු යුතුකම් පැහැදිලි කරන කල්හි, දෙමාපියන්ගේ කටයුතු කරදීම, දරුවන් තම කුලය හා වංසය හොඳින් රැකීම, පැවරූ දේපල ආරක්‍ෂා කිරීම හා නිවැරදිව පරිභෝජනය කිරීම අනිවාර්යයෙන් කළයුතු යුතුකම් ලෙස දක්වා ඇත.
මාතෘකා කළ ගාථාව තුළ දෙමාපියන්ට සත්කාර කිරීමෙන් ඔවුන්ට කළයුතු ප්‍රති සේවාවන් නිමකළ නොහැකි බව ප්‍රකාශ විය. එහෙත් බුදුන් පෙන්වා දෙන පරිදි දරුවනට දෙමාපියන් වෙනුවෙන් කළ යුතු තවත් කාරණා ඇත.
2012 නොවැම්බර් 20 වනදා පුවත් පතේ පළ ලිපිය
අපි ඇයට ණය ගැති වෙමු එය ගෙවිය යුතු වෙමු
මව අප බිහිකිරීම තුළින් ඇය දැක්වූ පරිත්‍යාගයට ප්‍රතිඋපකාර ලෙස, ණයගෙවීම පිණිස, ක්‍රියාකරන අප ඇය වෙනුවෙන් තෙරුවන්ට, ජාතියට, ගෞරව කළ යුතුය. එසේ නොකරන දරුවන් මවගේ යෞවනය කපා දැමූ පොරොව මෙන් සැලකේ
අස්සදෙධ සද්ධා සමපදාය සමාදපෙති
- දෙමාපියන් ශ්‍රද්ධාවෙන් තොර නම් ඔවුන් ශ්‍රද්ධාවේ පිහිටුවීම,
දුසසීලෙ සීල සමපදාය සමාදපෙති
- දෙමාපියන් දුසිල්වත් නම් සීලයෙහි පිහිටුවීම,
මචඡරී චාගසමපදාය සමාදපෙති
- දෙමාපියන් මසුරු නම් පරිත්‍යාගයේ පිහිටුවීම,
දුප්පඤෙඤ පඤ්ඤා සමාපතතී සමාදපෙති
- දෙමාපියන් ප්‍රඥාවෙන් තොර නම් ප්‍රඥාවට ගැනීම,
යන කාරණා උතුම් දෙමාපිය සංග්‍රහයන් වන අතර දෙමාපියන්ගේ ණය ගෙවා නිමකිරීමට එම සැලකිලි හේතුවනු ඇත. ඉහත කී ක්‍රියා තුළින් දෙමාපියන් නිවැරදි කිරීම දරුවන්ට දෙමාපියන් වෙනුවෙන් කළ හැකි වටිනාකමින් ඉතා වැඩි සංග්‍රහයන් ලෙස සඳහන් වේ.
එදා කුමාර කාශ්‍යප මාතාව මහමඟදී සිය පුතු කාශ්‍යප හිමි දැක දෙපතුල් ළඟ දණින් වැටී හැඬුවාය. එවිට කාශ්‍යප හිමි සිය මෑණියන් තුළ ගේහසිත ප්‍රේමය හෙවත් ගෘහාශි‍්‍රත ඇල්ම ඈත් වී නැති බව වටහා ගත්හ. මවගේ සිත වෙනස් කිරීමට කල්පනා කළ කාශ්‍යප හිමියෝ “මේ සෙනෙහස ඈත් කරගන්න තවම ඔබට බැරිවුණාදැ”යි ඇසූහ. ඒ මොහොතේ මව කරුණු නිසිලෙස තේරුම් ගෙන, ජීවිතයේ යථාර්ථය හඳුනාගෙන, දරුවන් කෙරෙහි පවතින නොතිත් සෙනෙහස සසර දුකට හේතුවන බව වටහාගනිමින් කුමාර කාශ්‍යප මාතාව බවුන් වඩා රහත් බවට පත්වූවා ය. මව යහමග යැවීමට කුමාර කාශ්‍යප හිමියෝ සමත්වූහ.
දරුවන් හැදීම නිසා දෙමාපියන් තුළ සෙනෙහස වර්ධනය වී සසර දිගු වන බවට මතයක් වත්මන් සමාජය තුළ ප්‍රචලිතය. එය වැරදි මතයකි. දරුවන් හදන දෙමාපියන් තුළ දරුවන් වැඩිවන කල්හි ආත්මාර්ථකාමී බව වෙනුවට පරාර්ථකාමීත්වය වර්ධනය වේ. පරාර්ථය නිවනට ළඟාවන කාරණාවක් විනා නිවන ඈත් කරන ධර්මතාවයක් නොවේ. සැබෑ දෙමාපියන් තුළ සතර බ්‍රහ්ම විහරණ වර්ධනය වේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා නිසා සසර දිගු නොවන අතර, සතර බ්‍රහ්ම විහරණය වැඩීමට දෙමාපියන්ට උපකාර වන්නේ දරුවන්ය. දෙමාපියන් දරුවන් ඇසුරු කරනුයේ, දරුවන්ට ආදරය කරනුයේ, ආමිස තෘප්තියක් ලබාගැනීමට නොව දරුවන් සකස්වන ආකාරය දැක, දරුවන් ඉදිරියට යන ආකාරය දැක නිරාමිසව පී‍්‍රතිවීමටය. දරුවන් තමන් අභිබවා ලොව දිනන විට උපේක්‍ෂකත්වය වැඩීමට දෙමාපියන් තුළ හැකියාව ඇත. ඒ හෙයින් පින්වත් දරුවන් ලෙස ඔබට ආදරණීය දෙමාපිය ගුණයන් පිළිබඳව යළි යළි කල්පනා කොට ඒ ගුණයන් උපහාරයට බඳුන් කිරීමට හැකියාව තිබිය යුතු ය.
එසේ නොමැතිව දරුවන් දෙමාපියන්ට දුක වේදනාව ලබාදී හැඬූ කලින් විසීමට අවස්ථාව සලසන්නේ නම් එම දරුවන්ට එම අකුසලයෙහි අයහපත් ප්‍රතිඵල මේ භවයේදීම අත්විඳීමට සිදුවනු ඇත. එසේ මුලාවෙන් දුක්විඳින දෙමාපියන්ද, දරුවන්ද අපට හමුවී ඇත.
ලොව්තුරා බුදුහිමි “බුදුමෑණියන්” යනුවෙන් අපි හඳුන්වමු. උන්වහන්සේ ලොවට මාතෘත්වය හෙවත් මෘතගුණ දුන් උත්තමයා වන හෙයින් “බුදුමෑණි” ලෙස හැඳින්වේ. උන්වහන්සේ ලොවට මවක් මෙනි. “බුදෙධා විය මාතා”
අම්මා ලෝකෝත්තර තත්ත්වයට පත් නොවුණ ද ලෞකිකත්වය තුළ ඇය උසස් ගුණ සංවර්ධනය කොට ජීවිතය පවත්වාගෙන යන උත්තමාවියක් ලෙස අපි දකිමු.
දේශය, වර්ණය, වයස, ජාතිය, තත්ත්වය, මිනිස් හෝ තිරිසන් ආදී වශයෙන් වෙනසක් නොමැතිව අම්මා කෙනෙක් තම දරුවන්ට එක ලෙස ආදරය කරති. සලකති. තම පැටවු රැකගැනීම සඳහා බැළලිය, සුනඛ දෙන ක්‍රියාකරන ආකාරය ඔබ අප දැක ඇත. තිරිසන් මව්වරු තමා ආහාරයට ගත් දේ වමාරා පැටවුන්ට කැවීමට තරම් දරු සෙනෙහසක් දරති. තමන්ගේ පැටවුන් තමන්ගෙන් වෙන් කිරීමට එන බාහිර බලපෑම්වලට එරෙහිව තිරිසන් මව්වරු සටන් කරති. තිරිසන් ලොව ඒ ආකාර වේ නම් මනසක් සහිත උපන් මිනිස් මව කෙසේ වේද යන කාරණාව ඔබම සිතා බලන්න.
පැරැණි පඬිවරයෙක් මෙවන් ප්‍රකාශයක් කර ඇත. යමෙක් මෙලොව උපදින විට ඔහු හෝ ඇය සිය මවගේ යෞවනය විනාශ කරයි. දරුවා වෙනුවෙන් මව සිය යෞවනය පුද දෙන්නීය.
බුදුන් දහම් සඟුනට නොකෙලෙද අදර
නිවන් දකින පිනකුත් නොකෙලෙද පවර
ලියන් තන නොසිපියෙද සිහිනෙන් විතර
ඔවුන් මව යොවුන් වනයට පොරෝ යුර
එම කවියෙන් අදහස් වන්නේ දරුවන් නිසා මවගේ යෞවනය අඩුවන බවයි. යෞවනය අඩුවීම තුළ අපි ඇයට ණයගැති වෙමු. අපි එම ණය ගෙවිය යුතු වෙමු.
එසේම අපි නිවන් දැකීමට පින් කළයුතු වෙමු. ඒ හෙයින් තුණුරුවන් සත්කාරය ජාතියට සේවයක් කිරීම අපගේ යුතුකම ලෙස සැලකේ. මෙලොව උපන් අයෙක් ලෙස ජාතියට සේවය කිරීම මවට කරන ගෞරවයකි. අද දින ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින සිංහල ජාතිය වර්ධනයට සේවයක් කිරීම සඳහා විශේෂ අවශ්‍යතාවයක් අප තුළ ඇතිවිය යුතුය. මව අප බිහිකිරීම තුළින් ඇය දැක්වූ පරිත්‍යාගයට ප්‍රතිඋපකාර ලෙස, ණයගෙවීම පිණිස, ක්‍රියාකරන අප ඇය වෙනුවෙන් තෙරුවන්ට, ජාතියට, ගෞරව කළ යුතුය. එසේ නොකරන දරුවන් මවගේ යෞවනය කපා දැමූ පොරොව මෙන් සැලකේ.
උත්තරීතර මව්ගුණ පිළිබඳව ඔබ හොඳින් තේරුම්ගෙන කටයුතු කිරීම තුළින් ඔබ ලබන සතුට ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත. කුඩා කළ අප තමන්ට කරදරයක්, බාධාවක් ලෙස නොසැලකූ දෙමාපියන් වියපත් වූ කල්හි අපට කරදරයක්, බාධාවක් නොවිය යුතුය. වියපත් දෙමාපියන් වැඩිහිටියන් කුඩා දරුවන් සේ කටයුතු කරන හෙයින් ඔවුන් දෙස උපේක්‍ෂාවෙන් බැලීමට අප පුරුදු විය යුතු ය. එවිට දෙමාපියන් සිය අවසන් හුස්ම සතුටින් පිටකරති. එමෙන්ම වේදනාවෙන් මරණයට මුහුණ දෙන දෙමාපියන්, දරුවන්ට ශාපයක් වීමට ඉඩ ඇත.
ඒ හෙයින් පින්වත් දරුවන් ලෙස මෙලොව උපන් අප දෙමාපියන් හොඳින් රැක බලා ගනිමින් පෝෂණය කරමින් ගෞරව කරමින් ජාතියට, ආගමට සේවයක් කරමින්, ඔවුන් ලබාදුන් දායාද රැක ගනිමින් වටිනා අර්ථ සම්පන්න ජීවිත ගතකිරීමට අදිටන් කරගත යුතු ය.
සම්මා සම්බුදු සරණයි!
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය
මැදගොඩ අභයතිස්ස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ඔක්තෝබර්
29 වන සඳුදා දින හා වප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
නොවැම්බර් 06 වන අගහරුවාදා දින හා වප් අව අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
නොවැම්බර් 13 වන අගහරුවාදා
දින හා ඉල් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ
නොවැම්බර් 20 වන අගහරුවාදා
දිනයන්හි
බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි පෙලකි
No comments:
Post a Comment