තථාගතයන් වහන්සේ වනාහි බ්‍රහ්ම විෂ්ණු මහේෂ්වරාදි දෙවියකුගේ අවතාරයෙක් හෝ මිහි පිට දෘශ්‍යමාන වූ කිසි දේවනිර්මිත මායාරූපයෙක් හෝ නොව ඉතා දීර්ඝ කාලයක් ගුණ දම් පුරමින් වුත් අනුන්ගේ උපදෙස් නැති වැ ස්වයං ශක්තියෙන් ම නුවණ වැඩීමෙන් සියල් කෙලෙස් නසා තතුස්සත්‍යයන් අවබෝධ කළ අතුල්‍ය ප්‍රාඥයෝ ය. ලෝවැස්සා විඳිනා දුක් දැක කරුණායෙන් තෙත් ළයැති ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් අවබෝධ කළ චතුස්සත්‍යධර්මය අන්‍යයනට දේ්ශනා කොට ඔවුනට සසර දුකින් මිදීමට මග පෙන්වා වදාළ සේක. උන්වහන්සේ වදාළ ඒ ධර්මය “බුද්ධාගමය” නම් වේ. උන්වහන්සේ වදාළේ කුමක් ද? නො වදාළේ කුමක් ද? යනු මෙසේ දත යුතුයි.
බුදුරජාණන් වහන්සේ අතීතානාගත වර්තමාන සංඛ්‍යාත කාලත්‍රයවර්ති වූ සියලු ධර්මයන් තත්Àවාකාරයෙන් අවබෝධ කළ නුමුත් දුකින් මිදීමට මග පෙන්වීම වූ තමන් වහන්සේ ගේ යුතු කමින් පිට බාහිර දෑ ඉගැන්වීමෙහි ව්‍යාපෘත නොවූ සේක. නක්‍ෂත්‍ර ඡෙÁදීලංකාර භූගර්්භශාස්ත්‍රාදි නානා ශාස්ත්‍ර ඇති වතත් ඔහු දුකින් ගැලවීමට මග පෙන්වන ශාස්තෘවරයකු විසින් පෙන්වියැ යුත්තාහු නො වෙත්. කොතරම් දුර ඒ උගත්තත් ඒ දැනීම සසර දුකින් මිදීමට පිටිවහල් නොවන බැවිනි.
උන්වහන්සේ දුකින් මිදීමට මග පෙන්වීමේ දී ඒ ඒ දතයුතු කාරණයන් අසන්නාට හොඳින් තේරුම් ගත හැකි වනු පිණිස ලෝවැස්සාගේ සම්මුතියෙන් නානා කරුණු උදාහරණ උපමා වශයෙන් ගෙන හැර පෑ සේක. ඒ උපමා උදාහරණයන් පානා උන්වහන්සේ ගේ එක ම බලාපොරොත්තුව වූයේ ඒ උපමා කථා මාත්‍රයක් සම්මුති කථා මාත්‍රයක් ඉගැන්වීම නොව එයින් වෙන කාරණයක් (එනම් තමන් වහන්සේ ඒ පිරිසට උගන්වන්නට අදහස් කළ කාරණය) පැහැදිලි කැරැ දීම යි.
ලෝවැසියා විසින් දුකින් මිදීමට අවශ්‍යයෙන් දත යුතු වූයේ දුකත් දුඞඛසමුදයත් දුඞඛනිරෝධයත් දුඞඛනිරෝධ ගාමිනී ප්‍රතිපත්තියත් යන කාරණා චතුෂ්කය යි. මෙහි දුක නම් තෘෂ්ණාවර්ජිත ස්කන්ධ පංචකය යි. දුඞඛසමුදය නම් ඒ ස්ක්න්ධ පංචකයාගේ පැවැත්මට හේතු වූ තෘෂ්ණාව යි. දුඞඛනිරෝධය නම් ඒ ස්කන්ධ පස නැවැත (මතු භවයෙහි) නො පහළ වීමට කාරණය යි. ජ:ඛනිරෝධගාමිනී ප්‍රතිපත්තිය නම් එයට මාර්ගය යි (උපාය යි).
ලෝක ව්‍යවහාරයෙහි “සත්ත්ව“ යැ යි යමකට නම් කරනු ලැබේ ද ඒ නම් ලබන්නේ අවිද්‍යාදි හේතුප්‍රත්‍යයයෙන් පහළ වූ ධර්ම රාශි පසෙකි. ඒ රූපරාශිය, වේදනාරාශිය, සංඥාරාශිය, සංස්කාරරාශිය, විඥානරාශිය යන මොහුයි. යම් සේ මැටිසුණු ගල් ගඩොල් ලී ආදිය එක් පිළිවෙළකින් ගළපා නැංවු කළ එයින් මැදි වූ අවකාශය ගේ යැ යි කියලු ලැබේ ද, රෝද මැදිරි වියගස් ආදිය එක් කොට එක් පිළිවෙළකින් ගළපන ලද්ද රථයැ යි කියනු ලැබේ ද, එසේ ම රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන ධර්ම රාශීන් පස් දෙනා එක් වූ විට එයට සත්Àව යැ යි කියලු ලැබේ. ඇති සැටි සෙවීමේදී ඒ රූපාදි පස මිස ඉන් අන්‍ය වූ සත්Àව පුද්ගල ආත්ම ජීවාදි කිසිත් නැති බව පෙනේ.
“සත්Àව“ යන නම ලබන රාශි (ගොඩවල්) පසින් රූප ගොඩ (රූපස්කන්‍ධය) ගෙන පරීක්‍ෂා කරමු. රූප යනු පෘථිවි අප් තේජස් වායු (තදගතිය, බැඳගන්නා ගතිය, යමක් කුණු විය නොදී රැක ගන්නා ශීත උෂ්්ණ ගතිය, සෙලැවෙන පුරවන ගතිය) යන ධාතු සතරක් පැහැය ගඳ රස ඕජස යන සතරත් දැ යි යන මෙකී අට දෙනා ගෙන් යුත්, කිසිවකු විසින් වෙන් කොට ලියැ නොහැකි රූප මිටියෙකි. මුළු ශරීරය ම මෙබඳු රූපමිටි රාශියක් ම වේ. ශරීර යැ යි කියනු ලබන ඒ රූපරාශිය හැදෙමින් සිටිමින් බිඳෙමින් ලියල ලියලා දිගින් දිගට පරම්පරා වශයෙන් පවත්නා බැවින් එහි එක ද රූප කැබැල්ලෙක් නිත්‍ය නො වේ. යමක් නිත්‍ය නො වේ නම් ඒ සැපයෙකුත් නොවේ. නිත්‍යත් නො වේ නම් සැපත් නො වේ නම් එය ආත්ම (තමා) ආත්මීය වශයෙන් (තමාගේ කියා) ගත යුත්තෙකුත් නො වේ. මෙසේ මුළු රූප රාශිය ම අනිත්‍ය වූවක් අනාත්ම වූවක් බව ම ඔප්පු වේ.
දැන් වේදනා රාශිය ගෙන පරීක්‍ෂා කරමු. “වේදනා” යනු සිත හා යෙදෙන අරමුණු රස විඳීම ය. සුඛවේදනා දුඞඛවේදනා උපේක්‍ෂාවේදනා යැ යි ඒ තුන්වැදෑරූම් වේ. ඒ වේදනාව සිත හා එක්වැ හට ගනී. සිත එක්වැ නිරුද්ධ වේ. එක අරමුණක් ම ගනී (හෙවත් සිත යමක් අරමුණු කෙරේ ද එහි යෙදෙන වේදනාවත් එය ම අරමුණු කෙරේ). එක් තන්හි ම සිත හා පහළ වේ.
2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment