Labels

Thursday, September 17, 2015

රූපාදි ස්කන්ධයේ තිබෙන ජරා මරණ දකින්නේ කොහොමද?

 

ජරා, මරණ වශයෙන් හිතා විමසා අප තුළ තිබෙන සැබෑ ස්වභාවය දැනගන්න උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහය කිරීම තුළම ශ්‍රද්ධාව, ප්‍රමෝදය, පී‍්‍රතිය, ඵස්සද්ධිය,
සමාධිය ඇති කරවමින් ඇත්ත දැකීම පිණිස හේතු උපකාර වෙනවා. ඒ පිළිබඳව අප නුවණින් මෙනෙහි කරන්න, විමසන්න ඕන. එය එක පාරටම කරන්න පුළුවන් දෙයක් නොවේ. දකිනවා කියන අවස්ථාව ක්ෂණිකයි. ඒක එක ක්ෂණයක් තුළ සියල්ල සිදුවෙන්න පුළුවන්. නමුත් දැක ගන්නවා කියන අවස්ථාව එකපාරට සිදුවෙන එකක් නොවේ

තථාගතයන් වහන්සේ වදාළ දහම අපගේ ජීවිතවලට ගලපාගෙන අපගේ් ජීවිතවලට අලුත් වටිනාකමක් එක්කර ගත හැකියි . උන්වහන්සේ වදාළ ආකාරයට මේ දහම් න්‍යායට අනුව ජරා මරණය හැටියට හිතන්න, මෙනෙහි කරන්න සිදුවෙනවා. ජරා මරණය අප තුළින්ම දකින්න ඕන. ජරා මරණය හැටියට බලන, හිතන, විමසන ධර්මයෝ මොනවාද?

මෙහිදී අපට මතුවන්නේ මේ පංච උපාධානස්ඛන්ධය පිළිබඳවයි. පංච උපාධානස්කන්ධය පිළිබඳව නුවණින් හිතුවොත්, විමසුවොත් විතරයි මේ කියන සෙසු සියලුම ධර්මතා උපදින්නේ. ඒ වගේම හට ගන්නේ. එනිසා අප තේරුම් ගන්න ඕන යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය යමකු පවත්වනවානම් ඒ පංච උපාධානස්ඛන්ධය අරමුණු කරගෙන වෙන්න ඕන. පංච උපාධානස්කන්ධයෙහි සැබෑ තත්ත්වය විමසන වැඩපිළිවෙලක් වෙන්නටත් ඕන.

අයෝනිසෝ මනසිකාරය කියන එකත් වෙන දෙයක් පිළිබඳව නොවේ. එය යෙදෙන්නෙත් පංච උපාධානස්කන්ධය පිළිබඳවම යි. එහෙමනම් පංච උපාධානස්කන්ධය පිළිබඳව ඇතිතතු සිතන විමසන අවස්ථාවක් තියෙනවා. සමාධිමත් සිතින් ඇත්ත දකිනවා. ඒ සමාධිමත් සිතින් ඇත්ත දකින්න නම් සිත සමාධිමත් වන ආකාරයට සෙසු ධර්මතා පුරවන්න ඕන.

ජරා මරණ වශයෙන් හිතා විමසා අප තුළ තිබෙන සැබෑ ස්වභාවය දැනගන්න උත්සාහ කළ යුතුයි ඒ දැන ගැනීමට උත්සාහ කිරීම තුළම ශ්‍රද්ධාව, ප්‍රමෝදය, පී‍්‍රතිය, ඵස්සද්ධිය, සමාධිය ඇති කරවමින් ඇත්ත දැකීම පිණිස හේතු උපකාර වෙනවා. ඒ පිළිබඳව අප නුවණින් මෙනෙහි කරන්න, විමසන්න ඕන. එය එක පාරටම කරන්න පුළුවන් දෙයක් නොවේ. දකිනවා කියන අවස්ථාව ක්ෂණිකයි. ඒක එක ක්ෂණයක් තුළ සියල්ල සිදුවෙන්න පුළුවන්. හැබැයි දැක ගන්නවා කියන අවස්ථාව එකපාරට සිදුවෙන එකක් නොවේ. සමහර කෙනෙකුට ඒ දැකීම වහා ඇතිවන්නත් පුළුවන්.

එහෙත් අප එසේ ඉක්මන් නො විය යුතුයි. ඉක්මණින් මඟඵල ප්‍රාර්ථනා නො කළ යුතුයි. අප කළයුත්ත හරියට කරගෙන යනකොට ප්‍රාර්ථනා වලින් අවශ්‍යතාවයක් නැහැ. ජරා මරණ වශයෙන් මේ රූපාදි ස්කන්ධයන් දකින්නේ් කොහොම ද? කියලා සත්පුරුෂයකුගෙන් අහගෙන දැනගෙන සියලුම කටයුතු කිරීම පමණයි අපට කරන්නට තිබෙන්නේ. එතැනින් එහාට යෙදෙන හැම ධර්මයක් ම නිරායාසයෙන් උපදින ධර්ම ලෙස බුදුරජාණන් වහන්සේ අවධාරණය ටකාට මහ කරුණාවෙන්, මහ ප්‍රඥාවෙන් දේශනා කළ බව අපට පැහැදිලි යි. ඒ නිසා ශ්‍රද්ධාව කියන අදහසට සැබෑ අර්ථයක් මේ තුළ මතුවෙනවා.

ශ්‍රද්ධාව කියන වචනයට වර්තමාන ලෝකය තුළ විවිධ අර්ථකථන වචන දක්වා තිබෙනවා. හැබැයි මේ න්‍යාය තුළ ශ්‍රද්ධාව උපදින්නේ ඒ ඒ පුද්ගලභාවය තුළ ඇතිකර ගන්නා ප්‍රසාදය නොවේ. කෙනෙකුගේ් පැවතුම් ඉරියව් දිහා ඇතිකර ගන්නා ප්‍රසාදයට වඩා තමා තුළින් එන ගැඹුරු වැටහීමක් ඇතිකර ගන්න පැහැදීමක් බව ඒ ගැන හිතන විමසනකොට තේරුම් ගන්නට පුළුවන්.

ශ්‍රද්ධාව තේරුම් ගන්නට මෙසේ උපකල්පනය කරගන්න. ඔබ ඉන්න තැනට ඉදිරියෙන් හොඬවැල හකුළුවාගෙන හිස මතට ගත් දරුණු ලෙස කෝපවුන හස්ති රාජයෙක් ඔබට ප්‍රහාරයක් එල්ල කරන්නට ඉදිරියට දුවගෙන එනවා. එයට මුහුණ දෙන්න හැකියාවක් නැත්නම් ඔබ මොකද කරන්නේ? ජීවිතය බේරාගෙන ආරක්ෂක තැනකට දුවන්න ඕන. දුවන ගමන් ඔබට ගැලපෙන ආරක්ෂිත තැනක් සොයමිනුයි ඉදිරියට දුවන්නේ. ඔබට නොයෙක් ප්‍රමාණයේ ගස්, ගල් පර්වත හමුවෙන්න පුළුවන්. ඒ දුවන වේගයෙන් ඔබ මැන ගන්නවා පසුපසින් එන අනතුරේ ප්‍රමාණයත් ඒ වගේම මේ ගහ, ගල, පර්වතය ආරක්ෂිත තැනක් ලෙස නවතින්නට ප්‍රමාණවත් නැති බවත් ඔබ තේරුම් ගන්නවා.

ඔබ ඒ හැම තැනක්ම පසු කරමින් ඉදිරියට දුවනවා. ඔබට හමු වෙනවා ලොකු ගල් පර්වතයක්. පෙනෙන පමණින් එය පිටුපසින් එන අනතුරට වඩා උසයි. ආරක්ෂිතයි. නමුත් එහි පේනේනේ එක පැත්තක් විතරයි. මේ පැත්තෙන් එහෙම වුණාට අනෙක් පැත්තෙන් සතුරාට අනතුරට ළංවිය හැකිවන්නත් පුළුවන්. පෙනෙන දිසාවෙන් දැනෙනවා මේක ආරක්ෂිත තැනක් කියලා. පසුපසින් එන අනතුරට වඩා උස් වූ භූමියක් නිසා ඔබ ඒ මතට ගොඩවුණා කියලා හිතන්න. ගොඩ වූ පුද්ගලයා හාත්පස බලනවා. එවිට පේනවා එක පැත්තකින්වත් මේ සතුරාට ළංවෙන්න බැහැ. දැන් සුරක්ෂිතයි. අනතුර ටික ටික පහව යනවා. මම සුරක්ෂිතයි කියා සිතනකොට එතැන තමයි නිවැරැදි තැනට ළංවීම. සමීප වීම. ඒ සමගම ප්‍රමෝදය පී‍්‍රතිය කියන කරුණු සියල්ලම එක පෙළට ගැලපෙනවා.

ශ්‍රද්ධාවත් මේ ආකාරයට වෙන්න ඕන. ජරා මරණයෙන් මිදෙන්න දුවනගෙන යනකොට නිගන්ඨයන් වැනි ශාස්තෘවරු විවිධ පිළිවෙත් අනුගමනය කරන ආචාර්යවරු ගුරුවරු ඉන්න පුළුවන්. ඒ හැම දෙයක් ගැනම විමසා බලන්න වෙනවා. දුවගෙන යන්නේ පසුපසින් තමාවෙත හමා එන හස්ති රාජයාගේ බලය බිඳින්නයි.
අපි පුංචි පර්වතයකට, ගහකට ගොඩවෙලා මම ආරක්ෂිත තැනකට ගොඩවුණා කියලා හිතන්න, සතුටුවෙන්න පශ්‍රීතිවෙන්න පුළුවන්. හැබැයි ඒ සමඟම අනතුරට ළංවෙන්නත් පුළුවන්. ඒ සතුට පැහැදීම වැඩිවෙලාවක් තියෙන්නේ් නැහැ. ඒක සැබෑ පැහැදීමක් නොවේ. අපි හුඟක් දෙනෙකුගේ් සැබෑ පැහැදීම අර පසුපසින් එන අනතුර නො දැන ප්‍රමාණය නො දැන පුංචි ගහකට පර්වතයකට ගොඩවලා මම දැන් සුරක්ෂිතයි හරි තැනකට ආවා කියලා ඒ මොහොතේ සිතුවොත් ඒ වැරැදි පැහැදීම වැරැදි ප්‍රමෝදය සතුට මගින් අපට වැරදෙන්න පුළුවන්.

එනිසා අප ඉදිරියට දුවන ගමන් පසුපසින් එන සතුරාගෙන් ප්‍රමාණය සිහි කරන්න ඕන. එවිටයි ආරක්ෂිත භූ®මිය නිවැරැදිව හඳුනාගන්න පුළුවන් වෙන්නේ. නිසි ආරක්ෂිත තැනක් එනතුරු දුවන්න ඕන. එනිසා ඒ දුවන වේගයත් සමග පසුපස හඹා එන මහ හස්තියා ගේ ප්‍රමාණය පිළිබදව සිතේ වැටහීමක් අවශ්‍ය යි. එවිට ගැලපෙන සුරක්ෂිත තැනක් සොයාගන්න පුළුවනි.

ඒ වගේම වේගයෙන් අප කරා දුවගෙන එන හස්ති රාජයා වගේ් තමා ජරා මරණය. ජරා මරණ අප වෙත වේගයෙන් එමින් පවතිනවා. පැවැත්්මට ඒ ජරා මරණය නමැති හස්ති රාජයාගෙන් මිදෙන්නට මගක් ඒ අනතුරෙන් ගැලවෙන්න තැනක් සොයාගෙන දුවන්න ඕන. බලාගෙන හිටියොත් බොහෝම වේගයෙන් ඒ අනතුරට මුහුණ දෙන්න වෙනවා.
සුරක්ෂිත භූමියක් හොයාගෙන ඉදිරියට යන්න ඕන. මෙතැන දී තමයි තථාගතයන් වහන්සේ වදාළේ මේ ජරා මරණින් මිදීම සඳහා දැන් වැඩ අරඹන්න.
ඉදිරියට යන්න ඕන සුරක්ෂිත තැනක් හොයන්න ඕන. මේ මිනිස් බවක් ලබාගත් ඔබටත් මටත් පැවරුනු සුවිශේෂ වගකීම එයයි


 


පිළියන්දල සද්ධර්මාලෝක
ධර්ම නිකේතනයේ අනුශාසක
පිටිගල ගුණරතන හිමි






 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 12 වන බදාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment