Labels

Saturday, September 12, 2015

හැම ක්‍රියාවකදීම සිතිවිලි ප්‍රධානයි



 දර්ශනය යනු දැක්මයි. දෙනෙතින් දකින දේත් දර්ශන වූවත් දහමට අනුව මෙහිදී සලකනු ලබන්නේ එම පියවි ඇසට පෙනෙන දර්ශන පිළිබඳව නොවේ. නුවණින් ඥානයෙන්, බුද්ධියෙන් දකින දැක්මයි හෙවත් නුවණැසින් බලන බැල්මයි. දකින දැක්මයි.

එසේ නුවණැසින් දකින්නට නම් බලන්නට නම් ‘නුවණ’ යන දෙය යමෙකුට තිබිය යුතු ය. සාමාන්‍යයෙන් භාවිතා වන වදන් අනුව යමක් වටහා ගැනීමේ බුද්ධිමය හැකියාව නුවණ හෙවත් ඥානය ලෙසින් හඳුනාගත හැකියි. මේ හැකියාව ශක්තිය එක් එක් අයට උපතින් පිහිටන්නේ ඒකාකාර ව නොවේ. අඩු වැඩි වශයෙන් විවිධාකාරවයි. ඒ අනුව වැටහෙන නුවණ ප්‍රමාණයෙන් හා තත්ත්වයෙන් විවිධයි. විෂමයි.
උපතින් මේ හැකියාව නො ලබන අය පළමුවෙන් කුඩා කාලයේ සිට ලබාදෙන අධ්‍යාපනයෙන් වගේ ම පංචේන්ද්‍රියයන්ට දැනෙන දෙයින් (ප්‍රායෝගික අත්දැකීම් මගින්) ඇතිකර ගනී. ඇති අය - අඩු අය වැඩි දියුණුකර ගනී. බුද්ධි වර්ධනය ලෙසින් නූතන මනෝවිද්‍යාඥයෝ අධ්‍යාපනඥයෝ විස්තර කරන්නේ එයයි. ඒ සඳහා සුදුසු ක්‍රම සහ විධි ද සකසති. ක්‍රියාත්මක කරති.

එහෙත් ඒ සියල්ල එකසේ පිරිසකට එකවර අනුගමනය කළා වූවත් මේ බුද්ධි වර්ධනය වූවද සිදුවන්නේ එක් එක් අයට විවිධ මට්ටමිනි. විවිධ ප්‍රමාණයෙනි. එසේ වන්නට හේතුව බුදු දහම කදිමට විග්‍රහකර දක්වයි. පෙර සසරේ හුරුපුරුදු, බුද්ධි වර්ධනය කළා වූ ප්‍රමාණය ද මෙවර මිනිස් භවයේදී ලබන බුද්ධි මට්ටම කෙරෙහි බලපා ඇති බව ඒ අනුව වටහාගත හැකිය. (නෙළුම් විලේ උපමාව මීට අදාළයි) ඉහළ ම බුද්ධියක් ඇති අය ද, අඩු ම බුද්ධියක් ඇති අයද, ඒ අතරමැද වූ අය ද, බුද්ධිය නැති අය ද වශයෙන් වර්ග කෙරී ඇත.
බුදුදහමේ වු දර්ශනය වටහා ගන්නට නම් මිනිසා තුළ ඇතිකරගත හැකි උසස් ම බුද්ධි මට්ටම තිබිය යුතු ය. මේ සුවිශේෂී බුද්ධිය හඳුන්වා ඇත්තේ ‘ප්‍රඥාව ලෙසිනි.

අනෙක් සාමාන්‍ය අය වෙත නැති ඉහළම බුද්ධිය කාටවත් ඉබේ ලැබෙන්නේ හෝ ඉබේ ඇති වන්නේ නැත. සම්මා සම්බුදුවරයෙකු ගේ දහම් ඇසීමෙන් හා ඊට අදාළ ව ලැබෙන උපදෙස් මාලාව අනුව ප්‍රඥාව ලබන හා දියුණු කරනා ක්‍රියා කාරකම්, අභ්‍යාසයන්හි නිරතවීමෙන් පමණෙකි.

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව නො මැති වූවත් දහම ප්‍රගුණ කළා වූ ධර්මධර, විනයධර ශ්‍රාවකයින් වහන්සේලා වෙතින් අසා දැන ගැනීමෙන් නැතිනම් දහම වෙත මැනවින් සවන් දීමෙන් ප්‍රඥාව ලැබේ. වර්තමානයේ නම් නිවැරැදි දහම ඇතුළත් පොත පත කියවීමෙන් ද යම් මට්ටමකින් හෝ ප්‍රඥාව ලැබිය හැකි ය. පවත්නා යම් මට්ටමක් වේ නම් එය වැඩිදියුණු කර ගත හැකියි. ධර්ම ශ්‍රවණය සැබෑ බෞද්ධයා ගේ මූලික ලක්ෂණයක් ද වෙයි.

උගත්කම හෙවත් දහම් දැනුම බුද්ධි වර්ධනයට නැතිනම් ප්‍රඥාව ඇතිවීමට උපකාරි වනවා වුවත් දැන සිටි පමණින් ම ප්‍රඥාව ඇති වන්නේ නැත. යම් යම් ලෞකික විෂයයන් පිළිබඳ ව වුවද විශේෂඥ දැනුමක් ඇති විභාග පිට විභාග සමත් කළ, සම්මාන පිට සම්මාන ලද උගතුන් අතර වුවද ඒ දැනුමට අදාළ ප්‍රායෝගික භාවිතය ඉතා ම පහළ මට්ටමක පවතී. එහිදී අසමත් වේ. උගත්කම සමඟ උගත්කමින් දියුණු කරගන්නා බුද්ධිය ම අවබෝධ පිණිස අදාළ වෙයි.

ලෞකික විෂය කාරණා අරබයා උසස්ම බුද්ධියක් ඇතිකර ගන්නා අය අතර දහම් අවබෝධයක් ලැබිය හැකි තත්ත්වයේ වූ අය නැත්තේ හෝ ඉතා අඩු වන්නේ මේ කියන ප්‍රඥාව නම් වූ බුද්ධි විශේෂය ඒ තුළ නොමැති නිසා ය.

ලෞකික බුද්ධියේ ඉහළ ම අවස්ථාව මිනිස් මොළය යොදවා කෙරුණු ඉහළ ම මට්ටමේ නිපැයුම් දෙස බලන විට වැටහෙනු ඇත. මේ බුද්ධියම තම තමන්ගේත් මිනිස් සංහතියේත් විනාශය අරබයා ද භාවිතා කළ හැකි බව මෙන් ම භාවිතා කෙරෙන අයුරු ද දැකිය හැකියි. එහෙත් ප්‍රඥාව නම් වූ උසස් ම බුද්ධිය තමාට හෝ කිසිදු සතෙකුටවත් හානිකර නොවේ ම ය. යහපතට ම අදාළ වෙයි. ලෝකෝත්තර පැත්තටම බරවෙයි. කුසලයට ම නැඹුරු වූවකි. නිවනට ම නැඹුරු වූවකි.

මේ කියන ප්‍රඥාව ඇති අයට පමණයි ලොව එකම සත්‍ය ධර්මය වටහා ගත හැක්කේ. අවබෝධ වන්නේ ආර්ය සත්‍යය වටහා ගැනීමට නිවැරැදි දැක්මයි. චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ අවබෝධය ම බෞද්ධයා ගේ දර්ශනයයි. මේ අවබෝධය නොමැති ව එතැනින් එහාට කිසිදු ආර්ය ගමනක් හෝ ආර්ය ප්‍රතිපදාවක් හෝ නිවන් ලැබීමක් ඇත්තේ ම නැත.
මිනිස් සිතේ හට ගන්නා සංකල්පයන් උසස් නම් මිනිසා වෙතින් සිදුකෙරෙන හැම දෙයක්මත් උසස් ම ය. සංකල්පනාවන් නිවැරැදි නම් කරන කියන කෝකත් නිවැරැදි ම වෙයි. සිතිවිලි පිරිසුදු නම් යමෙකු ගේ කායික, වාචසික සකලවිධ ක්‍රියාකාරකම් තුළින් සම්මිශි‍්‍රත චරිතය ද පිරිසුදු ය. ජීවිතය උසස් ය. බුදුහදමින් අපේක්ෂා කෙරෙනුයේ ද එබඳු බෞද්ධ පිරිසකි.
හැබෑ බෞද්ධයා යනු ද තමාට ද හෝ අනුන්ට හෝ කිසිදු අයුරකින් හානියක් – නපුරක් – අවැඩක් සිදු වන සිතිවිල්ලකටවත් තම සිතේ ඉඩක් නො තබන අයෙකි.
කයින් – වචනයෙන් සිදුවන අන් සියලු ක්‍රියා වුවද සිදුවන්නේ ඊට පළමුව සිතේ හටගන්නා සිතිවිලිවලට අනුව ය. මනස සියලු දහමට පූර්වාංගම වෙයි. මූලික වෙයි. චේතනාවම ක්‍රියාව ද වෙයි. අචේතනික ක්‍රියා වශයෙන් ද නො සිතා හෝ ඉබේ පුරුද්දට මෙන් සිදුවන ක්‍රියා ද ඇතැම් විට සිදුවන නමුත් ඒවායින් කුසල කර්ම හෝ අකුසල කර්ම රැස් නොවේ. කුසල් - අකුසල් සඳහා චේතනාව ම මුල්වන බැවිනි. රහතුන් වහන්සේලා තුළ ඇත්තේ ද ක්‍රියා සිත් නමින් හඳුන්වනු ලබන සුවිශේෂී සිතිවිලි වර්ගයක් පමණි.

සාමාන්‍ය මිනිස් සිතක කාමයට බරවූ සිතිවිලි - සංකල්පනාවගේ ම තරහව -ක්‍රෝධය - වෛරය ආදී සිතිවිලි ද හට ගනී. හිංසාවට පීඩාවට බර වූ සංකල්පයන්ද ඇති වේ.
මේවායේ විරුද්ධ පැත්තට බර වූ සංකල්පයන් ද යම් යම් ප්‍රමාණයන්ගෙන් අඩු වැඩි වශයෙන් මිනිස් සිතේ හටගනී. බුදුදමට අනුව නම් තිසරණගත වූ සැබෑ බෞද්ධයකුගෙන් අපේක්ෂා කෙරෙනුයේ මුළුමනින් ම මේ පංච කාමයට බර නොවන, තරහ - වෛරය, ක්‍රෝධය මැඩලූ, අවිහිංසාවාදී සිතිවිලි සහිත වූ අයම ය. සිතුවිලි පාලනය බෞද්ධ ජීවිතයක ප්‍රධාන අංගයකි.

සාමාන්‍ය පෘථග්ජන තත්ත්වයේ අයෙකුගේ සිතිවිලි නිරතුරුව ම කාමයට බරව ම හටගනී. හැම විටකදීම නැඹුරු වන්නේ ඇස පිනවන දේ දැකීමට ය. කන පිනවන දේ ඇසීමට ය. දිව පිනවන දේ රසවිඳීමට ය. නාසය පිනවන සුවඳ කෙරෙහිම ය. ශරීරය පිනවන පහස ලබනු සඳහා ම ය.
එබඳු කාමයට බර වූ අයෙකු ගේ සිතිවිලි තණ්හාව දියුණු තියුණු කරයි. කෙලෙස් වර්ධනය කරවයි. නිවීමට පටහැනි වූ රත්වීම අධික කරවයි.

තණ්හාව වැඩි දියුණු කෙරෙන අයෙකුට සසරින් ගැලවීමක් නොමැත. අකුසලයට ම බරකරවන නිසා එහි විපාකයන්ගෙන් ගැලවීමක් ද නොමැත. හැබෑ බෞද්ධයා මේ බව ඉතා හොඳින් අවබෝධකර ගත් අයෙක් නිසාත් සසර බිය මැනවින් දැක එයින් වහ වහා ගැලවෙනු සඳහා උත්සුක වෙයි. ඒ නිසාම හිතට එන එන අයුරින් (ස්වභාවිකව) ඒ ඒ කාම සිතිවිලිවලට ඉඩ නො තබා වහ වහා ඉවතලීමට යුහුසුළු වෙයි. හරියට රත් වූ යකඩ කෑල්ලක් ගිනි අඟුරක් අත්ල මතට වැටුණුවිට වහ වහා ඉවතලන අයුරිනි. කාමයන්ගෙන් නික්මීමේ අවශ්‍යතාවය තදින් දැනේ. කාමයට බරවීමේ ආදීනව ද හොඳින් දන්නා නිසා කාම සංකල්පනාවන් පාලනය කරගනී.

තද තරහව ද සිත් රත්කරවන ගිනිගොඩක් බව සැබෑ බෞද්ධයා හොඳින් දනී. ක්‍රෝධය, වෛරය මිශ්‍රිත සිතිවිලි සිතේ හට ගන්නා විට ඒ රත්වීමේ තරම අවබෝධකර ගනී. රත්වීමට ඉඩ නොතබා රත්වූ තරමක් වෙත් නම් එය නිවා ගැනීමට අලුතින් රත්වීමක් ඇති නො වීමටත් නිතරම වග බලා ගනී. එබඳු අයෙකු ගේ සිත තුළ තරහ පිරිමහන ක්‍රියාවකට පළිගැනීමකට, වචන පිටකිරීමකට කිසිදු ඉඩක් නො ලැබේ. තද තරහව පාලනය කරගනී.
එසේම කිසිවෙකුට හෝ හිංසාවක් පීඩාවක් වන දෙයක් කරනවා කියනවා තබා හිතන්නටවත් ඉඩ තබා ගන්නේ නැත. හිංසාකාරී සිතිවිලි ඉතා සැලකිල්ලෙන් හා ඕනෑකමින් පාලනය කර ගැනීමට වගබලා ගනී.
කුරා කුහුඹුවෙකුට තරම්වත් හිංසාවක් කෙරෙනවාට අකමැති හැබෑ බෞද්ධයා අවිහිංසා සහගත සිතිවිලිවලින් ම සිත පුවා ගැනීමට උත්සාහ දරයි. හැබෑවට ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අවිහිංසාවාදියෙකි. හැම අයෙක් දෙස ම මෛති‍්‍රයෙන් - කරුණාවෙන් - මුදිතාවෙන් - උපේක්ෂාවෙන් බැලීමට හුරුපුරුදු වේ. සිතේ හටගන්නා සංකල්පයන් සියල්ලක් ම පාහේ මීට අනුකූලව වෙයි.

 බන්දුල අත්තනායක

2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment