Labels

Sunday, September 13, 2015

කූට විනිච්ඡයික පේ‍්‍රත වස්තුව


පේ‍්‍රත ලෝකයේ උපන්නෝ තමා විසින් කරන ලද කර්මයට ඉතා දුකසේ විපාක විඳිනවා. මිනිස් ලෝකයේ දී දුරදිග නො බලා කරන අකුසල කර්ම මරණින් මත්තේ තමා විසින්ම ඒවා ඒ ආකාරයෙන්ම ගෙවන අයුරු මෙහිදී ඉගෙන ගන්නට ලැබෙනවා. යම් පුද්ගලයෙක් අකුසල කර්මයක් කළ විට එහි විපාක එයට සමගාමීව සිය ගණනක් ගුණාත්මකව විපාක ගෙන දෙනවා


දුකසේ විඳින කර්ම විපාක යටතේ අප ඔබව දැනුවත් කරමින් සිටින්නේ තමා විසින් කරන ලද කර්මයට ඉතා දුකසේ විපාක විඳින කොටසක් පිළිබඳවයි. මිනිස් ලෝකයේ දී දුරදිග නො බලා කරන අකුසල කර්ම මරණින් මත්තේ තමා විසින්ම ඒවා ඒ ආකාරයෙන්ම ගෙවන අයුරු අපට මෙහිදී ඉගෙන ගන්නට පුළුවන්.
යම් පුද්ගලයෙක් අකුසල කර්මයක් කළ විට එහි විපාක එයට සමගාමීව සිය ගණනක් ගුණාත්මකව විපාක දෙන බව ඔබට දැන් පැහැදිලි ඇති. සමහර පේ‍්‍රතයන්ගේ් කතා අපගේ හද කම්පා කරනවා. අප පවට බියවීමත්, යම් පිනක්කළ විට එයින් ලැබෙන සැප විපාකයත් පේ‍්‍රත වස්තූන් තුළින් ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. පේ‍්‍රත වස්තුවේහි දී පේ‍්‍රතයන්ට අමතරව තවත් පේ‍්‍රත කොට්ඨාසයක් සිටිනවා. ඒ විමාන පේ‍්‍රතයෝ ය. පින්කම් කොට තිබිය දී කරන ලද අකුසල් කර්මයෝ ලෝභාදී චේතනාවක් ආසන්න කර්මය වශයෙන් මරණයේ දී පෙරට විත් එවැනි පුද්ගලයෝ විමාන පේ‍්‍රතයන් ලෙස ඕපපාතිකව ඉපදෙන බවද අපට පෙනෙන්න තිබෙනවා.

ඔබට අද කියාදෙන කූ®ට විනිච්ඡයික පේ‍්‍රත වස්තුව ද විමාන පේ‍්‍රත කොටසට අයත් වූවකි.
අප සරණ ගිය තථාගතයන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි එක් වංචනික ලෙස නඩු ඇසූ පේ‍්‍රතයකු අරභයා මෙම දේශනාව වදාළ සේක.

ඒ කාලයේ බිම්බිසාර මහරජතුමා මාසයකට සය දිනක් පෙහෙවස් සමාදන් වෙනවා. රජතුමා අනුගමනය කරමින් බොහෝ මිනිසුන් ද පෙහෙවස් සමාදන් වීම සිරිතක් වුණා. රජතුමා තමන් ළඟට පැමිණෙන තම රට වැසියන්ගෙන්
”ඔබ අද දවසේදී පෙහෙවස් සමාදන් වී සිටින්නේ ද, නැතිනම් පෙහෙවස් සමාදන් නොවී සිටින්නේ දැයි’’ කියා විමසීම පුරුද්දක් කොට ගෙන සි ටියා.
ඒ ගමේ මිනිසුන් අතර එක්තරා අධිකරණ නායකයෙක් සිටියා. ඔහු නිතර නිතර කේලාම් කියන, කෛරාටික වැඩ කරමින් අල්ලස් ලබා ගනිමින්, අනුන්ගේ යහපතට හකුල් හෙළමින්, දරුණු සිතින් බොහෝ අකටයුතුකම් සිදුකරන පුද්ගලයෙක්. ඔහුගෙන් ද රජතුමා එක් දිනකදී
”ඔබ පෙහෙවස් සමාදන් වූයේ ද’’ කියා ඇසූවිට ඔහු රජතුමාට ඇති බිය නිසාම
’පින්වත් රජතුමනි මම අද දවසේ දී පෙහෙවස් සමාදන් වූයෙමි’ කියා බොරුවට කියා සිටියා.

ටික වෙලාවකින් රජතුමා එතැනින් නික්ම වූවාට පසු ඔහුගේ මිත්‍රයෙක් ඔහුට ළංව
’යහලුවේ ඔබ අද පෙහෙවස් සමාදන් වූයේ ද’ කියා විමසා සිටියා.
’නැහැ. මම සිල් සමාදන් වූයේ නැහැ. නමුත් මම රජතුමාට තිබෙන බියටයි පෙහෙවස් සමාදන් වූ බව කීවේ. මට අද දින පෙහෙවස් සමාදන්වීමට නොහැකි වූවා’යැයි කියා සිටියා.
’එසේනම් ඔබ බොරුකීමේ සිල්පදයත් කැඩූ අයෙක් වෙනවා. ඒ නිසා ඔබ අද අර්ධ උපෝසථ සීලය හෝ සමාදන් වන්න. එයත් ඔබට බොහෝ යහපත පිණිසම හේතු වේවා’ යැයි ඒ යහලුවා ඔහුට අනුකම්පා ඇතිව කරුණා සිතින් කියා සිටියා.
ඔහුගේ ඒ වචනය ඉතා ඉහළින් පිළිගත් අර පුද්ගලයා ගෙදර ගොස් ආහාර නො ගෙනම, මුව ඇඟපත පිරිසුදු කරගෙන උපෝසථ ශීලය සමාදන් වී ඒ මත පිහිටා වාසය කළා. නමුත් ආහාර නො මැතිව හිස් වූ කුස තුළ බලවත් වාතය හේතුවෙන් හටගත් උදර රෝගයකින් ඔහු එදිනම මිය පරලොව ගියා.
මිනිස් ජීවිතය අත හරිනවාත් සමඟම දික් වූ අතක් හකුලන වේගයකින් ඔහු ඕපපාතිකව පේ‍්‍රත ලෝකයේ පර්වත කුහරයක විමාන පේ‍්‍රතයෙකුව උපන්නා. ඔහු එක් රැයක් අර්ධ උපෝසථය රැකීම් සිතු පමණින්ම ඔහුට දිව්‍ය විමානයක් ලැබුණා. දෙවඟන් දස දහසක් පිරිවර ඇතිවුණා. දිව සැප ලැබුණා.

නමුත් වංචනික ලෙස වෙළඳාම් කළ පවෙන්ද, පිසුනු බස් කීමේ විපාකය හේතුවෙන් ද ඒ පේ‍්‍රතයා තමන්ගේ පිටේ මස් තමන්ම කඩාගෙන කනවා.
එක් දිනක් ගිජ්ක්‍ධකූට පර්වතයේ වැඩ වාසය කර එයින් බසිමින් සිටි ආයුෂ්මත් නාරයන් වහන්සේ මේ පේ‍්‍රතයාව දුටුවා. උන්වහන්සේ අසා සිටිනවා

ඔබ මල් පැළඳගෙන ඉන්නවා. ඔටුන්නත් දාගෙන ඉන්නවා. අත්පාවල ආභරණ පැළඳගෙන ඉන්නවා. සඳුන් කල්ක තවරාගෙන ඉන්නවා. ඔබේ මුව මඬල හරිම ප්‍රසන්නයි. හිරුගේ පැහැයෙන් බබලනවා.
ඔබට යම් යම් පරිවාර ජනයා ඉන්නවා නම් ඒ අය දිව්‍ය පිරිසයි. ඔබට යම් උපස්ථායිකාවක් ඉන්නවානම් ඒ අය විතරක් දිව්‍ය කන්‍යාවන් දසදහාක් ඉන්නවා. ඔවුන් සක්වල ඇදි පළඳනා පැළඳගෙන ඉන්නවා. රන්වන් මුදුන්මල් කඩකින් සැරසිලා ඉන්නවා. නුඹ මහනුභාව සම්පන්න යි. ඔබව දකිනකොට ලොමුඩැහ ගැන්වෙනවා. එහෙත් ඔබ තමාගේම පිටේ මස් කඩාගෙන කනවා.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොනවගේ පවක්ද කර ගත්තේ? මොනවගේ කර්මයක විපාකයක් නිසාද ඔබගේ පිටේ මස් කඩාගෙන කන්නේ?

මම මනුස්ස ලෝකයේ ඉන්න කාලේ මට අයහපත පිණිස ජීවත් වූයේ කේලාම් කීමෙන් බොරුකීමෙන් කපටි වැඩවලින් වංචාවෙන් මම ගත කළා. එහිදී මම පිරිස් මැදට ගිහිල්ලා අසත්‍ය කතා කළා. මම යහපත් කාරණය අත්හැර දාලා අධර්මයට අනුවයි ගත කළේ.
මම අනුන්ට, නැති තැන ඇදකුද කිය කියා නින්දා කළා. ඒ පිටුමස් කෑම නිසා අද මම මගේ පිටුමස් කනවා.
පින්වත් නාරද ස්වාමින් වහන්ස, ඔබවහන්සේ ඒ මාව දැක ගත්තා. ලෝකානුකම්පාව ඇති අතිශයින්ම දක්ෂ වූ බුද්ධාදි උතුමන් යමක් වදාළා නම් මා කියන්නෙත් ඔබවහන්සේට එයම යි. කේලම් කියන්න එපා. බොරු කියන්න එපා. මම කළ ආකාරයට පිටු මස් ගන්නත් එපා.
තථාගතයන් වහන්සේ මේ දේශනාව සියලු දෙනාගේ යහපතට දේශනා කොට වදාළා. එය සෑම දෙනාගේ ම යහපතට හේතු වූවා.



පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 6 වන බ්‍රහස්පතින්දා දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment