Labels

Saturday, September 12, 2015

අප කොහේ සිට පැමිණෙන්නේද ?



 මම තායිලන්තයේ සිටියදී අතිවිශාල සර්පයින් දෙදෙනෙකු දුටුවෙමි. එයින් පළමුවෙනියා මගේ කලවය තරම් ලොකු අඩුතරමින් මීටර් හතක්වත් දිග පිඹුරෙකි. එවැනි විශාල සතෙකු දුටුවිට ඔබට එය විශ්වාස කළ නොහැකි වුවත් එය හැබෑවකි. අවුරුදු කීපයකට පසු නැවතත් ම විසින් ද, ආරාමයේ සිටි වෙනත් බොහෝ භික්ෂූන් වහන්සේලා විසින් ද එම සතා දැක ඇත. එම සර්පයා දැන් මිය ගොස් ඇති බව මට දැනගන්නට ලැබුණි. අනෙක් විශාල සර්පයා නාගරාජයෙකි. 

 ඒ මා තායිලන්තයේ වැසි වනාන්තරවල ජීවත් වූ කාලය තුළ මගේ ලොමු දැහැගැන්වී, ඉන්ද්‍රියන් තීව්‍ර ලෙස අකර්මන්‍ය වී අන්තරීක්ෂය විද්‍යූතයක් බවට පත් වූ අවස්ථාවන් තුනෙන් එකකි. මා කැලෑ පාරක කෙළවරකට හැරෙද්දී මීටර් එක හමාරක් පමණ වූ අඩිපාර සම්පූර්ණයෙන් වසා සිටි මහත කළු නාගයෙක් දක්නට ලැබුණි වලිගය හෝ හිස මට දක්නට නොහැකි වූ අතර ඒ දෙකම පාර දෙපැත්තේ පඳුරු අතර විය. නාගයා සිටියේ ගමන් කරමිනි. පාරේ පළල අනුව සර්පයාගේ දිග මම ගණන් බැලීමි. මා වලිගය දකින විට පාරේ පළල මෙන් හතක් ඇදී ගොසිනි. මීටර් දහයකට වඩා දිග එම සර්පයා මම දෑසින් දුටුවෙමි. මා එය ගම්වැසියන් සමග පැවසූ විට ඔවුන් කිවේ ඒ විශාල නාගයෙක් – නාග රාජයෙක් බවයි.
කීර්තිමත් පැවිදි ගුරුවරයෙකු වන අජාන් චා හිමියන්ගේ තායි ගෝලයෙකු වූ හිමිනමක් තවත් භික්ෂූන් වහන්සේලා ගණනාවක් සමග තායිලන්ත වනාන්තරයක භාවනා කරමින් සිටියදි එදෙසට පැමිණෙන සත්ත්වයෙකුගේ ශබ්දය හේතුවෙන් සියලු දෙනාගේ දෑස් එයට යොමුවිණි. නාග රාජයෙක් ඔවුන් දෙසට පැමිණෙන බව දක්නට ලැබුණි. තායිලන්තයේ ඇතැම් පළාත්වල මෙම නාගරාජයින් හඳුන්වනු ලබන්නේ එක් පියවරේ සර්පයා යනුවෙනි. එයට හේතුව දෂ්ට කරනු ලැබූ විට එක් පියවරක් පමණක් ඉතිරි වී ඊළඟ පියවරේදී මරණයට පත්වන බැවිනි. නාග රාජයා ජ්‍යෙෂ්ඨ හිමි නම සමීපයට පැමිණ උන්වහන්සේගේ හිසේ මට්ටමටම හිස ඔසවා පෙණය පුප්පා හ්ස්!හ්ස්! හඬින් පිඹින්නට පටන් ගත්තේ ය.
කළ හැක්කේ කුමක්ද? දිවීමට උත්සාහ කිරීම කාලය අපතේ දැමීමකි. මන්ද? මෙම විශාල සර්පයින්ට මිනිසුනට වඩා වේගයෙන් යා හැකිය.
තායි භික්ෂූන් වහන්සේ කළේ සිනාසී දකුණත හෙමිහිට ඔසවා නාග රාජයාගේ හිසට මෘදු ලෙස තට්ටුකර තායි බසින් “මා බලන්නට පැමිණියාට බොහොම ස්තූතියි” යනුවෙන් පැවසීමයි. භික්ෂූන් වහන්සේලා සියලු දෙනා විසින් මෙය දක්නා ලදී.
මෙම විශේෂ හිමි නම සුවිශේෂ වූ කරුණාවක් දැක් වූ අයෙක් විය. නාග රාජයා පිඹීම නතර කළේය. පෙණගොබය හකුළා ගත්තේය. හිස බිමටම පහත් කරගෙන වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ළඟට ගොස් පිඹින්නට පටන් ගත්තේ ය.
එම භික්ෂුව පසු දිනක කීවේ නාග රාජයෙකුගේ හිසට තට්ටු කිරීමට කිසිවිධියකින් ඔහුට නොහැකි බවයි. ඔහු ගල් ගැසිණි. භීතියට පත්විය. ඔහු නිහඬව ප්‍රාර්ථනා කරන්නට ඇත්තේ නාග රාජයා ඉක්මනින්ම තමා ළඟින් නික්මී වෙනත් භික්ෂූන් වහන්සේ නමක් වෙත යනු ඇතැයි යන්නය.
නාග රාජයාගේ හිසට තට්ටුකළ තායිලන්ත භික්ෂූන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ පිහිටි අපේ සේනාසනයේ මාස කීපයක් ගත කළහ. අලුතෙන් ඉදිකරමින් තිබූ ප්‍රධාන ශාලාව ඇතුළු තවත් ගොඩනැඟිලි ගණනාවක්ම ප්‍රාදේශීය සභාව මඟින් අනුමත කරගැනීමේ බලාපොරොත්තුවෙන් අපි පසුවීමු. ප්‍රාදේශීය සභාවේ නගරාධිපතිතුමා අප කුමක් කරන්නේ දැයි සොයා බැලීම සඳහා පැමිණියේ ය.
නිසැක වශයෙන්ම ප්‍රදේශයේ බලගතුම පුද්ගලයා නගරාධිපති තුමාය. එම ප්‍රදේශයේම හැදී වැඩුණු ඔහු බොහොම සාර්ථක ගොවියෙකි. එපමණක් නොව ඔහු අපේ අසල් වැසියෙකි. ඔහු පැමිණියේ නගරාධිපති වශයෙන් ඔහුගේ තත්ත්වයට ගැළපෙන පරිදි ඇඳ පැලඳ ගෙනය. ජැකට්ටුවේ බොත්තම් දමා නොතිබුණි. කමිසයේ බොත්තම් අතරින් ඉදිරියට නෙරා ආ ඔස්ෙට්‍රිලියානු ප්‍රමාණයේ බඩ ඔහුගේ වටිනා කලිසමට උඩින් එල්ලා වැටී තිබුණි. ඉංග්‍රීසි කථා කළ නොහැකි තායි භික්ෂූන් වහන්සේ නගරාධිපති තුමාගේ බඩ දුටුවේ ය. ඔහු නගරාධිපති වෙත ගොස් ඔහුගේ බඩට තට්ටු කරන්නට විය. ඔහු වැළැක්වීමට මට අවකාශයක් ලැබුණේ නැත.
‘වැඩේ හමාරයි!” මම සිතුවෙමි. ඒ හැටියට ගරු නගරාධිපතිවරයෙකුගේ බඩට තට්ටු කළ හැකිද? දැන් අපගේ ගොඩනැගිලි සැලසුම් කිසිදා අනුමත නොවනු ඇත. ‘අප විනාශයි, අපගේ ආරාමය කම්මුතුයි’
තායි භික්ෂූන් වහන්සේ විසින් නගරාධිපතිවරයාගේ ලොකු බඩට මෘදු ලෙස තට්ටු කරන්නටත් පිරිමදින්නටත් වූ විට නගරාධිපතිවරයා වැඩි වැඩියෙන් මදහසපාමින් අමන ලෙස සිනාසෙන්නට විය. තත්පර කීපයකින් ආනුභාව සම්පන්න නගරාධිපතිවරයා කුඩා දරුවකු සතුට පළ කරන්නාක් මෙන් මුමුනන හඬ නැගීය. පැහැදිලිවම මෙම සුවිශේෂ භික්ෂුව විසින් ඔහුගේ බඩ පිරිමදිමින් තට්ටු කළ සෑම විනාඩියක් පාසාම ඔහු එයට කැමැත්තෙන් සිටින්නට ඇත. අපගේ සියලුම ගොඩනැඟිලි සැලසුම් අනුමත විය. එපමණක් නොව නගරාධිපතිවරයා අපගේ හොඳම මිතුරකු සහ උපකාරකයෙකු බවට පත්විය.



2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකෝ උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment