Labels

Wednesday, September 30, 2015

ලස්සන සිරුරේ යථාව තේරුම් ගැනීම


“ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා ,තචො මංසං නහාරූ, අට්ඨි, අට්ඨි මිඤ්ඡ වක්කං හදයං යකනං කිලෝමඛං පිහකං, පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේලෝ සිංඝානිකා ලසිකාමුත්තං මත්ථකේ මත්ථලුංගං”

කියලා භාවනාවක් තියෙනවා. ඒක ද්විත්තිතංසාකාරං ලෙස හඳුන්වා තිබෙනවා.
“ද්විත්තිතංසාකාරය” හෙවත් දෙතිස් ලකුණු කුණුප භාවනාවෙ හමුවේ.
බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ සම්ප්‍රදාය තුළ ශරීරය පිළිබඳ සිතක් ඇතිකර ගැනීම භාවනාවක් ඇතිකර ගැනීම සඳහා මෙම ශරීර අභ්‍යන්තරයෙහි තිබෙන්නා වූ දේවල් පිළිබඳ එකතුවක් පමණකි. ඉමස්මිං කායේ ලෙස මෙම කයෙහි තියෙනවා කේසා ලෙස කෙසේද, ලෝමා ලෙස ලොම්ද, නඛා ලෙස නියද, දන්තා ලෙස දත්ද, තචෝ ලෙස හමද ,මංසං ලෙස මස්ද, නහාරෑ ලෙස නහරද, ආදී වශයෙන් කොටස් තිස් දෙකක් තිබෙනවා.
ද්විත්තිතංසාකාරයෙහි එන්නේ අවයව පමණක්ම නොවෙයි. අට්ඨි ලෙස ඇටද, මංසං ලෙස මස්ද, ඊට අමතරව සෙම්හං ලෙස සෙමද,ඛේලෝ ලෙස කෙළද තියෙනවා.

මෙම ලැයිස්තුව පමණක් භාවනාව සඳහා අරගනු ලබන්නේ අපට එතැනින් එහාට තමන් තනිවම කල්පනා කළ යුතු නිසයි. අප කල්පනා කළ යුත්තේ මොනවාද? මෙම ලැයිස්තුව තුළ තිබෙන කාරණා පිළිබඳව විමසා බලන විට එහි අවයව පමණක්ම අන්තර්ගත වී නැහැ. අවයව නොවන සෙම්, කෙළ ආදී දේ අඩංගු වී තිබෙනවා. අවයව සහ ඉන්ද්‍රිය යනු දෙකක් මිස එකක් නොවෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් පහ අප පංචේන්ද්‍රියන් ලෙස හඳුනා ගනී. ඇස පිළිබඳව කතා කරන විට එය දකුණු ඇසද වම් ඇසද කියලා ප්‍රශ්නයක් නොවන්නේ ඉන්ද්‍රියක් වශයෙන් ඇස් දෙකක් නැහැ. එක ඇසක් පමණයි.අපේ වම් ඇසෙන් වම් පැත්තේ තිබෙන දෙය කිසියම් දෙයක් පිළිබඳව හොඳට නිරීක්ෂණය කොට බලමින් දකුණු පැත්තේ ඇසින් දකුණු පැත්තේ තිබෙන යම් දෙයක් හොඳට නිරීක්ෂණය කර බලන ආකාරයෙන් දෙකක් බැලීමේ හැකියාවක් නැහැ. ඇත්ත වශයෙන්ම ඇස් දෙකෙන් දෙකක් බැලිය නොහැකියි. ඇස් දෙක, දෙකක් වූවද එය ඉන්ද්‍රිය වශයෙන් එකක් බව තේරුම් ගත යුතුයි. අවයව වශයෙන් එය දෙකක් වෙයි. කන්වලින් කන් දෙකක් තිබුණාට වම් කනෙන් අහල දකුණු කනෙන් එළියට දමනවා කියන අර්ථය කතාවට කියූ පමණින් එය කළ නොහැකිවූ දෙයක්.ඇසීමේදී කන් දෙකෙන්ම ඇහුවත් අවයව වශයෙන් දෙකක් වූවාට ඉන්ද්‍රියක් වශයෙන් එක කොටසක් වෙයි.

වෛද්‍යවරයෙකුට අවයව හමුවනවා මිස ඉන්ද්‍රියයන් හමුවන්නේ නැත.
අවයව ලෙඩ වූවාට ඉන්ද්‍රිය ලෙඩ වන්නේ නැත. අවයවයක් ලෙස ඇස්පෙනීම දුර්වල විය හැකි වුවද, ඉන්ද්‍රියක් ලෙස එය එසේ නොවේ. අවයවයක් ලෙස කන ඇසීම දුර්වල වුවද ඉන්ද්‍රියක් ලෙස එය එසේ සිදු නොවේ. මේ ආකාරයෙන් පැහැදිලි ලෙසම බලන විට අර්ථවත් වන්නේ, ද්විත්තිතංසාකාරයෙහි අඩංගු වන්නේ අවයව මිස ඉන්ද්‍රිය නොවන බවයි. ශරීර අභ්‍යන්තරයෙහි අවයව බොහොමයක්ම තිබියදී මෙම අවයව එකක් වත් ලස්සන නැහැ. අපේ හැඩරුව අපට මදිනම් අපේ ශරීර අභ්‍යන්තරයෙහි ඇති ඉන්ද්‍රියයන් ලස්සන නම්, ඒ ලස්සන අවයව එළියට රැගෙන හැම දෙනාටම පෙනෙන ආකාරයට තිිබිය හැකියි. වකුගඩුව හරිම ලස්සන නම්, එම ලස්සන වකුගඩුව අපේ කරේ එල්වාගත හැකිද? ඒ ආකාරයෙන් ලස්සනයි කියා කිව හැකි හෝ ලස්සන විය හැකි හෝ එකම අවයවයක්වත් ශරීර අභ්‍යන්තරයෙහි නැහැ. හැම විටම මෙහි තිබෙන හැම අවයවයක්ම අවලස්සනයි. සුවඳ හමන එකදු අවයවයක් හෝ ශරීර අභ්‍යන්තරයෙහි තිබෙයිද? ශරීර අභ්‍යන්තරයෙන් එලියට දැමූවිට ඇතුළට දැමිය හැකි තරම් සුවඳ හමන දෙයක් තිබේද? කටෙන් කෙළ බිදක් එළියට දැමූවිට එම කෙළ බිඳ නැවත වතාවක් අනේ මගේ කටේ තිබුණ කෙළ බිඳනේද? කියලා අපේ අතින් අල්ලන්නවත් හැකියාවක් එම කෙළ බිඳ තුළ නැහැ. අතින් අල්වා ගන්න බැරි තරමට අප්‍රසන්න වූ කෙළ බිඳ තිබුණේ මෙම ශරීරය අභ්‍යන්තරයෙහි වුවද එය ශරීරය තුළ තිබෙන තාක් එහි අප්‍රසන්නතාවයක් දැණුනේ නැහැ. නාසයෙන් එළියට දමන සොටු සෙම අප්‍රසන්නයි.

එය ශරීර අභ්‍යන්තරයෙහි තිබෙනකම් අපට අප්‍රසන්න නැහැ. අප්‍රසන්න වූ බොහොමයක් දේවල් අපි ශරීර අභ්‍යන්තරයෙහි රඳවාගෙන සිටී. අප්‍රසන්න වශයෙන් අසූචි, මුත්‍රා බොහොමයක් ශරීරාභ්‍යන්තරයෙන් පිටතට දමනවා . උදේ පාන්දරම අපේ ශරීරයෙන් එළියට දමන අලුයම ලන කෙළ පිඬ දක්වා සෑම දෙයක්ම අපිරිසුදුයි. රාත්‍රී සාදයකදී ඉතාමත්ම හොඳට ඇඳලා පැළඳලා සුවඳ විලවුන් ගල්වලා බොහොම ලස්සනට සිත් ඇදගන්නා ආකාරයට අප ජීවත්වෙනවා. ජරාව පිරුණු ගඳගහන අප්‍රසන්න වූ අසූචි කළයක් හොඳට වහලා කට බැඳලා ලස්සනට කැටයම් කරල තියෙනවා වගේ. ඉතාමත්ම ලස්සනට කැටයම්කරල හිස මත තබාගෙන යනවා වාගේ අප මේ ශරීරය දරාගෙන ඉන්නෙ.
ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා ආදි ද්විතිංසාකාරයෙහි අපේක්ෂණය වන්නේ ශරීර අභ්‍යන්තරය පිළිබදව සිතීමයි. සුවඳ නෑ, ලස්සන නෑ වගේම මේ දේවල් පවතින්නේ නැහැ. මෙම කයේ තිබෙන සෑම අවයවයකටම ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. සෙම පිළිබඳව ලංකාව තුළ සෙම සඳහාම රෝහලක් තිබෙනවා. සෑම අවයවයක් සඳහාම වෛද්‍යවරුන් ඉන්නවාය යනු අභ්‍යන්තර ශරීරාංගයන් ලෙඩවෙනවාය කියන එකයි. ලෙඩ වෙනවා යනු ස්වභාවයෙන්ම ක්‍රමානුකූලව අඩුවෙනවා හෙවත් වැය වෙනවාය යන අර්ථයයි. එවිට හදවත ක්‍රමානුකූලව දුර්වල වීමට පටන් ගන්නවා. ක්‍රමානුකූලව යහපත් වන හදවතක් කවදාවත්ම නැහැ. ක්‍රමානුකූලව වකුගඩු දුර්වල වනවා මිස ක්‍රමානුකූලව කල්ගත වීමක් සමඟ වකුගඩු හොඳ තත්ත්වයට පත්වන්නේ නැහැ.

කාලය ගතවීමත් සමඟ කෙස් නිරෝගී වන තත්ත්වයක් කවදාවත්ම එන්නේ නැහැ. කාලය ගතවීමත් සමඟ ක්‍රමානුකූලව වඩ වඩාත් අවපැහැගන්වනවා මිස සම පැහැපත් වන බවක් දක්නට නැහැ. වඩ වඩාත් පැහැපත් වෙමින් තිබෙන සමක් ලෝකයේ කොහේවත් නැහැ. ප්‍රමාණයෙන් ක්‍රමානුකූලව වර්ධනය වීමේ වේගවත් බව වැඩිකළ හැකි ශරීරයක් කෙටි කලක් පැවතියද එය දීර්ඝ කාලීනව කළ නොහැකියි. කාලය ගතවීමත් සමඟ නිරෝගී වන ශරීරයක් ඇත්තේම නැහැ. එය අවාසනාවන්ත තත්වයක් හෝ වරදක් හෝ පාපයක්ද නොවේ’. එම ස්වභාවය වයධම්මී වෙයි. උත්පාද වී ඇති සියලු දෙයම වයධම්මී ස්වභාවයට පත්වේ. “උත්පාද වයධම්මී” යනු වචන දෙකක වාක්‍යයක් වුවද මේ ලෝකයේ තිබෙන සියලුම දේවල් ස්වභාව ධර්මයට අනුව වැයවී ක්ෂය වී යන බව ඒ තුළ අන්තර්ගත වෙයි. පෙනහලු, ස්නායු, හදවත, ස්නායු තුළ ගමන් කරනා රුධිරය උත්පාද වයම්මිනෝ වෙයි. පිළිකා රෝගයක්, අංශභාග තත්ත්වයන්, හදවත් රෝගයක්, වැළඳීමට හැකි වන අතර ඒ සියලුම දේ තුළින් උත්පාද වයධම්මිනෝ තත්ත්වයට පත්වේ. මලක්, ලීයක්, මේසයක්, පුටුවක්, ගොඩනැගිල්ලක්, ශරීරයක් යන සියලුම දේ උත්පාද වයධම්මිනො තත්ත්වයට පත්වනවා නම්,උත්පාද වයධම්මිනො යනු, මිනිසෙකු මැරුණ විටදී බැනර් එකක ගහන වාක්‍යයක් පමණක්ම නොවේ.

 සුදුපාට රෙද්දක කලුපාට අකුරෙන් මුද්‍රණය කරනු ලබන අකුරු ටිකක් පමණක් නොවේ’. උත්පාද වයධම්මිනෝ යනු ලෝක යථාවකි. ශරීර අභ්‍යන්තරය පිළිබඳව මේ ආකාරයෙන් කතා කරනු ලබන්නේ පිළිකුලක් ඇතිකර ගැනීම සඳහා ම නොවේ’. ශරීර අභ්‍යන්තරයේ තිබෙන දේවල් පිළිබදව පිළිකුල් සහගතයි යනුවෙන් කල්පනා කිරීම පමණක්ම පුරුදු කළහොත් සමහර වෙලාවට ජීවිතය පිළිබඳව නීරස භාවයක් ඇතිවෙන්නට පුළුවනි. අපේක්ෂාභංගත්වයට පත්විය හැකියි. කෙසේ නමුත් විය යුතු වන්නේ එකී ජීවිතය අපේක්ෂාභංගත්වයට පත්කර ගැනීම නොව ජීවිතයේ යථාව තේරුම් ගැනීම පමණයි.
ඉමස්මිං කායේ, කේසා, ලෝමා,නඛා, දන්තා, තචෝ ආදි කොට ඇති මේ ද්විත්තිතංසාකාරයෙහි එන අවයවයන් ආශි‍්‍රත ශරීරාංගයන් පිළිබදව මනාව කල්පනා කොට එහි අන්තර්ගතවන ඇත්ත තේරුම් ගැනීම සඳහාය. සාමාන්‍යයෙන් අපේ ශරීරයෙහි මස සමෙන් වැසී පවතී. බොහෝ දෙනා සුවඳ කරන්නේත් ලස්සන කරන්නේත් සමයි. සම වර්ණ ගැන්නුවත් සම ඇතුළත තිබෙන ශරීරාංග වර්ණ ගන්වන්නට හැකියාවක් නැහැ. අවශ්‍ය වන්නේ ශරීර අභ්‍යන්තරය නිරෝගී කරගැනීම පමණයි. සම මතු පිට නිරෝගී කරගන්නවාටත් වඩා සාමාන්‍ය ජනතාවගේ වෑයම වන්නේ ලස්සන කර ගැනීමයි. ලස්සන කරගෙන සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් ජීවත්වීමේ අදහස මෙහිදී බැහැර කරනු නොලැබුවද, ශරීර අභ්‍යන්තරයෙහි ඇති අවයව පිළිබදව අවබෝධයක් ලබාගැනීම අවශ්‍ය වෙනවා. එය ලෞකික ජීවිතයේ සැරිසැරීම හා සැනසීම ලඟා කර ගැනීම සඳහා නොවෙයි ලෝකෝත්තර භාවය ජීවිතයට ළඟාකරගැනීම සඳහායි. මෙම සියලු දෙය තුළ අන්තර්ගතවී ඇත්තේ උත්පාද වයධම්මිනෝ යන සත්‍යයයි. සැම දෙයම වැය භාවයට පත්වී ක්ෂය භාවයට පත්වී එය නැතිවී යන ස්වභාව ධර්මතාවයක් . එය අවබෝධ කරගැනීම සඳහා ද්විත්තිතංංසාකාරය හෙවත් දෙතිස් කාරණා නිර්මාණය කර ඇත. එය සාමණේර ස්වාමින් වහන්සේලාගේ සිට භාවනානුයෝගී යෝගාවචරයා දක්වාම වැදගත් ප්‍රකාශයකි.



කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත
අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment