Labels

Sunday, September 20, 2015

යුතුකම් ඉටුකොට සැනසෙන පති – පතිනි


පවුලෙහි ප්‍රධාන සාමාජිකයන් දෙදෙනා ස්වාමිපුරුෂයා හා භාර්යාව වුවත් ඔවුන්ට අමතරව තවත් සාමාජිකයෝ රැසක් පවුල තුළ සිටිති. මවුපියන්, දූ දරුවන් ආදී ලෙසින් පරම්පරා තුනක එකතුවක් පවුල තුළ දැකගත හැකි ය. ස්වාමියා බිරිඳට යුතුකම් ඉටුකළ පමණින් ම, බිරිඳ ස්වාමියාට යුතුකම් ඉටු කළ පමණින්ම යහපත් පවුල් සංස්ථාවක් ගොඩ නැඟෙන්නේ නැත.

ඔවුනොවුන්ගේ සතුට සොම්නස පමණක් ගැන සිතා පවුලේ අනෙකුත් සාමාජිකයන් පිළිබඳ නොසලකා හරින්නේ නම් එම පවුල් සංස්ථාව ආදර්ශවත් පවුලක් ලෙසින් හැඳින්විය නොහැකි ය. අඹු සැමියන් වශයෙන් ජීවත් වන දෙදෙනාට මවුපියන් ද ඇත. එම මවුපියන් එක් අයෙකුට මව, පියා වන අතරම අනෙක් පාර්ශවයට නැදි මයිලන් වේ. තමන්ගේ මවුපියන් පෝෂණය කරන අයුරින් ම ස්වකීය නැදි මයිලන් ද පෝෂණය කළ යුතු බව බුද්ධදේශනාවේ සඳහන් වේ.

යමකු මහත් වූ ධන සම්පත්වලින් පරිපූර්ණව සියලු යස ඉසුරින් පිරි දිවියක් ගත කරයි ද එසේ ජීවත් වන්නා වූ ඔහු සිය මහලු මවුපියන් පෝෂණය නො කරයි ද එය පිරිහීමේ කරුණක් ලෙසින් බුදුන් වහන්සේ පරාභව සූත්‍රයෙහි දී පෙන්වා දුන් සේක.

හැකියාව තිබිය දී තම මහලු මවුපියන් පෝෂණය නොකරන්නේ ද සිය මවට, පියාට හෝ සහෝදර සහෝදරියන්ට, නැදි මයිලන්ට හිංසා පීඩා කරමින් ක්‍රෝධ කරන්නේ ද ඔහු වසලයෙකි. පවුලක සතුට, සාමය රඳා පවතින්නේ පවුල් සංස්ථාව තුළ වාසය කරන සියලු සාමාජිකයන් සතුටින් පිරි ජීවිතයක් ගතකළහොත් පමණි. තමන් පමණක් සැප සම්පත් විඳිමින් අන් අය අඳුරට ඇද දමා ජීවත්වන පුද්ගලයන් වසලයන් බව බුදුන් වහන්සේ දේශනා කළේ එහෙයිනි.

ප්‍රසන්න යුග දිවියක් සකසා ගැනීමේ දී බිරිඳකගේ වගකීම අතිවිශාලය. පතිකුලයට පිවිසෙන සෑම දියණියක ම සිතට ගත යුත්තේ යහපත් බිරිඳක ලෙස ස්වකීය පවුල් සංස්ථාවේ පැවැත්ම රැක ගත යුතු බව යි. ඒ සඳහා ඇයට පෙර සූදානමක් තිබිය යුතු ය. මවුපියන් සිය දූ දරුවන්ට ආදර්ශයක් විය යුත්තේ එහෙයිනි. පතිකුලයට යන්නට අපේක්‍ෂාවෙන් සිටින දියණිවරුන්ට අවවාද අනුශාසනා දීම මවගේ මෙන්ම පියාගේ ද යුතුකමකි. බුද්ධකාලයේ සිටි එවැනි පියකු ලෙස උග්ගහ සිටුතුමා හැඳින්විය හැකි ය. උපන්දා සිට සියලු දුක් කරදර විඳ හැදූ වැඩූ මව්පියන් අතහැර අලුත්ම පරිසරයකට අලුත් ම නෑදෑ හිතමිතුරන් සමූහයක් ළඟට යන දියණිවරුන්ට වාසනාවන්ත ජීවිතයක් ගත කිරිමට අවශ්‍ය අවවාද රාශියක් බුදුන් වහන්සේ උග්ගහ සූත්‍රයෙහි දී දේශනා කළ සේක.

1. ස්වාමි පුරුෂයාට පළමුව හිමිදිරියේ නැඟිට නිවෙසේ සියලු කටයුතු මැනැවින් සංවිධානය කිරීම.

2. දවස අවසානයේ සියලු දෙනාට ම පසුව නින්දට යෑම.

3. කළ යුතු කටයුතු විමසා බලා කිරීම.

4. හැසිරීමෙන් සහ වචනයෙන් සැමියාට පි‍්‍රයවීම.

5. සැමියා විසින් ගරු බුහුමන් දක්වනු ලබන්නා වූ මව්පියන්, පැවිදි පක්‍ෂයේ උතුමන් ආදී පිරිස් කෙරෙහි බිරිඳ ද ගෞරව දැක්වීම.

6. අභ්‍යන්තර කර්මාන්ත කටයුතු පිළිබඳ දක්‍ෂ වීම, ඒ කටයුතු අනලස්ව, විධිමත්ව හා උපායශීල ලෙස ඉටු කිරීම.

7. ස්වාමියාගේ සේවකාදීන් පිළිබඳ සොයා බලා ඔවුන්ට ද හොඳින් සංග්‍රහ කිරීම.

8. ස්වාමියා උපයා සපයා දෙන දේ මැනැවින් රැක බලා ගැනීම.

පතිකුලයට පිවිසෙන සෑම දියණියකම යථෝක්ත අවවාද අනුශාසනා පිළිගෙන ඒ අනුව ක්‍රියා කරන්නේ නම් පවුල් සංස්ථාවක පැවැත්ම රැකෙනු ඇත.
බුදු සසුනේ ගිහි ශ්‍රාවිකාවන් අතර විශාඛාවට හිමි වනුයේ ඉතා ඉහළ තැනකි. ඇය පතිකුලයට ඇතුළු වන මංගල දිනයේ දී සිය පියාණන් වන ධනඤ්ජය සිටුතුමා විසින් ඈ අමතා මංගල සභාවෙහිදි පහත සඳහන් අවවාද දෙන ලදී.

1. ඇතුළත ගිනි පිටතට නො දිය යුතු ය.

එනම් සැමියාගේ හෝ නැදි මයිලන්ගේ හෝ අඩුපාඩු වැරැදි පිට ඇත්තන් සමඟ නො දෙඩිය යුතු ය.
2. පිටත ගිනි ඇතුළතට නො ගත යුතු ය.

පිටස්තර පුද්ගලයන් සැමියාගේ හෝ නැදි මයිලන්ගේ හෝ නුගුණ කී විට ඒ ගැන ඔවුනට නො කිය යුතු යි.
3. දෙන තැනැත්තාට දිය යුතු යි.

ගත් දෙය පෙරළා දෙන්නාට පමණක් දිය යුතු යි.
4. නො දෙන තැනැත්තාට නො දිය යුතු යි.

යමකු ගත් දේ පෙරළා නො දේ නම් ඔවුන්ට නො දිය යුතු යි.
5. දෙන්නාට ද නො දෙන්නාට ද දිය යුතු යි.

දිළිඳු නෑදෑයන් යමක් ගෙන ගොස් පෙරළා දුන්නත්, නොදුන්නත් ඔවුනට දිය යුතුයි.
6. සැපසේ හිඳ ගත යුතුයි.

සැමියා හෝ නැදි මයිලන් හෝ ඉදිරියේ උස් අසුනෙහි වාඩි නො විය යුතු යි.
7. සැපසේ අනුභව කළ යුතු යි.
සැමියා හා නැදි මයිලන් ආහාර ගත් පසු පමණක් තමන් ආහාර ගත යුතු යි.

8. සැපසේ නිදිය යුතු යි.
තමන් සියල්ලන්ට ම පෙර නින්දට නො ගොස් සැමියා හා නැදි මයිලන් නිදාගත් පසු ගෙදරට අවශ්‍ය සියලු රැකවල් යොදා තමන් නිදිය යුතු යි.

9. ගිනි දෙවියන් පිදිය යුතු යි.
නැදි මයිලන් ඇසුරු කිරීමේ දී ගිනි මෙන් සැලකිලිමත් විය යුතු යි. පරෙස්සම් විය යුතු යි.

10. ගෘහ දේවතාවන් පිදිය යුතු යි.
සැමියා හා නැදි මයිලන් ගෘහ දේවතාවන් මෙන් සලකා ගරු බුහුමන් කළ යුතු යි.

යහපත් පවුල් පසුබිමක් නිර්මාණය කරගැනීමෙහිලා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍ර ධර්ම අතුරින් කුල සූත්‍රය ද අගනා සාධුපදේශයන්ගෙන් සමන්විත සූත්‍රයකි.
පවුල විසින් ඇති කර ගනු ලබන සමාජ සම්බන්ධතා නිසි ලෙස පවත්වාගෙන යන්නේ කෙසේ දැයි බුදුන් වහන්සේ සිඟාල සූත්‍රයෙහි මනාව පෙන්වා දී ඇත. එම සූත්‍රයෙහි සඳහන් කරුණුවලට අනුව පුද්ගලයා ස්වකීය කාර්ය භාරය ඉටු කළ යුත්තේ අවබෝධයෙන් හා සුහද හැඟීමෙන් යුතුව ය.
ඒ සුහද හැඟීම මෛත්‍රිය, කරුණාව, වැනි උත්තම ගුණයෙන් පෝෂණය වූවකි. ස්වාමිපුරුෂයාගෙන් සංග්‍රහ ලබන භාර්යාව ස්වකීය කාර්යභාරයෙහි නිරත වන්නේ යථෝක්ත ගුණ ධර්ම ප්‍රකට කරවමිනි. ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර ඇති සබඳතාව තරමට ම වැදගත් අනෙක් පවුල් සබඳතාව වන්නේ මවුපියන් හා දූ දරුවන් අතර පවත්නා සම්බන්ධය යි.

මවුපියෝ දරුවන් මෙලොවට බිහි කරති. ඔවුන් උපන් පසු දහසක් කම්කටොලු විඳ පෝෂණය කරති. කොතරම් දුර බැහැර ගොසින් හෝ තම දරුවන්ට සුදුසු දෙය සොයා ගෙනවුත් කෑම් බීම් ආදිය සපයා දෙති. තමන් කුසගින්නේ දැවෙමින් දරුවන්ගේ කුසගිනි නිවති. සියලු දුක් විඳ වස්තුව සපයා දී දරුවන්ට ශිල්ප ශාස්ත්‍රාදිය උගන්වති. සිය දරුවා රජ තනතුරෙහි පිහිටුවා ලන්නට පිළිවන්නම් ඒ ගැන පවා හැම වෙහෙසක් ම දරති. අලුත උපන් ළදරුවාට කිසිවකුගේ හෝ උදව් උපකාර නොමැතිව කිසිවක් කර කියා ගත නො හැකි ය. එම නිසාම දරුවන් වැඩිවියට පත්ව ලෝකය පිළිබඳ තේරුම් ගන්නා තෙක්ම මවුපියන් සෙවනැල්ලක් මෙන් දරුවා පසුපස හිඳී. මව්පිය කාර්යභාරය වඩාත් විස්තර සහිතව බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇත. එහි සඳහන් වන ආකාරයට මවුපියන් දරුවන් සඳහා ඉටුකළ යුතු යුතුකම් පහකි.

1. දරුවන් වරදින් වැළැක්වීම.

2. දරුවන් යහපතෙහි පිහිටුවීම.

3. ශිල්ප ශාස්ත්‍ර ලබාදීම.

4. සුදුසු ලෙස ආවාහ විවාහ කරදීම.

5. නිසි කල දායාද පවරා දීම.

මවුපියන් සතු කාර්යභාරය ඔවුන්ගෙන් නිසි අයුරින් ඉටුවන පවුලක දරුවන් විසින් ද ස්වකීය වගකීම්භාරය මවුපියන් වෙනුවෙන් නොපිරිහෙළා ඉටුකෙරේ. සිඟාලෝවාද සූත්‍රයෙහි දරුවන්ගේ වගකීම් ද පස් වැදෑරුම් කොට ඉදිරිපත් කරයි.

1. මවුපියන් පෝෂණය කිරීම.

2. මවුපියන් සතු වැඩ සපුරාලීම.

3. පවුලේ සහ පරපුරේ ගෞරවය ආරක්‍ෂා වන පරිදි හැසිරීම.

4. දායාද මැනැවින් පරිහරණය කිරීම.

5. මිය පරලොව ගිය පසු ඔවුන් වෙනුවෙන් පින් දහම් කිරීම.

කෘතවේදී සද්පුරුෂ දරුවන් විසින් යථෝක්ත වගකීම් ස්වකීය මවුපියන් වෙත ඉටුකරනු ලබයි. එවැනි යහපත් දරුවන්ට මවුපිය ආශිර්වාදය නිරන්තරයෙන් ම හිමි වේ. එවැනි දරුවන් බුදුන් වහන්සේ හැඳින්වූයේ අතිජාත දරුවන් ලෙසයි.

පවුල් සංස්ථාව මැනැවින් ක්‍රියාත්මක වීම සඳහා තවත් සමාජ ආයතන කිහිපයක ම පිහිට අවශ්‍ය වන බව බුදුදහමෙහි අවධාරණය කර තිබේ. සිඟාලෝවාද සූත්‍රය අනුව ස්වාමි - සේවක සම්බන්ධය, මිත්‍රත්වය හා පැවිදි සංස්ථාවන් එයින් කිහිපයකි. රජය හා මහා සමාජය සතු වගකීම් ද ඒ සඳහා සැලකිය යුතු ය. මිත්‍රත්වය බුදුදහමට අනුව ඉතා පෘථූල සංකල්පයකි. කුඩා බිළිඳෙකු ලෙස උපදින මනුෂ්‍යයා පළමුව තම පවුල තුළින් සමාජානුයෝජනය වන අතර ඉන් පසු මිත්‍ර කණ්ඩායම් තුළින් සමාජානුයෝජනයට ලක්වේ. කිසිදා මනුෂ්‍යයකුට හුදකලාව ජීවත් විය නො හැකි ය. හොඳට හෝ නරකට ඔහුට මිතුරු ඇසුරක් අවශ්‍ය ම වේ. එහෙත් බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි යහපත් මිතුරන් ඇසුරට තෝරා ගන්නා අයුරු මනාව පැහැදිලි කොට ඇත. සමාජගත ජීවිතයක් ගත කරන මිනිසාට යහපත, අයහපත තෝරා බේරා ගෙන ක්‍රියා කරන්නට ආගම අත්‍යවශ්‍ය ය. ආගම පිළිබඳ කියා දෙන්නට පැවිදි පිරිසක් සිටිය යුතු ය. සමාජ සංස්ථා අතර පැවිදි සංස්ථා වැදගත් තැනක් ගන්නේ ඒ නිසා ය.

පවුල් සංස්ථාවක පැවැත්ම කෙරෙහි රජය සතුවද වගකීමක් ඇත. ‘පවුල’ ආරක්‍ෂා කිරීම රජයේ ද වගකීම වන බව ද්වනිත කරන විස්තරයක් චක්කවත්තිසිහනාද සූත්‍රයෙහි ඇත.
හිතමිතුරන්, අසල්වැසියන්, නෑදෑයන් පවුල් සංස්ථාවේ ස්ථාවරභාවයට බලපාන මූලික සාධකයන් ය. ඥාති සංග්‍රහය මංගල කරුණක් ලෙසින් බුදුදහමෙහි සඳහන් වන්නේ මේ හෙයිනි. කෙසේ වෙතත් සුන්දර අන්‍යෝන්‍ය සාමාජික සම්බන්ධතා සහිතව ගොඩනැඟෙන ප්‍රසන්න පවුල් ජීවිතය සමාජ සංවිධානයේ විධිමත් පැවැත්මට මනා පිටිවහලකි. බුදුසමයෙන් ඒ සඳහා ලැබෙන අනුබලය කෙතෙක් වේ දැයි යථෝක්ත කරුණුවලින් පැහැදිලි වේ.




කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
සහකාර කථිකාචාර්ය
හේමමාලි නිලාන්ගනී කරුණාරත්න






ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ ඉල් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2012 ක් වූ දෙසැම්බර් 12 වන බදාදා   දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment