Labels

Monday, September 14, 2015

නිරය මිනිස් අපාය නොවේ ද?


බුදුන් වහන්සේගේ දේශනා පරමාර්ථ සත්‍ය දේශනා හා සම්මුති සත්‍ය දේශනා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, නිර්වාණය,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදි ධර්ම කරුණු පරමාර්ථ සත්‍යයි.  සම්මුති සත්‍ය දේශනා නම් ආචාර ධර්ම හා ලෝකව්‍යවහාරයේ අඩංගු අනෙක් කරුණු ය. බුදුන්වහන්සේ පරමාර්ථ සත්‍යය පැහැදිලි කරන්නේ සම්මුති සත්‍යයෙන් හෙවත් ලෝක ව්‍යවහාරයේ පිළිගත් අනෙක් සත්‍යයන් මඟිනි. ත්‍රිපිටකයේ වැඩිපුර අඩංගුව ඇත්තේ සම්මුති සත්‍ය යයි සිතමි.


කයින්, වචනයෙන් හා සිතින් අකුසල් කරන්නවුන් උපදින්නේ සතර අපායේ බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ. මේ සතර අපාය නම් නිරය හෙවත් නරකය, තිරිසන් අපාය, ප්‍රේත අපාය හා අසුර අපාය බව ද ඒවායේ සඳහන් ය. මේවා පිහිටියේ කොහේද යන්න පිළිබඳව ද මිනිස්සු විවිධ මත දරති. මේවායින් තිරිසන් අපාය හා ප්‍රේත අපාය මිනිස් ලොව ඇසුරේම පවත්නා බව වැඩි දෙනෙකුගේම විශ්වාසයයි. නිරය හෙවත් නරකය යන්න පසුවට තබා තිරිසන් අපාය හා ප්‍රේත අපාය පිළිබඳව කෙටියෙන් සඳහන් කිරීමට පළමුවෙන් අදහස් කෙරේ.

තිරිසන් අපාය

මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයේ දැක්වෙන තිරිසන් අපාය පිළිබඳ කෙටි විස්තරයක් මෙසේ ය.
මහණෙනි, මෙලොව අකුසල් කොට දුශ්චරිතයෙහි හැසිරුණු සමහර දෙනෙක් තණකොළ බුදින අශ්ව, ගව, කොටළු, එළු ආදී තිරිසන් ගත සත්ත්වයන්ව උපදිති. එසේම අසූචි අනුභව කරන කුකුළන්, ඌරන්, බල්ලන්, සිවලුන් වැනි පහත් පැවතුම් ඇති තිරිසන් ගත සත්ත්වයන්ව උපදිති. එසේම අඳුරෙහි උපදින හැදෙන වැඩෙන පණුවන් ගැඩවිල්ලන් වැනි පොළොව යට ජීවත්වෙන තිරිසන් ගත සත්ත්වයන්ව උපදිති. එසේම දියෙහි උපදින හැදෙන වැඩෙන මියයන මත්ස්‍යයන්, කැසුඹුවන්, කිඹුලන් වැනි තිරිසන් ගත සත්ත්වයන්ව උපදිති. එසේම අසූචියෙහි උපදින, එහිම හැදෙන වැඩෙන, මිය යන, කුණුගොඩවල්වල, ගවර වළවල්වල කුණු ජලයෙහි හැදෙන වැඩෙන, මිය යන තිරිසන් ගත සත්ත්වයන්ව උපදිති. මෙසේ තිරිසන් ගත යෝනියෙහි උපදින තිරිසන් ගත සත්වයන්ගේ දුකකීමට පහසු නොවෙයි.” (සිංහල මජ්ඣිම නිකායේ 725 පිට)
මේ විස්තරයෙන් පෙනෙන්නේ තිරිසන් අපාය මිනිස් ලොව ඇසුරේම පිහිටා ඇති බව ය.

ප්‍රේත අපාය

ප්‍රේත අපාය සතර අපායෙන් තුන්වෙනි අපායයි. ඒ පිළිබඳව ද විශේෂ පර්යේෂණ පැවැත් වූ කෙනෙක් නම් අභාවප්‍රාප්ත මහාචාර්ය නන්දසේන, රත්නපාල ය. රටේ විවිධ පැතිවල ප්‍රේතයන් පිළිබඳව එතුමා පර්යේෂණ පවත්වා ඇත. ඔහුගේ අදහස අනුව ප්‍රේතයන් වර්ග දෙකකි. එක් වර්ගයක් නම් මනුෂ්‍ය ප්‍රේතයන්ය. අනෙක් වර්ගයා නම් බෞද්ධ පොත්වල එන හැබෑ ප්‍රේතයන් ය.
මනුෂ්‍ය ප්‍රේතයෝ නම් හැබෑ ප්‍රේතයන්ගේ චර්යාව අනුව හැසිරෙන මිනිසුන් හා ගැහැණුන් ය. ඔවුහු කිලුටු ඇඳුම් ඇඳගෙන, අපිරිසුදු ස්ථානවල මිනිසුන්ගේ සෙම් සොටු ආදිය කමින් ජීවත් වෙති. සමහරු මිනී කනත්තක සැඟවී සිට, මිනී ඇට ලෙව කමින් කල්ගත කරති.
‘පේතවත්ථු’ ආදී බෞද්ධ ග්‍රන්ථවල සඳහන් ප්‍රේතයන් හැබෑ ප්‍රේතවර්ගයයි. මොවුන්ගේ ප්‍රධාන ලක්‍ෂණය ආහාරපාන නොලබා දුකින් ජීවත් වීමයි. මොවුන් කිසිවෙක් මිනිස් ඇසට නොපෙනේ. නූතන විද්‍යාත්මක උපකරණවලින් ඒ අයගේ ඡායාරූප ලබාගැනීම සියුම් ශබ්ද හඳුනාගැනීම කළ නොහැකි ය. එහෙත් අමරිකාව ආදී බටහිර රටවල අධි විද්‍යාත්මක උපකරණ වලින් ප්‍රේතයන් පිළිබඳ පර්යේෂණ පවත්වාගෙන යන බව කියනු ලැබේ.

නිරය හෙවත් නරකය

පළමුවන අපාය නිරය හෙවත් නරකයයි. අප පළමුවෙන් තිරිසන් අපාය සහ ප්‍රේත අපාය ගැන සාකච්ඡා කෙළේ එකී අපායන් ගැන අපට යම්කිසි අත්දැකීමක් ඇති බැවිනි. එහෙත් නිරය හෙවත් නරකය පිළිබඳව අප දන්නේ මොනවාද?
නිරය පිළිබඳව බාල පණ්ඩිත සූත්‍රයේ දී (ම.නි) බුදුන් වහන්සේ දේශනා කළ ඡේදයක් මෙසේ ය.
“මහණෙනි, නිරය පාලයෝ දෑතට දෙපයට ළයට යන පස් තැනට රත් වූ යවුල් වලින් ඇන පස් ආකාර වධ බන්ධනයක් කරති. නිරිසතුන් අප්‍රමාණ දුකකට පත් වූවත් පව අවසන් වනතුරු කලුරිය නොකරති. නිරය පාලයෝ නිරිසතාව බිම බාවා කෙටේරිවලින් සසිත්. පා උඩුකුරු කොට වෑ වලින් සසිත්. රථයෙහි බැඳ ගිනිදැල් සහිත පොළොවේ ඇවිදවත්. ගිනි අඟුරු පර්වතයකට නංගවත්, බස්සවත්, පා උඩුකුරු කොට ලෝ කුඹු නිරයට බහාලත්, නිරිසතා වරක් උඩ එයි, වරක් යට යයි. මේ සියලු දඬුවම් ලැබුණ නමුත් පාප කර්මය අවසන්වනතුරු හෙතෙම කළුරිය නොකරයි.
මහණෙනි, නිරයෙහි කොන් සතරක් ඇත්තේ ය. දොරටු සතරක් ඇත්තේ ය. කොටස්වලට බෙදී ඇත. යකඩ පවුරකින් වටකර ඇත. යකඩ පියනකින් වසා ඇත. බිම යකඩින් තනා ඇත. හාත්පස ගිනියම්ව දිළෙයි. මෙබඳු නිරයෙහි විස්තරය හා නිරය දුක අවුරුදු සියයක් දහසක් කියා වූවද අවසන් කළ නොහැකි ය....
සිංහල මජ්ඣිම නිකායේ 2 කොටසේ 724- 725 පිටු) එසේම මජ්ඣිම නිකායේ දේව දූත සූත්‍රයේ කොටසක් මෙසේ ය.

“නරකයෙහි උපන් සත්ත්වයන් අල්ලා ගත් නිරය පාලයෝ ඔවුන් යමරජු වෙතට ගෙන යති. මොහු මවුපියන් වැඩිහිටියන් මහණ බමුණන් කුල දෙටුවන් ආදීන්ට සත්කාර නොකළ අයෙකියි යමරජුට සැල කරති. එකල්හි යමරජු නිරිසතාගෙන් මෙසේ ප්‍රශ්න කරයි.
“එම්බා පුරුෂය තෝ පළමු දේවදූතයා නුදුටුවෙහි ද?” ‘ස්වාමීනි, නොදුටු වෙමි...... ආදි වශයෙනි.
මහණෙනි, නිරයපාලයෝ නිරිසතුන්ට පඤ්චවිධ වධ බන්ධනයක් කරති. ඒ මහා නිරයෙහි බිම යකඩින් තනා ඇත. නිතර දැල්වෙන ගින්නෙන් යුක්ත ය. යොදුන් සීයක් ගින්න පැතිරී සිටී.
මහණෙනි, මේ මහා නිරයෙහි නැඟෙනහිර බිත්තියෙන්, නඟින ගිනිදැල් බස්නාහිර බිත්තියෙහි ද , බස්නාහිර බිත්තියෙන් නඟින ගිනිදැල් නැඟෙනහිර ධත්තියෙහි ද හැපෙයි. උතුරු බිත්තියෙන් නගින ගිනිදැල් දකුණු බිත්තියෙහි ද, දකුණු බිත්තියෙහි ගිනි දැල් උතුරු බිත්තියෙහි ද හැපෙයි. නිරිසත් තෙම මෙහි කටුක වූ දුක් වේදනා විඳියි. පව් ගෙවනතාක් නොමියයි.....” (සිංහල මජ්ඣිම නිකායේ 734 පිට)
බාල පණ්ඩිත සූත්‍රයෙන් හා දේවදූත සූත්‍රයෙන් උපුටා දක්වා ඇති ඉහත සඳහන් පාඨවල යමරජ කෙනෙකු හා නිරයපාලයන් සිටිනා බව පෙනේ. කරවන්නෙක් හා කරන්නන් සිටින ඒ ඊශ්වරවාදි අදහස් බෞද්ධ ලෝක නිර්මාණයට පටහැණි ය. බෞද්ධ ලෝක නිර්මාණය පදනම් වන්නේ පටිච්ච සමුප්පාදය (හේතු ඵල ධර්මය) ට හා පංච නියාම ධර්මයන්ට ය.

එබැවින් එම ඊශ්වරවාදි අදහස පිළිගත හැකි නොවන බව පෙනේ. එහෙත් බුදුරජාණන් වහන්සේ අසත්‍ය වාදියකු නොවන අතර උන්වහන්සේගේ දේශනා ක්‍රම පිළිබඳව ද අපට තේරුමක් තිබිය යුතු යැයි සිතේ.
බුදුන් වහන්සේගේ දේශනා පරමාර්ථ සත්‍ය දේශනා හා සම්මුති සත්‍ය දේශනා යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකි. පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය, නිර්වාණය, ආර්යඅෂ්ඨාංගික මාර්ගය ආදි ධර්ම කරුණු පරමාර්ථ සත්‍යයි. සම්මුති සත්‍ය දේශනා නම් ආචාර ධර්ම හා ලෝකව්‍යවහාරයේ අඩංගු අනෙක් කරුණු ය. බුදුන්වහන්සේ පරමාර්ථ සත්‍යය පැහැදිලි කරන්නේ සම්මුති සත්‍යයෙන් හෙවත් ලෝක ව්‍යවහාරයේ පිළිගත් අනෙක් සත්‍යයන් මඟිනි.

ත්‍රිපිටකයේ වැඩිපුර අඩංගුව ඇත්තේ සම්මුති සත්‍යයයි සිතමි. ගෞතම බුදුරජාණන් වහන්සේ ද ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූ කෙනෙකි. බුදුන් වහන්සේ බ්‍රාහ්මණ සාහිත්‍යය, ජෛන සාහිත්‍යය ආදිය මැනවින් දත් කෙනෙකු බව සිතාගත හැකි ය. නිරය පිළිබඳ තොරතුරු මේවායේ ඕනෑතරම් තිබෙන්නට ඇත. බාල පණ්ඩිත සූත්‍රයේ දී හා දේවදූත සූත්‍රයේ ඇතුළත් නිරය පිළිබඳ කරුණු එකළ පිළිගත් බ්‍රාහ්මණ ධර්මයේ අන්තර්ගත කරුණු (සම්මුති සත්‍යය) විය හැකි ය. ක්‍රිස්තු පූර්ව යුගයේ පැරැණි ගී‍්‍රක නාට්‍ය සාහිත්‍යයේ පවා හේඩීස් (Hades) යනුවෙන් අපාය විශේෂයක් තිබූ බව පෙනේ. බුදුරජාණන් වහන්සේ සම්මුති සත්‍යය පිළිගත් බව දැක්වීමට පැහැදිලි උදාහරණයක් දැක්විය හැකි ය.
පාලි සාහිත්‍යයේ සඳහන් නිරය හෙවත් නරකය පිළිබඳව අපට තවත් අදහසක් ඉදිරිපත් කළ හැකි ය. නර + කය නම් මිනිස් ශරීරයයි. එසේ නම් නරකය යනු මිනිස් අපාය යන අදහසක් ගම්‍ය වන බවක් මෙහි දී පෙනෙයි.
එසේ නම්,සතර අපාය යනු මිනිස් අපාය, තිරිසන් අපාය, පේත අපාය හා අසුර අපාය ලෙස සැලකිය හැකි ය. මිනිස් ලොව සුගතියක් වශයෙන් සලකා තිබීම මෙහිදී ගැටලුවක් ලෙස සැලකිය හැකි ය. එහෙත් සුගතිය දුගතියක් කරගෙන ඇත්තේ ද මිනිසා විසින්ම ය.


 සෙනෙවිරත්න මහලේක


ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ක් වූ ඇසළ පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ ජුලි මස 25 වන ඉරිදා   බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment