අප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව නව වසක් ගත වූ තැන ලංකාවේ මහියංගණයට වැඩම කොට යක්ෂයන් දමනය කර දහම් දෙසූ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කළ සුමනකූටවාසී මහා සුමන නම් වූ දිව්‍ය රාජයා සෝවාන් මාර්ගඵලයට පත් වූ බව මහාවංසයේ පළමු පරිච්ඡේදයේ සඳහන් වී ඇත. ඉන් අනතුරුව සමන් දෙවියන් බුදුරදුන්ගෙන් පූජා භාණ්ඩයක් ඉල්ලූ අවස්ථාවේදී කේශ ධාතුන් වහන්සේලා මිටක් ලත් අතර එය රන් කරඬුවකින් පිළිගෙන බුදුරදුන් වැඩ සිටි තැන ඉඳුනිල් මුවා සෑයක් කොට එහි නිදන් කරන ලද බව එහිම සඳහන් වී ඇත.
ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කර ලොව ඉදිකළ මුල් ම චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්නේ සුමන සමන් දෙවියන් විසින් ඉදිකරන ලද මහියංගණ සෑයයි. බුදුරජාණන් වහන්සේ තෙවැනි වර මේ ලක්දිවට වැඩි මොහොතේ සුමන කූටයට වැඩම කොට සිරිපා සලකුණ එම පර්වත මස්තකයෙහි පිහිට වූ සේක. මෙලෙස බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේදීම උන්වහන්සේගේ විශේෂ සැලකීමකට භාජනය වූ සුමන සමන් දෙවියෝ ලක්දිව සතර දිසාවට අධිපති දෙවිවරුන් අතර එක් අයෙකි.
විෂ්ණු දෙවියන් දෙවිනුවරටද, විභීෂණ දෙවියන් කැලණියටද, කඳ සුරිඳුන් කතරගමටද, සමන් දෙවියන් සබරගමුවට ද අධිපති දෙවිවරුන් ලෙස සැලකේ. ඒ දෙවිවරුන් අතර ඉතාමත්ම ප්‍රසන්න ලීලාවෙන් මෙත් සිත හා කරුණාව උතුරා යන බැල්මෙන් ලොව සනසාලන්නේ සුමන සමන් දෙවියෝය.
සුමන සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතා වන අතර එම ඇතා සොඬින් නෙළුම් මලක් දරා සිටියි. එම සුදු ඇතා අප මහා බෝධි සත්ත්වයන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නා අවස්ථාවේ මහාමායා දේවිය සිහිනෙන් දුටු සුදු ඇත් පැටවා සිහි ගන්වයි. තවද සමන් දෙවියන්ගේ දකුණු අතෙහි රැඳී ඇත්තේද නෙළුම් මලකි. නෙළුම් මල පවිත්‍රත්වයේ හා සත්‍යාවබෝධයේ සංකේතය යි. අප බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් මත පද්මාසනයෙන් වැඩ සිටින ආකාරය බොහෝ විට මූර්තිමත් කොට තිබේ.
සුමන සමන් දෙවිි අඩවිය හෙවත් සබරගමුව මැණික් සම්පතට ආකරයක් වූ පුණ්‍ය භූමියකි. මේ නිසා එබඳු වටිනා සම්පතක් ලැබෙන්නේ සමන් දෙවිඳුන්ගේ කරුණාව නිසා බව එම ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරති. දඹදෙණි යුගයේ රාජ්‍ය කළ දෙවැනි පැරකුම්බා රජ දවස ඒ රජුගේ ඇමැතියෙකු වූ ආර්යකාමදේව සුමන සමන් දෙවියන් උදෙසා සබරගමු මහා සමන් දේවාලය ඉදි කිරීමෙන් පසුව බොහෝ මැණික් වර්ග ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන්ව ඇත. මීට අමතරව සමන් දෙවියන්ට කැපවුණු තවත් දේවාල තුනකි. ඒවානම්, මහියංගන, දැරණියගල හා තෙල්තුඹේ සමන් දේවාලයයි.
සෑම වසරකම උඳුවප් පෝය මුල්කරගෙන සිරිපා සමය ආරම්භ වන අතර පළමුකොටම ඓතිහාසිකව මහ සමන් දේව ප්‍රතිමාව, ධාතු කරඬුව හා හින්දු දේව ප්‍රතිමාවද පෙරහරින් මහමළුවට වඩමවා එහි තැන්පත් කෙරේ. මෙම ඓතිහාසික සඳුන් මුවා මහ සමන් දේව ප්‍රතිමාව දෙවැනි පැරකුම්බා රජුගේ අගමැති දේවප්‍රතිරාජ ඇමැතියා විසින් ගම්පොලදී නිර්මාණය කළ බවට විශ්වාස කළහැකි තොරතුරු පූජාවලියෙහි සඳහන් වෙයි. සමන් දෙවියෝ ධර්මයේ බලය නියෝජනය කරති. ජනප්‍රවාදයට අනුව අධර්මයට එරෙහිව ධර්මය ක්‍රියාත්මක කරන තදබල දඬුවම් පවා ලබා දෙන දෙවියෙකු ලෙස සුමන සමන් දෙවියන්ගේ නම කියවේ. පෘතුගීසීන් විසින් පැරැණි සමන් දේවාලය විනාශ කර ඒ මත ශාන්ත සැල්වදෝර් නම් පල්ලියක් ගොඩනගන ලද නමුත් දෙවන රාජසිංහ රජතුමා එම පල්ලිය විනාශ කොට නැවතත් සමන් දේවාලය එහිම ස්ථාපිත කළ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වී තිබේ.
චීන ජාතික ඣං හ නම් නාවිකයා ලංකාවට පැමිණ ලංකා කන්දේ පිහිටුවා තිබෙන බෞද්ධ විහාරයට බොහෝ පූජා ද්‍රව්‍ය පිදූ බව ගාල්ලෙන් හමු වූ තෛ‍්‍රභාෂා සෙල් ලිපියෙහි සඳහන්ව තිබේ. මේ වනාහී සිරිපාද කන්ද බවට අනුමාන කිරීමට තරම් සාක්ෂි තිබේ. තවද සිරිපාද කන්ද, සිරිපතුල හා දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරුද එන වාර්තාවල සඳහන්ව ඇති අතර 13 වන සියවසේ දී රටත් ශ්‍රී පාද කන්දත් එකම නමකින් හඳුන්වා ඇත. චීන ජාතික ඣං හ නාවිකයා ශ්‍රීපාද පද්මයට හා දෙවියන්ට පූජා පැවැත්වීමෙන් බලාපොරොත්තු වූයේ සයුරු තරණයේදී ආරක්ෂාව ලබා ගැනීම බව එම මූලාශ්‍රවල සඳහන් වී ඇති බැවින් සමන් දෙවිඳුන් පිළිබඳ දේශිය වාර්තාවල නොදුටු පැත්තක් එහි ඇතුළත් වේ.
අලුතැපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති
කැලණිය විශ්ව විද්‍යාලයේ
නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය,
රාජකීය පණ්ඩිත
නැදලගමුවේ ධම්මදින්න හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment