Labels

Monday, September 21, 2015

සේරණී පේ‍්‍රත වස්තුව


චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි.
එසේ නැත්නම් ඊළඟ ජීවිතයකදී පළ දෙන්නට පුළුවනි. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැනක දී ඵල දෙන්නට පුළුවනි. එම නිසාම පින්වත් මහණෙනි චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වන බවක් මම නො කියමි


මේ ලෝකයේ උපන් සෑම සත්ත්වයෙකුටම දුකින් නිදහස් වීම පිණිස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා දහම් දේශනා කොට වදාළා. උන්වහන්සේ වදාළා ඉපදෙන සෑම ලෝකයකම සැප දුක් විඳීමටත් මුළුමනින්ම කර්මය බලපාන බව. හතරවැනි ධ්‍යානයට සමාධිය දියුණු කොට සිත මෙහෙයවා චුතුපපාත ඥානය උපදවා ගත් බුද්ධ කාලීන භික්ෂූන් වහන්සේ පවා තම තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඤාණයෙන් එය වටහාගෙන සිටියා.

බොහෝ දෙනෙකු සිතා සිටින්නේ තම තමා හට සිත් වූ පරිද්දෙන් කර්මයෙන් මඟ හැර යා හැකි බවය. එහෙත් ඒ අනාවර්ණ ප්‍රඥා ඇති සමන්ත භද්‍ර වූ බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳව කරන විග්‍රහයක් අංගුත්තර නිකාය 6 හි ‘පඨම සංචේතනික’ සූත්‍රයෙහි සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වෙන බවක් මම නො කියමි. එම විපාක වනාහි මෙලොවදී පල දෙන්නට පුළුවනි. එසේ් නැත්නම් ඊළඟ ජීවිතයකදී පළ දෙන්නට පුළුවනි. නැතහොත් භවයේ උපදින තාක් කිසියම් තැනක දී ඵල දෙන්නට පුළුවනි. එම නිසාම පින්වත් මහණෙනි චේතනාත්මකව කරන ලද්දා වූ රැස් කරන ලද්දා වූ කර්මයන්ගේ විපාක විඳීමකින් තොරව එම කර්මයන් අභාවයට පත්වන බවක් මම නො කියමි.

දොස් සහිත වූ වැරැදි සහිත වූ අකුසල චේතනාවන්ගෙන් යුතු කායික ක්‍රියාවන්හි ප්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇතිකර දෙයි. දොස් සහිත වූත් වැරැදි සහිත වූත් අකුසලයන්ගෙන් යුතු වාචසික ක්‍රියාවන්හි ප්‍රභේද හතරකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇතිකර දෙයි. දොස් සහිත වූත් වැරැදි සහිත වූත් අකුසල සංචේතනාවන්ගෙන් යුතු මානසික ක්‍රියාවන්හි ප්‍රභේද තුනකි. මේවායින් දුක් උපදවයි. දුක් විපාක ඇතිකර දෙයි.

ප්‍රණඝාත කිරීම, සොරකම් කිරීම, වැරැදි කාම සේවනය අයත් වන්නේ කායික ක්‍රියාවන්ටයි. බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම අයත් වන්නේ් වාචසික අකුසල ක්‍රියාවන්ට යි. අනුන්ට අයත් දෙය තමා සතු කර ගන්නට ඇති ආශාවත්, ව්‍යාපාදයත් මිත්‍යා දෘෂ්ඨියත් අයත් වන්නේ මානසික අකුසල ක්‍රියාවන්ට යි.

මේ ආකාරයට ඔබට බුද්ධ දේශනාවෙහි සඳහන් අකුසල් ගැන සිහිපත් කළේ මිනිස් ජීවිතයේ දී නොයෙකුත් අකටයුතුª ක්‍රියාවන්හි නිරත වෙලා මරණෙන් පසුව දුක් සහිත ලෝකවල ඉපදිලා ඉතාමත් කටුක දුක් වේදනා විඳින පේ‍්‍රතයන් පිළිබඳව කියා දීමටයි.

අද අප කථාකරන මේ පේ‍්‍රත වස්තුව “සේරණී පේ‍්‍රත වස්තුව“ යි. ශාස්තෘන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ සේරණී නම් පේ‍්‍රතිය උදෙසා මෙම දෙසුම වදාළා.
කුරුරට හත්ථිනි පුරයෙහි සේරණි නම් වූ එක්තරා ගමකට භික්ෂූන් වහන්සේලා වරින් වර උපෝසථ විනය කර්ම කිරීම සඳහා වැඩම කළා. එක් කාලයක ඒ ගමෙහි විශාල භික්ෂු පිරිසක් රැස්වීමක් පැවැත්වූවා. ඒ දුටු මිනිසුන් තල, සහල්, ගිතෙල් වෙඬරු , මීපැණි ආදි දානෝපකරණ පිළියෙල කොට මහ දන් පූජා කළා.
ඒ කාලයේ ඒ ගමෙහි එක් වෙසඟනක් ජීවත් වූවා. ඇය කිසිඳු ශ්‍රද්ධාවක් නොමැති පැහැදීමක් නැත්තා වූ මසුරු තණ්හාවෙන් යුක්ත වූ සිත් ඇති කාන්තාවක්. මිනිසුන් විසින් පිළිවෙල කළාවූ දානයේ කොටසක් පූජා කරන්නැයි ඒ ගම්වැසියන් ඒ කාන්තාවටද කියා සිටියා. නමුත් ඇය ‘මේ මුඬු මහණුන්ට දන් දීමෙන් කවර ප්‍රයෝජනයක්ද” කියා අප්‍රසාදයෙන් යුතුව ඔවුනට දොස් කියා සිටියා.

ඇය ඊට ටික කාලයකට පසුව මියගොස් එක්තරා ජනපදයක අගලක් මත්තෙහි පේ‍්‍රතියක්ව උපන්නා.
හස්තිනී පුරවාසි එක්තරා වෙළෙඳුන් කණ්ඩායමක් වෙළෙඳාම පිණිස ඒ ප්‍රත්‍යන්ත ජනපදයට ගොස් සිටියා.එක් වෙළෙන්දෙක් මධ්‍යම රාත්‍රියේ කිසියම් ප්‍රයෝජනයක් සඳහා අගල මත්තට ගියා. ඒ පේ‍්‍රතිය ඔහු දැක හැඳිනගෙන නිර්වස්ත්‍රව ඈට යම් පමණක් ඉතිරි වූ වස්ත්‍ර ඇතිව ඉතාමත් බියකරු දැකුම් ඇතිව නුදුරෙහි සිට තමන්ව දැකීමට සැලැස්සූවා. ඒ වෙළෙන්දා ඇය දැක,
ඔබේ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔබ කවුද?

අනේ හිමියනි, මම මේ දුකේ වැටිලා ඉන්නේ. මම යම ලෝකේ උපන් පෙරේතියක්. මගේ අතින් පව්කම් කෙරිලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ.
ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තේ? මොන වගේ් කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ගියේ.

පින රැස්කර ගන්නට පින් තොටවල් බඳු ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන් සිටිද්දීත් මම ඔවුන්ට දන් නොදී මුදල් රැස්කළා. දන් පැන්වලට දෙන්න දේවල් තිබෙද්දීත් තමන්ට පිහිට වෙන පින්කම් මම කර ගත්තේ නැහැ.
මට හරියට පිපාසය හැදෙනවා. එතකොට මම නදියට යනවා. මට නදිය පෙනෙන්නේ වතුර සිඳී ගිය වැලි තලාවක් වගේ. රස්නය වැඩි නිසා මම ගස් සෙවණට යනවා. එතකොට ඒ අව්ව ගහ යටට එනවා.
හුළඟ හමන කොට මහ ගිනි රස්නෙකින් ඒ හුළඟ හමන්නේ මාව පුච්චන්නයි. අපේ ස්වාමිනි, මට මේ දුක ලැබෙන්නට සුදුසුයි. මට මීටත් වඩා පව් කරලා තියෙනවා.

හත්ථිපුරයේ මගේ් අම්මා ජීවත් වෙනවා. ඒ ගමට ගිහින් අම්මාට මෙහෙම කියන්න. ඔබේ දෝණියන්දෑව මට දැක ගන්නට ලැබුණා. දුකට පත්වෙලා යම ලෝකේ ඉපදිලා ඉන්නේ. පාපකර්ම කරලයි මනුස්ස ලෝකෙන් චුත වෙලා පෙරේත ලෝකේට ආවේ. මම එහිදී ආරක්ෂා කරල තියපු වස්තුව තියෙනවා. මම ඒ ගැන කාටවත් කිව්වේ නැහැ. වාඩිවෙන ආසනය යට හාර ලක්ෂයක් හංගලා තියෙනවා. ඒ වස්තුව වියදම් කරලා මම වෙනුවෙන් දානයක් දෙන්න කියන්න. අම්මාගේ වියදමටත් ගන්න කියන්න. මගේ අම්මා මනුස්ස ලෝකයේ දී දානයක් දීලා මට පින් ලබා දේවා. එතකොට මට සැප ලැබේවි. කැමැති හැම දෙයකින්ම සමෘද්ධිමත් වේවි.
හොඳයි කියා ඔහු පිළිතුරු දුන්නා. හත්ථිනී පුරයට ගියා. ඇයගේ් මෑණියන්ට විස්තරය කිව්වා. ඔබේ දෝණියන්දෑව මට දැක ගන්නට ලැබුණා. දුකට පත්වෙලා යම ලෝකයේ ඉපදිලා ඉන්නවා. ඇය මට කිව්වා මනුස්ස ලෝකයේ දී ආරක්ෂා කරපු වස්තුව තිබෙනවා වාඩිවෙන ආසනය යට. ඒවා වියදම් කරලා ඇයට පින් ලබා දෙන්න කිව්වා.

එවිට ඇගේ මව ඈ වෙනුවෙන් දානයක් දුන්නා. දීලා ඒ පින් ඒ පෙරේතියට අනුමෝදන් කළා. එතකොට ඒ පෙරේතිය සුවපත් වුණා. සුන්දර දැකුම්කළු ඇති සිරුරක් ලැබුණා.
ඉන්පසු ඇය වස්ත්‍ර හැඳ ලැබුණ සැපයන් සහිතව තම මවට තමාව දකින්නට සැලැස්සුවා. මව භික්ෂුන් වහන්සේලාට මේ කරුණු කියා සිටියා. භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රවෘත්තිය තථාගතයන් වහන්සේට වදාළා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථ සහිතව පැමිණි සිටි පිරිසට වදාළා. ඒ දේශනාව මහජනයාට ඵලදායි වූවා.




පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ වප් අව අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ නොවැම්බර් 13 වන  අගහරුවාදා  දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment