Labels

Sunday, September 13, 2015

මහා ප්‍රජාපතී ගෝතමී මහරහත් තෙරණිය


සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කලුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ භාරයට පත්කළ බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා




රාජ මාතාව, රාජ මෙහෙසිය, රාජ කුමරිය යන නාමයන් ස්ත්‍රීන් හට දුලභ නොවෙයි. නමුත් යම් ස්ත්‍රියක් හට ‘බුද්ධ මාතා’ වන නමක් වේ නම් එය ලෝකයේ පරම දුර්ලභයි. එම දුර්ලභ වාසනාව හිමිවන්නේ කල්ප ගණනකින් උපදින වාසනාවන්ත ස්ත්‍රී රත්නයකට ය. ගෞතම බුදුරදුන් නිසාම ඒ මහා වාසනාව ලද්දී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය යි.

සිදුහත් කුමරා තම කුසින් නොවැදුවද ඇය එදා මෙදා තුර අප ගෞරවයෙන් වන්දනා කරන ගෞතම බුදු සසුනේ බුද්ධ මාතාවයි. බුද්ධ මාතාවක් වීමේ වාසනාව ලද ඇයම බුදුරදුන්ගේ ළවෙහි උපන් උතුම් ශ්‍රාවක දියණියක් වීම කෙතරම් නම් ආශ්චර්යයක් ද?
දඹදිිව දෙව්දහ නුවර ‘අඤ්ජන’ මහරජුට දාව ‘සුළක්ඛණා’ රජබිසව කුසින් උපත ලද මහා ප්‍රජාපතී ගෞතමිය රූප සම්පත්තියෙන් මෙන්ම ගුණ නැණ බලයෙන්ද බැබලුණි. මහාමායා කුමරිය ඇයගේ දෙටු සොහොයුරිය යි. දණ්ඩපානී හා සුප්පබුද්ධ යනු ඇයගේ සොහොයුරන් දෙදෙනා ය. වැඩිවියට පත් මහාමායා කුමරියත්, මහා ප්‍රජාපති ගෝතමියත් කිඹුල්වත්පුර සුදොවුන් නිරිඳුන්ගේ බිසොවුන් බවට පත්විය

සම්බුදු උපතින් සත් දිනක් ඇවෑමෙන් මහාමායා බිසව කළුරිය කිරීමෙන් පසු බෝසත් කුමරාගේ සියලු කටයුතුවල වගකීම පැවරුණේ මහා ප්‍රජාපතී ගෝතමි දේවියටයි. ‘බුද්ධ මාතාව‘ වීමට පෙරුම් පුරා සපැමිණි ඇය සිඟිති බෝසත් පුතුට කෙතරම් නම් සෙනෙහසක් දැක්වූයේ ද යත් ඇය තම කුසින් වැදූ නන්ද කුමරුන් කිරි මව්වරුන්ගේ් භාරයට පත්කොට බෝසත් කුමරාගේ කටයුතු වෙනුවෙන් ජීවිතය කැප කළා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් දෙවැනි වර්ෂයේ මහරහතන් වහන්සේ විසිදහසක් පිරිවරා කිඹුල්වත් පුරයට වැඩමකොට යමා මහ පෙළහර පාමින් දහම් දෙසූ අවස්ථාවේ ප්‍රජාපතී ගෝතමිය අතිශයින්ම සතුටට පත්වූවාය. උන්වහන්සේ රජ මාලිගයේ දේශනා කරන්නට යෙදුන

ධම්මං චරේ සුචරිතං - න තං දුච්චරිතං චරේ
ධම්මචාරී සුඛං සේතී – අස්මිං ලෝකේ පරම් හි ච


යන ගාථාව ශ්‍රවණයෙන් ඇය උතුම් සෝතාපන්න ඵලයෙහි පිහිටියා ය. ශ්‍රී සද්ධර්මය පිළිබඳව උතුම් දහම් ඇස උපදවාගත් ප්‍රජාපතී ගෞතමියගේ බලාපොරොත්තුව වූයේ ගිහි ගෙයින් නික්ම බුදු සසුනේ පැවිදීවීමයි. නමුත් අවස්ථා කිහිපයකදීම ඇයගේ එම බලාපොරොත්තුව බුදුරජාණන් වහන්සේ වෙතින් ප්‍රතික්ෂේප විය.
එක් දිනක් ගෞතමිය බුදුරජාණන් වහන්සේට වස්ත්‍ර යුගලක් සූදානම් කරගෙන පැමිණි විට උන්වහන්සේ වදාළේ ‘පින්වත් ගෝතමියනි, ඔය වස්ත්‍ර යුගලය සංඝයාට පූජා කරන්න. සංඝයාට පූජා කළ කල්හි එය මට පූජා කළා වෙයි. සංඝයාටද පූජාකළා වෙයි යනුවෙනි. ඇය දෙවැනි, තෙවැනි වරටද එය පිළිගන්නා ලෙස ඉල්ලා සිටියත් බුදුරදුන්ගේ් පිළිතුර වූයේ ‘සංඝයාට පූජා කරන්න’ යනුවෙනි. එවෙලෙහි ඒ අසල සිටි ආනන්ද ස්වාමින් වහන්සේ

’භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගල පිළිගන්නා සේක්වා! සුගතයන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමියගේ වස්ත්‍ර යුගලය පිළිගන්නා සේක්වා! ස්වාමිනි මේ ප්‍රජාපතී ගෝතමිය ඔබවහන්සේට බොහෝ උපකාර කළා. ඔබ වහන්සේගේ් කුඩා මෑණියෝ ය. ඔබවහන්සේ කුªඩා කළ මැනවින් ඇතිදැඩි කළා. පෝෂණය කළා. වැදූ මව කලුරිය කළ දා පටන් ඔබවහන්සේට කිරි පොවමින් මහත් වූ ආදරයෙන් යුක්තව රැකබලා ගත්තා.

ස්වාමිනි, ඔබවහන්සේද මහා ප්‍රජාපතී ගෝතමියට බොහෝ සෙයින් උපකාර කොට තිබෙනවා. ඔබවහන්සේ නිසාම ඇය තෙරුවන් සරණ ගියා. ඔබවහන්සේ නිසාම ඇය පන්සිල් රැකීමට පින්කම් කිරීමට පුරුදු වුණා.ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයෙහි නිසැක වුණා’. ආදී වශයෙන් ඇයගේ් ගුණ වර්ණනා කරන්නට විය. ආනන්ද හිමියන් එසේ වදාළ කල්හි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපතී ගෝතමිය අරභයා දන්දීමේ අනුසස් පිළිබඳව දැක්වෙන විස්මිත දෙසුමක් වන ‘දක්ඛිණ විභංග සූත්‍රය’ දේශනා කොට වදාළ සේක. එදා ප්‍රජාපතී ගෝතමිය අරභයා දේශනා වූ එම දෙසුම අදටත් බොහෝ දෙනාට මහත්ඵල මහානිශංස ලැබෙන ආකාරයෙන් ද දන් පැන් පූජා කිරීම පිණිස බෙහෙවින් හේතු වෙයි. මේ ආකාරයට පින්දහම් රැස්කර ගත් ගෝතමියගේ සිත නිරන්තරයෙන් ඇදී ගියේ පැවිද්ද වෙතයි. රජ මැදුරේ හුදෙකලා වූ යශෝදරාවන්ගෙන්ද පැවිදිවීම පිණිස නිතර ඇවිටිලි ගලා එන්නට විය. ඒ අනුව මහා ප්‍රජාපතී ගෝතමිය මහත් වූ අපේක්ෂාවෙන් යුතුව කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ විසූ බුදුරදුන් හමුවී පැවිදිවීම පිණිස අවසර ඉල්ලා සිටියත් බුදුරදුන් වෙතින් එය තෙවරක්ම ප්‍රතික්ෂේප විය.

නමුත් ගෞතම බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබාගැනීමේ බලවත් වුවමනාවකින් පසු වූ ඇය රෝහිණී නදී තීරයේදී බුදුරජාණන් වහන්සේ වෙතින් ‘කලහවිවාද සූත්‍ර දේශනාව‘ අසා පැවිදි වූ පන්සීයක් පමණ වූ කුමාරවරුන්ගේ බිරින්දෑවරුන් සමඟ කෙස් වැටි කපා දමා කසාවත් හැඳ මැටි පාත්‍රාගෙන, ශ්‍රමණ වෙස් ගෙන බුදුරජුන් වෙත පැමිණියා. කිඹුල්වත්පුර සිට විශාලා මහනුවර දක්වා වූ පනස් එක් යොදුනක් වූ ගමන් මග පා ගමනින්ම නිමකොට වෙහෙසුණු සිරුරින් යුතුව කූටාගාර ශාලාවේ දොරකට බොහෝ දුකට පත්ව කඳුළු පිරුණු මුහුණින් යුතුව සිටින්නා වූ මෙම කුල ස්ත්‍රින් පිරිස ආනන්ද හිමියන්ට දැකගන්නට ලැබිණි. ඉක්බිති ආනන්ද හිමියන්ගේ් මැදිහත්වීමෙන් කාන්තාවන් සඳහා පැවිද්ද ලබාදෙන සේක්වා! යන ඉල්ලීම නැවතත් බුදුරදුන් ඉදිරියේ ඉදිරිපත් විය. එමෙන්ම ගෞතම බුදුසුසුන තුළ පැවිදි වූ කාන්තාවන්ටද සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන මගඵල පසක් කිරීමට බාධාවක් නොමැති බැවින්ද අවසානයේ උන්වහන්සේගේ අනුමැතිය ඒ සඳහා ලැබුණි.

’එසේනම් ආනන්දයෙනි, මහා ප්‍රජාපති ගෝතමිය අෂ්ටගරුක ධර්ම පිළිපදින්නේ නම් එයින්ම ඇගේ පැවිදි උපසම්පදාව සිදුවන්නේ”යැයි වදාළ සේක.
කාලය ගෙවෙද්දී ඇයගේ වයස එකසිය විස්සක් වූ විට පිිරිනිවන් පාන්නට ඇය අවසර ලබාගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ හමුවට වැඩම කොට දොහොත් මුදුන් දී වන්දනා කර ගෞරවයෙන් යුතුව මෙසේ පැවසීය.

’සුගතයන් වහන්ස, මම ඔබවහන්සේගේ් මව් වෙමි. වීර්යයන් වහන්ස ඔබවහන්සේ මාගේ පියා වෙයි. නාථයන් වහන්ස, ඔබ වහන්සේ මට සදහම් සුව ලබා දුන් සේක. ගෞතමයන් වහන්ස මම ඔබවහන්සේ වෙතින් උපන්නෙමි. ඔබ වහන්සේගේ් රූපකාය මා විසින් වඩන ලදී. උතුම් වූ මාගේ දහම්කාය ඔබ වහන්සේ විසින් වඩන ලදී. මහා මුනිවරයාණෙනි, මා විසින් කුඩා කළ ඔබවහන්සේ හදා වඩා ගන්නා ලදී. නමුත් ඒ හදාවඩා ගැනීමට ඔබවහන්සේ මට ණයගැති නොවෙයි.ආදි ලෙස තුති ප්‍රකාශ කොට ආදර ගෞරව වන්දනා මාන දක්වා නොයෙක් පෙලහර පාමින් පිරිනිවන් පිණිස සමුගෙන වැඩම කළා ය. එවිට බුදුරජාණන් වහන්සේ විසින් බුද්ධ මාතාවන්ට කෘතගුණ දැක්වීම පිණිස සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රධාන සඟරුවන සමගින් විහාර දොරටුව තෙක් වැඩම කළහ.

ගෞතම සසුන් අඹරේ පායා සුදිලුණු අද්විතීය චරිතයක් වන අපගේ මහා ප්‍රජාපතී ගෝතමි නම් වූ මහරහත් තෙරණින් වහන්සේට අපගේ නමස්කාරය වේවා...!




 පොල්ගහවෙල
මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි







ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ අධි බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ අගෝස්තු 31 වන සිකුරාදා   දින  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment