නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.....!
“හනන්ති භෝගා දුම්මේධං
නෝ චෙ පාරගවේසිනෝ
භෝග තණ්හාය දුම්මේධෝ
හන්ති අඤ්ඤා ච අත්තනං”
(ධම්මපදය – තණ්හා වග්ගය)
කාරුණික පින්වතුනි,
සියලු ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අමාමෑණි ලොව්තුරා බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනා දහම් කාරණා කිහිපයක් අද දින ‘බුදුසරණ’ ධර්ම දේශනාව මඟින් පහදා දීම සඳහායි, මෙයින් බලාපොරොත්තුවන්නේ. ධර්මයට අනුව දිවි ගෙවීම දෙලොව සැපයට හේතු වන බව සම්බුද්ධ දේශනාව මඟින් මනාව පෙන්වා දී ඇත.
ඉහත ගාථා ධර්මය ඛුද්ධක නිකායෙහි ධම්ම පදයට අයත් තණ්හා වග්ගයට අයත් වූවකි. එහි ගාථාර්ථය නම් ‘භෝගයෝ අනුවණයා නසයි. එහෙත් නිවන සොයන්නාට ඒවායින් අනතුරක් නැත. අඥානයා වස්තු ආශාව නිසා අනුන් ලවා නසා ගන්නාක් මෙන් තමා නසාගනී.’ යන්නය.
මෙකී කාරණාව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබුවේ අපුත්තක නම් සිටුවරයෙක් අරමුණු කර ගනිමිනි. මෙම සිටුවරයාට විශාල ධනයක් හිමිව තිබුණි. එහෙත් ඉතා තණ්හාවෙන් දිවි ගෙවූ ඔහු නිසි ආහාරයක් පවා නොගත්තේ ය. එසේම වැරහැලි භාවිතා කළ හෙතෙම කොතරම් සැප සම්පත් තිබුණ ද බෙහෙවින් දුක්ඛිත දිවියක් ගත කළේ ය. දරුවන් ද නොවී ය. මෙලෙසින් දිවි ගෙවූ මොහු හදිසි රෝග තත්ත්වයක් නිසා මිය ගියේ ය. ඔහුගේ විශාල ධනයට හිමිකරුවෙක් නොවූ හෙයින් ඒ සියල්ල පසේනදි කොසොල් මහරජතුමා විසින් දින 07 ක් පුරාම රාජ්‍ය භාණ්ඩාගාරයට තම සේවකයන් යොදාගෙන රැගෙන යනු ලැබීය. සෑම දිනකම බුදුපියාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට යන මහරජුට මේ නිසා උන්වහන්සේ හමුවීම සඳහා යාමට නොහැකි විය. සත් දිනකට පසු බුදුරදුන් හමුවීමට ගොස් උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසව සිටි පසේනදි කොසොල් මහ රජතුමාගෙන් බුදු හිමියන් විමසනු ලැබුවේ දින හතකින් තමන් වහන්සේ හමුවීමට නො ආ හේතුව පිළිබඳවය. එහිදී රජු අපුත්තක සිටුතුමාගේ මරණයත් සමඟ ඔහුගේ ධනයට උරුමකම් කීමට කිසිවෙකු නොසිටි හෙයින් එකී ධනය රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන යනු ලැබූ බව පවසා සිටියේ ය. මෙලෙස බුදුපියාණන් වහන්සේ සමග සුහද පිළිසඳරෙහි යෙදී සිටි මහ රජු විමසනු ලබන්නේ ස්වාමිනී! භාග්‍යවතුන් වහන්ස, මෙම අපුත්තක සිටුතුමාට විශාල ධනයක් හිමිව තිබුණද ඔහු නිසි ආහාරයක් පවා නොගනිමින් දිවි ගෙවූ හේතුව කුමක්ද? යනුවෙනි. මොහු පෙර ආත්ම භවයක මෙලෙසින් විශාල ධනයකට උරුමකම් කීවද ඉතා ලෝභී දිවියක් ගත කළේ ය. එහෙත් ඔහුගේ බිරිඳ ඉතා ශ්‍රද්ධාවන්තය. දිනක් මොහු යම් කාර්යයක් සඳහා සිටු මැදුරින් පිටත්වෙනවාත් සමඟ භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතය සඳහා සිටු මාළිගයට වැඩි අතර එහිදී තම බිරිඳට මොහු පවසන්නේ තිබෙන දෙයක් දී ඉක්මනින් ශ්‍රමණයන් යවන ලෙසය. එහිදී ශ්‍රද්ධාවන්ත බිරිඳ රසවත් ආහාර පිළියෙල කොට පූජා කළා ය.
තම කාර්යය නිමා කොට නැවත සිටු මැදුරට පැමිණෙන සිටුවරයාට අතර මඟදී පිණ්ඩපාතය පිළිගෙන වැඩම කරන ශ්‍රමණයන් වහන්සේ හමුවූ අතර එහිදී මෙම සිටුවරයා තම බිරිඳ පූජා කොට ඇත්තේ කුමක්ද? යන්න බැලීම සඳහා අතරමඟදීම පාත්‍රය හැර බැලීය. රසවත් ආහාරවල සුවඳ දැණුනු මොහු ඒ පිළිබඳ දැඩි ලෝභයෙන් බිරිඳට දොස් නඟන්නට විය. එහෙත් එකී දානය දීම සඳහා අවසර ලබා දුන් හෙයින් මොහුට මෙම ආත්මභාවයේ දී වස්තුව හා ධනය හිමි වුවද එයින් සතුටට පත්වීමට නොහැකි වූ නිසා එකී ධනයෙන් සැප විඳීමට වාසනාව නොවූ බව තථාගතයන් වහන්සේ විසින් රජුට පෙන්වා දුන් සේක. පසුව රජු නැවතත් විමසනු ලබන්නේ ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස, මෙම අපුත්තක සිටුතුමාට දරු සම්පත් නොලැබීම සඳහා හේතුව කුමක්ද? යන්නයි.
මොහු සසර පෙර ආත්මයක සිටු කුලයක උප්පත්තිය ලබා තම වැඩිමහල් සහෝදරයාගේ හදිසි ඇවෑමෙන් සිටු තනතුර මොහුට හිමිවන විට සහෝදරයාට කුඩා කුමාරයෙක් ද විය. කාලයක් ගත වීමෙන් මෙම කුමරු වැඩිවියට පත්වීමෙන් පසු මෙකී සිටු පදවිය ඔහුට හිමි විය යුතු බව දැන ගත් මොහු දිනක් මෙම කුඩා කුමරුවන් සමඟ හොර රහසේම කැළයට ගොස් ගෙල සිඳ දමා මරණයට පත් කළේ ය. මෙම ප්‍රාණඝාතයේ විපාක වශයෙන් මෙකී ආත්මභාවයේ දී අපුත්තක සිටුවරයාට දරු සම්පත් ලැබීමට වාසනාව හිමි නොවූ බව ගෞතම බුදුහිමියන් වදාළ සේක.
අධික තෘෂ්ණාවෙන් දිවි ගෙවූ මෙම සිටුවරයා ලැබූ සම්පත්වලින් සැප ලැබීමට පවා නොහැකි වූයේ පෙර කරන ලද අකුසල කර්මයන් නිසා බව පසේනදි කොසොල් මහරජුට පැහැදිලි කළ තථාගතයන් වහන්සේ කෙතරම් භවභෝග සම්පත් තිබුණ ද ඒවා ආශාවකින් තොරව පරිහරණය කළ යුතු බවත් තෘෂ්ණාව උපදවා ගැනීම නිසා සසර තව දුරටත් සත්ත්වයා බැඳ තබන බවත් දේශනා කොට වදාළහ.
මෙම කතා පුවත මඟින් කියැවෙන ධර්මෝපදේශය අප සැම දෙනාගේම දිවි මඟට ඉතා වැදගත් වූවකි. තෘෂ්ණාව නිසා සත්ත්වයා තව දුරටත් බැඳ තබන බව බුද්ධ දේශනාව මඟින් මනාව පෙන්වා දී ඇත.
‘තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං’
තණ්හාය ජායතී භයං’
යනාදී වශයෙන් ද පෙන්වා දෙන්නේ තෘෂ්ණාව නිසා භය, ශෝකය හට ගන්නා බවත් එයින් මිදුණු පුද්ගලයාට සැනසීම උදාකරගත හැකි බවත් ය. වටිනා මිනිසත් බව ලද අප මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වූවකි. වත්මන් සමාජයෙහි බොහෝ ගැටලු නිර්මාණය වෙමින් පවතී. ඒ සියල්ලක්ම කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වන්නේ ඊට මූල බීජය වී ඇත්තේ අධික ආශාව හෙවත් තණ්හාව බවයි.
“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලැබේ යන බුද්ධ දේශනාවට අනුව ඔබත් ධාර්මික පුද්ගලයෙක් බවට පත්වීම මුළු මහත් සමාජයම දැහැමි බවට පත් කිරීම සඳහා හේතු වනු ඇත. නොමැති නම් අප ඉතා වේගයෙන් පරිහානිය කරා ගමන් කරනු නො අනුමානය. ඒ නිසා මෙකී කාරණාවන් කෙරෙහි බුද්ධිමත්ව අවධානය යොමු කොට තෘෂ්ණාවෙන් බැහැරව ධර්මිෂ්ඨ පුද්ගලයෙක් බවට පත් වී මෙම බියකරු සසරින් එතෙර වීම සඳහා මඟ පාදා ගැනීම ඉතා වැදගත් ය. ඒ සඳහා ඔබට ධර්මයේ අවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි !
ගාල්ල, කළුවැල්ල
ශ්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙණේ ආචාර්ය,
ශාස්ත්‍රපති
කනංකේ විජිත නන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment