ආර්යශ්‍රාවකයා කියලා කියන්නේ අවම වශයෙන් සෝවාන්මාර්ගයට හෝ පැමිණි අයෙකුටයි. අපි භාවිතයේදී ආර්ය ශ්‍රාවක මහා සංඝරත්නය යි කියන කොට එයින් අදහස් කරන්නේ අන් කිසිවෙකු නොව සෝවාන් ආදි මාර්ගඵලයන්ට පත් අයෙකුටම බව මෙහිදී ධර්මයෙන් පැහැදිලි කරනවා. පුහුදුන් භික්ෂූන් වහන්සේලා හෙවත් සංඝයා වහන්සේලා ගැනෙන්නේ අනාර්ය වූ කොටසට යි.
උන්වහන්සේලාත් ආර්යමාර්ගය අරමුණු කොට ඊට අවශ්‍ය පිළිවෙත් සපුරාලන සම්මුති මහා සංඝරත්නය ලෙස අපි ගරු බුහුමන් කරනවා. මේ කරුණෙන් පමණක් නොව අපේ බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම්වලට අනුව භික්ෂූ යන වචනයෙන් අදහස් කරන්නේ මූලිකවම ආර්යමාර්ගයට වැටුණූ අයයි. ඒ කාරණය ගත්විට ගිහි අයෙකුව සිට ආර්යමාර්ගයට පත් වූ විට ඒ අය ද භික්ෂු යන වචනයෙන් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මෙයට හොඳම සාක්ෂිය ලෙස ධම්මපදයේ එන “අලංකතො චෙපි සමං චරෙය්‍ය...’ යනාදි ගාථාව දේශනා කරන්නට යෙදුණු සන්තති අමාත්‍යවරයාගේ කථාවස්තුවෙන් හෙළිදරව් වෙනවා. ඒ අනුව සන්තනි අමාත්‍යවරයා රහත් භාවයට පත්වන්නේ රාජාභරණ දරා ගෙන ගිහි අයෙකු ලෙසටයි. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සන්තති අමාත්‍යවරයා භික්ෂුවක් ලෙසත්, ශ්‍රමණයෙක් ලෙසත් කෙලෙස් බැහැර කළ නිසා බ්‍රාහ්මණයෙක් ලෙසත් හඳුන්වන්ට හැකියි කියලා.
බුද්ධානුස්සති
දැන් අපි සොයලා බලමු අවම වශයෙන් සෝවාන් මාර්ගඵලය ලබා සිටින ආර්ය ශ්‍රාවකයා කුමන සිතිවිලි සමුදායක් තුළ ජීවත් වෙනවාද කියලා. මෙබඳු ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේගේ බුදුගුණ සිහි කරනවා. මෙම නව අරහාදි බුදුගුණ සිහියට නගන මේ අයගේ සිතට මේ නිසාම රාගයට වැටෙන ද්වේශයට යොමු වන, මුළාවට හෙවත් මෝහ සහගත සිතිවිලි ඇති වන්නේ නැහැ. එමෙන්ම ඒ අවස්ථාවෙහි මේ අයගේ සිත බුද්ධානුස්සති කර්මස්ථානයටම යොමු වී එයින් බැහැරට ගමන් කරන්නේ නැහැ. එහෙම සිත බුද්ධානුස්සතියෙන් බැහැර නොවුණාහම ඒ ගුණ ප්‍රකාශ වන වචනවල අරුත. ඒ පිළිබඳ භාෂාවේ විවිධ බුදුගුණ සියුම් ලෙස ප්‍රකාශ වන ආකාරය, එම භාෂාව සකස් වී තිබෙන ආකාරය ආදි ඒ ඒ බුදුගුණයේ විසිතුරු බව සිහියට නැගෙනවා. මේ නිසාම සිත සැහැල්ලු බවට පත්වෙලා මහත් වූ නිරාමිස සතුටක් ලබනවා. එමෙන්ම රූප කොටසට ගැනෙන මේ අප දරන භෞතික ශරීරයත්, නාම වශයෙන් ගැනෙන වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන නාම කය සියලු උවදුරුවලින් සංසිදී සුවසේ ම සිත සමාධියට පත් වෙනවා. එම සමාධියෙන් පසු එම ආර්ය ශ්‍රාවකයා රාග, ද්වේෂ, මෝහ , මාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධාදී අනේක විධ අකුසල සිතිවිලිවලින් පෙලෙන සත්ත්වයා එහෙම නැතිනම් මිනිස් ප්‍රජාවක් ඇති සමාජයකට ගියත් අතිශයින් එම සමාජයෙහිත් නිදුක්ව ගැහැටකින් තොරව විදර්ශනා මාර්ගයටම බසිමින් එම බුද්ධානුස්සති කර්මස්ථානය වඩමින් සුවසේ ජීවත් වෙනවා. අර කියන විෂම සමාජයේ සිටියා කියලා ඒ කිසිවකින් මෙම සෝවාන්ඵලස්ථ ආර්ය ශ්‍රාවකයා සැලෙන්නේ නැහැ.
ධම්මානුස්සති
මෙයට පස්සේ මේ ආර්ය ශ්‍රාවකායගේ සිත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි සන්දිට්ඨිකාදි ගුණත් මේ ආකාරයෙන් සිහිපත් කරමින් ධම්මානුස්සතියට යොමු වෙනවා එම දහම් ගුණ එකින් එක අර විදියට ම මේ ආර්ය ශ්‍රාවකයාගේ සිතට යොමු වෙමින්ම එහි හිත එකදිගටම ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙයට අපි කියන්නේ සිත ධම්මානුස්සතියට යොමු වෙනවා කියලයි. එහිදීත් සිතේ, රාග, ද්වේෂ මෝහාදී කෙලෙස් සිතිවිලි කිසිම ආකාරයකින් ඉස්මතු වන්නේ නැහැ. එහිදීත් සිදු වන්නේ මුලින් පැවසූ ආකාරයෙන්ම ඒ ධර්මයෙහි සන්දිට්ඨිකාදි ගුණ කියැවෙන ඒ වචනයේ අර්ථය , තවදුරටත් ඒ වචනාර්ථයෙන් කියැවෙන ඒ හා බැඳුණු තවත් බොහෝ ධර්මයෙහි ගුණ විස්තර වන අර්ථ රාශිය එමෙන්ම එම කරුණු පිළිබඳ සුපිරිසුදු අවබෝධය තහවුරු වෙමින් ඒ ගැනම සිත යොමු වී ඒ ගුණ සමඟම සිතිවිලිත් ක්‍රියාත්මක වන්නට පටන්ගන්නවා. වෙනත් කුමන හෝ සිතිවිල්ලක් ඇති වන්නේත් නැහැ. එහෙයින් ධර්මයෙහි ගුණ හා බැඳුණු මහත් සොම්නසක් පී‍්‍රතියක් සිතේ හට ගන්නවා. ඉතින් පෙර පරිද්දෙන්ම රූප කාය හා නාම කාය යන දෙකම මෙම ප්‍රීතිය භුක්ති විදිනවා. සංසිඳීමට පත්වෙනවා. ඒ එක්කම සිතට හා කයට සුවයක් දැනෙනවා. එයින් පස්සේ සිතේ සමාධියක් හෙවත් මනා වූ තැන්පත් බවත් ඇති වෙනවා. මේ අවස්ථාවේදීත් පෙර පරිද්දෙන්ම මේ විෂම සිතිවිලි වලින් යුක්ත සමාජයේ ජීවත් වුවත් ඒ කිසිවකට සිත යොමු නොකරමින් සුවසේ ධම්මානුස්සතිය වඩමින් විදර්ශනා භාවනාවටම මෙම ආර්ය ශ්‍රාවකයා යොමු වී ජීවත් වෙනවා.
සංඝානුස්සති
මේ ආකාරයෙන්ම සංඝානුස්සතිය ද වඩනවා . ඒ අවස්ථාවේදී ආර්ය මහා සංඝරත්නයේ ගුණ වශයෙන් ප්‍රකට භාවයට පත් වී තිබෙන සුපටිපන්නතා දී ගුණ එකින් එක සිහිපත් කරමින් අර කිව්ව ආකාරයෙන්ම ඒ ඒ ගුණයේ වචනාර්ථය එයින් කියැවෙන ආර්යසංඝරත්නය පිළිබඳ විවිධ, සියුම් වූ අර්ථ ධර්මානුකූල අවබෝධය ලබමින්ම පී‍්‍රතියට හා ඉන් අනතුරුවත් මේ ක්‍රමයෙන්ම සිත යොමු වී සංඝානුස්සති කර්මස්ථානයෙන් විදර්ශනාවට යොමු වී සිත දියුණු තියුණු බවට පත් කර ගන්නවා.
සීලානුස්සති
මෙම ත්‍රිවිධානුස්සති කර්මස්ථානවලින් පසුව මෙම ආර්ය ශ්‍රාවකයා තම සීලය මෙනෙහි කිරීමට යි යොමු වන්නේ. සීලානුස්සති හෙවත් සිල් මෙනෙහි කිරීමේ භාවනාවටයි. මෙහිදීත් කොහේවත් කුමන අවස්ථාවකදීවත් කැඩීමක් සිදුව නැති, සිදුරු හෙවත් තමන්ගේ සිහියට එන තරම් වු දෝෂයක් නැතිව පලුදු නැතිව කැලැල් නැතිව අතිශය කැපවීමකින් ආරක්ෂා කළ තෘෂ්ණා මානාදෘෂ්ටි ආදි කෙලෙස්වලින් අපිරිසුදු බවට පත් නොවු එමෙන්ම ප්‍රශස්ත නුවණැති ආර්ය උතුමන් විසින් ඇගයීමට ලක් කරන ලද සිතේ එකඟ බවට හේතු වන මේ ශීලය සිහියට නගා ගන්නවා. ඒ අවස්ථාවේදීත් මෙම ආර්ය ශ්‍රාවකයාගේ සිතට රාග, ද්වේෂ හා මෝහාදී බලවත් අකුසලයන්ගෙන් බාධාවක් හෝ ඊට යටත් වීමක් කිසි ආකාරයකිනුත් සිදු වන්නේ නැහැ. මේ අවස්ථාවේදීත් පෙර මෙන් ක්‍රියාකරන මෙම ආර්ය ශ්‍රාවකයා කොතරම් දුශ්ශීල විෂම සමාජයකට පැමිණියත් කිසිදු ආකාරයකින් ඔවුන් හා සම්මිශ්‍ර නොවී ඒ විෂම සමාජයෙහි කොපමණ දෝෂ සහිත අය ජීවත් වුවත් සුවසේ සන්සුන් මනසකින් යුක්තව එම ආර්ය මාර්ගයෙහිම වැටී සීලානුස්සතිය වඩනවා. විදර්ශනාවට යොමුවෙනවා.
චාගානුස්සති
මීළඟට චාගානුස්සතියට මෙම ආර්යශ්‍රාවකයා යොමු වන ආකාරය විමසා බලමු. එහිදී මේ අය තමන්ගේ පරිත්‍යාගශීලි චේතනාවයි. සිතට නගා ගන්නේ ත්‍යාගයට විරුද්ධ සිතිවිල්ල මසුරුකමයි. මේ මසුරු බව නිසා ත්‍යාගය වැසී යනවා. එහෙත් එයින් මිදී තමා සතු දෑ දීමට හෙවත් පරිත්‍යාගයට යොමු වූ ආර්ය ශ්‍රාවකයා මම දැන් මසුරු බවින් පෙළුනු මසුරු බව නමැති පාපයෙන් බැඳුණු මැඩුණූ මහා ජනසමූහයක් මැද ඒ සියල්ලෙන් දුරුව තමන් යමක් පරිත්‍යාග කළා නම් ඒ පිළිබඳ කිසිදු ආකාරයක බැඳීමක් සිතින් ගැනීමක් නැතිව තවදුරටත් දීමට, බෙදීමට සිත් ඇතිව වාසය කරනවා කියා මහත් වු පී‍්‍රතියක් අත්විඳිනවා. ඒ නිසාම හටගත් නිරාමිස ඒ පි‍්‍රතියෙන් වැටී තමන්ගේ එම පරිත්‍යාගය මෙනෙහි කරමින් වෙනත් රාග, ද්වේෂ මෝහාදි අකුසල් සිත් ඉපදීමට ඉඩක් නොතබා මහත් වූ සොම්නසක් විඳිමින් කාලය ගත කරනවා. එමෙන්ම තවදුරටත් එම චාගානුස්සතිය වඩමින් පෝෂණය කරනවා. විදර්ශනාවට යොමු වෙනවා.
දේවතානුස්සති
එමෙන්ම දේවතානුස්සතියට මෙම ආර්ය ශ්‍රාවකයා යොමු වන ආකාරයත් විමසා බලන්නට පුළුවනි. එහිදී මේ අය සිතන පිළිවෙල මේකයි. ඒ චාතුම්මහාරාජික, තාවතිංස යාම, තුසිත නිම්මාණරති, පරනිම්මිත හා වසවර්ති කියන මේ දිව්‍යලෝක හයේ දෙවිවරු ඊටත් ඉහළ බ්‍රහ්මකායික ලෝකයෙත් දෙවිවරු ඉන්නවා. ඒ හැම කෙනෙක්ම ශ්‍රද්ධාගුණයෙන් යුක්තව කටයුතු කර මොලොවින් චුත වෙලා ඒ ලෝකවල පහළ වෙලා ඉන්නවා. මමත් ඒ ආකාරවූ ශ්‍රද්ධාවෙන්, සීලයෙන් ශ්‍රැතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් යුක්තයි කියා දේවතානුස් සතියට යොමු වී එය වඩනවා. එවිටත් ඒ තුළින් ලැබ ගන්නා නිරාමිස පී‍්‍රතියෙන් ප්‍රමුදිත භාවයට පත්ව එය මෙනෙහි කරමින් තවදුරටත් විදර්ශනා ප්‍රඥාව සපුරා ගැනීමේ යෙදෙනවා. මෙම තත්ත්වයට පත්ව අපේ සමාජයේ ගිහිජීවිත ගත කරන අය සිටින්නට ඉඩ තිබෙන බවයි බුදුරජාණන් වහන්සේ මහානාමට තවදුරටත් පැහැදිලි කරලා දී තිබෙන්නේ.
බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයට පත් වූ ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් ආර්යඵල භුක්ති විඳිමින් විදර්ශනාවට යොමු ආකාරය දේශනා කරන්නේ කිඹුල්වත් නුවරදී මහානාම නම් ශාක්‍ය රජදරුවා අරමුණු කරගෙනයි. සැමට ආර්ය මග සඵලකර ගැනුමට ශ්‍රද්ධාව පහළ වේවා.
මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2559 ක්වූ බිනර පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ සැප්තැම්බර් 27 වනදා ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment