Labels

Tuesday, April 25, 2017

වෛත්‍ය පිළිසකර කිරීමේ ආනිසංස.

පභංකර ථේරාපදානය

පදුමුත්තර බුදුරජුන්ගේ ස්ථූපයක් චණ්ඩ මෘගයන්ගෙන් ගැවසී ගත් මහා වනයෙහි විය. චෛත්‍යය වඳිනු සඳහා යාමට කිසිවෙක් සමත් නොවීය. එම චෛත්‍යය තණ, දර, ලිය වෙලුනු බිඳී ගිය එකක් විය.
මම වනයේ කටයුතු කරන වන කාර්මිකයෙක් වීමි. මම එම බුදුරජුන්ගේ ධාතු නිදන් කළ සෑය දැක, ඒ කෙරෙහි ගෞරව චිත්තයක් ඉපිදවීමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වයහන්සේගේ මෙම ස්ථූපය පිරිසිදු නොකර අන් කටයුතු වල යෙදෙන්නේ නම්, එය නුදුසුදුයි සිතා මම චෛත්‍යයෙහි වූ කොළද, දරද, වැල්ද, පිරිසිදු කොට ගලවා දමා අටවරක් නැවුණේ, උක්කුටියෙන් හිඳ වැඳ ගියෙමි. මැනවින් කරන ලද එම කර්මය කරණ කොට ගෙනද චිත්ත ප්‍රීතියෙන් කළ පැතුම කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොව උපත ලැබුවෙමි. එහි මට මැනවින් කරන ලද විමානය රුවන්මුවාය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පළලය. මම තෙසිය වරක් දිව්‍ය රාජ්‍ය කරවීමි. පස්විසි වරක් සක්විති රජවීමි.
මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භෝග ලැබීමි. මාගේ භෝග සම්පත්තියෙහි අඩු බවක් නම් නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ. දෝලාවකින් හෝ ඇතුපිටින් වනයෙහි ගමන් කරන්නා වූ මට එහි යම් යම් දිශාවකට ගමන් කළෙම්ද වනයම මට පිහිට ඇතිකරයි. එසේ යන කල්හි කණුවක් හෝ කටුවක් හෝ මම ඇසින් නොදකිමි. චෛත්‍ය පිරිසිදු කිරීමේ විපාකයෙන් එම කණු කටු තෙමේම ඉවත් වෙයි. කුෂ්ඨද සිරුරෙහි හැදෙන ගඩ ගෙඩිද, කිලාසනම් කුෂ්ඨ විශේෂයද, අපස්මාරයද, මීමැස්මොරයද, විතච්ඡිකානම් කුෂ්ඨද, දද ද, කැසිලි ද මට නැත. චෛත්‍යය පිරිසිදු කිරීමේ විපාකයයි මේ.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාගේ සිරුරෙහි, හටගත්තා වූ ස්වල්ප මාත්‍රවූ ද බිබිලක්ද නොදකිමි.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් දිව්‍ය වූද මනුෂ්‍ය වූද භව දෙකෙහි පමණක් සැරි සැරුවෙමි.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මම හැම තන්හි රුවන්වන් වූයේද පැහැ පත් වූයේ ද වෙමි.


බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මා නොකැමති දෑ බැහැරවෙයි. කැමති දෑ එළැඹසිටි.


බුදුරජුන්ගේ ධාතු නිධන්කල සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් මාර ගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත්වූ පිරිසිදු එකක් වේ.


බුදුරජුන්ගේ ධාතු නිදන්කළ සෑය පිරිසිදු කිරීමෙහි මට ලැබුණු අනෙක් ආශ්චර්යක්ද වෙයි. එනම් එක අසුනෙහිම හිඳ රහත් බවට පැමිණියෙමි.


මින් සියක් දහස් ලක්ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කලෙම් ද ඒ හේතුවෙන් දුගතියට නොගියෙමි. මේ සෑය පිරිසිදු කිරීමෙහි විපාකයයි.




අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ගෙ facebook පිටුවේ පල වු ලිපියකි


No comments:

Post a Comment