ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මය තුළ මිනිසාගේ පරම නිෂ්ඨාව නිවන් සම්පත් උදාකර ගැනීම බව අවධාරණය කරයි.
‘දුල්ලභංච මනුස්සත්තං’ මිනිසත් ආත්මභාවයක් ලැබීම දුර්ලභ බව මින් අවධාරණය කරයි. එම නිසා ලැබගත් දුර්ලභ මිනිසත් බව අවබෝධ කරගෙන ජීවිතය ගොඩනගා ගැනීම සද්පුරුෂයාගේ ස්වභාවය වෙයි.
බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව තුළ අවධාරණය කරන්නේ මිනිසත් බවේ වටිනාකමයි. සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ තණතට්ඨ සුත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි මැරෙමින් ඉපිදෙමින් ගමන් කරනවා සංසාරය අවසන් නොවන ගමනක් බවත්, එහි ආරම්භයත්, අවසානයත්, දැකිය නොහැකි බවත්, අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු නිසා සත්ත්වයන් සුගතිවල හෝ දුගතිවල උපත ලබන බවත් අවධාරණය කළහ.
සමාජය දෙස බලන විට ගිහි ජනතාවගේ ආකල්ප හඳුනාගත හැකිය. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බෞද්ධාගමේ මුලික අරමුණු සාක්ෂාත් කර ගැනීමට දරන උත්සාහය අල්පය. මතින් ලොල් ව කටයුතු කිරීම සමාජය පිරිහීමට බලපාන්නකි.
ධම්ම පදයේ මල වග්ගයේ
“සුරාමේරය පානංච
යෝ නරෝ අනුයුංජනි
ඉධෙවමේසෝ ලෝකස්මිං
මුලං ඛණති අත්තනෝ’
යමෙක් මත්පැන් බොයිද ?ඔහු මෙලොවදි තමාගේ විනාශයට මුල හාරාගනී. හෙවත් වළකපා ගනී. ‘සන්තුට්ඨි පරමං ධනං’ සතුට පරම ධනයයි. සතුට තුළ ජීවිතය ගොඩනගා ගත යුතුය. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ කස්සප සංයුක්තයේ සන්තුට්ඨි සුත්‍රය තුළ අවධාරණය කරන්නේ ලද දෙයින් සතුටුවීම පිළිබඳවයි. මනුෂ්‍ය ධර්මය ඉක්මවා යන්නක් වෙයි. එම නිසා ලද දෙයින් සතුට ඇති කරගත් පුද්ගලයා පුන්සඳක් සේ බබළන්නේය.එසේ ම ලාභ සත්කාරවලට ගිජුවීම පුද්ගල ජීවිතය පිරිහීමට හේතුවක් වන බව සංයුක්ත නිකායේ දාරපණ සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අවධාරණය කර ඇත. එම නිසා ලාභ සත්කාර දරුණුය. තියුණුය. එහි ඇලී ගැලී විසීම විනාශයට හේතුවක් වන්නේය.
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තෙවණ පණ්ණාසකයේ පඨම වළාගත හා දෙවන වළාගත සූත්‍රය තුළින් වලාකුළක් උපමා කොට ගෙන මාහැඟි දේශනාවක් කොට ඇත. එනම් වලාකුළු වර්ග හතරක් ඇති බවත්, එනම් ගොරවයි.එහෙත් නොවසියි
වසින්නේය එහෙත් ගෙරවිලි නැත
ගෙරවිලි නැත ගොරවන්නේද නැත
වසින්නේ ද නැත ගොරවන්නේ වෙයි
සමාජ පුද්ගල වර්ගීකරණය කෙතරම් අගනේද? සමාජය තුළ ජීවත්වෙද්දි දුක සැප ධර්මය හා අධර්මය පිළිබඳ අවබෝධය කෙතරම් දුරට අගය කළ යුතු ද යන්න මෙවන් පුද්ගලයන් සමාජය තුළ දැකිය හැකිය. ඔවුන්ගේ චරිත හඳුනාගෙන ක්‍රියා කිරීම තුළින් සමාජය යහපත් කිරීමට හෝ අයහපත් කිරීමට පුළුවන.
ධම්මපදයේ ආත්ම වග්ගයේ එන මෙම ගාථාව කෙතරම් ජීවිතයට සම්බන්ධ කරගත හැකි දැයි විමසිය යුතුය.
‘අත්තනාව කතං පාපං
අන්තතා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අන්තතාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤ මඤ්ඤෝ විසෝධයේ’
සමාජයේ පින්, පව් විශ්වාස නොකරන ඒ තුළ ඇලී ගැලී ජීවත්වන්නෝ සුලභය. එවන් සමාජයක ජීවත්වීමේ දී යමෙක් පව් කළහොත් කෙලෙසෙන්නේ තමාමය. පව් නොකළහොත් තෙමේම පිරිසුදු වන්නේය. පිරිසුදුව හා අපිරිසුදුව පවතින්නේ තමා කෙරෙහිය. එහෙත් අනෙකකු පිරිසුදු නොකරන්නේය. ජීවමාන බුද්ධ කාලයේ දී නිදසුන් තුළින් ඒ බව ප්‍රත්‍යක්ෂ කරගත හැකිය.
සූත්‍රපිඨකයෙහි ඛුද්දක නිකායට අයත් ථේරගාථා පාලියෙහි පෝසිය තෙරුන්ගේ ථේරගීතයේ දැක්වෙන අදහස විමසා බැලිය යුතුය. යමෙක් නිවනට පැමිණෙනු සඳහා ඍජු මාර්ග වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩයි ද ඒ පිළිවෙත් පුරනු සුබ කැමැත්තෝ සුවය ද ලැබෙයි. ඔහු කීර්තියට පැමිණෙයි. ඔහුගේ යසස ද වැඩේ මෙම ගාථාවේ අර්ථය තුළින් පුද්ගලයා විමුක්ති කාමී ගවේෂකයකු විය යුතුය. නිවන් අවබෝධ කර ගැනීම සඳහා එම පිළිවෙත් අනුගමනය කළ යුතුය. සසරින් එතරවීමට එය ඉවහල්වන බව බුද්ධ දේශනාවයි.
ථේරිගාථාවකට අනුව ධම්මා තෙරණිය කළ ප්‍රකාශය කෙතරම් වටින්නේ ද?
හිත්වා සරේ පබ්බ ජිතා
හිත්වා පුත්තං පසුං වියං
හිත්වා රාගඤ්ච දෝසඤ්ච
අවිජ්ජඤ්ච විරාජිය
සමුලං තණ්හං අබ්බුය්හ
උපසන්තම්හි නිබ්බුතානි
ගිහිගෙය හැර ප්‍රිය එළවන පුත්‍රයන් හා ගව මහිෂාදීන් ද රාගයත්, දෝෂයත්, ආර්ය මාර්ගයෙන් සිඳපියා අවිද්‍යාව ද මාර්ගයෙන් නසා අනුශය සහිත
වූ තෘෂ්ණාව උදුරාපිය උපශාන්ත වූ නිවුනේය. යනුවෙන් ධම්මා තෙරණිය කළ උදාන ගාථාවෙන් ජීවිතයේ ලද නික්ම ගැන පැහැදිලි වෙයි.
එම නිසා ලැබගත් මිනිසත් බව තිරිසන් බවට පත් නොකොට ආත්ම ලාභයට වඩා නිවන් ලාභය උසස් කොට සලකා ක්‍රියාකිරීම සැනසිල්ලට හේතුවක් වන බව පසක් කොටගෙන කටයුතු කිරීම තුළින් ජීවිතය මෙලොව හා පරලොව සැනසිලි සුවදායයි කරගත හැකිය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ ද ‘තුම්හේ හි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා’ මහණෙනි, මම නුඹලාට මාර්ගය දේශනා කර ඇත. එම මාර්ගයේ ගමන් කිරීම නුඹලා සතුයි යන්නයි. එම නිසා බුදු දහම තුළ දී සද්පුරුෂ ආශ්‍රය එතරම් වටින්නේ ය.
ධම්මපදයේ පණ්ඩිත වග්ගයේ පළමු ගාථාවෙන් ඒ බව මනාව වටහාගත හැකිය.
‘නිධිනංව පවත්තාරං
යං පස්සේ වජ්ජ දස්සීනං
නිග්ගය්හවාදිං මේධාවි
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෙය්‍යෝ හෝති න පාපියෝ’
යමෙක් නිධානයක් පෙන්වන්නකු මෙන් කෙනෙකුගේ ඇති වරද දකීද එයට තරවටු කරයි ද? අවවාද කරයිද? එබඳු වූ බුද්ධිමත් පණ්ඩිතයන් සේවනය කළ යුතුය. එබඳු දේ කරන්නාට යහපතක් මිස අයහපතක් සිදු නොවේ. මෙයින් අවධාරණය කරන්නේ මිනිසත් බවේ අගයයි. එම නිසා බුද්ධ දේශනාව සිහිකරමින් නිවැරදි කර්මාන්ත තුළින් ජීවිකාව කරගත් පුද්ගලයා සසර ජයගැනීමට වෙර දරයි. එසේ කළහොත් ලැබගත් මිනිසත් බව තුළින් අග්‍ර ඵලය නෙළාගතහැකිය. බුදු පසේබුදු මහරහත් බව ලැබිය හැක්කේ මිනිසකුට පමණි. තවත් සුව විඳින්නට මිනිසත් බවේ වටිනාකම සියලු සතහට අවබෝධ වේවා.
හලාවත ආනන්ද ජාතික පාසලේ ආචාර්ය,
හලාවත බංගදෙණිය,
ශ්‍රී රතන සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ,
එළුවාපිටියේ මහින්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ
සැප්තැම්බර් 21 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment