Labels

Thursday, April 13, 2017

දස විපත් ගැන දන්නවා ද?



බුද්ධ කාලීන භාරතයේ සංජය නම් වූ පිරිවැජියා සමීපයේ විශාල සිසු පිරිසක් සිටි බව බෞද්ධ ඉතිහාසය සඳහන් කරනවා. ඉන් කෝලිත, උපතිස්ස තරුණයින් දෙදෙනා ප්‍රධානයි. ඔවුන් දෙදෙනා සසුන් ගත වීමෙන් පසු සැරියුත්, මුගලන් ලෙස සම්බුදු සසුනේ අග සව්වන් බවට පත්වුණා. මුගලන් මහරහතන් වහන්සේ සෘධිබලයෙන් අගතැන් වුණා. උන්වහන්සේ දෙව්ලොව වඩිමින් දිව්‍ය සැප ලබන්නට කළ පින් මොනවාදැයි දෙවිවරුන්ගෙන් විමසනවා. දිව්‍ය අත්බවයන් ලබන්නට ඔවුන් පෙර කළ පින් දහම් අසාගෙන මනු ලොවට වැඩම කර මිනිසුන්ට ඒ ගැන කියා දෙනවා. ඒ අසා මිනිස්සු පව් අත්හරිනවා. පින් කරනවා. සම්බුදු සසුන ගැන පැහැදෙනවා. තෙරුවන් සරණ යනවා. මේ නිසා එදා භාරතීය සමාජයේ අන්‍යාගමික නායකයන් වටා එක් රොක් වූ පිරිස් ටිකෙන් ටික පිරිහුණා. ඔවුන්ගේ ආරාම හිස් වුණා. ලාබ සත්කාර අඩුවුණා.
මෙතෙක් ලද සැප සම්පත් දිනෙන් දින අහිමි වන්නේ මුගලන් මහරහතන් වහන්සේ නිසා බව සිතමින් එම පරිබ්‍රාජකයන් උන්වහන්සේ ගැන වෛර සිතිවිලි ඇති කර ගත්තා. උන්වහන්සේ ඝාතනය කරන්නට දාමරිකයන් යෙදවූවා.
මෙකල මුගලන් තෙරුන් වැඩ සිටියේ කාල ශිලා ගුහා විහාරය නම් කළුගල් ලෙනකයි. දාමරිකයන්, පොලු මුගුරු ගෙන දෙවරක්ම එහි පැමිණියත් උන්වහන්සේ ඍධි බලයෙන් වෙනත් ස්ථානය කට වැඩම කළා. තෙවන දිනයේත් දාමරිකයන් පැමිණියා. මේ පල දෙන්නට යන්නේ තමන් වහන්සේ පෙර කළ අකුසලයක්, බව කර්ම විපාකයක් බව මුගලන් තෙරුන්ට වැටහුණා. ඉන් ගැලවිය නොහැකි බව දැන ගල් ලෙනෙහිම වැඩ සිටියා. දාමරිකයන් පැමිණ උන්වහන්සේ තලා පෙළා. අපවත් වූයේ යැයි කැලයට ගෙන ගොස් දැමුවා.
එහෙත් මුගලන් තෙරුන් ධ්‍යාන බලයෙන් වේළුවනාරාමයට වැඩම කොට පිරිනිවන් පාන්නට බුදුරදුන්ගෙන් අවසර ඉල්ලා සිටියා.
මේ පිළිබඳව භික්ෂූන් වහන්සේ දම් සභාවේ සාකච්ඡාවට ලක් කළා. මුගලන් තෙරුන් වහන්සේ රහත් බව ලබා සිටියදීත් මේ තරම් වේදනාවකට, පීඩාවකට පත් වුණේ පෙර බවයක දී බිරියගේ කීම අසා දෑස් අන්ධ, නිවැරැදි මවුපියන් වනයට ගෙන ගොස් සොරුන් තලන බව හඟවමින් තමන් විසින්ම තළා පෙළා වනයෙහි දමා ගිය අකුසලය නිසා බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එම අකුසලය සංසාරයේ බොහෝ කාලයක් විපාක දී අවසාන ආත්මයේද විපාක දුන් ආකාරය දේශනා කළා. එහිදී උන්වහන්සේ පෙන්වා දුන්නේ නිදොස් අයට අවැඩ සිදු කරන පුද්ගලයා ‘දස විපත්’ අතරින් එකකට වහා පැමිණෙන බවයි. මරණින් මතු අපායේ උපදින බවයි.
එම දස විපත් නම් පහර වැදීම්, අත්පා කැඩීම්, කැපීම් ආදී ලෙස ඇතිවන දරුණු වේදනාය. අව්,වැසි,පිනි, සුළඟින් පෙළෙමින් වෙළෙඳාම ගොවිතැන ආදි රැකියාවල යෙදී දුක සේ හරිහම්බ කරන ධනය විනාශ වීමය. හිස පැලීම්, අත් පා සිඳීම්, වෙඩි වැදීම් ආදියෙන් වන ශරීරයේ බිඳීමය. බලවත් වූ දරුණු වු රෝග හට ගැනීමය. සිහි විකල්වී උමතුවීමය. තනතුරුවලින් පහ කිරීම, ධනය රාජසන්තක කිරීම ආදි රජවරුන්ගෙන් වන උවදුරුය.
තමා නො ඇසූ, නොසිතූ, නොදුටු බලවත් අපරාධයක් තමා විසින් කළා සේ දොස් අසන්නට ලැබීමය. විපතේදී දුක්වන සැපතේ දී සතුටුවන ඥාති මිතුරන් නැසී යාම ය. අනාගතයට රැස් කළ රන්,රිදී, මුතු, මැණික් ධන, ධාන්‍ය විනාශ වීමය. තමා ජීවත් වන ගේ දොර ගිනි ඇවිලී දැවී යාමය.

මෙවැනි විපත්තීන්ට ගොදුරුවන අනේක විධ මිනිසුන් මේ සමාජයේදී අපි කොතෙකුත් අත් දකිමු. එහෙයින් නිදොස් කෙනෙකුට අවැඩ නොකරන්නට අප තරයේ ඉටා ගත යුතුය.





පැල්මඩුලු රාජමහා විහාරවාසී, 
මුත්තෙට්ටුපොල සෝමානන්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍මැදින් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මාර්තු 12 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment