මංගල සූත්‍රයේ දැක්වෙන ආකාරයට නියම ආකාරයෙන් අකම්පිතව මෙම තත්ත්වයට මුහුණ දීමට නම් රහත් බව ලබන්නට ඕන. ඒතාක් අප ද එක්තරා හෝ අවබෝධයකින් යුක්තව මේවාට මුහුණ දීමට සිත සකස් කරගත යුතුයි. බුදු දහම පරලොවට පමණක් සීමාවන ධර්මයක් නොවෙයි. ජීවිතයේ එදිනෙදා අපට හමුවන ප්‍රශ්නවල දී ඒවාට විසඳුම් මැනවින් ඉදිරිපත් කර තිබෙන ධර්මයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ, මෙම උතුම් වූ ධර්මයයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“පුට්ඨස්ස ලෝක ධම්මේහි
චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං
ඒතං මංගල මුත්තමං”
චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං
ඒතං මංගල මුත්තමං”
වාසනාවන්ත පින්වතුනි,
මෙහෙණි සස්නෙහි ආරම්භය සිදු වූ බිනර මස පුන්පොහෝ දිනය අදයි. අද දින ධර්ම දේශනාව සඳහා ඉහතින් මා සඳහන් කිරීමට යෙදුනේ මහා මංගල සූත්‍රයේ එන ප්‍රසිද්ධ ගාථා රත්නයක්. එහි සරල අදහස විමසා බැලීමේ දී අටලෝ දහමෙන් යමෙකුගේ සිත කම්පා නොවේ ද, ශෝක නැත්තේ වේ ද, කෙලෙස් රහිත වේ ද, සැනසීමෙන් යුක්ත වේ ද මේවා උතුම් මංගල කරුණු වේ.
අටලෝ දහම නම් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන මේවායි. මේ ලෝකයේ පවත්නා මෙම ධර්මතාවන්ට අපට සැමදා මුහුණ දීමට සිදුවෙයි. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිත පිළිබඳව විමසා බලන විට උන්වහන්සේ තරම් මෙම අටලෝ දහමට මුහුණ දුන් වෙනත් කෙනෙක් මෙම ලෝකයේ විසුවාදැයි අපට සිතෙනවා.
උන්වහන්සේ වෙත සදේවක ලෝකයා වෙතින් ගලා ආ තුති ගීතිකාවල නිමක් නැතිවා සේම මාගන්දියා, චිංචි මානවිකා ආදීන්ගෙන් මෙන් ම ආගමික විරුද්ධවාදීන්ගේ උපක්‍රම නිසාවෙන් උන්වහන්සේට මුහුණ පෑමට සිදු වූ නින්දා අපහාස ද ඉතා විශාලයි. නමුත්, මේ කිසිවකින් උන්වහන්සේ වෙහෙසට පත් වූයේ නැත. ලාභ, අලාභ, දුක, සැප ආදී අනික් අංගවලටත් උන්වහන්සේ එසේ ම මුහුණ දුන්හ.
මංගල සූත්‍රයේ දැක්වෙන ආකාරයට නියම ආකාරයෙන් අකම්පිතව මෙම තත්ත්වයට මුහුණ දීමට නම් රහත් බව ලබන්නට ඕන. ඒතාක් අප ද එක්තරා හෝ අවබෝධයකින් යුක්තව මේවාට මුහුණ දීමට සිත සකස් කරගත යුතුයි. බුදු දහම පරලොවට පමණක් සීමාවන ධර්මයක් නොවෙයි. ජීවිතයේ එදිනෙදා අපට හමුවන ප්‍රශ්නවල දී ඒවාට විසඳුම් මැනවින් ඉදිරිපත් කර තිබෙන ධර්මයක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ, මෙම උතුම් වූ ධර්මයයි.
ගිහි ජීවිතයට ධනය අවශ්‍යයි. දුක් මහන්සියෙන් ලබාගන්නා ධනය එදිනෙදා කා බී අවසන් කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. තමාට මුහුණ පෑමට සිදුවන හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම පිණිස උපයා සපයා ගන්නා ධනයෙන් කොටසක් තැන්පත් කරන ලෙසට බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේ දී උපදෙස් දෙන්නේ,
“ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය
ද්වී හි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය
ද්වී හි කම්මං පයෝජයේ
චතුත්ථඤ්ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති” යනුවෙනි. එහි දී තමා ලබන ධනය කොටස් හතරකට බෙදා එයින් කොටසක් එදිනෙදා පරිභෝජනය සඳහාත් කොටස් දෙකක් තමන්ගේ දියුණුව සඳහා යොදාගන්නා ලෙසටත් සිව්වෙනි කොටස විපතක දී ප්‍රයෝජනයට ගැනීම පිණිස තැන්පත් කර තබන ලෙසටත් අපේ බුදුරජාණන් වහන්සේ උපදෙස් ලබා දී තිබෙනවා. සිතූ දේ සිදුනොවන නොසිතූ දේ සිදුවන ලෝකයේ යම්කිසි සැකැස්මකින් තොරව ජීවිතය ගෙවන පුද්ගලයාට මුහුණ පෑමට සිදුවන්නේ ඉතා අවාසනාවන්ත තත්ත්වයන්ටයි. “අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති” යන බුද්ධ දේශනාවට අනුව අපගේ ජීවිතයේ දී අප නොසිතන තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවෙනවා. එහි දී අවශ්‍ය කරන මූල්‍ය ශක්තිය අපට ලබා දෙනුයේ අපම තැන්පත් කරගත් ඉහත කී අපේ ම ධනයයි. එලෙසට ධනය නොමැති වූ කල්හි අප තවත් අසරණ වෙනවා. මෙහි දී අප මානසිකව කඩා වැටෙනවා. නමුත් අටලෝ දහම ගැන හොඳ අවබෝධයක් අපට තිබුණොත් අපේ ජීවිත වඩාත් ශක්තිමත් වෙනවා. අටලෝ දහම පිළිබඳව මනා වූ අවබෝධයක් අපේ ජීවිතයට අවශ්‍ය වන්නේ මේ නිසාමයි.
ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න පැන නැඟුණු අවස්ථාවන්හි දී ඒවාට මුහුණ පෑමට නොහැකිව වස බඳුනක් පානය කිරීම, නැතිනම් ගෙල වැළලා ගැනීම වැනි දේකින් ජීවිතය අකාලයේ විනාශ කර ගැනීමට පෙළඹෙන්නේ මේ අවබෝධය වර්තමානයේ බොහෝ දෙනෙකු තුළ නොමැති නිසයි. තිර්ථකයන්ගේ නින්දා අපහාස විඳීමට නොහැකිව ආනන්ද හාමුදුරුවෝ එදා බුදුරජාණන් වහන්සේට යෝජනා කළේ වෙනත් ප්‍රදේශයකට යාමටයි. එහෙත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ ආනන්දය! ඒ ප්‍රදේශයත් මේ වගේ ම වුණොත් අපි එතැනින් යන්නේ කොහොට දැයි යනුවෙනි.
පිංවතුනි, සමහරවිට ඔබ සිහිනෙන්වත් නොසිතූ වරදකට හසුවියහැකියි. කෙනෙක් ඔබට චෝදනා කළ හැකියි. එවිට ඔබ ඉක්මන් නොවන්න. ඊට කම්පා නොවන්න. සමහරවිට එවන් අවස්ථාවක ඔබ අධික ලෙස කලබලයට පත්වීම තුළින් ජීවිත කිහිපයක අවසානය ළඟාවීමටත් පුළුවන්. ඒ පිළිබඳව කළබල නොවී ක්‍රියා කිරීම තුළින් අවසානයේ ඔබටම සැනසීමක් උදා කර ගත හැකි වෙනවා පමණක් නොව සමහර විට ඔබට චෝදනා කළ පිරිසම කම්පාවට ද පත්වෙනු ඇත. එය ඔවුන්ට ම චෝදනාවක් ගෙන දෙන්නක් වේවි. චිංචිමානවිකාවගේ ප්‍රශ්නයේ දී මෙන් ම සුන්දරී පරබ්‍රාජිකාවගේ ප්‍රශ්නයේ දී ද බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ එබඳු වූ ක්ෂාන්තියකිනි. ඒ නිසාවෙන් ම බුදුරජාණන් වහන්සේට චෝදනා කළ පිරිසටම අවසානයේ එකී චෝදනාවන්ට ලක්වී සමාජයෙන් නින්දා අපහාස සහ දඬුවම් ලබන්නට සිදුවුණි. ඒ නිසාවෙන් ම අකම්පිතව, ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබ අප සැමට කායික මෙන් ම මානසික සුවතාවයක් ද ගෙන දෙන්නක් වෙනවා. සමහර පිරිස් තමන්ට ලාභයක් ලැබෙන විට දැඩිසේ උද්දාමයට පත්වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනා රාමය වැනි මහා වෙහෙර විහාර ලැබුණා යැයි උඩඟු වූයේ නැහැ. මේ ලෝකයේ ලැබිය හැකි උතුම්ම ලාභය වන නිර්වාණ ලාභය ලැබීවත් උන්වහන්සේ උඩඟු වූයේ නැහැ. උන්වහන්සේ එකී ලාභය යෙදවූයේ ද අන්‍යන්ගේ ප්‍රයෝජනය හෙවත් පරෝපකාරය සඳහායි. ඒ නිසා යමක් ලබන විට මෙන් ම නොලබන විට බුදුරදුන්ගේ ශ්‍රාවකයන්වන අප උද්දාමයට හෝ නොසතුටට පත් නොවිය යුතුයි.
තවද, අපේ බුදුරජාණන් වහන්සේ එක් වස් සමයක දී යව සහල් වළඳමින් කටුක දිවියක් ගත කළ බව උදය සූත්‍රයේ සඳහන් වෙනවා. නමුදු, උන්වහන්සේ එකී දුෂ්කරත්වය අවබෝධ කරගෙන කම්පා නොවී වස් තෙමසම එහි ගත කළා. එහි දී උන්වහන්සේ එකී බාහිර සුවයන්ගෙන් අමුතු සතුටක් ලැබුවේ ද නැත. නමුත්, පෘථග්ජන අපි සැපතේ දී සතුටු වෙනවා දුකේ දී වැළපෙනවා. ඒ මෙම අටලෝ දහම නිවැරැදිව අවබෝධ කරගෙන නැති නිසා ඒ නිසා අපි අටලෝ දහම නිවැරැදිව අවබෝධ කරගත යුතු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ශාස්තෘත්වයෙන් සලකා අපි මෙම ධර්මය අවබෝධ කරගත යුතු වෙනවා. සැදැහැති බෞද්ධයකුගේ මේ ලෝකත් පරමාර්ථයක් බවට එය පත්විය යුතුයි.
පුහුදුන් ගතිය නිසා ඇතිවන මෙම වෙනස් වීම බුද්ධිමත් ව කල්පනා කර අකම්පිතව, එඩිතරව, නිර්භයව මුහුණ පෑමට ඉටා ගන්න. එය සියලු දෙනාට ම මෙලොව වශයෙන් අප ලද විශාල ජයග්‍රහණයක් බවට පත්කරගෙන ජීවිතය ජය ගැනීමට හේතු වාසනා වේවා.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
නියෝජ්‍ය ලේඛකාධිකාරී
අස්ගිරි මහා විහාර පරිවේනාධිපති
නාරම්පනාවේ ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 27 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment